2017 මාර්තු 25 වන සෙනසුරාදා

දැන් මම චව් චව්ට අඳිනවා - මඟුල් බෙර ගහන්නෙ වෙලාවට

 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 324

මර්වින් සිල්වා

හේවා කෝපරගේ මර්වින් සිල්වා මෑතකාලීන ශ්‍රී ලංකික දේශපාලන පිටියේ පෙරළිකාර තරගකාර චරිතයකි. ඔහුගේ ඉතිහාසය කෙතරම් දුරට දිවයන්නේද යත් තුන් සිංහලය එක්සේසත් කළ දුටුගැමුණු මහ රජුට පවා සමීප නෑකම් ඇති බව ඔහු කියයි. පසුගිය සමයේ දේශපාලන වේදිකාවේ බොහෝ චරිතවලට පණදුන් ඔහු හදිසියේම මෙම චරිත සියල්ල අතහැර දේශපාලන වේදිකාවට සමුදී ඇත. එය සදාකාලිකද තාවකාලිකද කියා තවම අපි නොදනිමු.

නමුත් ඔහු දැන් වෙනත් වේදිකාවකට නැග හමාරය. එහි ප්‍රධාන චරිතයද හිමි කරගෙනය. ඒ අසංග විජේරත්න අධ්‍යක්ෂණය කරන දොස්තර හොඳ හිත නාට්‍යයේ චව් චව් චරිතයටය. චව් චව් මෙරට රසික පරපුරේ හදවත් තුළ පැළපැදියම් වූයේ ටයිටස් තොටවත්ගේ දොස්තර හොඳ හිත කාටුන් මාලාව ඔස්සේය.

ගස්බැන්ද, තග දැම්ම, මාධ්‍ය ආයතනවලට කඩාපැන යකානැටූ චරිතයක් ලෙස මර්වින් සිල්වාගේ දේශපාලන චරිතය මෙරට ලාංකීය ජනතාවට හොඳින් පුරුදුය. දේශපාලන වේදිකාව මත ඒ හුරුපුරුදු මර්වින් සිල්වා අද නැතිවුණත් යළිත් චව් චව් ලෙස වේදිකාවට අරක්ගත් මර්වින් සිල්වා සමඟ මේ මොහොතේ කතා කරන්නට දේ හිඟ නැත. මර්වින් සොයා අප ඔහුගේ නිවසට ගියේ එහෙයිනි.

මුහුණ පුරා රැවුල වැවී තිබිණ. උපැස් යුවළ යටින් අප දෙස නෙත් යොමු විණ. හිස කෙස් තවම කළු වර්ණයෙන් දිස් වුණ අතර රැවුල සුදු වන්ව දිස් වුණි. මුහුණ පමණක් දැකීමේදී ඉතා වයසක සීයා කෙනෙකුගේ කලකිරණු ස්භාවයක්ද, හිස කෙස් දෙසත් නෙත් යොමු කිරීමේදී තරුණ නළුවකුගේ ස්වරූපයක්ද ඇතැයි සිතුණි. අලුතින් නොවූවත් බොහෝ කාලයකට පසු නළුවෙක් ලෙස පුහුණුවීම් කරන ඔහු හා අපි සල්ලාපය ඇරැඹීමු.

 නිවන් දකිනකම් මම දේශපාලනේ ඉන්නවා 

දැන් ඔබ නළුවෙක් කියන භූමිකාව ද රඟදක්වන්නේ?

මට එහෙම නළුවයි අරවයි ‍මේවායි කියලා එකක් නෑ. යම්කිසි කෙනෙක් මගෙන් ඉල්ලීමක් කළොත් ඉටුකරනවා. අනෙක මම කොළඹ ඇවිල්ලා කලාව පටන්ගත්ත නෙවෙයි. මම කලාව පටන්ගත්තේ පොඩි කොල්ලා කාලේ ඉඳලා. ඒ කාලේ අපේ ගමේ මම නැති වේදිකා නාට්‍යක් නෑ. මම නැති සාහිත්‍ය සමිතියක් නෑ. මම සභාපති.

හැකියාවද ඔබගේ ස්වරූපයද නළුකමට බලපෑවේ?

