2017 මාර්තු 25 වන සෙනසුරාදා

මාන්කුලම් පොලීසියේ හොරා - පොලිස් වැඩේ

 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 66

 

මාන්කුලම් පොලිස්ථානය පිහිටා ඇත්තේ වවුනියාව යාපනය ප්‍රධාන මාර්ගයේ මාන්කුලම් හන්දිය ආසන්නයේය. පොලිස් බලප්‍රදේශය ආශ්‍රිතව ඇති බොහෝ ස්ථාන කැලෑබද රක්ෂිත ලෙස පිහිටා ඇත. හොඳින් වැඩුණු කඳන් සහිත වටිනා ගස් මේ වන රක්ෂිත තුළ පවතී. බොහෝ ජාවාරම්කරුවන් මේ ගස් නීතිවිරෝධී ලෙස කපා අලෙවි කරන ජාවාරමේ නිරතව සිටියදී ඊට විරුද්ධ ප්‍රදේශවාසීන්ගේ තොරතුරු මත එම ජාවාරම් මැඩලන්නට පොලීසිය මැදිහත්ව මෙහෙයුම් සිදුකරයි. එවැනි වැටලීම්වලින් අත්අඩංගුවට පත් ඉරූ දැව පරාල සහ ලෑලි විවිධ ප්‍රමාණයන්ගෙන් පොලිස්ථාන පරිශ්‍රයේ ගොඩ ගසා  තිබීම සාමාන්‍ය සිද්ධියකි.

මෙම ජාවාරම සම්බන්ධ ඔත්තුකරුවෝද මාන්කුලම් ප්‍රදේශයේ ගැවසෙති. එබැවින් පොලීසිය වැටලීම් සිදුකරන්නට යාමට මත්තෙන් පොලීසිය කඩාවදින බවට තොරතුරු ජාවාරම්කරුවන්ට දැනී අවසන්ය. හදිස්සියට ජාවාරම්කරුවන් පලා ගියද කැපූ දැව සහ ඉරූ පරාල ලෑලි රැගෙන යන්නට ඔවුන්ට අවස්ථාවක් නැත. සැකකරුවන් රහිත වටිනා දැව අත්අඩංගුවට ගත් පොලීසියට වැටලීමට අදාළව නීති මගින් කටයුතු කර අධිකරණයට ඉදිරිපත් කරන්නට පුද්ගලයන් නැති විට එම දැව පොලිස් භූමියේම රඳවා තබන්නට කටයුතු කෙරේ. මේ ආකාරයට කාලයක් තිස්සේ අත්අඩංගුවට පත් දැව තොගයක් පොලිස්ථාන බිමේ විය. සැකකරැවන් සමඟ අත්අඩංගුවට පත් ඒවා පමණක් අධිකරණය වෙත යොමුකර තිබුණි.

මේ ආකාරයට විටින් විට අත්අඩංගුවට ගන්නා දැව තොග රක්ෂිත වනාන්තර ඇතුළත සිට පොලිස්ථානය වෙත රැගෙන ඒම අසීරුය. ඒ සඳහා මාන්කුලම්හි පදිංචි ට්‍රැක්ටර් රථ රියැදුරෙක් සිය රථය ලබාදෙමින් සහාය වූයේ පොලිස් නිලධාරීන් හා පවතින මිත්‍රත්වය නිසාය. ඔහුගේ හිතවත්කම හේතුවෙන් එම කටයුත්තට කිසිවිටෙකත් මුදල් අයකර තිබුණේ නැත. පොලිස් නිලධාරීන් එසේ ඔහුගේ ගාස්තුව ගෙවීමට උත්සාහ කළද ඔහු එය මඟහැර සිටියේය. විටෙක ඩීසල් සපයා දුන්නද ඇතැම් විටෙක ඔහු කියා තිබුණේ මට හැකිනම් ඔය ලී දඬු කීපයක් දෙන්න ගෙදර වැඩ ටික කරගන්න යනුවෙනි. එබැවින් හිතවත් රියැදුරුගේ ඉල්ලීම පරිදි ඇතැම් විටෙක ලී පරාල කීපයක් ඔහුට ලබාදුන් පොලිස් නිලධාරීහු ඉතිරිය පොලීසිය බාරයේ රඳවා තැබූහ. සැකකරුවන් නොමැති දැව පිළිබඳ පොලිස් පොත්පත්වල නිසි ක්‍රමවේද අනුව සටහනක් තබන්නට කටයුතු කොට තිබුණේද නැත. මේ නිසා ඇතැම් අවස්ථාවලදී එම දැව පොලිස්ථානයේ විවිධ අවශ්‍යතා සඳහා යොදවා ගෙන ඇතැයිද වාර්තා විය.

මේ අතරතුර ඉකුත් දිනෙකදී පොලිස්ථානයේ ගොඩගසා තිබූ දැව තොගයෙන් කොටසක් අතුරැදන්ව තිබුණේ කාටත් හොරාය.

