2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා

අනතුරු ඇඟවීම් ගණන් නොගත්තොත් පහරදෙන්න තමයි වෙන්නේ

 2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 390

- මුරුත්තෙට්ටුවේ ආනන්ද මාහිමි

නාරාහේන්පිට අභයාරාම විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපතිවරයා වෙති. උන්වහන්සේ වත්මන් ජනාධිපතිවරයා පත්කර ගැනීමට විශාල කැපවීමක් කළ හිමිනමකි. රටේ වත්මන් තත්ත්වය ගැන උන්වහන්සේ දැක්වූ අදහස් මෙසේය.

ඔබ වහන්සේ වර්තමාන ජනාධිපතිවරයා බලයට පත් කිරීමට තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළා. ඒත් ඔබවහන්සේ පසුගිය කාලයේ වර්තමාන පාලනය ගැන කලකිරීමකින් කතා කරන්න පටන් අරන් නේද?

අපි පමණක් නොවේ, මේ ආණ්ඩුව බලයට පත් කිරීමට ජනතාව විශාල කැප කිරීමක් කළානේ. පසුගිය ආණ්ඩුව යටතේ රට, ජාතිය, ආගම අවදානමකට මුහුණ පාලා තිබුණේ. ජනතාවට අවශ්‍යතාව තිබුණෙ ලොකු වෙනසක් ඇතිකර ගැනීමට. ඒ වෙනස ළඟාකර ගැනීමට අපත් ඇතුළු භික්ෂූන් වහන්සේලා පෙරමුණ ගත්තා. සෑම කොටසකගේම බලාපොරොත්තුව තිබුණේ අපේ මේ සමාජය රට තුළ සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝම සහයෝගයෙන් ජීවත්වීමයි. ඒ සඳහා ලස්සන ලංකාවක් ගොඩනැගීම ජනතාවගේ අවශ්‍යතාව වුණා. ජනතාව බලාපොරොත්තු වූ හොඳ නායකයෙක් ලැබුණා.

එහෙම නම් ඔබවහන්සේ රටේ නායකයෝ ගැන කලකිරිලාද?

අපට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගැනවත් අගමැති මහින්ද මහත්තයා ගැනවත් ප්‍රශ්නයක් නෑ. තර්කයක් නෑ.

ඒ කියන්නේ ඔවුන් දෙපළ ගැන විශ්වාසයක් තිබෙනවා?

ඔව්. ඒ විශ්වාසය කැඩිලා නෑ.

එහෙමනම් මේ කලකිරීමෙන් ආණ්ඩුවට රතු එළි දල්වනවා කියන්නේ?

ඒක හරි. අපි කියන්නේ විශ්වාසය පළුදු වෙන්න පෙර ඒක ආරක්ෂා කරගන්න කියලයි. වටේ ඉන්න ඇමැතිවරැ, කේවට්ටයෝ නිසා තමයි ප්‍රශ්න මතුවන්නේ. අද රාජ්‍ය ප්‍රතිපත්තිය වෙලා තිබෙන්නේ ජනතාවට ඇමැති කෙනෙක්, ඉහළ නිලධාරියෙක් හමුවීමට නොහැකිව රස්තියාදු කරවීමයි. ජනතාව බලාපොරොත්තු වන්නේ නායකයො හමුවෙලා දුක් ගැනවිල්ල ඉදිරිපත් කිරීමයි. අඩුම තරමින් ඔවුන්ට ප්‍රශ්නය කියාගන්නවත් කෙනෙක් ඉන්න එපායැ. අද සමහර අමාත්‍යංශවල ඇමැතිවරු තියා නිලධාරීන්වත් හමුවෙන්න බෑ. නිලධාරිවාදය ඉස්මතුවෙලා. පොදු ජනතාව දුකට පත්වෙනවා. එහෙම යමක් ඉටුකර ගැනීමට දුරබැහැරවල ඉඳන් එන ජනතාව රස්තියාදු වෙලා අන්තිමට අපේ පන්සලට ඇවිත් කියනවා. දවසකට 100ක් විතර එනවා.

මෙතරම් කෙටි කලකින් ප්‍රශ්න විසඳීමට නායකයන්ට හැකිවේ යැයි ඔබවහන්සේ සිතනවාද?

නෑ. ඒක හරි. අපිත් විශ්වාස කරන්නේ නෑ. ජනාධිපතිතුමාට ඉක්මනින් ප්‍රශ්න විසඳීමට හැකිවේවි යයි කියලා. කුණු ගොඩක්නෙ බාරගත්තෙත්. තරැණයන් විශාල පිරිසකට පසුගිය ආණ්ඩුව කොළ කෑලිවලින් පත්වීම් දීලා. ඒවායේ ස්ථීරත්වයක් නෑ. ඒවගේ ගැටලුවක්වත් නායකයකුට කියන්න අවස්ථාවක් තියෙන්න එපායැ. අන්න ඒකයි මට තිබෙන ගැටලුව.

ජනතාව අතරමං කරවන විශේෂ අමාත්‍යංශ හෝ රාජ්‍ය ආයතන ගැන ඔබවහන්සේට කියන්න පුළුවන්ද?

රජයේ නම් හැමදාම අතරමං කිරිල්ල තමයි තිබෙන්නේ. ඒවා නැති කිරීමටනෙ අලුත් නායකයෙක් පත් කර ගත්තේ. යහපාලනයේ වෙනසක් වුණේ නැති නිසානෙ අලුත් ආණ්ඩුවක් පත් කළේ. මේ වෙලාවෙ රාජ්‍ය ආයතන නම් වශයෙන් කියන්නෙ නෑ. තව පොඩ්ඩක් බලලා ඉදිරියේදී හෙළිකරමු. අද දුරකථනයකට උත්තර දෙන්නෙත් මහින්ද මහත්තයා විතරයි. සමහර ඇමැතිවරැ උත්තර දෙන්නෙ නෑ. අති බහුතරයක් දෙනා මහජනතාවට කන්දෙනවා අඩුයි.

මෙවැනි වැඩකටයුතු නිසා ජනතාව අතර ආණ්ඩුව අප්‍රසාදයට පත්වෙනවා නේද?

ඔව්. ඒක තමයි දැන් වේගෙන යන්නේ. අපි මේ පෙන්වා දෙන්නේ ජනතාව අමාරැවෙන් පත්කරගත් මේ ආණ්ඩුව එහෙම නොවිය යුතු නිසයි. ඒක හැමෝටම සිද්ධ වෙන හානියක්. අපි ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට කියන්නේ මැදිහත්වෙලා මේ තත්ත්වය පාලනය කරන්න කියලයි. නැත්නම් යහපාලනයට වුණු දේ තමයි මේ ගොල්ලන්ටත් වෙන්නේ. ජනතාවනෙ අවසානයේ සියල්ල තීන්දු කරන්නේ.

ඔබවහන්සේ ආණ්ඩුවට රතු එළි දල්වනවා කිව්වේ ඔය කරුණු නිසාද?

ඔව්. ඉස්සෙල්ලාම අනතුරු ඇඟෙව්වම ඒක වටහාගෙන ඒවා වළක්වා ගැනීමට කටයුතු කරාවි යයි සිතුවා. අපි ආණ්ඩුව හරි පැත්තට ගන්න ඕනෑ. මම කිසිම ආණ්ඩුවකින් ඉඳිකට්ටක තරම් දෙයක් අරගෙන නෑ. පොදු යහපත ගැනයි අපි හිතන්නේ. රට ගැනයි හිතන්නේ.

දැන් රටේ බඩු මිලත් නොනවත්වා ඉහළ යන බවයි පේන්නේ?

ඔව්. එළවළු මිල වැඩිවීමට ස්වභාවික හේතුත් බලපෑවා. නමුත් ඒවාට විකල්ප මාර්ග හදාගන්න ඕනෑ. පසුගිය ආණ්ඩුව කාලේ ලොකු බොරැවක්නෙ කළේ. රෝහල්වලත් උපකරණ ගොඩක් අඩුයි. ඒවා ගෙන්වන්න ආණ්ඩුවට සල්ලි නෑ.

මහ බැංකු හොරැන්ට දඬුවම් දෙනවා කියලත් වේදිකාවලදී කිව්වා නේද?

ඔව්. මහ බැංකු මංකොල්ලය ගන්නකෝ. ඒවා යටගහන බවයි පේන්නේ. ඒවා යටගහන්න කාටවත් උවමනාවක් නෑනේ. මුලින්ම අනතුරු ඇඟවීම්වලින් ආණ්ඩුව හැදෙනවද කියලා බලනවා. එහෙම හැදෙන්නෙ නැත්නම් පහර ගැසීමට වෙනවා. කොටන් ඇදපු කට්ටිය වෙනුවට වෙනත් පිරිසක් පෙරහරේ යන බවයි පේන්නේ. අපි කියන්නේ මේ නායක දෙපළගේ සෙවණ නැතිකර ගන්නෙ නැතුව වැරදි හදාගනිමු කියලයි.

අපිට කාටවත් ඇඟිල්ල දික්කරන්න බෑ. කරුණු හරියට හොයාගන්නෙ නැතිව. මිනිසුන්ගෙන් ලැබෙන පැමිණිලි මම එකතු කරගෙන ඉන්නවා ඉදිරියේදී නායකයන්ට ඉදිරිපත් කිරීමට. මිනිස්සුන් බොහෝවිට තමන්ට වාසියට තමයි යමක් කියන්නේ. තමන් ගැන නොසිතා රට ගැන සිතීම අවශ්‍යයි.

සමහර මැති ඇමැතිවරැ පවා රට ගැන වෙනුවට තමන් ගැන සිතන බවයි අපට පේන්නේ?

ඒක තමයි වෙලා තිබෙන්නේ. ඒක ඉතින් රටේ හැමදාම තිබුණ දෙයක්නේ. මහජන නියෝජිතයො වශයෙන් ඔවුන් ඒ ගැන හිතන්න ඕනෑ. ගන්න ජයග්‍රහණය රුකගත යුතුයි. අපට ඕනෑ ජයග්‍රහණය ආරක්ෂා කරගෙන රට ඉදිරියට ගෙන යාමයි.

ඔබවහන්සේ රට මේ තත්ත්වයෙන් මුදා ගැනීමට මොන වගේ යෝජනාද කරන්නේ?

මුලින්ම මහජනතාවට ඇහුම්කන්දීම අවශ්‍යයි. ආණ්ඩුව බලයට පත්වූ අවස්ථාවේ රාජාසන කතාවේදී හෝ ඉල්ලීමක් කළා නම් අපට ලැබුණු කුණු ගොඩක් වැනි රට සුද්ද කරන තෙක් සහන සැලසීම අසීරැයි කියලා වඩාත් හොඳ බවයි මගේ හැඟීම. ඒ අදහස කවුරුවත් ජනතාවට දුන්නෙ නෑනේ. කිව්වා නම් මිනිස්සු, ළමයි මේ වගේ විරෝධතා පවත්වන්නෙ නෑනේ. ගෝඨාභය මහත්තයාගෙන් බලාපොරොත්තු වුණේ රටට අලුත් ඉරක්. ඒ ඉර හරියට පෑව්වේ නැත්නම් ජනතාවගේ පැතුම් සුන්වෙනවා.

 කුසුම්සිරි
     සේයාරුව - සුමුදු හේවාපතිරණ