2017 මාර්තු 25 වන සෙනසුරාදා

දැන් තාෙල් දැරිවියන්ට A/L රිසාල්ට් එක්කම පිළිකා රිසල්ට් එකත්

 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 561

දැන් කාලේ AL රිසල්ට් එනකොට හුඟක් දැරිවියන්ට පිළිකා රිසල්ට් එකත් ඇවිල්ලා. මෑත කාලයක ඉඳලා ගර්භාෂ පිළිකා, ඩිම්බකෝෂ පිළිකාවල ගොදුරු බවට පත්වෙලා රෝහලට එන තුරණ කාන්තාවන්ගේ ප්‍රමාණය ඉහළ ගිහිල්ලා තියෙන්නේ. මේකට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ ඒ අයගේ ආහාර රටාව බවයි අපිට දීර්ඝකාලීන නිරීක්ෂණ මගින් පෙනී ගිහිල්ලා තියෙන්නේ. ආටෝපෙට තියෙන පිටි, තෙල්, ලුණු අධික කෙටි ආහාර, ක්ෂණික ආහාර මගින් බඩ රවටා ගන්න ඇබ්බැහිවෙලා තියෙන ජීවන රටාව නිසා තමයි මේ අය අමාරුවේ වැටෙන්නේ. ඔය කියන කෑම වර්ග භාවිතයත්, ව්‍යායාම නැතිකමත්, ජලය අඩුවෙන් භාවිතය සහ කෘත්‍රිම රස කළ බීම වර්ග ඒ වෙනුවට ගැනීමත් එක්ක ප්‍රතිඵලය වන්නේ තරබාරුව. මේ කියන තරබාරුව තමයි, ගර්භාෂ පිළිකා, ඩිම්බ කෝෂ පිළිකා ඉහළ යන්නට ප්‍රධානම හේතුව හැටියට දැන් බලපාලා තියෙන්නේ.

ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥ හා ඒ ආශ්‍රිත පිළිකා ශල්‍ය වෛද්‍යකර්මය සම්බන්ධ විශේෂඥ පුහුණුවක් ලැබූ වෛද්‍ය සාරද කන්නන්ගර ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා කරාපිටිය වෛද්‍ය පීඨයට එක්විය. කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි වෛද්‍ය පීඨයෙන් ප්‍රසව හා නාරිවේදය හැදෑරූ පසු වසර ගණනාවක් කළුබෝවිල රෝහල, කාසල් රෝහල, සොයිසා රෝහල, කොළඹ ජාතික රෝහල, මහමෝදර රෝහල මෙන්ම පිළිකා රෝහලේද පුහුණුව ලබා ඉන්පසු බ්‍රිතාන්‍යයේ සරේ ප්‍රාන්තයේ ගිල්ෆර්ඩ් රාජකීය රෝහලේදී නාරිවේද පිළිකා සම්බන්ධයෙන් විශේෂඥ ශල්‍ය පුහුණුව ලබා දැන් මහරගම පිළිකා රෝහල සහ මහමෝදර ශික්ෂණ රෝහලේ නාරිවේද විශේෂඥවරයකු ලෙස කටයුතු කරයි.

එසේම රොබෝටික් හෙවත් රොබෝ තාක්ෂණය යොදා ගනිමින් පිළිකා ආශ්‍රිත ශල්‍යකර්ම කිරීම සඳහා සුවිශේෂී පුහුණුවක්ද ඔහු ලබා තිබේ. කාන්තාවනට බලපාන ජනනේද්‍රිය ආශ්‍රිත පිළිකා සම්බන්ධ සොයාබැලීම් කරන වෛද්‍ය සාරද දේශය පාඨක ඔබට අලුත් අදහස් රැසක් ඉදිරිපත් කළේ මෙසේය.

