2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා

බුදුන් උපන්නේ ලංකාවේ : කටුකැලේ ’පන්සලේ’ අලුත් බණ

 2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 1008

බෞද්ධයාගේ ඒකායන අරමුණ නිවනයි. ඒ උදෙසා කෙලෙසුන් සිඳ සත්‍ය අවබෝධ කරගත යුතුය. එහෙත් සත්‍ය නම් කුමක්ද? අප උගත් බුදුදහම අනුව සත්‍යයේ ප්‍රභේද නැත. එහෙත් අද බුදු සමය පිළිබඳ අනේකවිධ මත, පරස්පර දේශනා අප රට තුළ රෝපණය වී තිබේ. පසුගියදා මීරිගම සිදුවූ සිදුවීම ඊට කදිම උදාහරණයකි. ශාසන ඉතිහාසය අනුව බෞද්ධයාට මෙවන් ගැටලු අරැමයක් නොවේ. නමුත් මෙවන් අවස්ථාවලදී බෞද්ධයන් ශ්‍රද්ධා බුද්ධි සම්පන්න විමසුමක් කල යුතුය. පළමුව අදාළ සිදුවීම දෙසට අප අවධානය යොමු කළ යුතුය. 

පෙබරවාරි හත්වැනි දින බිබිල යල්වෙල ආරණ්‍යවාසී අනුරාධපුර අමථධම්ම හිමියෝ මීරිගම බස් නැවතුම්පොළ අසල උපවාසයක් ආරම්භ කළහ. එහි අරමුණ වූයේ මීරිගම ලියාපදිංචි නොකළ ආගමික මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන පුද්ගලයකු පිළිබඳව වහා පියවර ගැනීමට රජයට  බලපෑම් කිරීම‍‍‍‍‍‍යි. පුද්ගලයකු නම් දෙකකින් පෙනී සිටීම මෙන්ම නිසියාකාරව ලියාපදිංචි නොකළ ආගමික මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම වරදක් බව මෙහි දී කියවිණි. 

මේ අවස්ථාවට කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන්, ඕමල්පේ සෝභිත හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ රැසක් වැඩම කළහ. වැරදි තොරතුරු සමාජගත කිරීමෙන් බුදුදහම විනාශවෙන බව එහිදී උන්වහන්සේලා අනුදැන වදාළහ. ප්‍රදේශයේ ප්‍රකට හික්ෂූන් වහන්සේලා ද මෙම උපවාසයට සහාය පළ කළහ. ඒ අනූව බිබිල යල්වෙල ආරණ්‍යවාසී අනුරාධපුර අමථධම්ම හිමියෝ රජය මේ පිළිබඳව අවධානය යොමුකර නීතිමය පියවර ගන්නා තුරු උපවාසය අත්නොහරින බව පැවසූහ.

කෙ‍සේවෙතත් අවසානයේ ත්‍රෛනිකායික මහා නාහිමියන් සමඟ සාකච්ඡා කොට මෙම ගැටලුව සම්බන්ධව තීරණයක් ගන්නා බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා එම හිමියන් වෙත දැනුම් දුන්නේය. ඒ අනුව පසුගිය 12 වැනිදා මෙම උපවාසය අතහැරීමට බිබිල යල්වෙල ආරණ්‍යවාසී අනුරාධපුර අමථධම්ම හිමියෝ කටයුතු කළහ. එහෙත් මීට අදාළ කතාව සවිස්තරව සොයා බැලීමට අපි කටයුතු කළෙමු. 

මෙම උපවාසයේ දී විරෝධතාවය යොමු වූයේ මීරිගම කටුවාකැලේ ප්‍රදේශයේ පවත්වාගෙන යන පරම නිබ්භාන ධර්මායතනය නම් ලියාපදිංචි නොකළ ආගමික මධ්‍යස්ථානය වෙතයි. මෙය පවත්වාගෙන යන බවට පැවසෙන්නේ මීවනපලානේ සිරි ධම්මාලංකාර නම් හිමි නමකි. හෙළබිම බුදුන් උපන් දේශය බවට දේශනා කිරීම හරහා මෙම හිමියෝ ප්‍රකට වූහ. කෙසේවෙතත් මෙම  භික්ෂුව නිකායෙන් නෙරපා දමා ඇතැයි පැවසේ. ඒ අනුව භික්ෂුවගේ ලියාපදිංචිය ද ගැටලු සහගතය. හෙතෙම භික්ෂු වේෂධාරියකු ලෙස හැඳින්වෙන්නේ ද නම් දෙකකින් පෙනී සිටින බව කියවෙන බැවිනි. කෙසේ නමුත් මේ වන විට මෙම හිමියන් වටා සැලකිය යුතු අනුගාමික පිරිසක් ගොඩනැගී සිටිති. 

