2020 ජනවාරි 18 වන සෙනසුරාදා

ආර්.එම්.වී. එකේ හතරවරම් කතාව

 2020 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 12:30 24

අල්ලස් දීම, පගා ගැනීම, තුටු පඬුරු, සංතෝසම් යන සියල්ල කොතෙකුත් සිදුවෙමින් පවතී. රාජ්‍ය ආයතනයන්හි මහජනතාවට සේවා සපයන සංස්ථා දෙපාර්තමේන්තු ඇතුළු බොහෝ ස්ථානවල ඉහළ නිලධාරීන් මෙන්ම පහළ නිලධාරීන්ද මෙකී සිදුවීමේ කොටස්කරුවන් බව ප්‍රසිද්ධ කරුණකි. එහෙත් අල්ලස් දීමත් ලබා ගැනීමත් නීතියෙන් තහනම් වූ බරපතළ වරදකි. එබැවින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සීරුවෙන් සිට සැකකරුවන් හා වරදකරුවන් නීතියේ රැහැනට කොටුකර ගැනීමේ මෙහෙයුම් සිදුකරයි. තමන්ට පවතින නීති ප්‍රතිපාදන යටතේ උපරිම දඬුවම් පැමිණවීමටද ඔවුහු කටයුතු කරති.

තත්ත්වය එසේ වුවද රජයේ ඉහළ නිලතල දරන නිලධාරීන් ගණනාවක් අල්ලස් ලබාගැනීමට උත්සාහ ගැනීමේදී කොටු වී තිබිණ. එහිදී ඔවුහු තම තනතුර මෙන්ම වෘත්තීය ගරුත්වයද රට හමුවේ දියකර දැමූහ. මෙකී රජයේ ඉහළ නිලධාරීන් උගත් බුද්ධිමත් හා විනයගරුක කොටසක් බව රටේ මහජනතාව විශ්වාස කළද මෙම අල්ලස් සිද්ධීන් සමග ඔවුන් සොරුන් දූෂිතයන් හා වංචාකරුවන් බවට හංවඩු ගැසී තිබිණ. මෙකී සිදුවීම්වල උච්ඡතම අවස්ථා ඉකුත් සමයේ වාර්තාවූයේ සංස්ථා සභාපතිවරැන් කිහිප පොළක් හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුර දැරෑ තැනැත්තාද අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන්ට කොටුවීමෙන් පසුවය.

රජයේ ඇතැම් ආයතනවල සුළු සේවකයන් අසරණ රෝගීන්ගෙන් පවා අල්ලස් ගන්නා බැව් වාර්තා වේ. ප්‍රසිද්ධ රාජ්‍ය ආයතනවල උසස් හා ඉහළ නිලතල දරන නිලධාරීන් අල්ලස් කොමිස් පමණක් නොව තවත් බොහෝ දෑ හොර රහසේ රැස්කරගන්නා බවටද චෝදනා එල්ලවෙයි.

ආර්.එම්.වී. - මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් අප කලක පටන් අසා ඇත්තේ අල්ලස, දූෂණය, වංචාව රජකරන ස්ථානයක් බවටය. ඊට හේතු සාධක සිදුවීම් රාශියක්ද අපි අසා දැක ඇත්තෙමු. එවැනි පසුබිමක අප වෙත වාර්තා වූයේ එම දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විගණනවලදී හෙළි වූ බව කියන සිදුවීමකි. ඉන් දැනගන්නට ලැබී ඇත්තේ රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවට පවරා ගැනීම ප්‍රමාද කිරීම සඳහා එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් දස දෙනෙකු එක්තරා පෞද්ගලික සමාගමකින් මාසයකට රැපියල් ලක්ෂ දහය බැගින් දීමනාවක් ලබාගෙන ඇති බවකි. මෙම නිලධාරීන් දසදෙනා අතරට එහි හිටපු කොමසාරිස්වරැ ඇතුළු සෙසු නිලධාරීන් කිහිපපොළක් සම්බන්ධව සිටි බවද වාර්තා විය.

විශේෂිත ආරක්ෂිත ක්‍රමවේද යටතේ නිෂ්පාදනය කරන රියැදුරැ බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා පෞද්ගලික ආයතනයක් සමග මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව ගිවිසුමක් අත්සන් තබා තිබිණ. එහිදී විශේෂ චිපයක් සහිත නවමු රියැදුරු බලපත්‍රයක් නික්තු කිරීමටද හැකියාව ලැබී තිබිණ. කෙසේ වෙතත් අදාළ ගිවිසුම වසර හතරකට පෙර අහෝසි වන බව දෙපාර්ශ්වයම දැන සිට ඇතැයි කියති. ඒ අනුව අදාළ කාර්ය නැවත රජයට පැවරීම සිදුකළ යුතුව තිබී ඇත. එහෙත් එම සමාගමට ලැබෙන අධික ලාභය නිසා අදාළ ගිවිසුම කඩකර දිගින් දිගටම එම මුද්‍රණ කටයුත්ත සිදුකරගෙන ගොස් තිබිණ. ඊට විශාල ලෙස සහාය දක්වන දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පිරිසකට මාසිකව රැපියල් ලක්ෂ 10 බැගින් පෞද්ගලික ආයතනය විසින් මුදල් ගෙවා ඇතැයි වාර්තා වන්නේ ඒ අනුවය. අදාළ සමාගම විසින් මාසයකට රියැදුරු බලපත්‍ර 65,000ත් 90,000ත් අතර ප්‍රමාණයක් මුද්‍රණය කරන බවත් ඒ සඳහා රුපියල් කෝටි 15ක පමණ ආදායමක් උපයන බවත් දැනගන්නට තිබේ. දෙපාර්තමේන්තුවේ අතිරේක කොමසාරිස්වරු පිරිසක්ද ඉහත කී පෞද්ගලික සමාගම වෙනුවෙන් වසර කිහිපයක සිට පෙනී සිටින බව වාර්තා වේ. මේ ආකාරයට සිදුවන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ වංචා පිළිබඳ සොයාබැලීම සඳහා විශේෂ කොමිසමක් පත්කළ යුතු බව එම දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පෙන්වා දෙති.

එහෙම මුදල් ගැනීමක් කරලා නැහැ
- උපාලි ජයසේකර
වැඩබලන කොමසාරිස් - මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව

පෞද්ගලික ආයතනයක් මගින් රියැදුරු බලපත්‍ර මුද්‍රණය කළා. නමුත් ඔවුන් යම් පිරිසකට මුදලක් ගෙව්වාද? කියන කාරණය මම දන්නේ නෑ. එවැනි කතාවක් පිළිබඳ මාධ්‍ය වාර්තාවක් මා දුටුවා. නමුත් ලක්ෂ දහය බැගින් දස දෙනකුට ගෙවූ බවයි දැක්වුණේ. ඒ ආකාරයට මාසයකට කෝටියක් ගෙවයිද? මම හිතන්නෙ නෑ. කෙරෙන දේම නෙවේ එවැනි වාර්තාවල පළවෙන්නේ. ඒ කාරණය ගැන වෙනත් යමක් මම දන්නේ නෑ. මේ දිනවල මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවට විශාල පාරිභෝගික ජනතාවක් එනවා. බලපත්‍ර අලුත් කිරීමට තමයි වැඩි වශයෙන් පැමිණෙන්නේ. සියලුමදෙනාට හොඳ සේවයක් ලබාදෙන්න නිලධාරීන් කටයුතු කරනවා. ඒ සඳහා අමතර නිලධාරීන් පිරිසකුත් යොමුකළා. රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදයක් කලින් පැවතුණා. දැන් ඊටත් විසඳුමක් ලබාදී තිබෙනවා. අපට ලොකු ගැටලුවක් තිබුණා. මේ ආයතනය තුළට බ්‍රෝකර්වරැ එන එක පිළිබඳව. දැන් ඊට අවශ්‍ය පියවර අරගෙන තිබෙනවා. සාමාන්‍යයෙන් රියැදුරැ බලපත්‍ර 65,000-90,000 අතර ගණනක් මාසිකව මුද්‍රණය වෙනවා. එක බලපත්‍රයක වියදම රු.2200ක් වෙනවා. ඒ වගේම කලින් කියපු සිදුවීම වගේ නිලධාරීන්ට මුදල් ගන්න බෑ. එහෙම කරලා නෑ. මම ඒක වගකීමෙන් ප්‍රකාශ කරනවා.

► සමන්ත ප්‍රදීප් විල්තෙර