2020 ජනවාරි 18 වන සෙනසුරාදා

නොඉල්ලමි කිසිවක්ම නිදහසම හැරෙන්නට

 2020 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 12:30 171

නිදහස යනු මානව සමාජයෙහි ප‍්‍රබල සංකල්පයක් වන අතර ඒ පිළිබඳ අර්ථ ගොඩනංවන ජර්මන් ජාතික ඉමෑනුවෙල් කාන්ට් පෙන්වා දෙන්නේ මෙය මිනිසාගේ මානසික කාරණාවක් මෙන්ම සමාජ යාන්ත‍්‍රණයේම කොටසක් ලෙස ගොඩනැගී සමාජය තුළ සක‍්‍රීය ස්වරූපයක් ගන්නා බවයි. මෙය  සත්ත්ව  සමාජයෙහි ආරම්භයේ සිටම අඛණ්ඩවම ගොඩනැගුණු සංකීර්ණ ක‍්‍රියාවලියක් වන බව පැහැදිලි  වුවත් සත්ත්ව සමාජයට මෙය තේරුම් ගත නොහැකි වන්නේ බුද්ධිය නිර්මාණය වීමට අදාළ ශාරීරික දියුණුව ඔවුන් තුළ නොමැති බැවිනි. එම නිසා සතුන් නිදහස යන්න ක‍්‍රියාත්මකතාව තුළ අපේක්ෂා කළත්, ඔවුන්ගේ චින්තන ක‍්‍රියාවලිය තුළ මෙය සංකීර්ණ සංකල්පයක් බවට පරිවර්තනය වී නැති බැව් පැහැදිලි වේ. මිනිසාගේ ද චින්තන සංවර්ධනයෙහි අඩු බව ගොඩනැගෙන විට මෙහි අර්ථය තම සහ සමාජ චර්යාවට එකතු කරගත නොහැකි වීමේ ගැටලුව තුළ සමාජයෙහි විවිධ ප‍්‍රශ්න නිර්මාණය කර ගන්නා ආකාරය ද පැහැදිලි වේ. මිනිස් සමාජයෙහි එකිනෙක පුද්ගලයන් අතර ගැටලු නිර්මාණය වන්නේම නිදහස අර්ථවත් කර කරගැනීමට ඇති නොදැනුවත්කම මූලිකව බව පැහැදිලි වේ. පුද්ගල සහ සමාජ ජීවිතය තුළ නිදහස සෙවීම සඳහා ප‍්‍රබල දැනුම පමණක් නොව අවබෝධයක් තිබීම ද අත්‍යවශ්‍ය වේ. අනවබෝධිත සමාජයන්හි නිරන්තරයෙන් නිදහස පුද්ගලයාට අහිමි වී යන්නේ එය අවබෝධය නැමති කාරණාව තුළම ගොඩනැගෙන බැවිනි. මේ අනුව මිනිසා අපේක්ෂිත සහ ඔහුගේ තෘෂ්ණා භරිත කැමැත්ත කුමක්දැයි සොයායාමේ දී අපට හමුවන ප‍්‍රබලතම කරුණ වන්නේ  නිදහස යන සංකල්පයයි.

එහෙත් වර්තමානයෙහි නිදහස යන්නෙහි ස්වරෑප සහ හැඩරැව ගෝලීය මට්ටමින් නිෂ්පාදනය සහ ප‍්‍රතිනිෂ්පාදනය වුවත් එය තේරැම් ගැනීමට සහ ආකර්ෂණීය ලෙස ක‍්‍රියාත්මක කිරීමට මිනිසාට හැකි ද යන්න තවමත් ගැටලුවක් වශයෙන් පවතී. ඕනෑම ක‍්‍රියාවලියක් සංතෘප්ත කර ගැනීමට මිනිසාට ඇති ඉඩ නිදහස යන්නෙන් අර්ථවත් නොවන්නේ සමාජය තුළ මිනිසා වෙනුවෙන් ඉතා තීක්ෂණ ක‍්‍රියාවලීන්, ප‍්‍රමිතීන් සහ වාරණ අර්ථ ගන්වා ඇති බැවිනි. නමුත් නිදහස අර්ථවත් වන්නේ මෙන්ම, නිදහස් සීමා වන්නේ ද සමාජ කේන්ද්‍රීය භාවය තුළ බව අපට පැහැදිලි වේ. තවද මිනිසෙකු අප ඉදිරියෙහි නොසිටින්නේ නම් නිදහස යන්න අවශ්‍ය නොවනු ඇත. ඒ අනුව නිදහස නිර්මණය කරන්නා මෙන්ම එහි සීමාවන් පනවන්නා ද අප ඉදිරියෙහි සිටින අනෙකා බවට පත්වීමත් සමඟින් එහි ඇති සමාජීය භාවය පිළිබද අපට පැහැදිලි කරගත හැකි වේ.

නිදහස යන්න මානව සංස්කෘතික ක‍්‍රියාවලීන් තුළින් ද මිනිසාට අහිමි කොට ඇති බැව් සමහරැන්ගේ මතය බවට පත් වී ඇති ආකාරය පැහැදිලි වේ. එහෙත් සංස්කෘතිය යන්නෙන් අර්ථවත් වන්නේ මිනිසාගේ චර්යාවෙහි ක‍්‍රමික බවක් ගොඩ නන්වන ක‍්‍රියාවලියක් බවයි. ක‍්‍රමික බව අහිමි වන විට මිනිසාට මිනිසා ඉදිරියෙහි සිටීමට නොහැකි වනවා පමණක් නොව මිනිසෙකු ලෙස ජීවත් වීමට ද නොහැකි වන බව අප අවබෝධ කරගත යුතුය. ඒ අනුව සංස්කෘතිය සාම්ප‍්‍රදායික අර්ථයෙන් ගන්නා විට නිදහස අහිමි වන බව පෙනුණත් සංස්කෘතියට විඤ්ඤාණික සහ  පුද්ගල චර්යාවේ පමණක් නොව සමාජ චර්යාවෙහි ද ක‍්‍රමික බවක් ගොඩනැංවිය හැකි නිසා එය දිගු ඉතිහාසයක සිට වර්තමානය දක්වා විවිධ ස්වරෑප යටතේ ගොඩනැගෙමින් පවතින බව පැහැදිලි වේ. මිනිසාගේ දියුණුව යනු ද චර්යාවෙහි සහ චින්තනයෙහි ක‍්‍රමික බවයි. එම ක‍්‍රමික බව මිනිසා ඉදිරියෙහි සිටින අනෙකාගේ ද නිදහස පමණක් නොව, චරියාවෙහි ද ක‍්‍රමික බවක් ගොඩ නැංවීමට හේතු වනු ඇත.

නිදහස යන්න පිළිබඳ නීට්ෂේ පෙන්වා දෙන්නේ මානව සමාජ ජීවිතයෙහි සමානාත්මතාව සහ ස්වාධීනතාව මෙන්ම ස්වාධිපත්‍ය සහ එහි ස්වරූප නිවැරදි ලෙසින් ගොඩනැගෙන්නේ නම් එහි නිදහස ඇති බවයි. ඔහුට අනුව නිදහස යනු මානසික අරමුණු තෘප්තිමත් කරන කි‍්‍රයාවලියක් බව පැහැදිලි වේ. මෙයට පුද්ගලයා තුළ ස්වෛරීත්වය ද නිර්මාණය කිරීමේ හැකියාවෙන් යුක්තය. නිදහස යනු ලෝකයෙහි සෑම පුද්ගලයාටම එක හා සමාන ලෙස බලපාන ප‍්‍රබල ක‍්‍රියාවලියකි. එහෙත් සමාජ වෙනස්කම් තුළ එහි සීමාවන් ද සමාජ ක‍්‍රියාවලිය තුළ මිනිසා විසින් ගොඩනගාගෙන ඇති බැව් පැහැදිලි වේ. ඒ අනුව මෙය පුද්ගල අත්දැකීම් හා සම්බන්ධ වෙමින් අර්ථවත් කරන සංකල්පයක් බවට ද පත් වී තිබේ. සමාජ ක‍්‍රමවේදය තුළ පුද්ගලයාගේ නිදහස වෙනුවෙන් තවත් පුද්ගලයෙකුට තම චර්යාව පාලනය කර ගැනීමට සිදුවන බව මේ අනුව පැහැදිලි වේ.

අනෙක් අතට ලෝකයෙහි මිනිස් ශිෂ්ටාචාර තුළ ”බලය” සහ ”ආර්ථිකය” යන ක‍්‍රියාවලීන් සැබෑ ලෙස නිදහස අහිමි කළ සමාජ කොන්දේසි බවට ද පත් වී තිබේ. එමෙන්ම වර්තමානය තුළ නිදහස යන්න බලයෙහි සහ ආර්ථිකයෙහි නිරන්තර ප‍්‍රතිඵලයක් බවට ද පත්වේ. මේ තුළ නිදහස අහිමි වී ගිය කල නැවත පහසුවෙන් එය ලබාගත් නොහැකි වන්නේ බලයට සහ ආර්ථිකයට කිසිදින පුද්ගල නිදහස නිර්මාණය කිරීමට නොහැකි වන බැවිනි. එක් අතකින් නිදහස යන්න සමාජ දර්ශකයක් බවට ද පත් වේ. පුද්ගලයාට නිදහස සෙවිය හැකි වන්නේ ද එම සමාජය තුළ සිටිමින් මිස වෙනත් සමාජ ක‍්‍රමයකට මාරැ වීම තුළින් නම් නොවේ. වෙනත් සමාජයකට මාරැ වීම යනු ද නිදහස අහිමි කර ගැනීමකි.