ඒක මම දන්නෑ. මට නාට්‍යයක් කරන්න හිතුණම කොල්ලෝ ටිකක් එකතු කරගන්නවා. මගේ තාත්තා මුදලාලි. එයා සල්ලි වියදම් කරනවා. ලියන්න වෙනම කෙනෙක් ඉන්නවා. මම ප්‍රධාන නළුවා. අපි නාට්‍ය කරනවා.

ඔබ ලව් ඉන් බැංකොක් සිනමා පටයෙත් රඟපෑවනේ. ඒ විජය කුමාරණතුංගගේ ඇඳුරුම්කමටද?

ඔහු මගේ පුද්ගලික මිත්‍රයා. මගේ සිරිතක් තියෙනවා කා ළඟටවත් යන්නෙ නෑ. මේ පාර නොමින්ෂන් ගන්න යන්න ෆිලික්ස් පෙරේරා කතා කළා මට, බැසිල් රාජපක්ෂ ගාවට යන්න. මම කිව්වා මම එකෙක් ළඟටවත් යන් නෑ කියලා. එහෙම ඕනනම් මට ඇවිත් දෙන්න කියලා.

 චව් චව් චරිතෙයි මාවයි පටලවා ගන්න එපා 

ඒ කියන්නේ විජය කුමාරණතුංග කතා කළේ නෑ?

නෑ. ආරාධනා ආවෙත් නෑ. මම ඉල්ලුවෙත් නෑ. ඒ කාලේ රංජන් රාමනායක හිටියේ මගේ ගෙදර ඒ ගෙදර අයිති කබීර් කියන මනුස්සයට. එයා රටින් පැන්නා. කබීර්ගෙ ලංකාවේ දේපළ රකින්න මට සිද්ධ වුණා. මම එහේ ඉන්න කාලේ රංජන් ඇවිත් හිටිය.

අපි මේ දොස්තර හොඳ හිත කාටුන් එක බැලුවා. ඔබ නැරඹුවාද?

මම බලලා තියෙනවා. 

අධ්‍යක්ෂක අසංග විජේරත්න ඔබ තෝරාගත්තේ මොකද චව් චව් හැටියට?

ඒක එයාගෙන් අහන්න. මම දන්නේ නෑ.

ඔබට රඟපාන්න එන්න කිව්වම හා කිව්වද?

මෙහෙමයි මට කතා කළා. මම හා කිව්වා. සල්ලි එපා කිව්වා. ඒ සල්ලි දුප්පත් ළමයින්ට ඉගෙන ගන්න දෙන්න කියල කිව්වා.

චව් චව් චරිතයට නේද කතා කළේ?

ඔව්. ඒක එතරම් වැදගත් චරිතයක් නෙවෙයි. ගාමිණි මරුවා සමඟ වාසේ චිත්‍රපටයේ චණ්ඩිය වෙලත් හිටියනේ. ඉතින් මං මගේ පෞද්ගලික ජීවිතයයි, රඟපෑම් චරිතයයි පටලව ගන්නේ නෑ. ඒ චරිතයක් විතරයි.

මර්වින් සිල්වා චණ්ඩි චරිතයක්නේ. ඒ චරිතය නෙවෙයිද මේ චව් චව් හරහා එළියට එන්නේ?

මම දන්නේ නෑ.

 රෝමෙදි මම කොටින්ට දුවන්න ගැහුවා 

කාටුන් එකත් බැලුවනං ඒකේ චව් චව් කියන්නේ චණ්ඩි වැඩ කරන නරක චරිතයක් කියලා පෙනෙයි?

එක එකා කියන දේවල් මට අදාළ නෑ. මම මේ රටේ දේශපාලනය කළා. ඒ කරපු වැඩ බලන්න කැලණිය, ගම්පහ, අනුරාධපුර ඕනේම තැනකට යන්න. මිනිස්සු කියන්න ගත්ත මම චණ්ඩියෙක් කියලා. මං බලුකමක්, ජඩකමක්, පාදඩකමක් දැක්කොත් අත ඉස්සුවා. ඒක මගේ ගමේ හැටි.

ඔබගේ ඔය චණ්ඩි වැඩ ටික නිසාද අසංග විජේරත්න දොස්තර හොඳ හිත එකට කතා කරන්නේ?

ඒක එයාගෙන් අහන්න. මං දන්නේ නෑ.

ඒ චරිතය ඔබ දකින්නේ කොහොමද?

ඒක මට චරිතයක් විතරයි.

ඔබ දුටුගැමුණුටත් රඟපෑවා කාලයක්. දැන් “චව් චව්” වෙලා. ඒ මොකක්ද වෙනස?

ඕක මම කියාගත්ත එකක් නෙවෙයි. මම දුටුගැමුණුට ආදරෙයි. මම උපන් දිනයට යන්නෙත් රුවන්වැලි මහා සෑයට.

දුටුගැමුණු සිනමා පටයේ දුටුගැමුණු චරිතයට ඔබට කතා නොකළේ ඇයි?

මම එ්කේ ඉන්නවා. ඔයා දන්නේ නැද්ද? 

මම අහන්නේ දුටුගැමුණු චරිතයට?

මම දන්නේ නෑ ඒක. මට අදාළ නැහැ.

 බැසිල් මගේ මුළු දේශපාලන ජීවිතයම අවුල් කළා 

ඔබට වියදම් කරන්න සල්ලි තියෙන එකේ දුටුගැමුණු චරිතය අරගෙන ඔබට නාට්‍යයක් හරි චිත්‍රපටයක් හරි කරන්න තිබුණානේ?

නෑ එහෙම එකක් හිතුණෙ නැහැනේ.

ඔබට පුළුවන්කම තිබුණා?

වීර චරිත රඟපාන්න මුදල් වියදම් කරන්න මට අවශ්‍ය නෑ. “මගේ ව්‍යායාම රජ වීම පිණිස නොවෙයි බුදු දහමේ චිරස්තිය උදෙසාය පමණයි.” යන්න දුටුගැමුණු සඳහන් කර දේ හිතේ තියෙන මිනිසෙක් මම.

ඔබට ඡන්දය දෙන ජනතාව කිව්වොත් මේ චව් චව් චරිතයට රංඟපාන්න එපා කියලා?

ජනතාව මෝඩ නැහැ. හැමෝම නෙවෙයි. මට නම් පටබඳින්නේත් සමහර මාධ්‍යවේදීන්නේ. මම තුන් හිතකින්වත් වෛරයක් නැහැ. ජනතාව මට එපා කියන්නේ නෑ.

දේශපාලනය විතරක් නොකර විවිධ දේවලට යන්නේ ජනප්‍රියත්වය ළඟා කර ගන්නද?

මට ජනප්‍රියත්වය අවශ්‍ය නෑ. 

මර්වින් සිල්වා ජනප්‍රියද?

නෑ. මට වැඩක් නෑ. මාව දන්නවා. ගමෙත් දන්නවා, කොළඹත් දන්නවා, ලංකාවේත් හැමතැනම දන්නවා. රෝමයෙත් දන්නවා. එහේ ගිහින් එල්.ටී.ටී.ඊ. කාරයන්ට ගැහැව්වා. එළව එළවා ගැහැව්වා.

ඇත්තටම ගැහැව්වද?

නැතිව. ඔයා දන්නේ නැත්නම් අහන්න. හිටපු ජනාධිපතිතුමාට බැන්න කියලා ආරංචි වුණා මම රෝමයේ ඉද්දී. මම ගියා. බහිනකොටම මර්වින් එනවා කියලා දිව්වා. මම යකඩ පොල්ල විසිකරලා දුන්න. මාව හිරේට ගත්ත. මම කිව්වා සිංහ කොඩිය පාගන්න බෑ. ජනාධිපතිතුමාට බණින්න බෑ. පිකට් කරන්න පුළුවන් කියලා.

ඒ වුණාට ඔබ බැන්නේ මහින්ද මහත්තයාගේ සහෝදරයන්ට?

මට වැරදි කරපු අයට නොබැන සුදු හුණු ගාන්නද කියන්නේ. බැසිල් රාජපක්ෂ මගේ මුළු දේශපාලන ජීවිතය අවුල් කළා. ගෝඨාභය කියන්නේ මාත් එක්ක හිටපු අයට හිරිහැර කළ අයෙක්. බේරුවේ මහින්ද මහත්තය.

ඔබ රඟපාන චව් චව් චරිතයත් ඔය වගේද?

