2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා

හාල්-එළවළු මිල තාම වැඩිද? අඩුවෙලාද?

 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 148

වෙළෙඳපොළ තුළ ඉල්ලුමක් ඇති භාණ්ඩ සඟවා ඒවා වැඩි මිලට අලෙවි කිරීමේ මාෆියාව අද ඊයේක ඇති වූවක් නොවේ. රටේ උත්සව සමය එළඹි විට එය මෙරට නිතර දකින්නට ලැබෙන තත්ත්වයකි. බොහෝ විට මින් පීඩාවට පත්වන්නේ සාමාන්‍ය ජනතාවයි. මෙරට පාරිභෝගික ජනතාවට දශක ගණනක් පුරා එක දිගට තිබෙන ප්‍රශ්නයක් වන්නේ හාල් මිල ඉහළ යාමය. කුමන ආණ්ඩු බලයට පත් වුවද බොහෝමයක් පාරිභෝගිකයන් පවසා සිටින්නේ ආණ්ඩු කියන පරිදි හාල් මිලදී ගැනීමට වෙළෙඳපොළ තුළ නොමැති බවය.

අද පමණක් නොව හැත්තෑවේ මහ මැතිවරණ සමයේදීත් ජාතික ප්‍රශ්නයක් වූයේ හාල්ය. එකල හාල් කතා කොතරම්  ජනප්‍රිය වුවාද කිවහොත් ගාලු නගර සභාවේ පැවති රුස්වීමකදී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය කීවේ තමා හඳෙන් හරි හාල් ගෙනත් ජනතාවට කන්න දෙන බවයි. මැතිනිය මේ කතාව කියා දශක පහක් පමණ ගෙවී යන මේ මොහොතේත් යළිත් වරක් හඳෙන් හරි හාල් ගෙනත් දීමට සිදුවන තත්ත්වයක් උද්ගත වී ඇති බව ජනතාව මැසිවිලි නගති. එමෙන්ම ඔවුන් පෙන්වා දෙන්නේ මේ දිනවල හාල් මිල පාලනය කළද තවමත් ඒ මිලට අලෙවි නොවන බවය.

පසුගිය කාලයේ හාල් මිල කෙතරම් වැඩි වුවද කිවහොත් සෑම වර්ගයකම සහල් කිලෝවක් රැපියල් සියය ඉක්මවා ගොස් තිබිණි. සුපිරි සම්බා සහ බාස්මතී වර්ගවල කිලෝවක මිල රැපියල් 160 – 170ක් දක්වා ගණන් ගියේය. මේ නිසා රජයේ මැදිහත් වීමෙන් පසුගිය දෙසැම්බර් 19 වැනිදා සිට සම්බා සහ නාඩු සහල් සඳහා පාලන මිලක් නියම කරනු ලැබුයේ ජනතාවට යම් සහනයක් ලබාදීම සඳහාය. එහෙත් පාරිභෝගිකයන් පවසන්නේ තවමත් ඒ මිලට සහල් මිලදී ගත නොහැකි බවයි.

දෙසැම්බර් මස 19 වැනිදා නිකුත් කෙරුණු 2154/19 ගැසට් නිවේදනය අනුව කීරි සම්බාත්, සූදුරු සම්බාත් හැර සුදු හෝ රතු සෑම සම්බා වර්ගයක්ම විකිණිය යුත්තේ කිලෝව රුපියල් 98ටය. මොට්ටසිකරුවන් සහ ආට්ටකාරී හැර අනෙකුත් සුදු හෝ රතු නාඩු වර්ගද විකිණිය යුත්තේ කිලෝව රුපියල් 98ටය.

හාල් මිල මෙන්ම එළවළු මිලෙහිද වෙනසක් නොමැති බවට පාරිභෝගිකයන් කරන ලද මැසිවිලිවල ඇත්ත නැත්ත සොයා දේශයේ අපි කොළඹ කොටුවෙහි වෙළෙඳපොළ සංචාරයක නිරත වූයෙමු.

දැන් ගාණ අඩුයි

- ඤාණසේකරම් 

පසුගිය කාලයට වඩා මේ වෙනකොට හාල් මිල පහළ ගිහින් තියෙනවා. ඒ වගේම තමයි පාරිභෝගිකයන් දැන් වෙළෙඳපොළට එනවා. පසුගිය කාලයේ ජනතාවගේ අඩුවීමක් තිබුණා. ඒ වගේම තමයි අපි තොග මිලට තමයි සහල් ලබාදෙන්නේ. අපිට සහල් ලැබෙනව නම් අපි අලෙවි කරනවා. එහෙම නැතුව හාල් හංගන්න උවමනාවක් අපිට නැහැ. සම්බා රුපියල් 90 – 95ක් අතර මිලකට යනවා. රතු කැකුළු 103ත්, සුදු කැකුළු 88 – 90ත් අතර මිලකට යනවා. කොහොම වුණත් පෙරට වඩා සහල් මිලෙහි අඩුවක් තියෙනවා.

නියම කළ මිලට අපි බඩු දෙනවා

- පද්මනාදන්

හාල් මිලෙහි ලොකු වෙනසක් සිදුවෙලා නෑ. නමුත් පෙර මිලට වඩා තරමක මිල අඩුවීමක් තියෙනවා. උත්සව සමය නිසා තමයි පසුගිය කාලයේ හාල් මිල වැඩි වී තිබුණේ. කොහොම වුණත් දැනට නියම කරපු මිලට අපි බඩු විකුණනවා. තාම හරියට බිස්නස් එකක් නැහැ. ඉස්සරහට ඒක හැදෙයි කියලා හිතෙනවා. රතු කැකුළු 90 – 95ත් සුදු කැකුළු 92 – 95ත් සම්බා 90 – 95ත් අතර සහ කීරි සම්බා 120 – 145ත් අතර මිලකට තමයි අලෙවි කරන්නේ. ලොකු ලාභයක් තියන් අපිත් විකුණන්නේ නෑ.

කියන තරමට මිල අඩු නැහැ

- එස්. කේ. එම්. ව්‍යාපාරික

තාම ඔය කියන තරම් හාල් මිල අඩුවීමක් වෙලා නැහැ. රතු කැකුළු පමණයි අඩුවෙලා තියෙන්නේ. අපි රටින් හාල් ගෙන්වන්නෙ නැහැ. අපිට ලැබෙන ස්ටොක් තමයි අපි විකුණන්නේ. කොහොමත් පාඩුවට විකුණන්න බැහැ. එහෙම වුණොත් බිස්නස් වැටෙනවා. ඉස්සරහදි මිල අඩුවෙයි කියලා හිතනවා. රජයෙන් මිලක් නියම කරලා තියනවා ඒ මිලට අපි දෙනවා. නමුත් සමහර හාල් මිල වැඩියි. මිල වැඩි නිසාද දන්නෙ නැහැ කොහොමත් මේ දවස්වල පාරිභෝගිකයන් අඩුයි. බිස්නස් එහෙමත් ලොකුවට සරුවක් නැහැ.

එළවළු මිල දැන් අඩුයි

කොළඹ මැනිං වෙළෙඳපොළ තොග වෙළෙඳ සංගමයේ ලේකම් ගාමිණී හඳුන්ගේ

එළවළු මිලෙහි වෙනසක් ඉදිරි කාලය තුළ වෙන්න පුළුවන්. පසුගිය කාලයේ පොඩි මිල වැඩිවීමක් තිබුණා. නමුත් දැන් දැන් සාමාන්‍ය තත්ත්වයට එළවළු මිලදී ගන්න පුළුවන්. එළවළු වැඩියෙන් එන දිස්ත්‍රික්කවලට ලැබුණ වැස්ස නිසා තමයි මේ එළවළු මිල වැඩි වුණේ. දැන් එහෙම නැහැ. එළවළු වැඩි නිසා පසුගිය කාලයේ බොහෝ පාරිභෝගිකයන් විශාල ලෙස එළවළු ගන්න ආවේ නැහැ. නමුත් දැන් දැන් පාරිභෝගිකයන් වෙළෙඳපොළට පැමිණෙනවා. කොහොමත් ඉදිරියේදී තවත් මිල අඩුවෙයි.

මාළු මිරිස් කිලෝවම රු. 250ට බැහැලා

අයි. එම්. එඩ්වඩ්

පසුගිය කාලයට වඩා එළවළු මිල මේ දිනවල අඩුවෙලා තියෙනවා. මාළු මිරිස් කිලෝවක් රුපියල් 250ත්, කැරට් කිලෝවක් රැපියල් 350ත්, ලීක්ස් කිලෝවක් රුපියල් 250ත් වගේ මිලකට තමයි දැන් අලෙවි වන්නේ. පසුගිය කාලයේ මේ එළවළු ඔක්කොම රුපියල් 500 පන්නලා තිබුණේ. ඉදිරියේදී තවත් මේ මිල අඩුවෙයි.

සටහන - හසිත් අංජන
සේයාරූ - සුමුදු හේවාපතිරණ