2020 ජනවාරි 18 වන සෙනසුරාදා

නවක වදය ආපසු හරවන අලුත් නීතිය

 2020 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 12:30 208

විශ්විද්‍යාලවල නවකවදය දීම පසුගිය කාලයේ ඉතා දරුණු ක්‍රියාවක් බවට පත් විය. අතීතයේ වාචික වදවලට හා සුළු ශාරීරික පීඩා ලෙසින් පැවැති නවකවදය මේ වන විට ප්‍රචණ්ඩ ක්‍රියා, ලිංගික අපරාධ හා මරණ දක්වා වර්ධනය වී තිබේ. මේ හේතුවෙන් පසුගිය වසර දෙක තුළ විශ්වවිද්‍යාලවලට තේරී පත් වූ සිසු සිසුවියන්ගෙන්  විශාල පිරිසක් විශ්වවිද්‍යාල හැර ගොස් තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරන අයුරින් 2017 වසරේදී සිසු සිසුවියන් 29368 ද, 2018 වසරේදී සිසු සිසුවියන් 30101 ද විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා ඇතුළත් කරගෙන ඇති අතර. නවකවදය හේතුවෙන් 2017 සහ 2018 වර්ෂවලදී පමණක්  සිසුන් 1989ක්  විශ්වවිද්‍යාල හැර ගොස් තිබේ. එම සංඛ්‍යාවෙන් මෙතරම් පිරිසක් විශ්වවිද්‍යාල හැරයෑම දරුවන්ට නිදහසේ අධ්‍යාපානය ලැබීමට ඇති අයිතිය  නවකවදය මගින් උදුරාගෙන බවට වන සාධකයකි.

2015 – 2016 වර්ෂවලදීද ශිෂ්‍ය ශිෂ්‍යාවන් 1352ක් විශ්වවිද්‍යාල හැරගොස් තිබේ. ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා වරක් සඳහන් කළ පරිදි දරුණුම පාතාලය ඇත්තේ විශ්වවිද්‍යාල තුළය. නවකවදය නිසා සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 14ක් යැයි  වාර්තා වේ. රජය එක් විශ්වවිද්‍යාල සිසුවකු සඳහා රජය රුපියල් ලක්ෂ 15ක් පමණ වැය කරයි. එහෙත් ඇතැම් විශ්වවිද්‍යාල සිසුන් තමන්ට නොමිලයේ ලැබෙන අධ්‍යාපන නිසි පරිදි ලබා නොගෙන එලෙස අධ්‍යාපනය ලැබීමට සූදානම් සිසුන්ට ද අධ්‍යාපනය ලැබීමේ අයිතිය උදුරා ගනිති.

නවකවදයට ලක්වූ වින්දිතයන් තුළ ශාරීරික, චර්යාත්මක, සංවේදනාත්මක සහ සාමාජයීය ගැටලු නිර්මාණය විය හැකිය. ඔවුන් විශ්වවිද්‍යාලය හැර යෑම මෙන්ම උසස් පෙළ සමත් වීමෙන් පසු රාජ්‍ය විශ්වවිද්‍යාලවලට පිවිසීම මගහැර, නවක වදය අවම පුද්ගලික උසස් අධ්‍යාපන ආයතනවලට ඇතුළු වීමට වැඩි ප්‍රවණතාවක් දක්වන බව පෙනී යන්නකි. සාමාන්‍යයෙන් වසරකට මෙරට විශ්වවිද්‍යාලවලට බඳවා ගනු ලබන්නේ 30,000ක් පමණ පිරිසකි. ලෝක බැංකු, යුනෙස්කෝ වැනි ආයතනවල වාර්තා අනුව වසරකට 20,000කට අධික පිරිසක් උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගත වෙති. ඒ අනුව වසරකට බිලියන පනහකට වැඩි මුදලක් මෙරටින් විදේශවලට ගලා යයි.

නවකවදය නිසා විශ්වවිද්‍යාල හැර ගිය සිසු සිසුවියන්ට යළි උසස් අධ්‍යාපනය ලැබීමට හැකි වාතාවරණයක් සකසා දීමට නව රජය පියවර ගෙන තිබේ. නව වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අදහස් දැක්වූ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවොත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් වෙනවා නවක වදය නවත්වන බවට. මෙය රටේ අවශ්‍යතාවක් බව මමත් පිළිගන්නවා. ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට වසරකට ගන්නේ 30,000යි. අද මුදල් තියෙන අයගේ දරුවෝ ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට යවන්නේ නැහැ. ඔවුන් යන්නේ විදේශ රටවල අධ්‍යාපන ආයතනවලටයි. පහළ සහ මධ්‍යම පාන්තික මව්පියන්ගේ දරුවන්ට තියෙන්නේ මෙරට විශ්වවිද්‍යාල පමණයි. ඔවුන්ට බියෙන් හා සැකෙන් තොරව එම විශ්වවිද්‍යාලවලට යා නොහැකි නම්, නිදහසේ අධ්‍යාපනය ලැබීමට ඉඩ නොලැබෙන්නේ නම් එය ජාතික ඛේදවාචකයක්.

පොලිස් කොමිසම අපට වාර්තා කර තිබෙන අන්දමට නවකවදය නිසා පසුගිය අවුරුදුවල විශ්වවිද්‍යාලයට තේරුණු දරුවන් අතුරින් 2000ක පමණ පිරිසක් විශ්වවිද්‍යාලය අතහැර ගොස් තිබෙනවා. නවක වදය නිසා ඔවුන්ට උපාධිය ලබා ගැනීමේ අවස්ථාව අහිමි වුණා..

එලෙස විශ්වවිද්‍යාලය හැර ගිය සිසුන්ට යළි උසස් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සැලසීම සඳහා විමර්ශනයක් කිරීමට කමිටුවක් පත්කරන ලෙසට මම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට දන්වා තිබෙනවා. එමෙන්ම මේ වසරේ සිට කිසියම් විශ්වවිද්‍යාලයක හෝ උසස් අධ්‍යාපන ආයතනයක නවක වදය ක්‍රියාත්මක වුවහොත් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසට දැනුම් දී තිබෙනවා. නවකවද පනත අනුව කිසියම් දරැවකුට කායික හෝ මානසිකව හිංසාවක් සිදුවනවා නම් කෙළින්ම පොලිසියට දැනුම් දිය හැකියි. සීලාචාර සමාජයක දෙමව්පියන්ටවත් බැහැ දරුවකුට පහර දෙන්න. එවැනි පසුබිමක් යටතේ විශ්වවිද්‍යාලයකදී පිටස්තර පුද්ගලයකුගෙන් නිකරැණේ පහර කන්නේ ඇයි? ඉදිරි සති කිහිපයේදී විශ්වවිද්‍යාල තුළ විශේෂ කවුන්ටර ඉදිකරන ලෙසට ආරක්ෂක අංශවලින් ඉල්ලීම් කරනවා. කිසියම් සිදුවීමත් වුවහොත් එම ස්ථානවලට පැමිණිලි කළ හැකියි. සැමට පොදු නීතියක් ක්‍රියාත්මක කරන අතර වැරදිකරුවන්ට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා. ඊට අමතරව විශ්වවිද්‍යාලය මගින්ද පරීක්ෂණ සිදු කරනවා. දේශපාලන වශයෙන් අප කිසිදු මැදිහත්වීමක් කරන්නේ නැහැ. එවැනි ක්‍රියාවලට. නීතිය සාධාරණ ලෙස ක්‍රියාත්ම කිරීමට අවශ්‍ය සහය සලසා දෙනවා.

මෙහිදී අපි ශිෂ්‍යයන් හෝ ශිෂ්‍ය ව්‍යාපාර මර්දනය කරන්නේ නැහැ. අපට අවශ්‍ය විශ්වවිද්‍යාලවල පවතින ගැටලු හැකි තරම් විසඳා දරැවන්ට නිදහසේ අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය වාතාවරණය සැලසීමයි. නවක වදය පිටු දැකීම සඳහා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයද පූර්ණ සහය ලබා දෙන බව ඔවුන්ද දැනුම් දී තිබෙනවා.

වින්දිත සිසුන්ට තම පැමිණිලි ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය සඳහන් පුවත්පත් දැන්වීම් ඉදිරියේදී පළකෙරෙන අතර ඒ අනුව තමා සිටි විශ්වවිද්‍යාලය, මුහුණ දුන් නවකවදයේ ස්වරෑපය, ලබා ගැනීමට අපේක්ෂා කළ උපාධි පාඨමාලාව වැනි තොරතුරු එම සිසුන් විසින්  ඉදිරිපත් කළ යුතු වන අතර එම තොරතුරුවල සත්‍ය අසත්‍යතාව පරීක්ෂා කිරීම සඳහා උපකුලපතිවරයා සහ ආචාර්ය මහාචාර්වරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරන බවද ඇමතිවරයා සඳහන් කළේය.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා