2017 මාර්තු 25 වන සෙනසුරාදා

සිත්තමෙන් දේශපාලනය දකින දාස හපුවලාන

 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 428

සුවාරිස්ට, සරදම්ට පැන්සලෙන් පණ දුන් සංකල්පවේදියා මුණගැසෙනු රිසින් අපි ගියෙමු. හේ ගතින් කුඩා මිනිසෙකි. එහෙත් නිර්මාණ කෞශල්‍යයෙන් යෝධ චින්තකයෙකි. දේශපාලන, ආර්ථික කාරන සියුම් විශ්ලේෂක වෙසින් පැන්සල් තුඩට අසුලා ගත්තෙකි. අදටත් අසුලා ගන්නෙකි. ඊට ආසන්නම උදාහරණය ඔහුට පිරිනැමුණු කලාකීර්ති ගෞරව නාමයයි. කෙටිකාලයක් ඇතුළත බොහෝ දෙනාගේ පිළිගැනීමත් සමඟ විචාරක ප්‍රශංසා හිමිවුණ කාටූන් ශිල්පියෙක් ලෙසින් දාස හැඳින්විම සාධාරණයැයි අපි සිතමු. සමාජයේ ප්‍රකට චරිත තම පෑන් තුඩින් හෝ පැන්සල් රේඛාවකින් හරි අපූරුවට සිත්තම් කරනා මේ නිර්මාණශීලී කාටුන් ශිල්පියා වසර ගණනාවක්ම විජය පුවත්පත් සමාගමට අයත් ලංකාදීපයේ ප්‍රධාන කාටූන් ශිල්පියකු ලෙස සේවය කරයි.

 

කාටූන් ශිල්පියකු ලෙස තම හැකියාවන් ප්‍රකටකළ දාසගේ පෑන් තුඩින් ඇඳෙනා තියුණු උපහාසයත් පදයකින් දෙකකින් කියවන ප්‍රබල පණිවිඩයත් කියවන්නාගේ හදවතට නොදැනීම කිඳා බසී. මෙය සැබැවින්ම හාස්කමක් බඳුය.

ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති මාතෘභූමිය වෙනුවෙන් උත්කෘෂ්ඨ මෙහෙවරක නිරත වූ විශිෂ්ඨ ශ්‍රී ලාංකිකයන් ජාතික සම්මානයෙන් පිදූ ජාතික සම්මාන උළෙලේ දාස හපුවලානද කලා කීර්ති සම්මානයෙන් පිදුම් ලැබීය. පුංචි පෑන් තුඩකින් දැවැන්ත ප්‍රතිරූපයක් සිත්තම් කරනා දාසගේ වෘත්තීය ජීවිතයට මෙම සම්මානයද සුවිශේෂී විය.

එදා දාසට කාටූන් ශිල්පය ගැන ආසාවක් ඇල්මක් ඇතිවිය. පුවත්පත්වල ඇති කාටූන් දෙස පොත්පත්වල ඇති කාටූන් දෙස දාස ඇස් පිය නොහෙලා බලා සිටියේ වරක් දෙවරක් නොවේ. පුංචි පැන්සල් තුඩකින්, එක පෑන් ඉරකින් කෙනෙකු කාටූනයට නැගූ රෑප දාස බලා හිඳ අනේක වාරයක් හිතින් ඇන්දේය. පුවත්පත්වලට කාටූන් අඳින්නට මෙලෝ හසරක් නොදත් දාසගේ ආසාව වික්‍රම මහත්තයා (බට්ටි චිත්‍රකතාව ඇඳි ඩී. වික්‍රමනායක) සංසිඳවාලීය. පුවත්පතකට චිත්‍රයක් අඳින ආකාරය වික්‍රම මහත්තයා දාසට කියා දුන්නේය. වික්‍රමගේ මේසේ අසල පුටුවක් තියාගෙන වික්‍රමගේ තෙළි තුඩින් ටිකින් ටික දිස්වෙන රූපය දෙස දාස කාලයක් බලාගෙන උන්නේය. වික්‍රමගේ උපදෙස් අනුව දාසත් කාටූන් අඳින්නට ටිකින් ටික හුරු විය. ඒ අවදියේදී දාස මෙය වෘත්තීය මට්ටමේ නියැලෙන්නට සිහිනෙන්වත් සිතුවේ නැත. දාස තම විනෝදය තකා කාටූන් ඇන්දේය.

