2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා

කොවිඩ්-19 රෝගය පාලනයට හැකි ඖෂධ රැසක්ම!

 2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 379

කොවිඩ් -19 රෝගය පතුරවා හරින SARS-CoV-2 වෛරසය පසුගිය සතිය පුරාද මහ ආන්දෝලනයක් ඇති කළේය. මුලින්ම ආවේ නරක ආරංචියකි. වෛරසය පැතිරීම ආරම්භ වූ  වූහාන් රෝහල් අධ්‍යක්ෂවරයාව සිටි වෛද්‍ය Liu Zhiming රෝගයේ ගොදුරක් බවට පත්ව මියගිය බවටය. ඒ සමගම වෛරස ගොදුරු බවට පත්වූ සංඛ්‍යාව 80,000ට ළංවන සෙයක් පෙන් වූයේය. මරණ 2000ත් ඉක්මවා තිබුණි. ඒ අතර ලංකාවේ සිටි එකම රෝගියා වූ චීන කාන්තාව සුවය ලබා සියරට ගියාය. සුබ ආරංචිය ආවේ ඒ අතරය. වෛරස ලොවපුරා පැතිරීම වැළැක්වීමට හැකියාව ලබාදෙන  ඖෂධ  රැසක්ම  හඳුනාගන්නට අපේ පර් යේෂක කණ්ඩායමක් සමත්වීම සම්බන්ධවය.

දැන් මේ විශිෂ්ට සොයාගැනීම ඔවුන් අන්තර්ජාතිකව ප්‍රසිද්ධ කිරීමටද කටයුතු යොදා තිබේ. ඒ අතර අපේ තවත් ප්‍රමුඛ පෙළේ පර්යේෂණ විද්‍යාඥවරියක කීවේ කොවිඩ් - 19 රෝගය ඇතුළු ඉදිරි වෛරස ආක්‍රමණයකදී රෝගීන් හඳුනාගැනීමේ බරසාර කටයුත්තට සිය කණ්ඩායමද සූදානම් බවය.

ලෝක සෞඛ්‍ය සංවිධානයද, චීනය, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, ජර්මනිය මෙන්ම  අමෙරිකාවේද විද්වතුන් වෛරස ප්‍රතිරෝධී එන්නතක් ‍හෝ ඖෂධයක් සොයාගන්නට කලෙක සිට වෙහෙස වෙති. ඒ උත්සාහය සඵල වීමට තව වසර ගණනාවක් ගතවනු ඇත. ඒ අතර ලංකාවේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායනික අනුක ජීවවිද්‍යා සහ ජෛව තාක්ෂණික ආයතනයද තමන් සතු සම්පත් යොදා විශේෂ පර්යේෂණයක් ඇරැඹීය. 

ඒ ලෝකයේ කාටවත් ඒ වනවිට සිහියට නොපැමිණි නවතම අදහසක් අනුවය. මුළුමනින්ම විද්‍යාත්මක අනුමානයක් වූ ඒ නව සංකල්පය මීට පෙර විශිෂ්ට සොයාගැනීම් රැසක් සිදුකළ විද්‍යාඥයකු වන ආචාර්ය සමීර ආර්. සමරකෝන්ගේය.

කොවිඩ් - 19 වෛරසයේ ව්‍යුහය සහ එහි අඩංගු ප්‍රවේනික ද්‍රව්‍ය අනුපිළිවෙළ පිළිබඳව චීනයෙන් පිටත විද්‍යාගාරයකදී සොයාගැනීමත් සමග ඒ තොරතුරු ලබාගත් අපේ පර්යේෂකයෝ මෙම පර් යේෂණය ඇරඹූහ. ඔවුන් උත්සාහ කළේ රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා  දැනට භාවිතයේ පවතින අනුමැතිය ලත් ඖෂධ අතරින් මේ සඳහා සුදුසු විකල්පයක් සොයාගැනීමටය. ජෛව තොරතුරු තාක්ෂණය යටතේ දියුණු පරිගණක මෘදුකාංග යොදාගෙන සිදුකළ ඒ අනුමාන පර්යේෂණය දැන් සාර්ථක වී තිබේ. මෙම පර්යේෂණය ඔස්සේ නව සොයාගැනීම සිදුකළේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ විද්‍යාඥයන් වන මහාචාර්ය කමනී තෙන්නකෝන්, ආචාර්ය සමීර ආර්. සමරකෝන් සහ ආචාර්ය කනිෂ්ක සේනතිලකය. මේ වනවිට ඔවුන් සිය සුවිශේෂී පර්යේෂණයේ දත්ත පිළිබඳ වාර්තාව අන්තර්ජාතික විද්‍යාත්මක ප්‍රජාව වෙත මුදාහැරීමට කටයුතු කර ඇත. 

කොරෝනා වෛරසවලට එම නම ලැබී ඇත්තේ එහි පිටත ඝන ප්‍රෝටීන් ආවරණයේ දක්නට ලැබෙන ඔටුණු බඳු නෙරුම් නිසාය. මේවා ඔටුණු හැඩැති නෙරුම් නිසා ලතින් බසින් ඔටුන්න යන අරුත දෙන (corona) නම එයට දී ඇත. ලංකාවේ පර්  යේෂකයන්ගේ අවධානය දිනා තිබුණේද මේ පිටතින් ඇති ඝන ප්‍රෝටීන් ආවරණයේ දක්නට ලැබෙන විශේෂ ව්‍යුහයන් දෙසටය. සාමාන්‍යයෙන් වෛරසයක් මිනිස් සිරුරට ඇතුළු වූ පසු අපේ සෛල සමග ඒවා සම්බන්ධ වන්නේ එහි පිටත ආවරණයේ ඇති විශේෂ ස්ථානවලිනි. අගුලකට යතුරක් වැටෙනවා සේ සම්බන්ධ වන මේ විශේෂ ස්ථාන නොමැති නම් හෝ එකිනෙකට නොගැළපේ නම් හෝ විකෘති වී ඇත්නම් වෛරසය ඇඟට ඇතුළු වුවත් එයට වර්ධනය වෙමින් ගුණනය වී අපට හානිකරන්නට නොහැකිය. ඒ විශේෂ ලක්ෂණය අවධානයට ගත් අපේ විද්වත්හු ඒ විශේෂ අගුළු යතුරු යාන්ත්‍රන සම්බන්ධය වළක්වාලීමට සමත් දැනට භාවිතයේ පවතින ඖෂධ ගැන දීර්ඝ පරීක්ෂාවක් ඇරඹූහ.  පෙබරවාරි මස මුල ඇරඹුන එහි ප්‍රථිපල දත්ත විමසා බැලීමේදි ඖෂධ සංයෝග රැසක් ඒ සඳහා කාර්යක්ෂමව ප්‍රතික්‍රියා දක්වන බව වාර්තා විය. මේ ඖෂධ දැනටත් භාවිතය සඳහා අනුමැතිය ලබා ඇති ඒවා නිසා වෛරස පැතිර යාම මර්දනයට ඒවා කෙළින්ම යොදාගැනීමේ හැකියාව පවතින බව ආචාර්ය සමීර සමරකෝන් පෙන්වා දෙයි. වෛරස පැතිරීම ඉහළ චීනයේ නිසා චීන බලධාරීන්ට අවශ්‍ය නම් මේ සොයාගත් ඖෂධ භාවිතයෙන් තවදුටත් එය පැතිර යාම පාලනය කළ හැකි බව ඔහු කියයි. මේ තරම් තදින් රෝගය පැතිරෙද්දී, මිනිසුන් මියයද්දි අලුතෙන්ම ඖෂධ තැනීම කල් ගතවන වැඩකි. පවතින ඖෂධ එකිනෙක ගෙන වෛරස ප්‍රතිරෝධි බව සඳහා පරීක්ෂාවද මිලාධික සහ කල් ගතවන වැඩකි. එහෙයින් දැන් ඇති දියුණු තාක්ෂණය යටතේ වෛරස ප්‍රෝටීනයේ පරිගණක ආකෘතිය සහ ඖෂධයන්හි රසායණික ආකෘති යොදාගනිමින් ඉහත අනුමානයට අනුව වැඩකරන වඩාත් ක්‍රියාකාරි ඖෂධ සංයෝගය සොයාගැනීම වඩා ලාබදායී, ඉක්මන්, ප්‍රතිඵලදායී ක්‍රියාවලියකි .මේ අදහස නව සංකල්පයක් ලෙස හිතට ඒමත් මෙහි ඇති අපූරැවයි. දැන් ඇත්තේ මේ ඖෂධ සායනිකව පරීක්ෂාවට ලක් කිරීම පමණි. ලෝකයම අඳුරේ අතපත ගාද්දී අපේ ඇත්තෝ ආලෝකයක් දල්වා තිබේ.

ආචාර්ය සමීර ඇතුළු විද්‍යාඥ කණ්ඩායම මෙලෙස සාර්ථකත්වය ලබද්දී, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඩෙංගු පර්යේෂණ ඒකකයේ මහාචාර්ය නීලිකා මලවිගේ යටතේ මෙම වෛරසය ආසාදනය නිවැරදිව හඳුනා ගැනීමේ Real Time PCR  පර්යේෂණ කටයුතු අරඹා තිබේ. ඉදිරියෙදී යම් හෙයකින් ලංකාව තුළ වෛරස ආසාදනය පැතිර ගියහොත් ඒ සඳහා “සූදානම් සරීරේ” කියන්නාක් මෙන් තමන් සතු සම්පත් යොදා පරීක්ෂණ කටයුතු පහසු කිරීමට සූදානම් බව මහාචාර්ය නීලිකා මලවිගේ අප හා කීවාය. ඇයද අප රටේ සිටිනා විශිෂ්ට පර්යේෂණ විද්‍යාඥවරියකි. මේ වනවිට මාරාන්තික ගැටලුවක් බවට පත්ව ඇති ඩෙංගු සම්බන්ධ පර්යේෂණ ගණනාවක් ඇය ප්‍රධානත්වයෙන් සිදුවේ.

නව කොරෝනා වෛරසය ගැන ආරංචිය පතළ වී චීනයෙන් පිටත වූ විද්‍යාගාරයක් එය සෑදී ඇති ප්‍රවේනික ද්‍රව්‍ය ගොනුව පිළිබඳ සොයාගත් කළ, එකී තොරතුරු අප රටේ ආයතන කිහිපයකටද ලැබුණි. ඉන් එක් ආයතනයක් වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයයි. අනෙක මහාචාර්ය නීලිකා මලවිගේ,  ප්‍රධානත්වය දරන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඩෙංගු පර් යේෂණ ඒකකයයි. ඔවුන් සතු නවීන පහසුකම් සහිත අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුතු  විද්‍යාගාර සහ පුහුණු කාර්යය මණ්ඩලය රෝග කාරකය හඳුනා ගැනීමේ කටයුතු සඳහා යොදාගෙන තිබේ.

ලංකාවේ රෝග කාරක වෛරස නිවැරදිව හඳුනා ගැනීම පිළිබඳ පරීක්ෂණ කටයුතු සඳහා මෙතෙක් මූලික වගකීම දැරුවේ වෛද්‍ය පර් යේෂණ ආයතනයයි. එනමුත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අලුතෙන් ඇරැඹූ ඩෙංගු පර්යේෂණ  ඒකකයද දැන් සිය පර්යේෂණාගාර මේ සඳහා කැපකර හමාරය. 

“අපි ඉගෙන ගත්තේ ආණ්ඩුවේ මුදලින්. ඒ කියන්නේ ජනතාවගේ මුදල්නේ. මේ ආයතන හැදුනෙත් ඒ මුදල්වලින්ම තමා. මේ වෛරස් රෝගය දැන් මෙහෙම තිබුණාට පැතිර යන ආකාරය බලද්දි, ඉදිරියේ ලංකාවටත්  එන්න පුළුවන් කියලා සැකකරන එක වැරදි නෑ. එහෙම අවස්ථාවක අපේ පර්යේෂණාගාරයටත් ඒ රෝගීන් හඳුනා ගැනීමේ කාර්යයට උදව් දෙන්න පුළුවන්. අපිට වෛරස ගැන ප්‍රවේනික තොරතුරැ ආවාම රෝග පරීක්ෂණ ආරම්භ කළේ ඒ අන්දමේ හදිසි අවස්ථාවකට පෙර සූදානමක් හැටියටයි.” 

“අපේ ආයතනයට මේ සඳහා ඕනෑකරන නියමිත‍ ජෛව ආරක්ෂණ මට්ටම සහිත පර් යේෂණ පහසුකම් තියෙනවා. අපේ රසායනාගාර ඉහළම මට්ටමේ ඒවා. මේ වනවිට වැඩියෙන්ම අපි අවධානය යොමුකර තිබුණේ දැනටමත් මහා පරිමාණ ගැටලුවක් වී ඇති මාරාන්තික ඩෙංගු රෝගය ගැන පර්  යේෂණ සඳහායි. නමුත් මේ අලුත් රෝගයේ පැතිර යාමේ වේගයත් ඒ ගැන මතුව ඇති අනවශ්‍ය බියත් අනාගතයේ මෙය පැතිරීමට ඇති වැඩි අවස්ථාවත් නිසා මේ වෛරසය ගැන පරීක්ෂණ අරඹන්න මට උප කුලපතිතුමාත් අපේ පීඨාධිපතිතුමාත් උපදෙස් දුන්නා. ජනතාවගේ සම්පත් ඔවුන්ගේම සුබසිද්ධියට යෙදීම අපේ අරමුණ වුණා. සතුටු දායක ප්‍රතිඵල අපට ලැබුණා.” 

මේ පැහැදිලි කිරීම ලංකාවේ ප්‍රමුඛ මට්ටමේ  පර්යේෂණ විද්‍යාඥවරියක වන වෛද්‍ය මහාචාර්ය නීලිකා මලවිගේ වෙතිනි. ඇය ඉහත කී ඒකකයේ ප්‍රධානියාය. මේ ඒකකයේ ආරම්භයටත් අන්තර්ජාතික මට්ටමේ පැවැත්මටත් පැසසුම් ලැබිය යුත්තන් අතර වෛද්‍ය චන්දිම ජීවන්දරද ප්‍රධානය. ලංකාවේ වෛරස් ලෙඩේ හොයන්න සුදුසු පර්යේෂණාගාර නැතැයි පැතිර ගිය කටකතාවලට ඇගේ මේ ප්‍රකාශය යස පිළිතුරකි.

මේ සියල්ලට සමගාමීව අමෙරිකාවේ අසාත්මික රෝග සහ වසංගත පිළිබඳ ජාතික ආයතනය (NIAID) ඉලෙක්ට්‍රෝණික අන්වීක්ෂය වැඩිදියුණු කරමින් ලබාගත් වෛරසයේ ඡායාරූපද මුල්වරට ලෝකයට මුදාහැරියේය. ලෝකයේ මුල්වරට මැදපෙරදිග ඉරානයෙන් රෝගීන් දෙදෙනෙක්ද වාර්තා විය. ඉකුත් බදාදා වනවිට වෛරස ආසාදිත සංඛ්‍යාව 75748ක් ලෙස වාර්තා විය. චීනය තුළ එම සංඛ්‍යාව 74675කි. ඒ වනවිට මියගිය ගණන 2121ක් විය.

