2020 ජනවාරි 18 වන සෙනසුරාදා

හොරු ඇල්ලූ රන්ජන් හොරු සමඟ හිරේ

 2020 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 12:30 264

එය අනූව දශකයේ මුල් භාගයයි. අලුත් සිංහල චිත්‍රපටයක මංගල දර්ශනය පැවැත්වුණේ කොළඹ, ග්‍රෑන්ඩ්පාස් අසෝකා සිනමා ශාලාවේදීය. චිත්‍රපටයේ ප්‍රධාන නළුවා රන්ජන්ගේ ඥාති සොයුරා වූ ජීවන් කුමාරණතුංගය. චිත්‍රපටය වෙනුවෙන් අසෝකා සිනමා ශාලාව අවට පෙදෙස ධජ පතාකවලින් සරසා තිබුණි. ජීවන් සිනමාහලට ආවේ මඟුල් බෙරහඬ මැද්දේය. චිත්‍රපටයේ සහාය චරිතයක් රඟපෑ රන්ජන් දක්නට නැත. ඔහු එනතෙක් පහන් දැල්වීම පමාවිය. 

හදිසියේ එක්වරම පැමිණි ට්‍රක් රථයකින් බැසගත්තේ පපර බෑන්ඩ් කණ්ඩායමකි. තවත් ට්‍රක් රථවලින් පැමිණි සිනමා රසිකයෝ සියගණනක්ද සිනමා ශාලාව ඉදිරිපිටට රොක්වූහ. රන්ජන් පැමිණියේ ඉන්පසුවය. ප්‍රීති ඝෝෂා නගමින් ඔහුගේ රසිකයෝ මල්මාලා එක පිට එක දමමින් රන්ජන් පිළිගත්හ. පපර බෑන්ඩ් සංගීතයෙන්ද රතිඤ්ඤා හඬින්ද, අසෝකා සිනමා ශාලාව අවට ග්‍රෑන්ඩ්පාස් පරිසරය දෙදරුම් කෑවේය. මහත් ආඩම්බරයකින් රන්ජන් සිනමා ශාලාවට ඇතුළු විය. එදා පපර බෑන්ඩ් කණ්ඩායමට හා රසික ගෝලබාලයන්ට, මල්මාලා හා රතිඤ්ඤාවලට රන්ජන්ට සෑහෙන වියදමක් යන්නට ඇත. එහෙත් කැපී පෙනෙන නළුවා වූයේ රන්ජන්ය.

මේ පසුගිය දවසක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර විසින් සිය ෆේස් බුක් ගිණුමේ සටහන් කළ දීර්ඝ ලිපියකින් උපුටා ගත්තකි. මේ කොටස උපුටා ගත්තේ සැබවින්ම රන්ජන් රාමනායක යනු කවර පුද්ගලයකුදැයි ඔබට හඳුන්වාදීම සඳහාය. කැපී පෙනෙන්න වැඩ කිරීමට දක්ෂ නළුවකු වූ රන්ජන් එම න්‍යායම දේශපාලනයට ආරෝපණය කිරිමට ගොස් වැඩේ වැරදුණා දැයි ඕනෑම කෙනෙකුට එන ප්‍රශ්නයකි. කෙසේ වෙතත් රන්ජන් යනු කාටත් වඩා ඉහළින්, කැපී පෙනෙන්නට වැඩකරන පුද්ගලයකු බව බැලූ බැල්මට කිව හැක.

කෙසේ වෙතත් කාටත් වඩා විශේෂ දේවල් කරන, කාටත් වඩා කැපී පෙනෙන සේ වැඩ කරන රන්ජන් මේ වෙනකොට ඉන්නේ හිරගෙදරය. ඒ මින් පෙර කාටත් ක්‍රියාත්මක නොවූ නීති වගන්තියක් හරහාය. මෙම නීතිය ක්‍රියාත්මක වන්නේ පළමු වතාවටය. එනම් විනිසුරුවරුන්ට බලපෑම් කිරීමේ චෝදනාව යටතේය. රන්ජන්ගේ හඬපටවලට අනුව විනිසුරැවන් තිදෙනෙකු සමඟ සංවාද කළ ආකාරය හඳුනාගත හැක. මේ නිසා රන්ජන් දැන් හිරගෙදර කූරු ගනිමින් සිටින්නේය.

කෙසේ වෙතත් මේ අතරතුර පසුගිය බ්‍රහස්පතින්දා (16) අධිකරණ සේවා කොමිසමෙන් සිදුකරන ලද පරීක්ෂණයකට අනුව මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතාගේ සේවය අත්හිටුවන ලදී. ඊට අමතරව ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලිපිටිය මහතා සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ගය කොමිසම විසින් ජනාධිපතිවරයා වෙත දන්වා යවා ඇත. ඉදිරියේදී ඒ මහතා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් අවශ්‍ය පියවර ගනු ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන කොළඹ අපරාධ කොට්ඨාසය රන්ජන් රාමනායක මහතාගේ දුරකථනවලට අදාළ වාර්තා රැසක් අදාළ දුරකථන සමාගම් වලින් ලබාගනිමින් සිටියි.ඒ අතර ඇතැම් හඬපට රජයේ රස පරීක්ෂකවරයා විසින් පරීක්ෂා කරනු ලබන අතර විශේෂයෙන් ඒ හඬවල් සංස්කරණය කරන ලද ඒවාද යන්න සොයා බලමින් සිටියි. කෙසේ වෙතත් ඒ හඬවලට අදාළ සියලු පුද්ගලයන් කැඳවා ඉදිරියේදි ප්‍රශ්න කිරීමට නියමිත බවද සඳහන් වේ.

එහෙත් මේ සියල්ල සිදු වනවිට පසුගියදා නීතිපතිවරයා විසින් නියෝග කරනු ලැබුවේ හඬපටවලට අදාළ සියලු විනිසුරුවන්ගෙන් ප්‍රකාශ ලබාගන්නා ලෙසටය. ඔවුන් අධිකරණයේ ගෞරවය කෙළසා ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට නීතිපතිවරයා විසින් නියෝග කර තිබෙන බව සඳහන්ය.  මේ අතර කීර්තිමත් නීතිඥවරයකු වන රොමේෂ් ද සිල්වා ඇතුළු නීතිඥවරු පිරිසක් පසුගියදා අග විනිසුරැවරයාව හමුවී ඉල්ලා සිටියේ මේ සම්බන්ධයෙන් ඉක්මන් පියවරක් ගත යුතු බවය.

ඒ අතර මේ හඬපට හුටපටය නිසා පසුගියදා රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ එජාප පක්ෂ සාමාජිකත්වයද අහෝසි විය. බන්ධනාගාරය තුළ ගතකරන මන්ත්‍රීවරයා පහුගිය දින කිහිපයේම බන්ධනාගාරයේ තමන්‍ට හිමි කුටියට වී සිට ඇත. ඔහු මුල් දිනයේ ආහාර පවා ලබාගෙන නොමැති අතර දින දෙකකට පසුව ක්‍රීම්කැකර් බිස්කට් පැකැට්ටුවක් ගෙන්වා එය ආහාරයට ගෙන තිබිණි. ඔහු භාවිත කළ බොරු කොණ්ඩය ගලවා ඉතිරි කෙස් සියල්ල කපා දමා තිබේ. සම්පූර්ණයෙන් වෙනස් ප්‍රතිරෑපයක් මවාගෙන සිටින මන්ත්‍රීවරයාගේ මෙම ක්‍රියාකාරකම්ද තවත් රඟපෑමක්දැයි බොහෝදෙනාට ප්‍රශ්නයක් වී ඇත.

මේ අතර හඬපට ප්‍රමාණය අධික නිසා ඒවා විශ්ලේෂණය කිරීමට පොලිස් කණ්ඩායම් දහයක් යොදාගෙන ඇතැයි සඳහන් වේ. කොළඹ අවට පොලිස් ස්ථානවල සේවය කරන පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු තෝරාගෙන ඔවුන් යටතේ මේ විමර්ශන සිදුකිරීමට පියවර ගෙන ඇත.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ සුවදුක් බැලීමට  බන්ධනාගාරයට ගිය මන්ත්‍රී කණ්ඩායමේ හේෂා විතානගේ මන්ත්‍රීවරයා සඳහන් කළේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ආණ්ඩුවේ අයගේ හඬපට කිහිපයක්ද සමාජයට මුදාහැරීමට සුදානම් බව කියාය. ඒ හරහා ඔවුන් බලාපොරොත්තු වන්නේ ආණ්ඩුව බියකර රන්ජන් මන්ත්‍රීවරයා එළියට ගැනීම නම් එය නිෂ්ඵල කටයුත්තකි. ඒ නිසා වගකීමක් නොමැතිව වැඩකළ රන්ජන් මන්ත්‍රීවරයා බේරාගැනීමට තව තවත් වගකීමකින් තොර ප්‍රකාශ නිකුත් කිරීම මන්ත්‍රීවරයා තව තවත් පඹගාලේ පැටලැවීමක් වනු ඇත.

කෙසේ වෙතත් මන්ත්‍රීවරයාගේ ඇතැම් හඬපට පරීක්ෂා කළ විට එම දුරකථන සංවාද පටිගත කළයුතුද යන හැඟීම කිහිපවතාවක් හිතට දැනෙනු ඇත. ඒවා ඒ තරම් අප්‍රසන්න සංවාදය. ඒවා පෞද්ගලික දුරකථන සංවාද නිසා අපට අදාළ නැත. එහෙත් ජනතා නියෝජිතයින් වන මොවුන්ගේ මෙවැනි ක්‍රියා කොතරම් දුරකට සදාචාරාත්මකද යන්න ප්‍රශ්නයකි. එක් අවස්ථාවක හිරැණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ යැයි සඳහන් හඬපටයක් සමාජයට නිකුත් වූ අතර එම සංවාදවල ඇති කරැණු සම්බන්ධයෙන් සමාජය තුළ ඇත්තේ දැඩි විවේචනයකි. එහෙත් මන්ත්‍රීවරිය පවසන්නේ ඒ හඬපටය තමන්ගේ නොවන බවයි. ඒවා සකස්කළ ඒවා බවද ඇය කියයි. එහි ඇත්ත නැත්ත දැනගන්නට වෙන්නේ මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කිරීමෙන් සහ රස පරීක්ෂක වාර්තාව අනුවය.

මේ අතර පසුගිය මැතිවරණ සමීපයේ ජනප්‍රිය චරිතයක් වූ අශේන් සේනාරත්න නැමැති යූ ටියුබ්කරු කොළඹ අපරාධ කොට්ඨාසයට කැඳවා ප්‍රශ්න කරනු ලැබීය. ඒ ඔහු විසින් එම හඬපට සමාජ මාධ්‍යට මුදාහැර ඇතිදැයි යන්න සම්බන්ධයෙන්ය. එහෙත් ඔහු සඳහන් කර ඇත්තේ තමන්ගේ කිසිදු සම්බන්ධයක් එයට නොමැති බවයි. එහෙත් පුදුමය නම් පොලීසියට තවමත් සොයාගැනීමට නොහැකි වුවත් එම හඬපට සමාජ මාධ්‍ය තුළට නිතර දෙවේලේ ඇතුළු වීමය. ඇතැම් ජනප්‍රිය පුද්ගලයන් විසින් පවත්වාගෙන යන ෆේස්බුක් ගිණුම් සහ යූ ටියුබ් චැනල් හරහා ඒවා ක්‍රමානුකූලව ප්‍රචාරය වෙමින් තිබේ. එසේනම් ඔවුන්ගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරනවා වෙනුවට වටේ යමින් පොලීසිය උත්සාහ කරන්නේ කුමක් කිරීමට දැයි ප්‍රශ්නයක් පැන නැගෙයි.

දැන් මෙතන තවත් ප්‍රශ්න කිහිපයක් ඇත. එකනම් මේ හඬපට සැබවින්ම එළියට යන්නේ කෙසේද කියාය. දෙක මේ හඬපට පොලීසියේ හැර කා සන්තකයේ තිබේද යන්නය. තුන මන්ත්‍රීවරයා විනිසුරැවන් සමඟ මෙතරම් සමීපව ගනුදෙනු කළේ කාගේ හෝ මග පෙන්වීමක් මතද? හතර රන්ජන් මන්ත්‍රීවරයා කියන්නා සේ තවත් හඬපට සහ ආණ්ඩුවේ අය සමඟ සිදුකළ හඬපට ඇතිද යන්න කියාය. මේ සියල්ලටම පිළිතුරු සොයාගත හැක්කේ පොලීසියටය.

මන්ත්‍රීවරයාගේ හඬපට සම්බන්ධයෙන් පසුගියදා අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා දැඩි විවේචනයක් අධිකරණයේදී සිදුකළේය. එනම් මන්ත්‍රීවරයා තව තවත් නීතියත් අධිකරණයත් හෑල්ලුවට ලක්කරන බවය. එනම් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට යන දෙවැනි අවස්ථාවේත් ඔහු තම ෆේස්බුක් ගිණුම හරහා සජීවීව පැමිණ යටඇඳුම් පවා අඳින ආකාරයත් අවසන් මොහොතේ ව්‍යායාම් කරන ආකාරයත් පෙන්වීමය. එය කුමක් අරමුණු කරගනිමින් සිදුකළාද යන්න දන්නේ ඔහුය. එහෙත් මෙය විකාරයකි. සැකකරුවකු අත්අඩංගුවට ගන්නා මොහොතේ මේ ආකාරයෙන් හැසිරීම සමස්ත නීතියටම කරන අපහාසයකි. පොලීසිය ඒ අවස්ථාවේදී පැමිණ සිටියේ උසාවි නියෝගයද ඇතැතිවය.

මේ අතර පසුගිය සිකුරාදා (17) නැවතත් අධිකරණයට ගෙන එන අවස්ථාවේ මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ මල්ලි හොරු ඔක්කොම අල්ලලා මාව ඇතුළට දැම්මා. මේ රටේ හොරු ඇල්ලුවට වැඩක් නෑ මල්ලී... යන්නය. ඇත්තටම මන්ත්‍රීවරයා හොරු ඇල්ලුවද? නැත්නම් නීතිය සමඟ ගනුදෙනු කරන්නට ගොස් ඒවා පටිගත කර හොරුන්ට බේරෙන්නට ඉඩ ලබාදුන්නාද? එය මන්ත්‍රීවරයාගේ හෘදසාක්ෂියෙන් ඇසිය යුතු පැනයකි.

 අසංක කළුබෝවිල

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00