දිනක් දාසට අපූරු අවස්ථාවක් උදාවිය. නෝමන් පලිහවඩනගේ විහිළු කතාවකට දාසට කාටූන් චිත්‍රයක් අඳින්නට අවස්ථාව ලැබුණි. දාස චිත්‍රය කීප වතාවක්ම ඇන්දේය. නැවත වෙනස් කළේය. නැවත ඇන්දේය. ඔහුගේ හිතට එයද සෑහුණේ නැත. නැවතත් දාස චිත්‍රය ඇන්දේය. ඔහුගේ හිතට එය සෑහුණි. දාසට ජනක රත්නායකයන්ගෙන් ඊට ලොකු සහයෝගයක් ලැබුණි. මතකය නිවැරදි නම් ඒ හැත්තෑව දශකයේ අගභාගයේදීය. එයින් දාසට ජාතික පුවත්පතකට පොකට් කාටූන් අඳින්නට අවස්ථාව හිමිවිය. ටික කලකට පසුව දාසගේ විනෝදාංශය ඔහුටම එපා විය. ඔහු කාටූන් ඇඳීම මඳකට නතර කළේය.

නමුත්.... ඔහුගේ හැකියාව ඔහුගෙන් ඈත් වූයේ නැත. ඔහුගේ අත චිත්‍ර ඇඳීමට නිතරම දාසව උනන්දු කළේය. මේ නිසා 1982 වසරේදී නැවතත් දාස හපුවලානගේගේ සිරුරේ නිදා සිටි සිත්තරා අවදි විය. ඔහු නැවතත් කාටූනයක් ඇන්දේය. ඔහු ජේ.ආර්. ජයවර්ධනයන්ගේ කාටූනයන් සිත්තමකට නගා තිබුණි. එවකට දවස පුවත්පතේ ප්‍රධාන කර්තෘ රෝහණ ගමගේ කාටූනය දිහා ටික වෙලාවක් බලාගෙන උන්නේය. ආ... හැදෙන ළමයෙක්නේ රෝහණට කියවිණි. ජේ.ආර්.ගේ කාටූනය දාසව ස්ථීර සේවකයෙක් ලෙස බඳවා ගන්නට තරම් ප්‍රබල කාටූනයක් විය.

පසුවදා දාස පුවත්පතේ කාර්යාලයේ වැඩ බාරගත්තේය. ඔහුට කාර්යාලය මෙන්ම කාර්යාල මේසයද වැඩට අපූරු තෝතැන්නක් විය. ජනක රත්නායකයන්ගේ මේසේම දාසට වැඩ කරන්නට අවස්ථාව ලැබුණි. එය ඔහුට ජීවිතයේ ලැබුණු සුවිශේෂී අවස්ථාවකි. එම මේසේම ජයතිස්ස සේමගේ, පෑලියගොඩ දයානන්ද, විජේසිරිවර්ධන, එස්. දොරේසාමි, මාක් ගරයින් වැනි චිත්‍ර ශිල්පීන්ද දාසට මුණගැසුණි. ඔවුන්ගෙන් පුවත්පත් චිත්‍ර ශිල්පියේ සෑම අංගයක්ම දාස හරි අපූරුවට ඉගෙන ගත්තේය. ඔවුන් චිත්‍ර ශිල්පීන් අඳින හැම සියුම් රේඛාවක් දිහාම බලාගෙන දාස අධ්‍යයනය කළේය.

ඒ අතරින් මාක් දාසගේ ජීවිතයට සුවිශේෂී පුද්ගලයෙක් විය. මාක් ජාත්‍යන්තර තලයේ කාටූන් ශිල්පියෙකි. කොලට්ගේ ගෝලයෙකි. ඔහු කොලට්ගෙන් ඉගෙන ගත් සියලුම ඥානය තාත්තා කෙනෙකු පුතෙකුට කියා දෙන්නා සේ දාසට කියා දුන්නේය. මාක් ගුරු මුෂ්ඨියක් තබා නොගත්තේය. මාක්ගේ චිත්‍රවල ඇති සෑම රේඛාවකම සියුම් තැන් ගැන දාස උගත්තේය. නමුත් මේ වනවිට කාටූන් චිත්‍ර කලාවේදී වසර තිස් පහක් ගතවුවත් දාසට තවමත් මාක් ග්‍රයින්ගේ අහළකටවත් කිට්ටුවෙන්නට බැරි බව දාස අදද නිහතමානීව පවසන්නේය. අදටත් දාස චිත්‍ර කලාව පිළිබඳව හදාරයි. අදටත් ඔහු ගුරුකොටගත් ශිල්පීන් අතරින් මාක් ග්‍රයින්ට හිමිවන්නේ සුවිශේෂී තැනකි.

මේ වනවිට ඔහු දේශපාලන කාටූන් ශිල්පියකු ලෙස නම් දරා සිටී. දේශපාලනඥයන්ගේ මුහුණේ ඇඳන සියුම් රේඛා පවා දාසගේ පොකට් කාටූනයේ මනාව පිළිබිඹු වේ. එයට දාසගේ පවුල් පසුබිමද බලපෑවේය. දාසගේ පියාණන්ට සතිපතා පුවත්පත් බැලීමේ පුරුද්දක් තිබුණි. දාසගේ නිවසේ පුවත්පත් සාලයේ මේස කොනේ තිබුණි. සියලුම පුවත්පත් කියවීමට මේ නිසා දාසට අවස්ථාව ලැබුණි. දාසගේ වැඩිමහල් සහෝදරයා වාමාංශික දේශපාලනයට අයත් පොත්පත් නිතරම නිවසට ගෙනාවේය. මේ නිසා දාසත් නිතරම පුවත්පත් සමග පොත්පත් කියවීමේ පුරුද්දක් ඇතිකර ගත්තේය. මේ කියවීමෙන් නොදැනුවත්වම දේශපාලනඥයන්ගේ රුව සහ ඔවුන්ගේ ප්‍රතිරෑපය දාසගේ හිතේ ඇඳුණි. පසුකාලීනව දාසගේ කාටූන්වල දේශපාලන චරිතවලට වැඩි ඉඩකඩක් වෙන්වූයේ ඒ එදා පටන් ගොඩනැගුණු දේශපාලන කියවීම සහ බැලීම ෙහ්තුෙවනි.

මෑත කාලයේදී දාසගේ අතින් වැඩිපුර මහින්ද රාජපක්ෂ, උදය ගම්මන්පිල, විමල් වීරවංශ, බන්දුල ගුණවර්ධන වැනි දේශපාලනඥයන්ගේ කාටූන් චිත්‍රයට නැගීමේ වැඩි නැඹුරුතාවයක් පෙන්නුම් කෙරේ. මේ දිනවල කටට බ්‍රේක් නැති දේශපාලනඥයන් ලෙසින් මෙම දේශපාලනඥයන් බොහෝ දෙනා විසින් නම් කෙරේ. එදිනෙදා කතාබහට ලක්වන මෙම දේශපාලනඥයන්ගේ රුව රැගත් කාටූන් චිත්‍ර දාසගේ අතිනුත් නිර්මාණ වීම අරුමයක් නොවේ. කාලෙන් කාලයට ජනප්‍රිය දේශපාලන චරිත මෙන්ම ප්‍රසිද්ධ දේශපාලන චරිතයක්ද ඒ ඒ කාලවලදී දාසගේ පෑන් තුඩින් කාටූනයක් බවට පත්වේ.

දාසගේ දේශපාලන කාටූන් චිත්‍රවල ඔහුටම අනන්‍ය වූ හැඩතල පවතී. ඔහු ජේ.ආර්. ජයවර්ධනයන්ට ලොකු නාසයක් අඳී. සුදු කොණ්ඩයක් සහිත රනිල් වික්‍රමසිංහයන් අතේ නිතරම හෙණ්ඩුවක් අඳී. කෙහෙළිය රෙදි පොට්ටනියක් සහිතව අඳී. බන්දුල ගුණවර්ධනට ධන රින ලෙස භාවිතා කෙරේ. එමෙන්ම විමල් වීරවංශට නිතරම හෑන්ඩ් ෆෝන් දෙකක් අතට දීතිෙබ්. මෙවැනි සියුම් නිර්මාණයන් තුළින් දාස ඒ දේශපාලනඥයන්ට ආවේනික වූ ලක්ෂණ තම නිර්මාණ හරහා පෙන්නුම් කළේය.

දේශපාලන කාටූන් හරහා තම චිත්‍රය ඇඳි මුල් කාලවලදී දාසගේ ජීවිතයට බලපෑම් තර්ජන ආවත් ටිකින් ටික දාස පරිනත වෙද්දී ඔහුෙග් චිත්‍රවලින් ජනතාවට සියුම්ව ලබාදෙන ප්‍රබල පණිවිඩයත් සමඟ දාසගේ ජීවිතයට ආ දේශපාලන බලපෑම් පහව ගියේය.

දවස පුවත්පතේ සේවය කරද්දී එක්තරා කාටූන් චිත්‍රයක් හේතුවෙන් පුවත්පතේ ප්‍රධාන කතෘ දාසව සේවයෙන් පහ කිරීමට දැඩිව තීරණය කළේය. නමුත් අවසානයේ කීප දෙනකුගේ මැදිහත් වීමෙන් සති දෙකක වැඩ තහනමකට ලක්වීමෙන් පසුව දාසට රුකියාව නැවතත් හිමිවිය.
වරක් දිවංගත ආර්. ප්‍රේමදාස දාසගෙන් ඔහුගේ චිත්‍රයක් ඉල්ලා ගත්තේය. එය සිහිවටනයක් ලෙසින් ලබාදීම නිසා ආයතනය මගින් නැවතත් ප්‍රේමදාසයන්ගේ චිත්‍ර ඇඳීම තහනම් කෙරිණි.