මේ අතර චීනයේ සෞඛ්‍ය අංශ විසින් මේ රෝගය පිළිබඳව සිදුකළ දැවැන්තම පර් යේෂණයේ වාර්තාව අද එළි දක්වන ලදී. චීනයේ රෝග පාලන සහ වැළැක්වීමේ මධ්‍යස්ථානයේ (සීසීඩීසී) දත්ත අනුව සිදුකළ එය රෝගය පිළිබඳව මෙතෙක් සිදුකළ විශාලතම අධ්‍යයනයයි. මෙම අධ්‍යයන ප්‍රතිපලයන් විසින් බෙහෝදුරට වෛරසය පිළිබඳව විස්තර සහ අසාදන රටාවන් පිළිබඳ තොරතුරු සනාථ කරන අතර මේ සඳහා සමස්ත චීනය පුරා වාර්ථා වූ සිද්ධීන් 44672ක් පිළිබඳව සවිස්තරාමක අධ්‍යයනයක් සිදු කර ඇත.

එයට අනුව වැඩිම මරණ අනුපාතය වයස අවුරුදු 80 සහ ඊට වැඩි පුද්ගලයින් අතරින් වාර්තා වන අතර එය 14.8%කි. වයස අවුරැදු 9ට අඩු දරැවන් අතරින් කිසිදු මරණයක් වාර්තා නොවන අතර වයස අවුරුදු 9ත් 39ත් අතර පුද්ගලයින් ගේ මරණ අනුපාතය 0.2% දක්වා අඩු මට්ටමක පවතී. වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයන්ගේ මරණ අනුපාතය ක්‍රමයෙන් ඉහළ යන අතර එය 0.4ක් වශයෙන්ද 50ට වැඩි පුද්ගලයින්ගේ මරණ අනුපාතය 1.3ක් ලෙසද වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින්ගේ 3.6 දක්වාද 70 ඉක්මවූ පුද්ගලයන්ගේ මරණ අනුපාතය 8% දක්වාද ඉහළ මට්ටමක පවතින බව නිරීක්ෂණය කර ඇත. රෝගය සම්බන්ධව වෛද්‍ය කාර්ය මණ්ඩලයේ අවදානම පිළිබඳවද මෙම වාර්තාව විසින් පෙන්වා දී ඇත. වූහාන් රෝහලේ අධ්‍යක්ෂවරයෙකු වූ 51 හැවිරිදි ලියු ෂිමිං කොරෝනා ආසාදනය හේතුවෙන් මියයෑම මෙම අනුමානයට හේතුවක් වී ඇත. සීසීඩීසී හී වාර්තාවට අනුව රෝගයේ මූලස්ථානය වන චීනයේ වූහාන් පළාතේ රෝගය මුල්කර ගත් මරණ අනුපාතය 2.9% වන අතර රටේ සෙසු පළාත්හි ඒම අනුපාතය 0.4ක් වේ.

මෙම වාර්තාවට අනුව කොවිඩ් - 19 මුල්කරගත් සමස්ත මරණ අනුපාතිකය 2.3%කි. එමෙන්ම මේ වනවිට 12,000කට වැඩි පිරිසක් රෝගය වැළඳීමෙන් පසු සුවය ලබා ඇත. රෝගය හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ ස්ත්‍රී පුරුෂ වශයෙන් ප්‍රවණතාව දෙස අවධානය යොමුකිරීමේදී කාන්තාවන්ට වඩා පුරුෂයින් මියයෑමේ ප්‍රවණතාව ඉහළ අගයක් ගනී. එය ප්‍රතිශතයක් ලෙස පුරුෂයින් 2.8%ක් හා ස්ත්‍රීන් 1.7%ක් වශයෙනි. මෙම පර් යේෂණ වාර්තාවට අනුව නම් පෙබරවාරි 11 වනවිට රෝගයේ පැතිරී යෑමේ ප්‍රවණතාව පහත වැටී ඇති අතර ජනවාරි 23 සිට 26 දක්වා කාල පරාසය වසංගතයේ ඉහළම බලපෑම සිදුවූ කාල පරාසයයි.

මේ සියලු සංඛ්‍යාලේඛන සහ නව සොයාගැනීම් ගැන සලකා බැලීමේදි මහාචාර්ය නිලීකා කියන්නාක් මෙන් අප තදින්ම සිතට ගතයුතුව ඇත්තේ රෝගය සඳහා ඇති හුඹස් බිය තුරන් කර ගැනීමටයි.

- සුගත් පී. කුලතුංග ආරච්චි