2017 මාර්තු 25 වන සෙනසුරාදා

පුංචි ඡන්දෙ ලෙඩේට තාම බෙහෙත් නෑ

 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 85

පළාත් පාලන මැතිවරණයට ඡන්ද දායකයන් සූදානම්ය. මැතිවරණ කොමිසම සහ නිළධාරීන් සීරුවෙන් සිටිති. අපේක්ෂකයන් ද ඊට මුහුණ දීමට බලාපොරොත්තුවෙන් සිටිති. එහෙත් ප්‍රධාන පක්ෂ තාමත් මැතිවරණයට යාමට සූදානම් නැත. ඔවුන්ගේ උපක්‍රමය මැතිවරණය කල්දැමීමය.

සීමා නිර්ණය අභියාචනා කමිටුවේ සභාපති අශෝක පිරිස් විසින් අදාළ වාර්තාව ඉකුත් නොවැම්බර් මස 27 වැනි දින ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා වෙත බාර දෙනු ලැබුවද එහි පැවති අඩුපාඩු හේතුවෙන් වාර්තාව ගැසට් කිරීමට යැවීම ප්‍ර‍මාද විය. වාර්තාවේ සදහන් සියලුම අඩුපාඩු නිවැරදි කිරීමෙන් පසු පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨාසවල සීමා නිර්ණ පිළිබඳ සංශෝධන ඇතුළත් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත (සංශෝධන) ගැසට් පත්‍රය පෙබරවාරි 18 දින නිකුත් කෙරිණි. ගැසට් පත්‍රය නිකුත් කර මාසයක් ගතව ඇතත් පුංචි ඡන්දය කවදා පැවැත්වේදැයි මැතිවරණ කොමසාරිස්වරයාට හෝ පළාත් පාලන අමාත්‍යවරයාට අදහසක් නැත. පළාත් පාලන අමාත්‍යංශ ලේකම්වරයා පවා බෝලය පාස් කරමින් තම හිස බේරාගැනීමේ ක්‍රීඩාවක නිරත වෙමින් සිටියි.

සීමානිර්ණ ගැසට්‌ නිවේදනය ප්‍රකාශයට පත් කළ වහාම පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මූලික පියවර ඇතුළත් ගැසට්‌ පත්‍රය නිකුත් කිරීමට මැතිවරණ කොමිසම පොරොන්දු විය. එමගින් මැතිවරණය පැවැත්වෙන කාලවකවානු සහ නාම යෝජනා පත්‍ර සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කරන බවත් ප්‍රකාශ කළේය. ගැසට්පත නිකුත් කර දින 90ක් තුළ මැතිවරණය පැවැත්විය හැකි බවත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. නමුත් මසකට අධික කාලයක් ගතව ඇති මොහොතක මැතිවරණ කොමසාරිස්වරයා පවසන්නේ මේ මස අවසානයේදී තීරණයක් ප්‍රකාශයට පත්කරන බවයි.

දේශපාලන හෝ වෙනත් තාක්ෂණික හේතු මුල් කරගනිමින් වසර ගණන් මැතිවරණ කල් දැමීම රටක ප්‍රජාතන්ත්‍රවාදය හාස්‍යයට ලක් කිරීමකි. මේ වන විට පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වසර දෙකකට අධික කාලයක් ප්‍රමාද කර තිබේ. කමිටු වාර්තා, පනත් සංශෝධන ආදී කාරණා සම්බන්ධයෙන් පවත්නා දෝෂ හේතුවෙන් මැතිවරණය කල්දැමීමට සිදුව ඇති බව දේශපාලන අධිකාරිය රටට පවසන කතාවයි. නමුත් ඊට එහා ගිය පක්ෂ දේශපාලන අරමුණු මැතිවරණය කල්දැමීමට ප්‍රධාන ලෙසම බලපෑ ඇතැයි සිතීමට සාධාරණ හේතු ගණනාවක්ම පවතියි. 

මනෝගනේෂන්, පී. දිගම්බරන්, වී. රාධාක්‍රිෂ්ණන්, ඩග්ලස් දේවානන්ද, රිෂාද් බදියුදීන් යන මැති ඇමැතින් නියෝජනය කරන පක්ෂ සහ ජනතා විමුක්තිපෙරමුණ හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සංශෝධිත පළාත් පාලන මැතිවරණ ක්‍රමය යටතේ ඡන්දය පැවැත්වීමට සිය විරෝධය පළ කළහ. ඔවුන්ගේ අදහස වූයේ පැරැණි සමානුපාතික ක්‍රමයට ඡන්දය පැවැත්විය යුතු බවය. නමුත් පසුගිය සතියේ පැවැත් පක්ෂ නායක රැස්වීමේදී මැතිවරණය නව ක්‍රමයට පැවැත්වීමට තීරණය විය. එහෙත් සුළුපක්ෂ එම මතයට තවමත් සිය විරෝධය පළ කිරීම තවදුරටත් මැතිවරණය පැවැත්වීමට බාධාවක් බවට පත්ව තිබේ. ඒ අතර ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජනය කරන තවත් පිරිසක් පැවසුවේ මැතිවරණය පැරැණි ක්‍රමයට පැවැත්විය යුතු බවයි. එසේ පැරැණි ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට නම් අහෝසි කළ පනත යළි පාර්ලිමේන්තුවෙන් සම්මත විය යුතුයි.