අත්‍යන්තයෙන් විශාල ප්‍රචාරක ව්‍යාපෘතියක් මෙම ධර්මායතනය වටා ක්‍රියාත්මක වෙයි. දිවයිනේ නන් දෙසින් නොමිලේ ප්‍රවාහනය ලබා දෙමින් බැතිමතුන් මෙහි ගෙන්වාගන්නා බව දැනගන්නට තිබේ. එසේම භික්ෂුව විසින් රචිත ධර්ම ග්‍රන්ථ රැසක් වෙයි. බුදු හිමියන් ලංකාවේ උපන් බව පෙන්වීමට විවිධ සාධක ගොනු කරමින් ලියූ පොත් ද මේ  වන විට රට පුරාම වේගයෙන් ව්‍යාප්ත වී තිබේ. ඒ අනුව බුදුන් උපන් බව එම හිමියන් පවසන හිරිවඩුන ප්‍රදේශ‍‍‍ය සහ බුද්ධ චරිතය සම්බන්ධව කියවෙන අනෙකුත් ස්ථාන නැරඹීමට චාරිකා ද සංවිධානය වෙයි. මේ සියල්ල සඳහා රට පුරා විහිදුණු පුළුල් ජාලයක් හරහා ක්‍රියාත්මක වන බව ඉතා පැහැදිලිය. 

දස දහසකට අධික පරිශීලකයන් සිටින යූ ටියුබ් චැනලයක්, වෙබ් අඩවි කිහිපයක් සහ සමාජ ජාලා ගිණුම් රැසක් ද මෙම ව්‍යාපෘතියට ද අදාළ  ක්‍රියාත්මක වෙයි. ප්‍රචාරණ වැඩසටහන් සම්බන්ධව තවදුරටත්  අප කළ සොයා බැලීමේ දී හෙළිවූ කරුණු රැසකි. ඇතැම් බෞද්ධයෝ මේ වන විට සිය ගම් ප්‍රදේශවල පන්සල් සඳහා ලබා දුන් දායකත්වය අතහැර මෙම කණ්ඩායමට එක්ව සිටිති. එසේම සාම්ප්‍රදායික බෞද්ධ වතාවත්වලට නිග්‍රහ කරමින් ඒවායින් ඈත්වීමට ද ඔවුන් කටයුතු කර තිබේ. එසේම ධර්මයේ මූලික හරයන් සම්බන්ධව වෙනස්ම අර්ථ නිරූපණ ලබාදීම ද කැපීපෙනෙන තත්ත්වයකි. අනිත්‍ය සංකල්පය පිළිබඳව පසුගිය සමයේ ඇතිවූ සංවාදය ද මෙම පිරිසටද අදාළය. 

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ අනුමැතිය නොමැතිව පවත්වාගෙන යන මෙම මධ්‍යස්ථානය ඉවත් කිරීම වෙනුවෙන් සිදුකළ උපවාසය සම්බන්ධව අපි නැවත අවධානය යොමු කරමු. දේශපාලන අධිකාරියේ බොහෝ දෙනා උපවාසය නතර කරන ලෙස අමථධම්ම හිමියන්ගෙන් මුලදී ඉල්ලීම් කළහ. රාජ්‍ය නායකයන් සමඟ සාකච්ඡා සඳහා ද අවකාශය උදා වී ඇත. එහෙත් හිමියන් පෙන්වා දී ඇත්තේ අවශ්‍ය වන්නේ දැනට තිබෙන නීති ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීම පමණක් බවයි. නීතිය ක්‍රියාත්මක වනතුරු උපවාසය අතහැරීම ප්‍රතික්ෂේප කළ හිමියෝ වෛද්‍ය පරීක්ෂාව ද ප්‍රතික්ෂේප කළහ. මීරිගම නගරයේ බොහෝ පිරිස් ද හිමියන්ට සහයෝගය පළ කළ අතර බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලිපිය හිමියන් අතට පත්වන තුරැම මෙම සිදුවීම ප්‍රදේශය තුළ දැඩි ආන්දෝලනයක් ඇති කළේය. 

හිමියන්ගේ ඉල්ලීම ඉටු කිරීමට මෙතරම් අපහසු වූයේ ඇයිදැයි යන්න පිළිබඳව ද අපි සොයා බැලුවෙමු.  පරම නිබ්භාන ධර්මායතනය වටා එකතු වී සිටින පිරිසගේ සිවිල් තත්ත්වය මෙහි දී ඉතා වැදගත් වෙයි. හිටපු විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, ආචාර්ය මහාචාර්යවරුන්, වෛද්‍යවරුන් සහ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීහු මෙහි ප්‍රබල අනුගාමිකයන්ව සිටිති. එම නිසා මීට විරුද්ධව ක්‍රියාත්මක වුවහොත් මතුවන්නේ විශාල ගැටලුවකි. ඔවුන්ගේ සිවිල් තත්ත්වය හරහා එල්ල වන බලපෑම සුළුපටු නැත. එසේම අනුගාමිකයන් වී සිටි පිරිස ද එන්න එන්නටම වර්ධනය වන තත්ත්වයක් තුළ මෙය විශාල අර්බුදයක් වනු ඇතැයි පෙනී යයි. 

මේ අතර http://www.sirisaddharmaya.net නමින් මෙම පිරිස පවත්වාගෙන යන වෙබ් අඩවියේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් මෙසේ සඳහන් කර තිබුණි.

“සද්ධස්ස කුල පුත්‍රයන් හට කෙරෙන කාරුණික නිවේදනයයි. නිවන් අවබෝධ කරගැනීමට උපකාර වන පැහැදිලි මග විවෘත කර දෙමින් පුරා වසර දොළහක​ පමණ කාලයක් තිස්සේ ඔබ සැමට ධර්ම මාර්ගය කියා දුන් අති ගෞරවනීය පූජ්‍ය මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන්ට එරෙහිව කටයුතු කිරීමට යම් පිරිසක් පෙළගැසී ඇත​. එම පිරිස විසින් විද්‍යුත් මාධ්‍ය​, මුද්‍රිත මාධ්‍ය සහ අන්තර්ජාලය යොදාගනිමින් නොයෙක් විකෘති පුවත් සන්නිවේදනය කරයි. ඒ පිළිබඳව මේ මොහොතේ ඔබ කවුරුන් හෝ යම්කිසි ව්‍යාකූල තත්ත්වයකට පත්වීම සුදුසු නොවේ. මන්ද ඒ සියල්ල දෙස උපේක්ෂා සහගත වීමට සහ හේතු ඵල දහමට බහා ගලපා බලන්නට අරිය මාර්ගයට පැමිණි ඔබට අපහසු නොවන නිසාය​.

දැන් අප විසින් කළ යුතුව ඇත්තේ මෙම ක්‍රියාවන්ට සම්බන්ධ වී ඇති පිරිසට සත්‍ය අවබෝධ වනු පිණිස අප ප්‍රතිපදාව තුළ වූ පරම මෛත්‍රිය පතුරුවා සත්‍යක්‍රියාවේ පිහිටීමයි.”

‍ථෙරවාදී බුදුසමය තුළ සියවස් ගණනාවකින් සාර්ථක සංගායනාවක් ධර්ම කතිකාවක් සිදුවී නැත. එය මෙවන් තත්ත්වයන් ඇතිවීමට හේතුව බව පෙනී යයි. බෞද්ධයන් ලෙස සද්ධර්මය රැකගැනීමට ගිහියන්ට ද යුතුකමක් තිබේ. එහෙත් කිසිදු භික්ෂුවකට අපහාස උපහාස කිරීමට ගිහියන් හට බැරිය. මන්ද ගිහියා විෂයේ භික්ෂුව ගින්දරක් හා සමාන බව තථාගතයාණන් වහන්සේ දේශනා කර තිබේ. භික්ෂුවක් පිළිබඳ යටිතතු නොදැන අපහාස කොට අවසානයේ සසර දැවීමට ගිහියන්ට සිදුවේ. එනිසාම මෙවන් තීරණ ගත යුත්තේ සංඝ සම්මුතියෙනි. එවිට ගිහියන් ලෙස එම තීරණය වෙනුවෙන් පෙනී සිටීමට අපට ද හැකිය. එසේම පාලකයන්ට ද නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට හැකි වේ.

 නිසල් ද සිල්වා