කට-බඩ රැවටීම
අවුරුදු 19-20 වගේ වයස්වල දැරිවියනුත් දැන් ගර්භාෂයික හා ඩිම්බ කෝෂ පිළිකාවලට ලක්වීම වැඩිවෙලා තියෙන බව දීර්ඝකාලීනව නිරීක්ෂණය කිරීමට තමන්ට හැකිවූ බව ඔහු කියයි. ඒ අයගේ ජීවන රටාව ආහාර පුරුදු ගැන විමසා බැලූ විට දක්නට ලැබෙන පොදු කාරණයක් වී ඇත්තේ මේ අය ප්‍රධාන ආහාරවේල් මගහැර කෙටි කෑම ඇතුළු දැන් දක්නට ලැබෙන විවිධ අමුතු කෑම වට්ටෝරු සඳහා නිරන්තරයෙන් යොමුවීමත්, ජලය අවශ්‍ය තරම් පානය නොකිරීමත් ඒ වෙනුවට කෘත්‍රිම බීම වර්ග ගැනීමත්, ව්‍යායාම මුළුමනින්ම අමතක කර දැමීමත් මෙයට ප්‍රධාන හේතුව ලෙස පෙනී යන බවයි.
මේ ආහාර පුරුදු සහ ජීවන රටාව සමඟ අත්වැල් බැඳ එන තරබාරුව ප්‍රධානතම පිළිකා කාරකය බවට දැන් පත්ව හමාරය.
මේ නිසා විශේෂඥ වෛද්‍ය සාරද කන්නන්ගර පාසල් වියේ දැරියන්ට සහ අනෙකුත් කාන්තාවන්ට කියන්නේ මේ කියන සෝබනකාරී කෘත්‍රිම ආහාර රටාවෙන් සහ චර්යා රටාවෙන් මිදී අපේ සම්ප්‍රදායික ආහාර පුරුදු සහ ජීවන චර්යාවන්ට යොමුවන ලෙසටය. එනම් කොළපලා එළවළු පළතුරු වැඩි ආහාර නිසි වෙලාවකට ගන්නා අතර සෑහෙන තරම් ජලය පානයට යොමුවන ලෙසටය.

බොරු බයයි ලජ්ජාවයි
පියයුරු පිළිකා හැරුණු විට අපේ රටේ වැඩිම කාන්තා පිළිකා රෝගය ලෙස ගැබ්ගෙල පිළිකා හඳුනාගන තියෙනවා. මේ කියන පිළිකාව ඇතිවන්නේ ශරීරයේ ඉන්නන් බඳු ගැටිති ඇති කරන්නත් මුල්වෙන Human Papilloma කියන වෛරසයේ විශේෂයක් මගිනුයි. මෙය ඉතාම පහසුවෙන් Pap පරීක්ෂාව ලෙස හඳුන්වන සුවනාරි පරීක්ෂාවකට ලක්වීමෙන් හඳුනාගන, මූලික මට්ටමේදීම වළක්වා ගත හැකි පිළිකාවක්. ඒ වගේම ඉතා සුළු ශල්‍ය කර්මයක් තමා මෙයට ඇත්තේ. ඒ ශල්‍යකර්මය නිසා ශරීරය විකෘතිවීමක් වන්නේ නෑ. මොකද අපිට පුළුවනි දැන් ශරීරයේ වෙනත් තැන්වල සම් මස් ලේ යොදාගන අදාළ ස්ථාන තිබ්බා වගේම නැවත හදාගන්න. විශේෂඥ වෛද්‍ය සාරද කන්නන්ගර කියයි.

45ට වැඩි අයට එන ගැස්ට්‍රයිටීස් ලක්ෂණ ඩිම්බකෝෂ ගෙඩියක් නිසා වියහැකියි

කරුණු එසේ නම් මේ පිළිකාව මේ තරම්ම වැඩිවන්නට හේතුව කුමක්ද? එයට හේතුව ලෙස වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ පරීක්ෂාවක් සඳහා යොමුවීමට දක්වන ලජ්ජාවයි. මේ බොරු ලජ්ජාව අන්තිමේදී ලොකු හානියක් සිදුකර ජීවිතයද අහිමි කිරීමට සමත් වූවකි.  මේ ලජ්ජාවට හේතුව මෙය ලිංගික සබඳතා පවත්වන අයට වැළඳෙන රෝගයක් ලෙස හඳුනාගන තිබීමයි. නමුත් බහු සබඳතා පවත්වන අයට පමණක් නොව ඕනෑම කෙනෙකුට මෙය වැළඳිය හැකියි. වෙනත් රටවල සහ පෞද්ගලික අංශයේ දැන් මේ සඳහා එන්නතුත් භාවිතා වෙනවා. වයස 13දී පමණ දැරියන්ට මේ එන්නත ලබාදීමෙන් වෛරස් රෝගයක් වන මෙයින් ගැලවෙන්න පුළුවනි.

විශේෂඥ වෛද්‍ය සාරදට අනුව දැන් දැන් වැඩියෙන් වාර්තාවන පිළිකා රෝග ලෙස ගර්භාෂයික හා ඩිම්බකෝෂ පිළිකාද කැපී පෙනෙන තත්ත්වයට පත්ව තිබේ. මෙයට හේතුව කුමක්ද?
ගර්භාෂයක පිළිකා බොහෝ විට වයස 45ට වැඩි කාණ්ඩයට වැළඳෙන තත්ත්වයකි. මේ සඳහා ප්‍රධානතම හේතුව වන්නේ අක්‍රමවත් මාසික ශුද්ධියයි. වෛද්‍ය සාරද පෙන්වා දෙන්නේ සිංහලයේ මේ සඳහා නිවැරදිම වචනය භාවිතා වන බවයි. මාස්පතා ගර්භාෂය ඇතුළත ශුද්ධ වී යාමත් නැවත අලුත් වීමත් එමගින් ඉතා නිවැරදි ලෙස හඳුන්වාදී ඇතැයි ඔහු පෙන්වා දෙයි. ඉතින් මේ සුද්ධ වීම නිසි විදියට සිදු නොවුනාම ඒ සෛල තැන්පතු සිරුර තුළ වැඩෙන්නට අරගෙන ඉතා කුඩා ඉදිමුම්වල සිට මහා විශාල ගෙඩි දක්වා වර්ධනය වෙනවා. පිළිකා ලෙස වර්ධනයට ලක්වන්නේත් මේවම තමා.

මේ නිසා ඔබේ බඩේ නිතර එන බඩදැවිල්ල, කැක්කුම, මලපහ කිරීමේ අපහසුතා මුත්‍රා කිරීමේ අක්‍රමිකතා ගැන නොසලකා හරින්නට හොඳ නෑ. විශේෂම කරුණ තමයි මාසික ශුද්ධිය සිදු නොවන විට ඒ ගැන වෛද්‍ය පරීක්ෂණයකට ලක්වීම. තවත් වැදගත් කාරණයක් තමා ගැස්ට්‍රයිටිස්. වයස 45ට පසුව ඒ කියන්නේ කලින් ගෑස් ලක්ෂණ නොතිබ්බ කෙනෙකුට මාසික ශුද්ධිය අක්‍රමවත් වීමත් එක්ක ගැස්ට්‍රයිටිස් ලක්ෂණ දිගටම එනවා නම් ඒක ලොකු අනතුරු ඇඟවීමක්. ගර්භාෂ පිළිකාවක් ගැන කලින් ලැබෙන එක් සංඥාවක්. මෙවැනි දේවල් සුළුකොට තකන්න හොඳ නෑ.
මෙබඳු ලක්ෂණ පහළ වූ විට වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බව විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කර සිටියි. නමුත්, අපේ බොහෝ දෙනා ගර්භාෂයික පරීක්ෂාවන්ටද යොමුවීමට භීතියක් දක්වති. එයට හේතුවද වචනයක පටලැවිල්ලකි.