සිද්ධිය පිළිබඳව බොහෝ නිලධාරීහු පුදුම වූහ. මේ අතර සිද්ධිය පිළිබඳව විමර්ශනයක් කරන්නට නියම කෙරිණ. ඒ සම්බන්ධව විමර්ශනයක් සිදුවෙමින් තිබියදී පොලීසියට තොරතුරක් ලැබී තිබුණේ ප්‍රදේශයේ ට්‍රැක්ටර් රථ රියැදුරකුගේ නිවසේ දැව තොගයක් තිබෙන බවත් ඒවා පොලීසියේ අතුරුදන් වූ දැවවලට සමාන බවත්ය.

විමර්ශන නිලධාරීන් එම නිවෙස පරීක්ෂා කොට දැව තොගය අතර තිබූ වටිනා දැව වර්ගයක් වන පලු පරාල 52ක් සොයාගෙන තිබිණි. එහිදී සැකකරු ප්‍රකාශ කර තිබුණේ ඒවා පොලීසියෙන් ලබාගත් බවත් එම දැව කොටස් එම පොලීසියේ උපපොලිස් පරීක්ෂකවරයකු විසින් ලබාදුන් බවත්ය. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරැ රිමාන්ඩ් භාරයට පත්කොට ඇති අතර සැකකාර උපපොලිස් පරීක්ෂකවරයාගෙන්ද ප්‍රකාශයක් ලබාගන්නට නිලධාරීහු ක්‍රියා කළහ.

එහිදී ආධුනික උපපොලිස් පරීක්ෂකවරයා තමා පොලිස්ථානයේ තිබූ දැව අවසරයකින් තොරව රුගෙන ගිය බව පිළිගෙන ඇතැයි කියති. ඔහු පිළිබඳව පොලිස් දෙපාර්තමේන්තුව මට්ටමින් විමර්ශනයක් සිදුකෙරෙන අතර විමර්ශනය අවසන් වනතුරු ඔහුගේ සේවය අත්හිටුවා තිබේ. විමර්ශනය අවසානයේ උපපොලිස් පරීක්ෂකවරයා පිළිබඳව විනය ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයිද, ඔහු ඇත්ත හෙළිකර තිබීම සහ සොරකමක් පිළිබඳව සාක්ෂි නොතිබීම මත සිදුවීම අධිකරණයට යොමු නොකෙරෙන බවද දැනගන්නට තිබේ.

29 හැවිරිදි වියේ පසුවන උපපොලිස් පරීක්ෂකවරයා අවංක අදහස් ප්‍රකාශ කර ඇති අතර ඔහුගේ ආධුනික බව මත එම වරදෙහි පැටලී ඇතැයි පැවසේ. මේ ආකාරයට මීට ඉහතදීද පොලීසිය බාරයේ තිබූ දැව අතුරැදන්ව තිබූ බවත් රියැදුරැගේ ප්‍රකාශය අනුව සැකකාර උපපොලිස් පරීක්ෂකවරයාගේ උපදෙස් මත දැව තොගය සිය නිවසේ සඟවාගෙන සිටි බවද හෙළි වී තිබේ. ඒ පිළිබඳ තිබූ සාක්ෂි කීපයක් සැකකාර නිලධාරියා විසින් විනාශ කර ඇති බවද විමර්ශනයේදී හෙළි වී ඇත.

විනය පරීක්ෂණය අතරතුරදී හෙළි වී ඇත්තේ සැකකාර උපපොලිස් පරීක්ෂකවරයා ලබන මාසයේදී විවාහ ගිවිස ගැනීමට සූදානමින් සිටි බවය. ඔහුගේ පියා හදවත් රෝගියෙක් බවද මව අසනීප තත්ත්වයේ පසුවන බවද සඳහන්ය. වැඩිමහලු සොහොයුරන් දෙදෙනා කුලී වැඩ කරමින් ජීවිකාව ගෙන යන බවත් නැගණිය වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වීමට සුදුසුකම් ලබා ඇති බවත් සඳහන්ය. බාල සොහොයුරෙක් තවමත් අධ්‍යාපනය ලබන බවද ඒ සඳහා අවශ්‍ය වියදම් මොහු විසින් කරන බවද පවසා ඇත.

කෙසේ නමුත් නීතිය ක්‍රියාත්මක කරන්නට ඉදිරියට ආයුතු පොලිස් නිලධාරියෙක් මෙසේ වරදෙහි යෙදීම හෝ ඒවාට පැටලීම සිදුනොවිය යුත්තකි.

උතුරැ පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර මහතාගේ සහ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මුලතිව් කොට්ඨාස බාර පොලිස් අධිකාරී අයි.ඩබ්ලිව්.ජී.ආර්. කන්දෙවත්ත මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විමර්ශනය සිදුකරති.

 සමන්ත ප්‍රදීප් විල්තෙර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00