2017 මාර්තු 25 වන සෙනසුරාදා

අවුරුදු 15දීම ජාතික හැඳුනුම්පත අතට

 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 211

ජාතික හැඳුනුම්පත් සැකසීමේ වයස් සීමාව අවුරුදු 16 සිට අවුරුදු 15 දක්වා ගෙන ඒමට කටයුතු කරන බවට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයක් නිකුත් කළේ මීට දින කිහිපයකට ඉහතදීය. මේ අනුව වයස අවුරුදු 15 සම්පූර්ණ කිරීමෙන් පසුව අයදුම්කරුවන් විසින් හැඳුනුම්පතක් සකස් කිරීම සඳහා අයදුම්කළ යුතු අතර මෙහිදී නිකුත් කරන්නට නියමිතව ඇත්තේද දැනට පවතින ජාතික හැඳුනුම්පත වෙනුවට නවීන තාක්ෂණයෙන් යුත් විද්‍යුත් ජාතික හැඳුනුම්පතකි. 

වයස අවුරුදු 16ට වැඩිනම් හා ශ්‍රී ලංකා පුරවැසියකු නම් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් හැඳුනුම්පතක් ලබාදීම මෙතෙක් පැවැති සාමාන්‍ය ක්‍රමවේදයයි. විශේෂයෙන්ම අවුරුදු දහසය යනු ශිෂ්‍ය ශිෂ්‍යාවන් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වෙන වයස් සීමාව වන අතර විභාගයට පෙනී සිටින සිසුන් විභාගයට පෙර තම හැඳුනුම්පතද සකසා ගත යුතුවේ. යම් හෙයකින් විභාගය පවත්වන අවස්ථාව වන විටත් යම් සිසුවකුට හැඳුනුම්පත සකස් කරගන්නට අවස්ථාව නොලැබුණහොත් ඡායාරූපයක් සහතික කර ගැනීම මගින් විභාගයට පෙනී සිටීමේ හැකියාව පවතියි. නමුත් විභාග සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාවටම විවිධ අක්‍රමිකතා සිදුව බවට ලැබුණ තොරතුරැත් සමඟ මේ වනවිට විභාගයට ඉදිරිපත් වීම සඳහා හැඳුනුම්පත් අනිවාර්ය කර ඇත. මේ අනුව හැඳුනුම්පත් ලබාගැනීම අවුරුදු 15 බවට පත්කිරීම වැදගත් පියවරක් වන අතර ඒ අනුව විභාගයට ඉදිරිපත් වීමට වසරකට පමණ පෙරම හැඳුනුම්පත් දරැවන් අතට පත්වේ. 

ජාතික හැඳුනුම්පත් ලබාගැනීමේ අවම වයස් සීමාවක් තියෙනවා. ගිය අවුරුද්දේ මෙම වයස් සීමාව පැවතුණේ අවුරුදු 16ක් හැටියට. අපි ඒක දැන් අවුරුදු 15ට අඩුකරලා තියෙනවා. මෙලෙස අප හා අදහස් ඉදිරිපත් කළේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතායි. ඔහු වැඩිදුරටත් අදහස් ඉදිරිපත් කරමින් මෙසේ කියයි.

ඇත්තටම ජාතික හැඳුනුම්පත් සකස් කිරීම සඳහා මෙතෙක් පැවැති වයස් සීමාව වෙනුවට නව වයසක් හඳුන්වාදීමේදී අපි මූලිකවම අවධානය යොමු කළේ අපොස සාමාන්‍යපෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් පිළිබඳවයි. සාමාන්‍යයෙන් සාමාන්‍යපෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ අවුරුදු දහසය සම්පූර්ණ වෙන්නේ සාමාන්‍යපෙළ පන්තියේදී. එතකොට දරුවෙක් ඔක්තෝබර්, නොවැම්බර් වැනි මාසවල ඉපදෙනවා නම් ඒ කාලය වෙද්දී විභාගයක් කිට්ටුව මෙම හැඳුනුම්පත සාදාගැනීම සඳහා දරැවා විශාල පීඩනයක් ගන්නවා. කොළඹ එන්න ඕන. එක්දින සේවාවක් ලබාගන්න ඕන. කොළඹින් බොහොම ඈත පළාතක දරුවෙක් නම් විභාගය නිසා ඇතිවන පීඩනයත් සමඟ හැඳුනුම්පත සාදා ගැනීමේදීත් අනවශ්‍ය පීඩනයකට ලක්වෙනවා. මොකද දැන් ජාතික හැඳුනුම්පත අනිවාර්යය කරලා තියෙනවා විභාගයකට වාඩි වෙන්නට. ඒ නිසා මේ අයට අවුරුද්දකට කලින් හැඳුනුම්පත ලබාගැනීමට අවස්ථාව දීමට තමයි අපි මේ වයස් සීමාව අවුරුදු 15 කළේ. 