නිදහස යන්න මනස තුළ ගොඩනැගෙන සංකල්පයක් පමණක් ද නොවේ. මෙය මනසෙහි ප‍්‍රකාශනයක් බවට පත් වීම සඳහා අනෙකුත් සමාජ සහ භෞතික සාධකයන්ගේ ක‍්‍රියාකාරීත්වය මේ අනුව හේතු වන බැව් පැහැදිලි වේ. නිදහස යනු පුද්ගල සහ සමාජ ජීවිතයෙහි අඛණ්ඩ ක‍්‍රියාවලියක් බවත් එය සමාජ පරිවර්තන ගුණයෙන් යුක්ත වන බවත්, එය පාලන උපකරණයක් ලෙස ක‍්‍රියාත්මක වන බවත් අප පැහැදිලි කරගත යුතුය.

එමෙන්ම නිදහස යන්න සංකීර්ණ සංකල්පයක් වන අතර එය බිඳ වැටීම නිසා පවුල් තුළ සබඳතා සහ පවුල් අතර සබඳතා, මිත‍්‍රශීලී සබඳතා, පමණක් නොව රාජ්‍ය සහ පෞද්ගලික ආයතනයන්හි සේව්‍ය සහ සේවකයන් අතර සබඳතා ද බිඳ දමා ඇති අයුරැ අප සමාජය නිරීක්ෂණයෙන් වුව පැහැදිලි කරගත හැකි වේ. ආදර සබඳතා සෑම සත්ත්වයෙකුට සහ මිනිසකුටම අත්‍යවශ්‍ය කාරණාවක් වන අතර එය ද මිනිසා තුළ ප‍්‍රබල ලෙස ගැරහුමට සහ බිඳවැටීමට හේතු වී ඇත්තේ ආදරය තුළ පේ‍්‍රමය ගොඩනගා ගැනීම නිසා පමණක් නොව ආදරය පිළිබඳ ඇති අනවබෝධය නිසාය. වර්තමාන මිනිස්සු ආදරය පිළිබඳ අනවබෝධිත  බව පමණක් නොව එහි සීමාවන් පිළිබඳව ද අනවබෝධය නිසා මිනිසා විසින් මිනිසාට අත්‍යවශ්‍ය නිදහස අහිමි කොට ගෙන තිබේ.

අනෙකාගේ නිදහසට ගරු කිරීම සමාජ ක‍්‍රමවේදයෙහි පැවැත්ම සහ සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය කාරණාවක් බවට පත් වේ. ආධිපත්‍යය යනු පුද්ගලයාගේ නිදහස නැති කරන ප‍්‍රබල ක‍්‍රියාවලියක් බවට පත් වී තිබේ. එය පවතින තාක් කල් පුද්ගලයා නිදහසෙහි සිරකරුවකු බවට ද පත් වේ. ඒ අනුව ඕනෑම සමාජයක් තුළ ආධිපත්‍යයක් ගොඩනැගෙන්නේ නම් එම ආධිපත්‍යය ක‍්‍රියාවලිය යනු වැඩවසම් සමාජයෙහි ආකෘතීන් බව අප තේරැම් ගත යුතුය. ආධිපත්‍යයෙහි මූලික ලක්ෂණය වන්නේ අන්තගාමීත්වයයි. අන්තගාමී බව විඥනික වශයෙන් ගොඩනගා ගැනීමත් සමඟින් පුද්ගලයාගේ ක‍්‍රියාවලිය වැඩවසම් සමාජයට ද ඉතිහාසයෙහි පැවැති යුගයෙහි චින්තනයට ද සමපාත වන බැව් පැහැදිලිය. වහල් ආකෘතිය යනු ද අන්තගාමීත්වයෙන් යුත් ක‍්‍රියාවලියකි. ඒ අනුව මෙම ක‍්‍රියාවලට නිදහස අහිමි කිරීමට පමණක් නොව නිදහසෙහි වැඩවසම් ආකෘති පුද්ගලයාගේ චින්තනය තුළ ගොඩනැංවීමට ද හැකි වී තිබේ. ආධිපත්‍යය යනු සරල සංකල්පයක් නොවන අතර එය සමාජ ආධිපත්‍යය, භෞතිකයෙහි ආධිපත්‍ය, ක‍්‍රියාවලියෙහි ආධිපත්‍ය, චර්යාවෙහි ආධිපත්‍ය, චින්තනයෙහි ආධිපත්‍ය යනාදී වශයෙන් පමණක් නොව ආදරයෙහි ආධිපත්‍ය පුද්ගලයා ගොඩනගා ගැනීමත් සමඟ නිදහස අහිමි වී ආධිපත්‍යයෙහි වහලෙකු බවට පුද්ගලයාව පත්කරනු ලබන්නේ අප සමාජයෙහි අපේම අනෙකාව බව අප විසින් පැහැදිලි කරගත යුතුයි.

