2020 මාර්තු 07 වන සෙනසුරාදා

මුර පදය හොරෙන් අරන් මහ මුහුදේ සිදුකළ කුඩු-අයිස් මෙහෙයුම

 2020 මාර්තු 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 605

මත්ද්‍රව්‍ය වැටලීම් එමටය. මත්ද්‍රව්‍ය ජාවාරමුන්, මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවෝ හැම තැනමය. ඔවුහු ද නිතර දෙවේලේ පොලීසියට කොටුවෙති. එහෙත් මත්ද්‍රව්‍යවල හිඟයක් හෝ අහේනියක් නැත. හැමතැනම කොකේන්, හෙරොයින්, ගංජා එමට‍ය. දැන් අලුත්ම ඉල්ලුම අයිස් වෙතය. ඒ ඒ දේවල්වලට ඒ ඒ ආදේශක හැම තැනමය. මේ සියල්ලට දවසින් දවස අලුත් ජාවාරම්කරුවෝ ද එක් වෙති. මේ පුවත පසුගියදා අලුතින් අනාවරණය වූ තවත් මත්ද්‍රව්‍ය ජාලයක් පිළිබඳවය. මේ එම මෙහෙයුමයි.

පසුගිය ජනවාරි මාසයේ දී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත මහතාට තොරතුරක් ලැබිණි. එනම් මුහුදු මාර්ගයෙන් ගෙන එන ලද මත්ද්‍රව්‍ය තොගයක් ගොඩබිමට ගෙන ඒම සඳහා ධීවර යාත්‍රාවක් අවශ්‍ය බවට දන්වමිනි. පසුව නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත අදාළ ධීවර බෝට්ටුව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් සපයා තිබිණි. ඒ අධිකරණයට සියලු තොරතුරු දන්වමිනි.

ඒ පෙබරවාරි 05 වැනිදාය. මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සහ නාවික හමුදා නිලධාරීහු කොළඹින් මුහුදට දියත් වූහ. ඒ නාවික හමුදා නැව් දෙකක් ද සමඟය. ඒ අනුව සියලු දෙනා ආවේක්ෂණ රාජකාරි කරමින් මුහුදේ රැඳී සිටියහ. ඔවුන් සිටියේ මත්ද්‍රව්‍ය රැගෙන එන බෝට්ටුව අපේක්ෂාවෙනි. කෙසේ වෙතත් ඔවුන් ඒ වන විටද මුහුදු සැතපුම් 600 ක් (කිලෝමීටර් 1111) ගොස් සමකයත් පසුකර හමාරය. යාත්‍රා මාලදිවයින් මුහුදට ආසන්න වී තිබුණි.

මත්ද්‍රව්‍ය ජාවාරමේ මෙරට මහ මොළකරු තමන් වටේ එළා තිබූ දැළ පිළිබඳ කිසිවක් නොදැන මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සඳහා මුරපදයක් ලබා දුන්නේ මේ අතරතුරය. එම මුරපදය හෙරොයින් ගෙනෙන නැවට ලබා දුන් පසුව අදාළ හෙරොයින් තොගය ලබාගත හැකි බව ඔහු කීය. ඒ අනුව සියලු දෙනා දින කිහිපයක් ගැඹුරු මුහුදේ නැංගුරම් ලා සිටියේ අදාළ බෝට්ටුව අපේක්ෂාවෙනි.

බෝට්ටුව දින 16කට පසුව පැමිණියේය. ඉරානයේ සිටය. එසේ පැමිණීමෙන් පසුව ජාවාරම්කරුවන් හට ලබාදෙන ආරක්ෂිත මුරපද හරහා මත්ද්‍රව්‍ය තොගය ලබාගැනීම පිළිවෙතය. එසේ ලබාගත් පසුව අදාළ බෝට්ටුව නාවික හමුදාවේ සමුදුර සහ සිඳුරල නෞකා දෙකේ ආවේක්ෂණයට යටත් කර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සහ නාවික හමුදාව උපාය දූතයෝ වෙසින් ගොඩබිමට පැමිණෙන්නට වූහ.

මේ අතර ඔවුන් පැමිණි බෝට්ටුව සමීපයට තවත් බෝට්ටුවක් පැමිණෙන බවත් එයට මත්ද්‍රව්‍ය තොගය ලබාදෙන ලෙසත් මෙරට ජාවාරම්කරැ පවසා සිටියේය. ඒ අනුව 28 වැනිදා මාතර ගන්දර ප්‍රදේශයේ දී ජාවාරම සිදුකිරීමට නියමිත වුවද බෝට්ටුව පැමිණෙන්නේ දිනක් ගතව 29 වැනිදාය. එසේ පැමිණි පසුව යාත්‍රාවේ තිබූ සියලුම මත්ද්‍රව්‍ය එම බෝට්ටුවට පටවනු ලැබීය. එසේ පැටවීමෙන් පසුව අදාළ යාත්‍රාවත් එහි සිටි පිරිසත් පොලිස් නිලධාරීහු අත්අඩංගුවට ගත්හ.

සැකකරුවන් අත්අඩංගුවට ගත් පසු ඔවුන්ගේ දුරකථන හරහා නැවතත් මෙරට ජාවාරම්කරු හා සම්බන්ධ වීමට පොලීසිය සමත් විය. යාත්‍රාව රැගෙන කුඩාවැල්ල ධීවර වරාය වෙත රැගෙන එන ලෙස ජාවාරම්කරු පැවසීය. මේ කුඩු තොගය පිළිබඳව පොලීසියට යම් සැකයක් ඇති බවත් එබැවින් අදාළ මත්ද්‍රව්‍ය තොගය වෙරළේ වැළලිය යුතු බවත් ඔහුගේ අදහස විය. ඒ පසු කලෙක නැවත ගොඩගැනීමේ අදහසිනි. ඒ අනුව කුඩාවැල්ල ප්‍රදේශයට යන අතරතුර තවත් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීහු සමත් වූහ. ඒ සමඟ එක් වෑන් රථයක් පැමිණ තිබුණේ අදාළ මත්කුඩු කොළඹට ප්‍රවාහනය කිරීම සඳහාය. එම වෑන් රථයේ ප්‍රවාහන ගාස්තුව කෝටි දෙකකි. පසුව එයද අත්අඩංගුවට ගනු ලැබීය.

කෙසේ වෙතත් ඒ වන විට එම මත්ද්‍රව්‍ය තොගයේ ජාවාරම්කරැ ඒ අසල වෙනත් වාහනයක රැඳී සිටියේය. පොලිස් වැටලීම දුටු සැණින් ඔහු එම ස්ථානයෙන් පලා ගොස් ඇතැයි පැවසේ. එහෙත් එම මෙහෙයුම අතරතුර හෙරොයින් කිලෝ 77ක් සහ අයිස් කිලෝ 66ක් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීහු සමත් වූහ. එසේම යාත්‍රා දෙකක් ද අත්අඩංගුවට පත්විය.

මේ අතර ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය ලබාදුන් ඉරාන බෝට්ටුව ආසන්නයට තවත් ඉරාන බෝට්ටුවක් පැමිණෙන්නට විය. පසුව නාවික හමුදාව මගින් මහ මුහුද මැද සිදුකළ මෙහෙයුමකින් පසු වටලා අත්අඩංගුවට ගැනිණි. ඔවුන් සඳහන් කළේ අදාළ මත්ද්‍රව්‍ය ගෙන ආ බෝට්ටුවට තෙල් නොමැති බවට දැන්වූ බවත් එයට තෙල් ලබාදීම සඳහා තම බෝට්ටුව පැමිණි බවත්ය. කෙසේ වෙතත් එය පරීක්ෂා කිරීමේදී එම බෝට්ටුවේ තිබී තවත් හෙරොයින් කිලෝ 199 ක් අත්අඩංගුවට ගනු ලැබීය. ඔවුන් පැමිණ තිබුණේ නැවතත් එම ස්ථානයෙන් කුඩු තොගය ලබා දී එම බෝට්ටුව පිටත් කර යැවීම සඳහාය. අදාළ බෝට්ටු දෙකම කිසිදු කොඩියක් ප්‍රදර්ශනය නොකිරීම ද  විශේෂ සිදුවීමකි. අවසානයේ නැවතත් ප්‍රථමයෙන් හෙරොයින් ලබාදුන් බෝට්ටුව පරීක්ෂා කිරීම සිදුවිය. එහිදී බෝට්ටුවේ සඟවා තිබූ තවත් හෙරොයින් සහ අයිස් තොගයක් සොයා ගැනීමට හැකි විය. ඒ රහසිගත ස්ථානයක සඟවා තිබියදීය.

අවසානයේ සිදු කරන ලද සියලු වැටලීම් ඔස්සේ හෙරොයින් කිලෝ 400ක් සහ අයිස් කිලෝ 100ක් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් කණ්ඩායමට හැකි විය. මෙය මුහුද මැද සිදුකළ විශාලතම මෙහෙයුම වන අතර මෙරටදී අත්අඩංගුවට ගත් විශාලතම අයිස් මත්ද්‍රව්‍ය තොගයයි. මෙහෙයුමෙන් විදේශිකයන් 15 ක් අත්අඩංගුවට ගැනීමට හැකි විය. පිරිසෙන් 10 ක් ඉරාන ජාතිකයන් වූ අතර අනෙක් 5 දෙනා පකිස්තානු ජාතිකයෝ වෙති. එමෙන්ම තවත් 10 දෙනෙක් මෙරටින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඒ පිරිසේ එක් කාන්තාවක් ද විය.

මෙම ජාවාරම පසුපස සිටි මහ මොළකරු ඩුබායි රාජ්‍යයේ සිටින අයකු බව සඳහන්ය. අදාළ මත්ද්‍රව්‍ය තොගය දෙමටගොඩ ප්‍රදේශයට ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබිණි. දැනට බන්ධනාගාරයේ සිටින අයියා මලෝ දෙදෙනාගේ කණ්ඩායමට එයින් යම් ප්‍රමාණයක් ලබාදීමට සූදානම් කර තිබූ බවද පරීක්ෂණ කණ්ඩායම්වලට වාර්තා විය.

හෙරොයින් වැටලීම් සහ හෙරොයින් ගෙන්වීම අසීරු වීමත් එයට ලැබෙන දඬුවම් මරණීය දණ්ඩනය දක්වා ඉහළ වීමත් ජාත්‍යන්තර ජාවාරම්කරුවන් සහ මෙරට ජාවාරම්කරැවන් අයිස් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන්ට යොමු කිරීමට සූදානම් වන හේතුව බව පැවසේ. එයට හේතු වී ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය සඳහා බරපතළ දඬුවම් නොමැති වීමය. එහි දඬුවම් දඩයක් සහ සිරගත වීම පමණක් වීම නිසා අයිස් විකිණීමට ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරැවෝ පුරැදු වී සිටිති. මේ අනුව වර්තමානයේ ලොකුම ව්‍යාපාරය බවට අයිස් ජාවාරම පත් වී හමාරය.

ගයාන් ගාල්ලගේ

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30
 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30
 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30
 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30