2020 ජනවාරි 18 වන සෙනසුරාදා

ගුරුකන්ද පන්සල් බිමේ තෛපොංගල් මෙවරත්

 2020 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 12:30 63

උතුරු නැගෙනහිර දෙපළාතේ වෙහෙර විහාර ඇතුළු බෞද්ධ සිද්ධස්ථාන රැකගැනීම සඳහා ප්‍රදේශයේ සංඝරත්නය දිවි දෙවැනි කොට උත්සහ කළහ. එවැනි බෞද්ධ පුණ්‍ය භූමිවලට එල්ලවන තර්ජන බලපෑම් වරින්වර තොරතුරු වාර්තා කෙරිණ.

මෑත කාලීනව අසන්නට ලැබුණු ප්‍රබලතම සිදුවීම ඉකුත් සමයේ වාර්තා වූයේ මුලතිව් නයරු ගුරුකන්ද පුරාණ රජමහා විහාරය සම්බන්ධයෙනි. ඒ එම විහාරයේ විහාරාධිපති හිමියන්ගේ ආදාහන පූජ්‍ය උත්සවයට එරෙහිව අන්තවාදීන් ගෙනගිය විරෝධය නිසාය. එය මෙරට බෞද්ධ ශාසනයට එල්ල කළ බරපතළ තර්ජනයකි.

මෙම තර්ජන බලපෑම් හා උසිගැන්වීම් සියල්ල දෙමළ ඩයස්පෝරාවේ උවමනාවට සිදුකරන බව කවුරුත් දනිති. ජාතික හා ආගමික වශයෙන් ගරු කරන සංවේදී කාරණා තම පටු අදහස්වලට මුසු කර ජාතිවාදී හා ආගම්වාදී අදහස් සමාජගත කරන්නට හා ඒ හරහා සියල දේශපාලන බලය තහවුරැ කරගන්නට එවැනි පිරිස් උත්සාහ දරති.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ජාතික තලයේ හා ප්‍රාදේශීය මට්ටමේ දේශපාලන ක්‍රියාකාරීන් ගණනාවක් මෙකී සිදුවීම පසුපස සිටිති. ඔවුන් ඒකරාශී වී ගුරැකන්ද පුරාණ රජමහා විහාරය සතුව පවතින දේවාල භූමිය දමිළ ජාතිකයන් සතු කෝවිලක් බවට අර්ථකථනය කරමින් ඊට අයිතිවාසිකම් කීමට උත්සාහ දරති. ඒ හරහා ජාතික වශයෙන් ගැටුමකට අර අදින පිරිස පළමු වරට ගුරු කන්ද රජමහා විහාරය හා ගැටුමකට සූදානම්ව තිබුණේ ඉකුත් වසරේ ජනවාරි 14 වැනිදාය. ඒ එම විහාරය සතුව ඇති ගණ දෙවි ප්‍රතිමාව සහිත දේවාලය දමිළ ජාතිකයන් සතු එකක් බව කියමින් ගිය වසරේ ජනවාරි 14 වැනිදාට යෙදුණු තෛයිපොංගල් උත්සවය නිමිත්තෙන් පූජාවක් පැවැත්වීමය.

එදින ගුරුකන්ද විහාර භූමියට එල්ල වූ තර්ජනයට පසුව විටින් විට ඇතැම් පිරිස් පැමිණ දේවාල බිම කෝවිලක් බවට අර්ථකථනය කොට පූජා විධි සිදුකරන්නට උත්සාහ ගෙන තිබිණ. තත්ත්වය උත්සන්න වී තිබුණේ ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති හිමියන් අපවත්වීමෙන් පසුව දේහය විහාර බිමේ ආදාහනය කිරීමට විරුද්ධව දෙමළ ඩයස්පෝරාවේ පිරිසක් කටයුතු කිරීමත් සමඟය.

ඒ ඉකුත් වසරේ ඔක්තෝබර් 11 වැනිදා සහ ආසන්න දින කිහිපයේදීය. සිදුවීම අරභයා විසඳුම් සෙවීමට කරුණු අධිකරණයට වාර්තා කිරීමටත් උසාවි නියෝග නිකුත් කිරීමටත් පියවර ගනුලැබීය. විහාරස්ථානයේ අනාරක්ෂිත බව නිසා දිවා රාත්‍රී රාජකාරි කිරීමට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් යෙදවූයේද ඉහත ගැටුම නිසාය.