කාන්තා නියෝජනය ගැන සඳහන් කරමින් 2016 අංක 01 දරන පළාත් පාලන ආයතන ජන්ද විමසීමේ සංශෝධන පනත ඉදිරිපත් වුවත් ඊට අදාළ ගැසට් පත්‍රයද තවමත් නිකුත් වී නැත. එම පනතට අනුව සඳහන් වූයේ සෑම පළාත් පාලන ආයතනකටම කාන්තාවන්ට සියයට 25ක නියෝජනයක් ලබා දිය යුතුව ඇති බවයි. ඒ අනුව මෙරට ඇති පළාත් පාලන ආයතන 336න් මන්ත්‍රීවරියන් 2206ක් පත්වන ආකාරයට සියලු පක්ෂ ලැයිස්තුවෙන් 25%ක් කාන්තාවන් ඉදිරිපත් කළ යුතුය. එසේ නොමැති අපේක්ෂක ලැයිස්තු ප්‍රතික්ෂේපවනු ඇතැයි කියවිණි. නමුත් සීමානිර්ණය සමාලෝචන වාර්තාවෙන් එක් පළාතකට නියෝජිත සංඛ්‍යාව මැතිවරණයට ඉදිරිපත් වන කාන්තා ප්‍රතිශය 25%ක් දක්වා වර්ධනය කිරීමට අදාළ පනත් මේ වනතෙක් පාර්ලිමේන්තුවේ සම්මත නොවීම නිසා මැතිවරණය පැවැත්වීම පිළිබඳව නිශ්චිතතාවයක් කරා එළඹීමට නොහැකිව ඇත.

2012 පළාත් පාලන මැතිවරණ සංශෝධන පනතේ තාක්ෂණ දෝෂ ගැන සඳහන් වුවද එම දෝෂ නැවත නිවැරැදි කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති අතර එම දෝෂ නිවැරැදි කර පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතුව තිබේ. මැතිවරණ කොමසාරිස්වරයා පවසන පරිදි ඇතැම් බරපතල දෝෂ මෙන්ම සාමාන්‍ය දෝෂද පවති. එම සාමාන්‍ය දෝෂ පළාත් පාලන ඇමැතිවරයාට නිවැරදි කළ හැකිය. නමුත් පාර්ලිමේන්තුව හරහා නිවැරදි කළ යුතු වෙනස්කම් ගණනාවක්ම ඇතත්  එම තාක්ෂණ දෝෂ නිවැරුදි කිරිමේ කරුණු මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැත.
මේ අතරම පළාත් සභා තුනක නිල කාලය ලබන සැප්තැම්බර් සහ ඔක්තෝම්බර් යන මාසයන්වල අවසන්වීමට නියමිතය. සබරගමුව, උතුරුමැද හා නැගෙනහිර යන එම පළාත්වලට අදාළ මැතිවරණ පැවැත්වීමද මේ වසර අවසානයේ හෝ ලබන වසර මුල සිදුවිය හැකිය.

දැනටමත් පුංචි ඡන්දය ප්‍රමාද වී තිබුණත් පුංචි ඡන්දයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩු පක්ෂයේ ඇතැමුන් කටයුතු කරමින් සිටින බව විපක්ෂය චෝදනා කරයි. පළාත් පාලන මැතිවරණය ඒකාබද්ධ විපක්ෂයට වාසිදායක වන අතර නිල කාලය අවසන්ව ඇති පළාත් සභාවල වැඩි වාසිය ශ්‍රීලනිපයට අයත්ය. එබැවින් නැගෙනහිර, සබරගමුව හා උතුරුමැද පළාත් සභා මැතිවරණය ප්‍රථමයෙන් පවත්වා තම බලය පෙන්වා පුංචි ඡන්දය දිනාගැනීමේ සැලසුමක් ඇතැයි ඔවුහු පවසති.

නව ක්‍රමයට මැතිවරණ කාර්යාලයේ පද්ධතිය සුදානම් කිරීමටද යම් කාලයක් අවශ්‍යව තිබේ. මේ සියලු කරුණු සලකා බැලිමේදී ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ නිශ්චිත දිනයක් ප්‍රකාශ කිරීමට හැකියාවක් නැති බව දැනට පවතින තත්ත්වයයි. එහෙත් රනිල් පිල පළාත් සභා මැතිවරණයත් කල්දැමීම උත්සහ කරමින් සිටින බව වාර්තා වේ. සෑම පළාතකම මැතිවරණ එකම අවස්ථාවක පැවැත්වෙන පරිදි යෝජනා ඇතුළත් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට ඔවුන් බලාපොරොත්තු වේ. මහින්ද පාලන සමයේ කඩින් කඩ පැවැත්වූ මැතිවරණය එකවර පැවැත්වීම සඳහා මේ වසරේ පැවැත්විය යුතු පළාත් තුනේ මැතිවරණය සියලු පළාත්වල නිල කාලය අවසන්වන තුරැ ප්‍රමාද කිරීමට ඔවුන්ගේ ප්‍රයත්නය වී ඇත. 

මේ සියලු කරුණු දෙස බැලීමේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ නිශ්චිත දිනයක් ප්‍රකාශ කිරීමට හැකියාවක් නැත. මැතිවරණ පැවැත්වෙනු ඇත්තේ බලය ඇති පක්ෂයට වාසිදායක පරිසරයක් නිර්මාණය වීමෙන් පසුවය. යහපාලනයට පටහැනි මෙම ක්‍රියාකාරීත්වය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය හකුලා දැමීමක් බව පැහැදිලිව පෙනේ.

 

♦ සකීෆ් සාම් තන්වීරි