2020 ජනවාරි 18 වන සෙනසුරාදා

ආපසු වෙනස් වෙන ඉසෙඩ් ලකුණු අලකලංචිය!

 2020 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 12:30 141

උසස් පෙළ විභාග ප්‍රතිඵල පැමිණීමත් සමඟ හැමෝම කතාවන්නේ ඉසෙඩ් - ලකුණු සම්බන්ධවය. නම ඇසූ සැණෙකින්ම හුදීජනයා තක්කු මුක්කු කරවන ගණිත සූත්‍ර ක්‍රමයක් යොදා ගැනෙන ඉසෙඩ් - ලකුණු ක්‍රමවේදයද කාලයක සිට විවිධ දෝෂ දර්ශනයන්ට ගොදුරුව තිබේ. දැන් අලුත් ආණ්ඩුව ඉසෙඩ් ලකුණු හුටපටය වෙනුවට නව විද්‍යාත්මක ක්‍රමවේදයක් ගෙන ඒමට කැමැත්ත පළකර තිබේ. ඇමැති මණ්ඩලයේ අනුමැතියද ලද මේ අලුත් සරසවි දොර අරින මන්ත්‍රය සකස් කිරීමට අදාළ විෂය ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රවීණයන්ගෙන් යුත් විශේෂඥ මණ්ඩලයක් පත් කිරීමටද නියමිතය. කෙසේ වුවද 2020දී සරසවි දොරටු ඇරෙන්නට නියමිත මේ අලුත් ක්‍රමවේදය අනුවය.

ආණ්ඩුවේ ඩලස් ඇමතිවරයාම කියන අන්දමට යෝජිත නව ක්‍රමය අනුව දිවයිනේ සියලු පාසල් ඒවායේ පහසුකම්, විභාග ප්‍රතිඵල ආදී කරුණු මත කාණ්ඩ කිහිපයකට වෙන් කෙරෙනු ඇත. ඒ අනුව කොළඹ ප්‍රමුඛ පාසලක්ද, අනුරාධපුර හම්බන්තොට වැනි දුර බැහැර දිස්ත්‍රික්කවල ඒ මට්ටමේ දියුණු පාසලක්ද එකම කාණ්ඩයකට අයත් විය හැකිය. ඉන්පසු එක් එක් උපාධි පාඨමාලා සඳහා Z ස්කෝර් අගය නියම වන්නේ මෙම පාසල් කාණ්ඩයන් පදනම් කර ගනිමිනි.

බැලූ බැල්මට මේ ක්‍රමය පවතින ක්‍රමයට වඩා යහපත් හා සාධාරණ ක්‍රමයකි. මේ අනුව දිවයිනේ සෑම පළාතකම දරුවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සම අවස්ථා හිමිවීමට ඉඩඇත. මේ නිසා සිදුවන වඩාත් ඵලදායී වෙනස නම් ජනප්‍රිය යැයි කියන පාසල් අතළොස්සට ඇතුළුවීමට දැන් පවතින මාරාන්තික තරගය අඩුවීමයි. මෑතකාලීනව මෙරට අධ්‍යාපනයේ මතුව පවතින මේ තරගය නිසා ජනප්‍රිය පාසල් නමින් අමුතුම පාසල් වර්ගයක්ද බිහිවී තිබේ. එයට හේතුව අධ්‍යාපනයේ පහසුකම් බෙදීයෑමේ විෂමතාවයි. කැපී පෙනෙන මේ විෂමතාව තුරන් කිරීමේ අරමුණින් ආණ්ඩුව තවත්  තීරණයක් ගෙන ඇත. ඒ අනුව සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම එක් ජාතික පාසලක් හෝ ලැබෙන පරිදි පළාත් සභා පාසල් දහසක් ජාතික පාසල් බවට වහාම වෙස් පෙරුළීමය. දැනට ඇති එබඳු ජාතික පාසල් ගණන 372කි.