චව් චව් චරිතය වෙලාවකට සමාජයට හොඳ මඟ පෙන්වනවා. තවත් වේලාවකට වැරදි වැඩ කරනවා. ඒ චරිතය ඇතුළේ චරිත කිපයක් තියෙනවා. තමන්ගේ නායකත්වයේ වැරදි වසංකර පෙන්නනවා. සමහර වේලාවට තම වැරදි ප්‍රකාශයට පත්කරනවා.

මර්වින් සිල්වත් ඔය චරිතයට සමානද?

ඔයාට මම එකක් කියනවා. මගේ පෞද්ගලික ජීවිතය සහ මේ චරිතය එකට පටලවා ගන්න එපා. ඔයා මර්වින් සිල්වා දන්නෙ නැත්නම් දන්න කෙනෙක්ගෙන් අහන්න.

අධ්‍යක්ෂවරයා ඔබ හරහා නාට්‍යම ප්‍රේක්ෂක අවධානය ලබාගැනීමද ඔබව නළුවෙක් හැටියට ගන්න හේතුව?

ඒගොල්ලන්ට එහෙම වුවමනාවක් නැතිව ඇති.

රඟපාන්න ආස වෙන චරිතයක් තියෙනවාද?

මගේ හිත පිරිසිදුයි. හිතේ මොනවත් නෑ.

ඔබ එක්තරා නාළිකාවකට පසුගිය කාලේ බැණලා දැන් එතනම උදෑසන වැඩසටහනකට සහභාගී වෙනවා ඒ නාළිකාවේම?

ඔයා දන්නේ නැද්ද සදාකාලික මිතුරොත් නෑ හතුරොත් නෑ කියලා. වැරදි කරනකොට මම බැන්නා.

එතකොට ඒ නාළිකාව හොඳයිද දැන්?

දැන් ප්‍රශ්නයක් නෑ.

මර්වින් සිල්වා දැන් නිහඬයිද නැත්නම් විවේකයක් ගන්නවද දේශපාලනික වශයෙන්?

නෑ නිහඬත් නෑ. විවේකයකත් නෑ. දන්නවාද මඟුල් බෙර ගහන්නේ වේලාවට.

දිගටම දේශපාලනයේ ඉන්නවාද?

නෑ. නිවන් දකිනකම් ඉන්නවා.

ලංකාවේ දේශපාලන වීරයෝ නළු වීරයෝ  ඔබට ඉන්නවාද?

නෑ. හැබැයි අනුර බණ්ඩාරනායකට මම හදවතින්ම ආදරය කළා. කළගුණ දන්න බණ්ඩාරනායක පවුලේ එකම කෙනා.

චන්ද්‍රිකා බණ්ඩාරනායක එහෙම නැද්ද?

නිකම්ම නිකං බණ්ඩාරනායක නම විතරයි. එයාලට කිසිම ප්‍රතිපත්තියක් නෑ. මුල පවා අමතකයි.

නාට්‍ය බලලා ඉවරවෙලා ප්‍රේක්ෂකයා කිව්වොත් ඇත්තම මර්වින් සිල්වාත් චව් චව් වගේ කියලා?

මාව විවේචනය කරන තරමට තමයි මට හරියන්නේ. 

එතකොට ඔබ දේශපාලන වේදිකාවේ එහෙම නැහැනේ. ඔබට මොනව හරි කිව්වහම බණිනවනේ? ගහනවනේ?

බොරුවට මට බැන්නොත් ඉස්සෙල්ලාම ඔරවනවා. ඊට පස්සේ ඒ වැරදි කරන්න එපා කියනවා. ඇහැව්වේ නැතිනම් අත ඉස්සුවා ගැහැව්වා. 

ඔබ රංඟනය ගැන හැදෑරීම් කරනවාද?

මගේ ඔළුවේ තියෙනවා. මුඛ පරම්පරාවෙන් ආපු දැනුම ළඟ තියෙනවා.

එතකොට අධ්‍යක්ෂවරයා මේ මොහොතේ මර්වින් සිල්වා මෙහෙයවනවද?

නෑ. මර්වින් සිල්වා කාටවත් මෙහෙයවන්න බෑ. හැබැයි චරිතය සඳහා මෙහෙයවනවා.

♦නුවන් හෙට්ටිආරච්චි
සේයාරූ I සුමුදු හේවාපතිරණ

   

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00