මෙම වැඩපිළිවෙළ සමයේදී සාමාන්‍ය පෙළ පන්තියට යන්නට කලින් හැඳුනුම්පත සිසුන්ගේ අතට පත් වෙනවා. එය සිසුන්ගේ පැත්තෙන් විශාල පහසුවක්. 

පවතින ක්‍රමවේදයක් වෙනස් විය යුත්තේ එම ක්‍රමවේදය බලපාන පුද්ගලයින්ගේ පහසුව තකායි. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් හැඳුනුම්පත් ලබාගැනීමේ වයස් සීමාව මෙලෙස වෙනස් කිරීම විභාගයට මුහුණ දෙන දරැවන්ගේ පැත්තෙන් බැලූ විට විශාල පහසුවකි. මෙම වයස් සීමාව වෙනස් කිරීමට අමතරව හැඳුනුම්පතෙහි ඉදිරියේදී සිදුවන වැදගත්ම වෙනස්කම වන්නේ දැනට පවතින ජාතික හැඳුනුම්පත වෙනුවට විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමයි. මේ වනවිටත් යෝජිත නව විද්‍යුත් හැඳුනුම්පත නිකුත් කිරීමේ ප්‍රථම අදියර යටතේ පුද්ගලයන් පිළිබඳ ජාතික නාමලේඛනයක් දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සකස් කිරීම ආරම්භ කිරීමට ඇති අතර මෙම ක්‍රමය යටතේ හැඳුනුම්පත් සඳහා මෙතෙක් ලබාගත් තොරතුරුවලට අමතරව පුද්ගලයකු සම්බන්ධයෙන් තවත් තොරතුරු රාශියක්ම එක්රැස් කරනු ලැබේ. 

මෙලෙස ලබාගන්නා ලද සියලු තොරතුරුවලට අනුව පුද්ගලයකුගේ තොරතුරු සම්බන්ධයෙන් යම් සැකයක් මතුවුවහොත් ඕනෑම අවස්ථාවකදී ඔහුගේ පෞද්ගලික දත්ත ගොනුව වෙත ජාලකරණය හරහා රාජ්‍ය ආයතනවලට ප්‍රවේශවීමට හැකියාව ඇත. ඒ සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ කොමසාරිස් ජෙනරාල් ගුණතිලක මහතා. 

දැනට භාවිතයේ යෙදෙන හැඳුනුම්පත අපි ලබාදීම ආරම්භ කරලා තියෙන්තේ 1972 වසරේ. මුල් කාලයේදී හැඳුනුම්පත සැකසීම සඳහා භාවිතා කළ දේවල්මයි අදටත් භාවිතා කරන්නේ. විශේෂයෙන්ම ඒ සඳහා භාවිත කරපු මැෂින් අදවෙද්දී භාවිතා කරන්න බැරි තත්ත්වටම පත්වෙලා තියෙනවා. ඒ නිසා මෙම ක්‍රමවේදයේ වෙනස්කම් කිරීම අවශ්‍යතාවක් තිබුණා. මෙම හැඳුනුම්පතෙහි ආරක්ෂක ක්‍රම සහ විධි වුණත් එදා පැවති ආකාරයටම තමයි අදටත් තියෙන්නේ. 

ඊට අමතරව මෙම හැඳුනුම්පත්වල දීර්ඝ කාලීන භාවිතය නිසාම මේවායෙහි යම් යම් වෙනස්කම් වැරදි සහගත ලෙස භාවිතා කරන්නටත් ඇතැම් පුද්ගලයන් පෙළඹිලා සිටිනවා. එම තත්ත්වයක් මෙම හැඳුනුම්පත වෙනස් කිරීමෙහිලා බලපෑවා. 

අනෙක් දේ තමයි අපි මෙතෙක් කල් භාවිතා කරපු හැඳුනුම්පතට කල් ඉකුත් වීමේ කාලයක් තිබුණේ නෑ. අපිට ගැටලුවක් නැත්නම් ජීවිතාන්තය දක්වාම එය භාවිත කිරීමේ හැකියාව තිබුණා. මේකත් ඒ තරම්ම හොඳ තත්ත්වයක් නෙවෙයි. මොකද අපේ වයස අවුරුදු දහසයේදී රූපයයි වර්තමාන රූපයයි අතර ලොකු වෙසක් තියෙනවා. 

ඒ වගේම හැඳුනුම්පතේ අන්තර්ගත තොරතුරුත් අපේ වර්තමාන තත්ත්වයට අනුව වෙනස්කරගත යුතු වෙනවා. අපි ගමෙන් කොළඹට ඇවිල්ලා කොළඹ පදිංචි වෙලා තවමත් අපේ හැඳුනුම්පතේ තියෙන්නේ ගමේ ලිපිනය නම් එතනදී අපේ නියම තොරතුරු තහවුරු වීමත් සිදුවෙන්නේ නෑ. මේ සියලු කාරණා සමඟ අපට හැඳුනුම්පත වෙනස් කිරීමේ අවශ්‍යතාවය තිබුණා. අපට දැනට මේ සඳහා අමාත්‍ය මණ්ඩලයෙන් අනුමැතිය ලැබිලා තියෙනවා. මෙම වැඩපිළිවෙළේදී නවීන තාක්ෂණයක් යොදාගැනීම හරහා තමයි මෙම විද්‍යුත් හැඳුනුම්පත නිර්මාණය වෙන්නේ. කලින් භාවිත කළ හැඳුනුම්පතේ අන්තර්ගත වුණේ ජීව දත්ත පමණයි. නමුත් මෙම අලුතින් සකස් කරන හැඳුනුම්පත් සඳහා ජීව දත්ත වගේම ජීව මතික දත්ත කියන්නේ අපේ ශරීරයේ තිබෙන ලක්ෂණ මේ සඳහා ඇතුළත් කිරීමයි. උදාහරණයක් ලෙස ඇඟිලි සලකුණු, රැධිර වර්ගය, මුහුණේ ප්‍රකාශනයන් වැනි දේ. නමුත් අපි මේ හැම දෙයක්ම ඇතුළු කරන්නේ නෑ. අඩුම වශයෙන් පුද්ගලයකුගේ අනන්‍යතාවය හෙළිකර ගැනීම සඳහා ඇඟිලි සලකුණ මෙහි අන්තර්ගත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

නවීන තාක්ෂණයෙන් යුත් විද්‍යුත් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා මේ වනවිටත් සියලු කටයුතු සූදානම් කර ඇති අතර වයස අවුරුදු 15 හා ඊට වැඩි සියලු පුරවැසියන්ගේ ජීව දත්ත හා ජීවමිතික දත්ත ඇතුළත්වී ජාතික පුද්ගල නාම ලේඛනයක් සකස් කිරීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනතට සංශෝධන එක්කිරීම සඳහා දැනටමත් අනුමැතිය ලැබී ඇත. එසේම මේ සඳහා අවශ්‍ය අනෙකුත් වැඩසටහනක්ද මේ වනවිටත් ක්‍රියාත්මක වන අතර මෙම ක්‍රියාවලියේදී මහජනතාවගේ තොරතුරැ වඩාත් පහසුවෙන් ලබාගැනීම සඳහා සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ස්ථාපිත කර ඇති ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු ඒකක ජාලගත කිරීමද ආරම්භ කර ඇත.  තවත් නොබෝ කාලයකින් දැනට පවතින හැඳුනුම්පතින් නවීනතම විද්‍යුත් හැඳුනුම්පතකට මාරුවීමට ජනතාවට අවස්ථාව උදාවනු ඇත.

 හේමමාලා කුමාරි රාජකරුණා

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00