අප දන්නා කාලයේ සරසවි වරම් ලැබුණේ අදාළ විෂය ධාරාවෙන් සිසුවා ලබාගත් සමස්ත ලකුණු එකතුව සැලකීමට ගැනීමෙනි. මේ ක්‍රමවේදය තුළ ලෙහෙසි විෂයන් සහ ලකුණු ගැනීම අපහසු විෂයන් ලෙස විෂය බෙදීගොස් තිබුණි. පුළුවන් විෂයය 2-3 ඉහළින්ම ගොඩදාගැනීම ඒකාලේ සරසවියට යන්නට තිබූ හොඳම සහ එකම උප්පරවැට්ටියයි. මේ නිසා ජය නියතව ලබාදෙන ගුරුවරුද ඒ කාලයේ උන්හ. වැල්ලවත්ත වල්ලිපුරම් ගුරුතුමියගේ කුඩා පංති මාලාව ඒ කාලේ රසායන විද්‍යාව ගොඩදමාගන්නට තිබූ එබඳු එක් ඇලඩින්ගේ පුදුම පහනකි. ඒ කාලේ මතකය හැටියට ඇගේ පුනරීක්ෂණ පන්තිවලට දිවයින පුරාම පාසල්වලින් ‘අල්ලට සිඟා රසනැති කැවිළි කකා’ සපැමිණි පිරිස බොහෝය. කොළඹට ළඟ කළුතර මීගමුව පළාත්වලින්ද, ගාල්ල මාතර කුරුණෑගල පුත්තලම අනුරපුර මතු නොව වව්නියාවේ සිට කණ්ඩායම් සැදී ආ පිරිසද වූහ. එදා සිදුවූ අසාධාරණය නම් කොළඹ සිසුන් තෝරාගන්නා ඉහළ ලකුණු මට්ටම නිසා ඇතැම්විට පාලමෙන් එහා දරුවා සරසවියට යද්දී පාලමට මෙහා කොළඹට ළඟ දරැවා ගෙදරට නාකි වීමය. දිස්ත්‍රික් මට්ටම නිසා මේ කාලේ සිදුව තිබූ අලකලංචියට පිළියම් සෙවූ සමහරු අඩු ලකුණින් සරසවි යා හැකි පළාතක පාසලකට යමින් සති අන්තයේ කොළඹ ටියුෂන් වන්දනාවේ යමින් විශේෂ වරප්‍රසාදයක් ලබාගත්හ. වසර 2000දී පමණ ඉසෙඩ්- ලකුණු ක්‍රමවේදය එන්නේ ඔය අතරය. අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා ගණිතය උගත් සෑම අයෙකුම ඉසෙඩ් අගය ගණනය කිරීම ඉගෙන ඇත.  ඒ සම්මත අපගමනය [Standard Deviation] පාඩමේදීය. මේ වැඩේදී සිදුවන්නෙ පිළිගත් සමීකරණයකට අනුගතව ලකුණු අනුපිළිවෙළ සකසා ගැනීමයි. කිසියම් විෂයයකට සිසුවෙක් ගන්නා ලකුණු ප්‍රමාණයෙන් විෂයය සඳහා ලැබෙන සමස්ත ලකුණු ව්‍යාප්තියේ මධ්‍යන්‍ය අගය අඩුකර ඒ පිළිතුර එම ලකුණු ව්‍යාප්තියේම සම්මත අපගමනයෙන් බෙදූවිට ඒ විෂයය සඳහා අදාළ සිසුවා ලබාගත් ඉසෙඩ්- ලකුණු ප්‍රමාණය ලැබේ.

මූලික වශයෙන්ම 2000 වසරේදී Z-ස්කෝර් පාවිච්චි කරන්න ගත්තේ එවර පැරණි නිර්දේශය යටතේ විෂයයන් 4 කට පෙනී සිටි සහ නව නිර්දේශය යටතේ විෂයයන් 3 කට පෙනී සිටි සිසුන් විශ්වවිද්‍යාලවලට තෝරාගැනීමේදී මේ දෙපිරිස සාමාන්‍යකරණයකට ලක් කිරීමටය. එනම්, දෙපිරිසම එකම විභාගයකට මුහුණ දුන්නා සේ සලකා අනුතැන (Rank) ගණනය කිරීමටය. නමුත් එහිදීද ගැටලු මතුවිය. විශේෂයෙන්ම 2011දී නිර්දේශ දෙකක වෙනස් ප්‍රශ්න පත්‍ර 2කට පිළිතුරැ ලියූ සිසුන් එකම නියැදියක් ලෙස ගෙන කළ ගණනය කිරීමක් නිසා මතුවූ අලකලංචිය නිමාවූයේ  ශ්‍රේෂ්ඨාධිකරණයෙනි.

මේ ක්‍රමයේ තිබූ ලොකුම අඩුපාඩුව වූයේ විනිවිද නොපෙනීමයි. Z-ස්කෝර් ක්‍රමය පටන් ගත් දිනයේ පටන් ජාතික මට්ටමින් සහ දිස්ත්‍රික් මට්ටමින් එක් එක් විෂය සඳහා මධ්‍යන්‍ය සහ සම්මත අපගමන (standard deviation) අගයන් මෑතක් වනතුරැ නිකුත්කර නැත. Z-ස්කෝර් අගයන් ගණනය වඩාත් විනිවිද පෙනිය යුතුයි. මධ්‍යන්‍ය අගයන් සහ Z-ස්කෝර් සූත්‍ර ප්‍රසිද්ධ කිරීම විනිවිද බවට අත්‍යාවශ්‍ය වුවකි. අනෙක් අතට මේ කාලයේත් අවම Z-ස්කෝර් මගින් සරසවියට යා හැකි පළාත්වල පාසල්වලට දරුවන් ලියාපදිංචි කර කොළඹ ටියුෂන්වලින් දරුවන් සවිබල ගන්වා සරසවි වරම් උදුරාගැනීමේ ජාවාරමක්ද ක්‍රියාත්මක විය.

දිවයිනේ පවත්නා දිස්ත්‍රික්ක 25ක් අතරින් දිස්ත්‍රික්ක 16ක් දුෂ්කර දිස්ත්‍රික්ක ලෙස පිළිගැනෙයි. අධ්‍යාපන දෙපාර්තුමේන්තුව මගින් නිකුත්කළ චක්‍රලේඛනයට අනුව නුවරඑළිය, අනුරාධපුර, පුත්තලම, හම්බන්තොට, මාතලේ, පොළොන්නරුව, මොණරාගල, වව්නියාව, බදුල්ල, යාපනය, කිලිනොච්චිය, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකළපුව, රත්නපුර, අම්පාර යන දිස්ත්‍රික්ක එම ගණයට අයත්ය. මෙම දිස්ත්‍රික්කයන්හි පාසල්වල පවත්නා ගුරුහිඟය මෙන්ම අවම පහසුකම් සැලකිල්ලට ගෙන මෙම වර්ගීකරණය සිදුකර තිබේ.

මෙම දුෂ්කර යැයි පිළිගැනෙන දිස්ත්‍රික්කවල කොළඹ, මහනුවර, ගාල්ල, මාතර, ගම්පහ, කුරැණෑගල, කළුතර, කෑගල්ල වැනි පෝෂිත ප්‍රදේශවල තරම් විශ්වවිද්‍යාල වරම් ලැබීම සඳහා තරගකාරීත්වයක් නොතිබීම තුළ අඩු ඉසෙඩ් ලකුණු අගයක් මත විශ්වවිද්‍යාලයට ඇතුළු විය හැකි පසුබිමක් නිර්මාණය වී ඇත. එම අවස්ථාවෙන් ප්‍ර‍යෝජනයට ගෙන සියලු පහසුකම් මධ්‍යයේ සුපිරි පාසලක අධ්‍යාපනය ලැබ උසස් පෙළ පන්තියක් හෝ නොමැති දුෂ්කර ප්‍රදේශයක පාසලකින් උසස් පෙළට පෙනීසිට ගොඩයන පැලැන්තියක්ද රටේ බිහිව තිබුණි.

දුෂ්කර පාසල් වැඩි නුවරඑළිය පුත්තලම ප්‍රදේශවලින් මේ ගැන වාර්තා බහුලව ආවේය. පුත්තලම දිස්ත්‍රික්කයේ පමණක් මෙම වරද සිදුකළ පාසල් 09ක් වාර්තා වී තිබුණි. එක් සිද්ධියකදී උසස් පෙළ විද්‍යා පන්ති වසර ගණනාවක්ම පවත්වා නැති නාත්තන්ඩිය කොට්ටරන්මුල්ල පාසලකින් එම පාසල දැකලාවත් නැති සිසුන් 18ක් දුෂ්කර පදනම යටතේ ඉදිරිපත් කර සරසවියට සුදුස්සන් බවට පත්කර තිබුණි. කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක සිසුවියක් නුවරඑළියේ බාලිකා පාසලකින් විභාගයට පෙනී සිටියේ ඒ දින කිහිපය තුළ නුවරඑළියේ හෝටලයක නැවතී සිටිමිනි. දුෂ්කර ළමයින් සඳහා ඇති සහනය කොල්ලකෑම වැළැක්වීම සඳහා චක්‍රලේඛ මගින් පියවර ගෙන තිබුණත් එහි වූ සිදුරැ - අඩුපාඩු රැසකි. මේ නිසාම දිස්ත්‍රික් මට්ටමින් කෙරෙන සුපිරි - දුෂ්කර ශ්‍රේණිගත කිරීමක් වෙනුවට වඩා පාසල් මට්ටමින් කෙරෙන වඩාත් විද්‍යාත්මක වූ සම අධ්‍යාපන අයිතිය සුරකින ක්‍රමවේදයක් දැන් අත්‍යවශ්‍යම මොහොතකි.

  සුගත් පී. කුලතුංග ආරච්චි

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00