2020 ජනවාරි 18 වන සෙනසුරාදා

පාසල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදිය යුතුයි

 2020 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 12:30 201

පාසල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම පිළිබඳ කථිකාවක් රට තුළ නිර්මාණය වී තිබේ. හතේ අපේ පොත හරහා පැනනැගුණු මෙම කථිකාව විවිධ මාවත් ඔස්සේ ගලායයි. ලිංගික අධ්‍යාපනය පිළිබඳ ඇතිවී ඇති මේ මතභේදාත්මක තත්ත්වය සම්බන්ධයෙන් සංඝරත්නයේ මැදිහත් වීමද කැපී පෙනෙයි. මේ සම්බන්ධ තරමක් වෙනස් මතයක් දරන රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය අකුරටියේ නන්ද හිමියන් සමඟ අප සංවාදයකට එළඹුණේ ඒ අනුවය. සදාචාරය, සංස්කෘතිය, සභ්‍යත්වය පිළිබඳ කොතරම් කතාකළද අද ලාංකිකයන් ලෙස ඒ සියල්ල ආරක්ෂා කරගත හැකි වී තිබේද? ලිංගික අධ්‍යාපනය අවශ්‍ය වන්නේ ඇයි? ආදී වූ ගැටලු කිහිපයක් පිළිබඳව සිදුවූ මෙම සංවාද ඇසුරෙන් අපි මෙම සටහන ඔබ වෙත ගෙන එමු. හතේ අපේ පොත වර්තමාන සමාජ කථිකාවක් වූ නිසාම හිමියන් සමඟ වූ සංවාදය අපි එයින්ම ඇරඹුවෙමු.

මෙම පොත තරුණ දරුවන් අතර පත්වනවිට ඔවුන්හට අවුරු දොළහක් පමණ වේ. දරුවන්ට ලිංගික අධ්‍යාපන ලබාදීමට සුදුසු වයස එයයි. ආසන්න සිද්ධීන් කිහිපයක් සමඟ මෙය අපට පැහැදිලි කළ හැකිය.

අවුරුදු දහතුනක දියණියක් පෙම්වතකු සමඟ හසුවී පොලීසිය භාරදුන් පුවතක් පසුගියදාක පළවී තිබිණි. අවුරුදු දහතුනක් යනු අට ශ්‍රේණියේ පමණ දරුවෙකි. එසේම පසුගියදාක ගාල්ල වැඩබලන මහේස්ත්‍රත්වරයා හමුවූ විටදී කී කතාවක් සිහිකළ යුතුයි. එම හමුව සිදුවූ දිනම මහේස්ත්‍රාත්වරයා විසින් දියණිය දූෂණය කිරීමේ වරදට පියෙක් සිරදඬුවමට යටත්කර තිබුණි. එම දියණියගේ වයස අවුරුදු දාහතරකි. දැන් ඈ පරිවාසයේය. ඛේදවාචකය වන්නේ වෛද්‍ය වාර්තාවට අනුව මෙම දරුවාට පියා සමඟ යහන් ගතවන්නට ආසාවක් ඇතිව තිබීමය. මේ සිද්ධීන් තුළින් ලිංගිකත්වය පිළිබඳ දරුවන් තුළ වන අනවබෝධය ද යම් පමණකට ප්‍රකට වෙයි.

අද ලෝකයේ ලෝකයේ දරුවන්ට ගුරුවරුන් මෙන්ම දෙමාපියන්ද ලිංගික අධ්‍යාපන ලබාදීම සිදුවේ. එහෙත් අපේ රටේ තිබෙන සංස්කෘතිය අනුව දෙමාපියෝ දරුවන් සමඟ මේ සම්බන්ධයෙන් කතා නොකරති. එනිසාම පාසල් දරුවන්ට මේ අධ්‍යාපනය අනිවාර්යයෙන් ලබාදිය යුතුය. වයස අවුරුදු දොළහ දහතුන වනවිට දරුවන් තුළ ලිංගිකත්වය සම්බන්ධ හැඟීම් ඇති වන්නට පටන් ගනී. එම වයසේම දරුවන්ට හැඟීම්බර වී කටයුතු නොකළ යුතු බව කියා දිය යුතුය. තවදුරටත් පැහැදිලි කළහොත් භාවාත්ම අධ්‍යාපනයක් ලබාදීම අධ්‍යාපනයේ එක් පරමාර්ථයකි. දරුවන් තුළ භාවයන්ගේ සංවර්ධනයක් නැත්නම් එම අධ්‍යාපනයේ ඵලක් නැත. හැඟීමෙන් පමණක් නොව වගකීමෙන් ක්‍රියාකිරීම පිළිබඳව දරුවන්ට අවබෝධය ලැබෙන්නේ ඒ හරහාය.

සමාන්‍යයෙන් ගිහි ජීවිතයේ අඹුසැමියන්ගේ කටයුතු කිරීම යනු අමුතු අභව්‍යයක් නොවේ. එහෙත් විවාහයට පෙර තමන් ආරක්ෂා කරගත යුත්තේ මොනවාදැයි දරුවන් දැනගත යුතුය. කුමර බඹසර, කුමරි බඹසර යනුවෙන් බුදුදහමේද පෙන්වා දෙන්නේ මේවායි. එම නිසාම මේ සම්බන්ධ ආගමානුකූලව ඉගැන්වීම් තිබෙන බව පැහැදිලිය. එහෙත් දෙමාපියන් ඒවා දරුවන්ට උගන්වන්නේ නැත. එය සැබෑ ගැටලුවකි. සංස්කෘතික කාරණාවක් නිසාවෙන් හෝ එය එසේ සිදුවේ නම් ලිංගික අධ්‍යාපන තංහචි පැනවීමෙන් ඵලක් නැත. මන්ද දරුවන් බිහිකිරීම, ප්‍රජනනය කවදා නමුත් සිදුවේ. අවශ්‍ය වන්නේ එය අවබෝධ කරගැනීමයි. එය අවබෝධ කරගැනීමට නිසි අධ්‍යාපනයක් ලැබීම වැදගත් වේ.

මෙහිදී සැලකිය යුතු තවත් කරැණක් තිබේ. අපේ රට තුළ බෞද්ධ දරුවන් පන්සිල් සමාදන් වන අටසිල් සමාදන් වන සාමනේර ශීල සමාදන් වන තත්ත්වයන් තිබුණද රටේ ලිංගික අපරාධ ප්‍රමාණය එන්න එන්නටම වැඩිවීමය. මෙහිදී භික්ෂූන්ට විනෝදාස්වාදය තහනම් වුවද ගිහියන්ට එසේ නොවන බව වටහා ගත යුතුය. ගිහියන්ට කම් සැප විඳීමට මෙන්ම විනෝදවීමටද පුළුවන. අප ඒවා අහුරන්නට අහුරන්නට හැඟීම් තෙරපගෙන ඇතැම්හු සිතින් භයානක ලෙස අවසානයේ ඒවා පුපුරුවා හරිති. එවිට වන්නේ විපතකි. ගිහියාගේ වින්දනාත්මක පක්ෂය හැඟීම් වැඩිවර්ධනය කිරීමට අවශ්‍ය වන්නේ සාහිත්‍යයයි. සාහිත්‍යයෙන් සහ කලාවෙන් දරුවන් ඈත්වීම මෙම සමාජ ගැටලු පිටුපස වන සත්‍යයකි.

අද අපේ රටේ ගැහැනු දරුවෙක්ට නොව පිරිමි දරුවෙක් හටවත් රාත්‍රියේ පාරක තනියම ගමන් කළ හැකිද යන්න අප සිතා බැලිය යුතුය. මෙරට අධ්‍යාපනයේ වරද නම් අප තුළ තිබියයුතු ඉන්ද්‍රීය සංවරය අපට උගන්වන්නේ නැති වීමයි. දරුවන් පොත් ගුල්ලන් කිරීමට, විභාග මානසිකත්වයෙන් තරග කිරීමට අද අපි දරුවන් හුරු කරමින් සිටිමු. ඒ අනුව භාවත්ම සංවර්ධනයක්, හැඟීම් පිළිබඳ වැටහීමක් දරුවන්ට නැතිවී යයි. එම අඩුපාඩු නිසාම පසුව වෙනත් විකෘති ස්වභාවයෙන් සමාජයෙන් පිළිබිඹු වේ.

උදාහරණයක් ලෙස විවාහක හෝ අවිවාහක  කාන්තාවකගෙන් විමසුවහොත්,  සමාජයේ සියයට අනූවක්ම ඇගෙන් අවස්ථාවක් ලබාගැනීමට සිටින අයුරු ඇය පහදනු ඇත. අද කාන්තාවක බස් එකක දුම්රියක යා හැකිද? පාරේ මොහොතක් රැඳී සිටිය හැකිද? අප කල්පනා කර බැලිය යුතුය. මෙම ලිංගික අධ්‍යාපනය අප අනිවාර්යයෙන් දරුවන්ට ලබාදිය යුතුය. දහම් පාසල් කොපමණ තිබුණද පන්සල් කොපමණ තිබුණද භික්ෂූන් කොපමණ සිටියද? අපට අපේ පැරණි බෞද්ධ සංස්කෘතිය මේ සමාජය තුළ රෝපණය කිරීම නොහැකි වී ඇත. දැන් උදාවී ඇත්තේ හදිසි අවශ්‍යතාවයකි. මේ මොහොතේ දරුවන් මෙම විපතින් බේරාගැනීමට නම් එම අධ්‍යාපනය ලබාදිය යුතුමය.

► සංවාද සටහන - චමිඳු නිසල් ද සිල්වා

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00