2017 මාර්තු 25 වන සෙනසුරාදා

හම්බන්තොට මුහුදේ හැදූ දුපත අපරාදෙ.....

 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 129

සිතුල්පව්ව රජමහා විහාරය, කැබිලිත්ත දේවාලය යන ඓතිහාසික සිද්ධස්ථානද, දෙස් විදෙස් සියලුදෙනා නැරඹීමට යන උණුවතුර ළිං, හුම්මානය වැනි සංචාරක ස්ථානද, ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් මෙන්ම පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් රැසකගේ නිජබිම වශයෙන්ද හම්බන්තොට හැඳින්විය හැක.

එමෙන්ම වත්මන් ආණ්ඩුව පසුගිය කාලයේ දේශපාලන කරළියට ගෙනා සුදු අලියා යන මාතෘකාව යටතේ කතා කළ මත්තල ගුවන්තොටුපළ, මාගම්පුර වරාය, සූරියවැව අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය වැනි ස්ථානද හම්බන්තොට ඉදිකෙරුණ නිසාවෙන් මෑත ඉතිහාසයේ වඩාත්ම කතාබහට ලක්වූ නගරය ලෙස හම්බන්තොට හැඳින්විය හැකිය.
වත්මන් ආණ්ඩුවේ සිටින මැති ඇමැතිවරැන් විපක්ෂයේ සිටිනා කාලය තුළ ලොව නැව් නොයෙන එකම වරාය ලෙස හම්බන්තොට මාගම්පුර වරාය හැඳින්විණි. නමුත් මේ වනවිට රටේ ආර්ථිකයට හම්බන්තොට වරාය මනා පිටුවහලක් බව ආර්ථික විශේෂඥයෝ පවසති.

ශ්‍රී ලංකාවට අයත් ලොකු කුඩා දූපත් සංඛ්‍යාව 70ක් පමණ වන අතර මීට වසර හතකට පමණ පෙර මාගම්පුර වරායට සමගාමීව කෘත්‍රිම දූපතක් ඉදිකෙරැණේ මාගම්පුර වරාය ඉදිකිරීමේදී ඉවත් කෙරුණ පස් සහ ගල් යොදාගනිමින්ය. අක්කර සියයක පමණ විශාල භූමි ප්‍රමාණයකින් යුක්ත මෙම කෘත්‍රිම දූපත මෙරට සංචාරක ව්‍යාපාරය සඳහා ඉදිකරනු ලැබුවද අද වනවිට මෙය පවතින්නේ අකර්මණ්‍යවය.

විවිධ මාදිලියේ සාප්පු සංකීර්ණ, විනෝදාස්වාද සේවා, තීරුබදු රහිත සාප්පු සංකීර්ණ හා අවන්හල් ආදිය ඉලක්ක කරගනිමින් පසුගිය රජය විසින් මෙම කෘත්‍රිම දූපත සාදන ලද අතර ආණ්ඩු පෙරළියෙන් පසුව එයද මේ වනවිට සුදු අලියෙක් බවට පත්ව ඇත. මෙම දූපත නිර්මාණය කෙරැණු කාලය තුළ ඩොලර් මිලියන 500ක ආයෝජනයක් මෙරටට ගෙන්වීමට සැලැසුම් කර තිබූ නමුත් එකල සිටි බලධාරීන් එයට එකඟ නොවූයේ ඊටත් වඩා ආයෝජන ලබාගැනීමේ බලාපොරොත්තු පෙරදැරි කරගනිමිනි. නමුත් ආණ්ඩු මාරුවත් සමඟම එය ලත්තැනම ලොප් වී ඇත. රටේ ජනතාවගේ ආර්ථිකය නංවාලමින් වංචා දූෂණයට තිත තබා පාඩු වූ ආයතන ලාභ ලබන අයතන බවට පත්කිරීමේ අරමුණින් බලයට පැමිණි යහපාලන ආණ්ඩුවටද වසර දෙකක් ගතවූ නමුත් හම්බන්තොට ඉදිකෙරුණු මෙම කෘත්‍රිම දූපත තවම ඇත්තේ වැඩක් නොගෙනය.

මාගම්පුර වරායේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් වරාය හා නාවික අමත්‍ය අර්ජුන රණතුංග මහතා මෙම කෘත්‍රිම දූපතේ ආයෝජකයන්ට අවස්ථාව ලබාදෙන බව පැවසුවද තවමත් එය ඉටු වූ බවක් පෙනෙන්නට නැත.
ඩොලර් මිලියන 30ක් පමණ මුදලක් මෙම කෘත්‍රිම දූපත සඳහා වැයකර ඇති අතර පරිසරයටද හානියක් නොවන පරිද්දෙන් මෙය ඉදිකර ඇති බවයි එහි ප්‍රකාශකයකු අපට පැවසුවේ. මත්තල ගුවන්තොටුපළ අවට පිහිටි සංචාරක හෝටල්ද, සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණය අවට ඇති සංචාරක ව්‍යාපාරද මේ වනවිට වැසී යමින් පවතින තත්ත්වයක් තුළ මෙම කෘත්‍රිම දූපතේ සංචාරක ව්‍යාපෘතියක් ඇති කිරීමට තිබූ අවස්ථාවන්ද මේ වනවිට බොඳ වූ සිහිනයක් බවට පත්ව තිබෙන බවකි.

ගොඩබිමේ සිට ඉතා පහසු මාර්ගයකින් මෙම කෘත්‍රිම දූපතට පිවිසිය හැකි අතර යම්හෙයකින් එය සංචාරක ව්‍යාපෘතීන් සඳහා යොදාගෙන මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් සැපයීමට තිබූවත් නිසොල්මනෙහි පවතින විට බලධාරීන් ඒ පිළිබඳව මුනිවත රුකීමද කනගාටුවට කරැණකි. කෙසේවෙතත් එය ඩොලර් මිලියන 1000ක තරම් ආයෝජනයක් මෙරට ආර්ථිකයට හිමිකර දිය හැකි පාරාදීසයක් බවට පත්කළ හැකි තත්ත්වයේ තිබුණද තවමත් එහි කිසිදු ගොඩනැගිල්ලක්වත් ඉදිකර නැත. මේ නිසා එය වල්වැදී තිබේ. රට මෙතරම් දුෂ්කර අවධියක තිබෙන විට පවා එවැනි සංවර්ධන යෝජනා කැලෑවැදීමෙන් සිදුවන්නේ අතට ගත් දෙයක් කටට දාගැනීමට නොහැකි වීම තරම් අවාසනාවන්ත තත්ත්වයකි. 

වර්තමාන ජාතික දේශපාලනයේ ඇති කඹ ඇදිල්ල නිසා රටේ ආර්ථිකයට මහඟු දායකත්වයක් සැපයීමට තිබූ මාගම්පුර කෘත්‍රිම දූපත තවත් කාලයක් මුළුල්ලේම මෙලෙසින් පැවතියහොත් එය නැවත ගොඩනැංවීමට තවත් විශාල මුදලක් වැයවෙනු ඇත. විදේශයන්ගෙන් ණය ගෙන අප තවත් ණය උගුලේ සිරවෙනවාට වඩා අප රටේ තිබෙන මෙම සම්පත් තුළින් ප්‍රයෝජනය නොගන්නේ මන්ද යන්න තවමත් අප හට ගැටලුවකි.

 හසිත් අංජන