2017 මාර්තු 25 වන සෙනසුරාදා

කින්නියාවම කන ඩෙංගු

 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 85

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඩෙංගු වසංගතය පසුගිය දිනවල සීඝ්‍ර ලෙස පැතිර යෑම නිසා සිදු වූ ව්‍යාසනයෙන් රෝගීන් 13 දෙනෙකු මරණයට පත්වී සිටිති. විශේෂයෙන් වැඩිම ඩෙංගු රෝගින් ප්‍රමාණයක් සොයාගනු ලැබුවේ කින්නියා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි. ඉතා කෙටි කාලයක් තුළදී ඩෙංගු රෝගය විශාල ලෙස පැතිරී ගිය අතර ත්‍රිකුණාමල, උප්පුවේලි, කින්නියා මුතුර් හා කුරුඤ්ඤංකේණි  යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශවලින් මෙසේ ඩෙංගු රෝගීන් විශාල සංඛ්‍යාවක් හමුවූ බව ත්‍රිකුණාමල ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනීය වෛද්‍ය බී. කායල් විලි මහත්මිය කියයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය බී. කායල් විලි මහත්මිය 

“පෙබරවාරි 19දා වන විට ත්‍රිකුණාමලය ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ බල ප්‍රදේශය තුළ ඩෙංගු රෝගීන් 2350ක් හමුවෙලා තියෙනවා. රෝගින් 13ක් මිය ගිහින්. වැඩිම ඩෙංගු අවදානම තියෙන්නේ ත්‍රිකුණාමලය, උප්පුවේලි, කින්නියා, මුතුර් හා කුරුඤ්ඤංකේණි යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශවලට. පසුගිය වසර පහට සාපේක්ෂව ඩෙංගු රෝගය මේ වසරේ උත්සන්න වෙලා. 2016 වසරේ අප බල ප්‍රදේශයෙන් ඩෙංගු රෝගින් 505ක් වාර්තා වුණා. මරණ එකක්වත් වාර්තා වෙලා නැහැ. ඊට පෙර වර්ෂයේ ඩෙංගු රෝගින් 493ක් වාර්තා වුණා. මරණ එකක්වත් වාර්තාවෙලා තිබුණේ නැහැ” යැයි කීය.

කීට විද්‍යා සමීක්ෂණ අනුව කින්නියා හා මූතුර් ප්‍රදේශල ඩෙංගු මදුරුවන් බෝවීම වැඩි වී ඇත්තේ නළ මගින් සිමිත කාලයකට ලබාදෙන පානීය ජලය එක් රැස්කරණ ටැංකි, භාජනවලින් හා වැහි පීලි මගින් බව සොයාගෙන ඇතැයි ත්‍රිකුණාමලය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය එම්.එම්.එම්. මුනාස් මහතා කියයි. විශේෂයෙන්ම සිමෙන්තිවලින් සකස් කර ඇති ටැංකිවල එකතුවන ජලය හා ශීතකරණයේ පිටත බේසමේ එකතු වන ජලය මගින්ද ඩෙංගු මදුරුවන් බෝවන අතර ඒ පිළිබඳව ජනතාව වැඩි අවධානයකින් සිටිය යුතුයි.

 වැඩිම අවදානම ත්‍රිකුණාමලයේ 

ඩෙංගු අවදානම සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී අදහස් දැක්වූ දිසාපති එන්.ඒ.ඒ. පුෂ්පකුමාර මහතා පැවසුවේ මේ වනවිට ඩෙංගු රෝගය පැතිර යෑම පාලනය කරමින් පවතින බවය. මේ වනවිට යම් පාලනයක් වී ඇති බවත් ත්‍රිකුණාමලයේ ජීවත් වන්නේ පවුල් 21,000ක් බැවින් තමන්ගේ ප්‍රදේශ පිරිසිදුව තබා ගැනීම ජනතාවගේ වගකීමක් බවත් සැමවිටම එයට රාජ්‍ය අංශයේ මැදිහත්වීම බලාපොරොත්තු නොවිය යුතු බවත් ඔහු කීවේය.
මේ වනවිට ඩෙංගු දැඩි අවදානමක් පවතින කින්නියා අධ්‍යාපන කලාපයට අයත් පාසල් 66ක්  පිරිසිදු කර තබා ගැනීමට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව රුපියල් 421,000 ක්  මුදලක් ලබාදී තිබේ. කින්නියා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ.එම්. අහමඩ් ලෙබ්බේ මහතා පවසන්නේ එක ඒ - බී වර්ගයට අයත් පාසලක් සඳහා රැපියල් අටදාහ බැගින්ද, එක සී වර්ගයට අයත් පාසලක් සඳහා රුපියල් හත්දහස බැගින්ද සෙසු පාසල් සදහා රුපියල් හය දහස බැගින්ද ලබාදුන් බවය. මේ මූල්‍ය ප්‍රතිපාදන භාවිත කර සියලු පාසල් පිරිසිදු කිරීමට සියලු විදුහල්පතිවරුන්ට උපදෙස් දුන්න බවද පැවසීය.
මේ වනවිට ඩෙංගු මර්දන වැඩ සටහන්වලට සක්‍රීය දායකත්වයක් ලබාදී ඇති පොලීසිය, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සමග ගෙයින් ගෙට ගොස් ඩෙංගු බෝවන තැන් සොයා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම අරඹා ඇතැයි ත්‍රිකුණාමලය දිසා භාර නියොජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා මහතා කියයි. “ගෙයින් ගෙට ගොස් ඩෙංගු බෝ වන තැන් සොයා එහි අයිතිකරුවන්ට එරෙහිව නඩු දැමීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමඟ කටයුතු කරනවා. විශේෂයෙන් කින්නියා ප්‍රදේශයේ විවෘත කෙරුණු පාසල්වලට ගොස් පොලිස් නිලධාරීන් සිසුන් දැනුවත් කිරීමක්ද ආරම්භ කරලා තිබෙනවා. පොලීසියේ සියයකට වැඩි පිරිසක් මේ සඳහා යොදවලා තියනවා” යැයි කීය.

ඩෙංගු රෝගීන් විශාල සංඛ්‍යාවක් සොයාගෙන ඇත්තේ කින්නියා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයෙනි. ඒ සංඛ්‍යාව 1002කි. මේ නිසා කින්නියා මූලික රෝහලද රෝගින්ගෙන් පිරී පවතින නිසා පළාත් සෞඛ්‍ය ඇමති ඒ.එල්. මොහොමඩ් නසීර් අහමඩ්  මහතා පළාතේ සෙසු රෝහල්වලින් අතිරේක වෛද්‍ය කණ්ඩායම් යෙදවීමට පියවර ගත්තේය. “දෙහිඅත්තකණ්ඩිය වගේ රෝහල්වලින් ඖෂධ ඇතුළු අතිරේක වෛද්‍ය කණ්ඩායම් යොදවා රෝගී තත්ත්වය පාලනය කරගෙන යනවා යැයි ඔහු සඳහන් කරයි.

♦ ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව