2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා

සහල් මාෆියා සටනට යුද හමුදාවත් එක්වෙයි

 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 146

තුන්වේල බත්කන රටක ජනතාවට සාධාරණ මිලකට ඉහළ ගුණාත්මක බවෙන් යුත් සහල් ධාන්‍ය හා තුනපහ මිලදී ගැනීමට පහසුකම් තිබිය යුතුය. එහෙත් සහල් මිල සහල් මාෆියාව සහල් මෝල් පිළිබඳ ඇසෙන කතා බත් කෑම එපා කරවන තරම්ය. ගොවීන්ගෙන් සාධාරණ මිලකට වී මිලට ගැනීම, සහල් නිෂ්පාදනය, අලෙවිය හා බෙදාහැරීම වී අලෙවි මණ්ඩලය සතු කාර්ය වුවද මෙතෙක් පාරිභෝගිකයන්ට ඉන් සහනයක් වූ බව අසන්නට හෝ දකින්නට නොතිබිණ.

ගොවීන්ගේ වී සඳහා සාධාරණ මිලක් නොමැති බව විටෙක අසන්නට ලැබෙන ආඳෝනාවකි. වෙළෙඳ පොළේ දැඩි සහල් හිඟයත් අධික මිලත් ජනතාවට බරපතළ ගැටලුවකි. මේ අතර හාල්මෝල් හිමියන් විසින් ගෙනයන සහල් මාෆියාව පිළිබඳව ද තොරතුරු වාර්තා වේ.

ගොවියන් සතු වී අස්වැන්න සාධාරණ මිලකට අලෙවි කිරීමටත් සහන මිලක් යටතේ පාරිභෝගිකයන්ට සහල් මිලට ගැනීමත් අපේක්ෂාවෙන් යුද හමුදාවේ මැදිහත් වීමෙන් වෙනත් අතරමැදියන් නොමැතිව ගොවියන්ගේ වී අස්වැන්න මිලට ගැනීමට වී අලෙවි මණ්ඩලය කටයුතු කරයි. මෙවර මහකන්නයේ වී අස්වනු නෙලීම දැනට ආරම්භ කර තිබෙන බැවින් යුද හමුදාව හා වී අලෙවි මණ්ඩලය එක්ව විශේෂ ක්‍රමවේදයක් මත වී මිලට ගැනීමේ කටයුතු සිදුකරමින් පවතින බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පැවසීය.

රටේ ක්‍රියාත්මක සහල් මාෆියාවට එරෙහිව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අදහසකට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් පරිදි මේ සඳහා යුද හමුදාව මැදිහත්ව සිටිති. මෙවර මහකන්නයේ වී මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 383ක මුදලක් වී අලෙවි මණ්ඩලයට හා දිස්ත්‍රික් ලේකම්වරුන්ට නිකුත් කිරීමට මුදල් ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය කටයුතු කර තිබේ. මේ සඳහා යුද හමුදාව පසුගිය 31 වැනිදා සිට සක්‍රිය දායකත්වය සපයන අතර පසුගිය 3 වැනිදා වනවිට වී කිලෝ 253,750ක් පමණ මිලට ගෙන ඇතැයි වී අලෙවි මණ්ඩලය දන්වා තිබිණ.

අදාළ කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා ජනාධිපති කාර්යාලයේ ඉල්ලීමට යුද හමුදාපතිවරයා විසින් “වී මිලදී ගැනීම් හා සම්බන්ධීකරණ නිලධාරී” වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදා සේවා බළකා මධ්‍යස්ථාන සේනා විධායක බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් කඳනආරච්චි මහතා පත්කර ඇත. සිය කාර්යබාරය පිළිබඳව අදහස් දක්වන බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් කඳනආරච්චි මහතා

“රටේ පවතින සහල් මාෆියාව බිඳ දමා ගොවියන්ගෙන් සාධාරණ මිලකට වී මිලදීගෙන වී අලෙවි මණ්ඩලය හරහා සහන මිලකට පාරිභෝගිකයන් සඳහා අලෙවි කිරීම අරමුණු කරගෙන ඒ සඳහා යුද හමුදා යෙදවීමට යුද හමුදා ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කටයුතු කර තිබෙනවා. ඒ ගරැ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අදහසකට අනුවයි. එහිදී මිලදී ගැනීම හා සම්බන්ධීකරණ කටයුතු මා වෙත පවරා තිබෙනවා. යුද හමුදාවේ ආරක්ෂක සේවා මුලස්ථාන 7ක් ක්‍රියාත්මක වෙනවා. ඒ හරහා මුළු දිවයිනම ආවරණය වෙනවා. මේ සෑම ආරක්ෂක සේනා මූලස්ථානයක්ම නියෝජනය කරමින් ආඥාපතිවරුන්ගේ මෙහෙයවීමෙන් එක් කර්නල්වරයකු බැගින් ක්‍රියාත්විතයට නම් කර තිබෙනවා. එ් කර්නල්වරු අවශ්‍යතාව මත සබඳතාව ගොඩනගා ගෙන අවශ්‍ය පියවර ගැනීම කරනවා.”

ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපතිවරු මගින් පත්කර සිටින යුද හමුදා කර්නල්වරු හත්දෙනා ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරු සමඟ සාකච්ඡා කොට ග්‍රාම නිලධාරී හා අවශ්‍ය ස්ථානවල ගොවි නියාමකවරුන් මාර්ගයෙන් ගොවියන් දැනුම්වත් කිරීම සිදුකරති. එහිදී වී අස්වනු රජයට ලබාදීමේ වැදගත්කම හා ඉන් රටට ජනතාවට සැලසෙන යහපත පිළිබඳව පෙන්වා දෙයි. ඒ අනුව ගොවීන්ගෙන් තෙතමනය සහිත වී මිලදී ගැනීම ආරම්භ කර ඇත. මෙහිදී සම්බා හා නඩු කිලෝව රුපියල් 50 බැගින්ද එම වර්ගවල තෙතමනය සහිත වී කිලෝව රුපියල් 44 බැගින්ද වන සහතික මිලකට ගන්නා බව කියයි.

“වී අලෙවි මණ්ඩලය සතු ගබඩාවල පහසුකම් මදිකමක් තිබුණා. යුද හමුදා මැදිහත් වෙලා ඒවා අලුත්වැඩියා කරලා අවශ්‍ය පහසුකම් සලසා ගත්තා. මුලතිව්, කිලිනොච්චි, වන්නි සහ නැගෙනහිර ප්‍රදේශ ආශ්‍රිතව මෙම ගබඩා හතළිහත් අලුත්වැඩියා කළා. ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සියලුම ගබඩා ජාල පිළිබඳ අපි ළඟ තොරතුරැ තිබෙනවා. යම් හෙයකින් උතුරු නැගෙනහිර ආශ්‍රිත ප්‍රදේශවල ගබඩා පහසුකම් මදිනම් අපි ගොවිජන සේවා ගබඩාවලට යොමුකිරීමට කටයුතු කරනවා. එවැනි සම්බන්ධිකරණයන් අපි සිදුකරනවා. අවශ්‍ය රථවාහන, ප්‍රවාහන හෝ පිරිස බලය ලබාදීමට වූවානම් යුද හමුදාව ඒ කාර්යත් කරනවා. ඇතැම් ප්‍රදේශවල ගොවියන්ට බිත්තර වී තෙල් පොහොර ව්‍යාපාරිකයන් විසින් ලබාදී තිබුණා. ඒ නිසා වී ඔවුන්ටම ලබාදීමට සිදුව තිබෙනවා. එවැනි ගැටලු කිහිපයක් තිබුණාට සාර්ථකව මේ කාර්ය කරගෙන යනවා. දිවයින පුරා වී මිලදී ගැනීම පිළිබඳව දෛනිකව සටහන් තබා ගැනීම යුද හමුදාව විසින් සිදුකරනවා. එය වී වර්ගය අනුව වෙන්කර ලයිස්තුගත කිරීමටද කරනවා. මේ විදිහට අපි රජයේ නිලධාරීන් සමඟ එකතුවෙලා බිම් මට්ටමට ගිහින් දැනුම්වත් කිරීම් කරමින් වී මිලට ගැනීමේ කටයුතු මෙහෙයවනවා.

ව්‍යාපාරික ප්‍රජාව වාහන කුඹුරටම ගෙනල්ලා, බෑග් සහ අවශ්‍ය පහසුකම් ලබාදීලා වී රුගෙන යනවා. නමුත් ගොවීන්ට සිදුවෙනවා වී අලෙවි මණ්ඩලයට වී රුගෙන ගොස් බාරදීමට. එය මෙහිදී බාධාවක් වශයෙන් හඳුනාගෙන තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයලා සහන සලස්වන්න කටයුතු කරනවා. මේ ආකරයට දැනට ලංකාවේ පවතින සහල් මාෆියාව බිඳ දමා පාරිභෝගික ජනතාවට සහන මිලට සහල් මිලදී ගැනීමේ පහසුව ලබාදීමට හැකි වෙයි කියලා අපි විශ්වාස කරනවා.”

දැනට රජයේ වී ගබඩා නොමැති ප්‍රදේශවල අලුතින් ගබඩා පිහිටුවීමට ද හමුදාව පියවර ගනිමින් සිටිති. ඒ සඳහා මැදිහත් වූ යුද හමුදාවට මෙය ඉතා සුළු කර්තව්‍යයක් වනු ඇතැයි ජනතාව අපේක්ෂා කරයි.

► සමන්ත ප්‍රදීප් විල්තෙර

 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30