දාසගේ චිත්‍ර කලාව තුළ බොහෝ සංවේදී මිනිසෙක්ද ජීවත් විය. වරක් දාස අනුර බණ්ඩාරනායකගේ චිත්‍රය කාටූනයට නැගුවේය. ඔහු එය ප්‍රධාන කර්තෘතුමාටද බාරදුන්නේය. පුවත්පත් මුද්‍රණය කිරීමට සියල්ල සූදානම්ය. දාසට ආරංචියක් ලැබුණි. ඒ අනුර බණ්ඩාරනායක දැඩි ලෙස රෝගාතුර වී රෝහල් ගත කළ බවයි. ඔහු කර්තෘතුමා මුණගැසී චිත්‍රය පළ නොකරන ලෙස ඉල්ලීමක් කළේය. දාස ඉක්මණින් අනුරගේ කාටූනය ඉවත් කොට වෙනත් කාටූනයක් මුද්‍රණයට යොමුකළේය. එදා පටන් අනුර මිය යනතුරැ දාස අනුරගේ චිත්‍රයක් කාටූනයට ඇන්දේ නැත. වරක් එක් ඇමැතිවරියක් බටහිර ක්‍රමයට සිප වැළඳගෙන සුභ පැතීමේ ඡායාරූපයක් මාධ්‍ය ඔස්සේ පළවිය. ඒ සම්බන්ධව කාටූනයක් අඳින්න එපා යැයි එම ඇමතිවරියම දාසට දුරකථනයෙන් කතාකොට ඉල්ලීමක් කළාය. දාස ඒ ඉල්ලීම ඉටු කළේය. ඔහු අතින් ඇගේ සිප වැළඳ ගැනීමේ කාටූනය චිත්‍රයට ඇඳුණේ නැත.

දාසට දේශපාලන චරිත අතර හතුරෝ සිටියේ නැත. සමීපම මිතුරෝද සිටියේ නැත. පොකට් දේශපාලන කාටූනයක් ඇඳීමට අද වෙද්දී දාසට ගතවනුයේ විනඩි පහක් පමණ අඩු කාලයකි. ඒ සඳහා තැනක් වේලාවක් ඔහුට නැත. ඇතැම්විට පෑන අතට ගෙන පැය කීපයක් උත්සාහ ගත්තත් කාටූනය අඳින්නට අදහසක් දාසගේ හිතට එන්නේද නැත. නමුත් හිතට ආ අදහස චිත්‍රයට නගන්නට දාසට අද ගතවන්නේ බොහෝම සුළු මොහොතකි.

දාස ඇඳි චිත්‍රවලින් බොහොමයක් අද ඔහු ළඟ නැත. ඒවා සංරක්ෂණය කර ළඟ තබාගන්නට තරම් ඕනෑකමක් ඔහුට නැතුවා ෙස්ය. මෑත කාලයේදී ඔහු ඇඳි කාටූන් චිත්‍ර කීපයක් පමණක් ඔහු පරිස්සම් කළේය. නැතිනම් මේ වසර ගණනාවක් පුරාවට ඔහු ඇඳි කාටූන් චිත්‍ර කොතෙක් නම් තියෙන්නට ඇත්ද..? දේශපාලන චරිතයක් කාටූනයක් අඳිද්දී දාසගේ හිතේ ඇඳි රෑපය මතකයට නංවාගෙන අඳින්නට තරම් අද දාස පරිපූර්ණය.

1990 සහ 1991 වසරවලදී ජාතික ජනමාධ්‍ය මාධ්‍ය රූප සම්මානයද 2003 වසරේදී සහ 2004 වසරේදී ශ්‍රී ලංකා කර්තෘ සංසදයෙන් පිරිනැමුණු වසරේ හොඳම කාටූන් ශිල්පියාට හිමි සම්මානයද දාස දිනාගත්තේය. 2011 දී ශ්‍රමාභිමානී සම්මානයද, 2013 දී ලංකා සම්මානයද දිනා ගත්තේය. පසුගියදා පැවැති ජාතික සම්මාන උළෙලේදී දාස හපුවලානගේ ශ්‍රී ලංකා රජයෙන් පිරිනැමෙන ඉහළම කලා කීර්ති සම්මානයෙන්ද පිදුම් ලැබුවේය.

ඒ සියලු සම්මාන ඔහුගේ නිසඟ දස්කම් වෙනුවෙන් ලැබුණු සාධාරණ ඇගයීම් බව අපි අවසන සටහන් කර තබමු.

 දිශානි ජයමාලි කරුණාරත්න
    සේයාරූ : සුමුදු රන්මල්