මොකක්ද මේ බඩ සේදීම
ගර්භාෂය ආශ්‍රිත ලෙඩක් ඇතැයි සැකකළාම අපේ රටේ බොහෝ දෙනා කතා කරන්නේ අනේ! දැන් බඩ සෝදන්න වේවි නේද කියලයි. මේක මේ වැරැදියට භාවිතා වන වචනයක්. ඉංග්‍රීසියෙන් Womb Wash කියන වචනේ තමා මේ බඩ සේදීම කියලා භාවිතාවන්නේ. නමුත් මේකේදී සේදීමක් වෙන්නේ නෑ. මෙතෙන්දි වෙන්නේ ඇත්තටම ගර්භාෂයේ පඨක කොටසක් පරීක්ෂාව සඳහා ලබා ගැනීමයි. එමගින් තමා පිළිකාමය තත්ත්වයක් ඇතිද වැඩිදුර ශල්‍යකර්ම අවශ්‍යද කියලා තීන්දු වෙන්නේ. නමුත් බඩ සේදූ පමණින් ඒ කියන්නේ පඨක පරීක්ෂාවක් කළ පමණින් දරුඵල අහිමි වෙන්නේ නෑ. සාමාන්‍යයෙන් කියන විදිහට දරුබොක්ක නැතිවෙන්නේ නෑ.
ගර්භාෂයක පිළිකාවන්ට මූලික හේතුව එය මාසිකව නිසි පරිදි ස්වභාවිකව ශුද්ධ නොවීමයි. මේ නිසා ඩිම්බ මේරීමේ අක්‍රමිකතාවයක් හෙවත් Polycystic Ovary Syndrome කියන තත්ත්වය ඇතිවෙනවා. ගර්භාෂය තුළ කුඩා ගැටිති නෙරුම් අර්බුද හැටියට එන මේ සෛල ගොනු වර්ධනය වෙලා පිළිකා තත්ත්ව ඇතිවෙනවා.
ගර්භාෂයික පිළිකා සම්බන්ධයෙන් බොහෝ වෙලාවට වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමුවන ප්‍රවනතාවක් තියෙනවා. තමන්ගේ මාස් ශුද්ධිය නිසි ලෙස නොවීමත් සමග ඒ ගැන සොයන්නට පෙළැඹීම නිසයි. නමුත් භයානක දේ තමයි ඩිම්බකෝෂ පිළිකාව.

විශේෂ ලක්ෂණ නැති මාරකය
විශේෂඥ වෛද්‍ය සාරද කන්නන්ගර පෙන්වා දෙන්නේ ඩිම්බ කෝෂ පිළිකාමය තත්ත්වයන් ගැන කලින් අනතුරැ අඟවන එයටම සුවිශේෂ වූ රෝග ලක්ෂණ නැති බවය. උදරය ඉදිමීම, බඩේ පිපුම බඩේ දැවිල්ල, බඩ වේලීම, මළපහ කිරීමේ අපහසුතා, බඩේ රුදාව, නිසි ලෙස මුත්‍රා පිට කළත් එසේ නොවුනා යැයි යන හැඟීමක් දැනීම බඳු වඩාත් පොදු රෝග ලක්ෂණ කිහිපයක් ඩිම්බ කෝෂ පිළිකාවන්හිදී දක්නට ලැබේ. මේ නිසා ඩිම්බ කෝෂ අක්‍රමිකතා හඳුනාගන්නට ලැබෙන්නේ Scan පරීක්ෂාවක් මගිනි. දීර්ඝකාලීනව එන මෙම රෝග ලක්ෂණ මගින් පරීක්ෂාවකට යොමුවී හඳුනා ගැනීමට ලැබෙන ඩිම්බ කෝෂ ආශ්‍රිතව දක්නට ලැබෙන සෙන්ටිමීටර 4ට වැඩි ඉදිමුම් ගෙඩි ආදිය යතුරු සිදුරු සැත්කම් මගින් ඉවත් කළ යුතු බව වෛද්‍යවරයා පෙන්වා දෙයි. එසේම මූලික අවස්ථාවේදී හඳුනාගන කරන ශල්‍ය කර්ම සහ ඖෂධ ප්‍රතිකාර හේතුවෙන් ජීවිත කාලය කල්දමා ගත හැකි බව ඔහු පෙන්වා දෙයි.
මේ කියන ගර්භාෂයේ සහ ඩිම්බ කෝෂවල පිළිකා සඳහා මුල්වන ගෙඩි බඳු අර්බුද හැදෙන්න බලපාන ප්‍රධානම දේ තමා තරබාරුව. ඒ කියන්නේ වැරැදි ආහාර පුරුදු එක්ක එන තරබාරුව. හුඟක් ඔය කෙටි කෑම, ක්ෂණික කෑම, කෘත්‍රිම බීම භාවිතාවට ගැනීම නිසා ශරීරයේ අධික ලෙස මේදය තැන්පත් වෙනවා. මේ අධික මේදය නිසා ශරීරයේ ඊස්ට්‍රජන් හෝමෝනය වැඩියෙන් නිපදවෙනවා. මේ හෝර්මෝනය ගර්භාෂයේ ඩිම්බකෝෂවල පඨක වර්ධනය ඉක්මන් කරනවා. සොබාවික ප්‍රමාණයට වඩා ඉක්මන් වෙන අධික වර්ධනය නිසා පිළිකා තත්ත්වය හටගන්නවා. ඒ වගේම කෘත්‍රිම සහ ක්ෂණික ආහාරවල අන්තර්ගත විවිධ රසකාරක, නැවුම්කාරක, වර්ණකාරක ද්‍රව්‍ය බොහෝමයක් තුළ පිළිකා ජනක ද්‍රව්‍ය අඩංගුයි. ඉතින් මේවා බුරුතු පිටින් ශරීරගතවෙනකොට ශරීරයේ ස්වභාවිකව ඇති පිළිකා පියවි සෛල උත්තේජනය වෙලා පිළිකා හැදෙනවා. අපි නිරීක්ෂණය කළ අන්දමට තරුණ දැරියන් අතර පිළිකා රෝග ඉහළ යාමේ ප්‍රවනතාවක් ඇතිවෙලා තියෙන්නේ මෙන්න මේ හේතුව නිසයි. මේ සඳහා ශල්‍යකර්ම කළයුතුයි. නමුත් මුල් කාලයේදී කරන ශල්‍යකර්ම ඉතාමත් සාර්ථකයි. වයස අඩු අයට කරන ශල්‍යකර්මවලදී අපි ඔවුන්ට දරුවෙක් ලබාගන්නට ඇති හැකියාව ආරක්ෂා වන අන්දමටයි. ඒ කියන්නේ Fertility Spearing කියන අන්දමටයි එය කරන්නේ. මේ නිසා ඩිම්බ කෝෂ පිළිකා නිසා දරුඵල අහිමි වෙන්නේ නෑ. අනෙක් පිළිකා වර්ගය බාහිර ලිංගේන්ද්‍රිය ආශ්‍රිතව ඇතිවන ඒවා. ඒක අවුරුදු 70 පැන්නාම තමා හුඟක් එන්නේ. මෙතැන්දිත් ශල්‍යකර්ම කළාම ලොකු තුවාලයක් ඇතිවන බව හැබෑව. නමුත් අපිට පුළුවනි තිබ්බ තත්ත්වයටම ප්‍රකෘතිමත් කරන්න.

රොබෝවෙන් ශල්‍යකර්ම
විශේෂඥ වෛද්‍ය සාරද කන්නන්ගර රොබෝ තාක්ෂණය යොදා ගනිමින් නාරිවේද ශල්‍යකර්ම කිරීම සඳහා පුහුණුව ලත් අයෙකි. වෛද්‍යවරයා විසින් පාලනය කරන රොබෝ අත් මගින් සිදුකරන මෙබඳු ශල්‍යකර්ම වඩාත් කාර්යක්ෂම බවත්, ඒවායේදී රෝගීන්ට සිදුවන හානිය අවම බවත් ප්‍රතිඵල නිශ්චිත බවත් ඔහු කියයි. කොටින්ම මෙහිදී රුධිර වහනය සිදු නොවන තරම් යැයි ඔහු පෙන්වා දෙයි. ඕනෑනම් මේස හැන්දක ප්‍රමාණයක් මුළු ශල්‍යකර්මය තුළදීම ඉවත් වන්නට හැකිය. ඉදිරි කාලයේදී පිළිකා ඉවත් කිරීම සඳහා රොබෝ සැත්කම් ද යොදාගන්නට හැකිවෙතැයි ඔහු විශ්වාස කරයි.

 සුගත් පී. කුලතුංගආරච්චි