එසේ තිබියදීත් ඩයස්පෝරාව නියෝජනය කරන පිරිස් ඒකරාශී වී ඩෝසර් යොදා විහාර භූමිය කැණීම් සිදුකිරීමට කටයුතු කර තිබිණ. එහිදී පන්සලේ ආරක්ෂාව සඳහා සී.සී.ටී.වී. කැමරා සවි කිරීමට උත්සාහ කළද පොලීසිය මැදිහත් වීමෙන් එය වළක්වා ඇති බව දැනගන්නට ලැබිණ. එදා පටන් ගැටුම් තරමක් සමනය වී තිබුණද ඉකුත් සතියේ 15 වැනිදා තෛපොංගල් උත්සවයට සමගාමීව එම දේවාල භූමියේ යළිත් ශබ්ද විකාශන යන්ත්‍ර යොදා වීණා සංගීතය වයා සීනු නාද කොට පුද පූජා පැවැත්වීම නිසා ප්‍රදේශයේ ජනතාව තුළත් විහාරයේ දායක සභාව තුළත් යම් තිගැස්මක් ඇතිව තිබෙන බව වාර්තා වේ. මේ සිදුවීම හරහා යළිත් වරක් දෙමළ ඩයස්පෝරාවේ අනුගාමිකයන් සිංහල - දමිල හා බෞද්ධ - හින්දු ගැටුමකට අරඅදින බව ගම්වාසීහු ප්‍රකාශ කරති.

වාර්තා වන ආකාරයට මෙකී සිදුවීම හේතුවෙන් විහාරයේ දායක සභාව හා සෙසු පාර්ශ්ව අතර යම් විරසකයක් මතුව තිබේ. එබැවින් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ නව විහාරාධිපති මිහිඳුපුර රතන දේව කිත්ති හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය වගකිවයුතු සියලු බලධාරීන් සිදුවීම පිළිබඳ අවධානය යොමුකළ යුතුය.

මෙවර තෛපොංගල් උත්සව නිමිත්තෙන් 80කට අධික පිරිසක් දේවාල භූමියට පැමිණි බවත් ආහාර පිස අනුභව කළ බවත් වාර්තා විය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගුරැකන්ද රජමහා විහාරයේ නව විහාරාධිපති මිහිඳුපුර රතනදේව කිත්ති හිමියෝ මෙසේ පැවසූහ.

තෛපොංගල් දිනයේ එවැනි දෙයක් සිදුවෙලා තිබුණා. නමුත් මම පන්සලට නොගිහින් හිටියේ ගැටුමක් ඇති නොවීමටයි. පන්සල බලාගන්න කැලුම් බණ්ඩාර එතන හිටියා. එම පිරිස ඇවිත් ශබ්ද විකාශන භාවිතා කරලා වීණා වයලා සීනු ගහලා යාඥා කරලා ආහාර අනුභව කරලා ගිහින් තිබුණා. අපේ පන්සලේ දේවාලයට ඕන කෙනකුට යන්න අවසර තියෙනවා. හැබැයි කාටවත් අයිතිවාසිකම් කියන්න බෑ. ඒක පන්සල සතු දේපලක්. වව්නියාව සිට ගුරුකන්ද දක්වා කෝවිල් 15ක් තිබෙනවා. ඔවුන්ට එම ස්ථාන ප්‍රමාණවත්. පන්සලේ දේවාලය කෝවිලක් කියනවනම් එතන තිබෙන්නේ වෙනම කාරණයක්. ඒවාට අපි ඉඩදෙන්නේ නෑ.

මේ පිළිබඳව පොලිස් ස්ථානාධිපතිතුමාට, සහකාර පොලිස් අධිකාරීවරයාට සහ ඉහළ පෙළේ අවශ්‍ය ස්වාමීන් වහන්සේලා සහ නිලධාරීන්ට මම දැනුම් දී තිබෙනවා. පොලීසිය අවශ්‍ය පියවර ගනී. මෙතන පුරාවිද්‍යා බිමක්. ආරක්ෂිත ස්ථානයක්. ප්‍රදේශයේ ආරක්ෂක ගැටලු හමුදාව 59 වැනි බලසේනාව ඒ පිළිබඳ දන්නවා. මම දැනුම්වත් කර තිබෙනවා. දායක සභාව කියලා ඇතැම් පිරිස් පන්සල පෙන්නලා මුදල් ජාවාරම් කරන්න හදනවා. ඒ අය මම කාගෙන්හරි සල්ලි අරන් කියලා මඩ ගහන්න හදනවා. ඒවාට ඉඩක් නෑ. මේ බිම ශාසනයට අයිතියි. ඒක රැකගන්න අනාගතයට උරුම කරන්න අවශ්‍ය හැමදෙයක්ම කරනවා.”

ගුරුකන්ද විහාර භූමිය සම්බන්ධයෙන් වසර දෙකක සිට විවිධ ගැටුම් වාර්තා වේ. ඊට ප්‍රධාන හේතුව දෙමළ ඩයස්පෝරාවේ අත පෙවීමය. එබැවින් මහා සංඝරත්නයේ හා වගකිවයුතු සියලු බලධාරීන්ගේ අවධානය වහා යොමු කළ යුතු බව පෙන්වා දෙමු.

 සමන්ත ප්‍රදීප් විල්තෙර