ආධිපත්‍යය පතුරන තාක්කල් නොකැමැත්තෙන් වුව ද පුද්ගලයාගේ නිදහස අහිමි කරගනිමින් අනෙකාගේ වහලෙකු බවට පත්වීමට සිදු වන්නේ එය ප‍්‍රබල ගැටලුවක් බවට පත් වෙමින් පුද්ගල සහ සමාජ සංවර්ධනයට ප‍්‍රබල ලෙස බලපෑම් එල්ල කරන බැවිනි. වර්තමාන සමාජයෙහි පුද්ගලයන් අතර ගොඩනැගෙන බැඳීම යනු ද නිදහස අහිමි වීමට අදාළ කරැණක් වන්නේ බැඳීම් සහ එහි වගකීම් පිළිබඳ ගොඩනැගෙන අනවබෝධිත බව නිසාවෙනි. නීතිය ගොඩනැගෙන්නේ ද පුද්ගලයාට නිදහස අර්ථවත් කිරීම සඳහා වුව ද එය නැවතත් නිදහස සීමා කිරීමට හේතුවන අවස්ථා ද අපට දැකගත හැකි වේ. මෙය සිදුවන්නේ හුදෙක් ගොඩනැගෙන සමාජ කළමනාකරණය බිඳ වැටීමත් සමඟිනි. නිවැරදි  කළමනාකරණය බිඳවැටුණු  ඕනෑම සමාජයක පුද්ගලයාට නීතියෙහි පිළිසරණ පැතීමට සිදු වනු ඇත. රීතිය යන්නෙහි ද ප‍්‍රබල අර්ථයක් වන්නේ නිවැරදි සමාජ කළමනාකරණය යන්නයි. නිවැරදි ලෙස සමාජ කළමනාකරණය ගොඩ නැගෙන  ඕනෑම සමාජයක නීතියේ පිළිසරණ පැතීමට පුද්ගලයාට ඒ අනුව සිදු නොවන බව අප විසින් පැහැදිලි කර ගත යුතු වේ. නීතියෙහි පිළිසරණ පතන විට පැහැදිලි වන්නේ පුද්ගල සහ සමාජ චර්යාවෙහි කළමනාකරණ ස්වරෑප බිඳ වැටුණු බවයි.

අනෙකාගේ නිදහස්ට ගරු කළ යුතු අතර එය මානසික දියුණුවෙහි පමණක් නොව මිනිසා පිළිබඳ අවබෝධයෙහි ද ප‍්‍රකාශනයක් බවට පත්වේ. අනෙක් අතට විශ්වාසය යනු ද පුද්ගල සහ සමාජ ක‍්‍රියාවලියෙහි අනෙකා ඉදිරියෙහි පැවතීමට අවශ්‍ය ප‍්‍රබල සාධකයක් බවට පත්වේ. විශ්වාසය බිඳ වැටුණු සමාජයක ඉදිරි ගමන පිළිබඳ ගැටලු ඇති වේ. විශ්වාසය බිඳ වැටෙන්නේ ද මේ පිළිබඳ නොදැනුවත්කම නිසා පමණක් නොව තමාගේ අරමුණු කරා ගමන් කිරීම සඳහා ගොඩනගාගනු ලබන ව්‍යාජත්වය නැමති කාරණාවන් ද මූලික වීමෙනි. නිදහස අහිමි වන  ඕනෑම සමාජයක පුද්ගලයන්ගේ නිර්මාණත්වය බිඳ වැටී අන්තගාමී වන ආකාරය පැහැදිලි වේ. අන්තගාමීත්වය පුද්ගලයාට ද සමාජයට ද බරපතළ ගැටලු ඇති කරවන්නක් බව පැහැදිලි වේ.

► කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය ධර්මකීර්ති ශ්‍රී රන්ජන්

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00