2020 ජනවාරි 18 වන සෙනසුරාදා

රන්ජන්ගේ වැඩේ ගැන මැති ඇමැති මතය

 2020 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 12:30 30

රටක ශීලාචාරකම අධිකරණ කටයුතුවලින් වටහා ගත හැකි බවද ඒ සඳහා ආණ්ඩුවක් ගෙන යන ක්‍රියාවලියෙන් ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය තීන්දු කළ හැකි බවද දේශපාලන ආර්ථිකය සම්බන්ධ ලොව සිටි අග්‍ර වියතකු වූ මහාචාර්ය හැරල්ඩ් ඩී. ලැස්කි සඳහන් කර තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් තුළ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන ආයතන ස්වකීය බලසීමාවක් හොඳින් වටහාගෙන ක්‍රියා කළ යුතුව තිබේ. එහෙත් මේ වනවිට හෙළිදරව් වන ඇතැම් කරැණුවලින් පෙනීයන්නේ පසුගිය යහපාලන ආණ්ඩුව නීතියේ ආධිපත්‍යය මුළුමනින්ම කෙළෙසා ඇති බවකි. 

රන්ජන් රාමනායක මහතාගේ හඬපට පිළිබඳ සිදුවීම් මාලාව නිසා අධිකරණය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක්ම මේ වනවිට අවුලකට වැටී තිබේ. එහි අනිත් පැත්ත වන්නේ අධිකරණය, පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතන සම්බන්ධයෙන් මහජන විශ්වාස බිඳ වැටීමය. නීතිය පිළිබඳ විශ්වාසය බිඳ වැටුණු කළ රාජ්‍යයක් පවත්වා ගැනීම අසීරු වෙයි. නීතියේ ආධිපත්‍යය යනුවෙන් හඳුන්වනු ලබන තත්ත්වය උදාවීම සඳහා අධිකරණයේ ස්වාධීනතාව, කාර්යක්ෂමතාව හා යුක්තිය ඉටුවීම යන සාධක සම්පූර්ණ විය යුතුය තිබේ. මේ හැරෙන්නට අධිකරණය මගින් ලබාදෙන තීන්දු - තීරණ කෙරෙහි මහජන විශ්වාසයක් පැවතිය යුතුය. එහෙත් පසුගිය රජය යටතේ එය සිදුවී නැත.

හඬපට සම්බන්ධ සිද්ධිදාමයෙන් පෙනී යන එක් කරැණක් වන්නේ දේශපාලකයන් කෙතෙක් දුරට අධිකරණයට බලපෑම් කරන්නේ ද යන්නය. පුදුමයකට කරැණක් වන්නේ මෙලෙස අධිකරණයට බරපතළ දේශපාලන බලපෑමක් සිදුවන්නේ යහපාලන ආණ්ඩුව යටතේ වීමය. එහෙත් යහපාලන රජය බලයට ඒමට පෙර එම ආණ්ඩුවේ සටන් පාඨ බවට පත්ව තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම, භීතියේ ආධිපත්‍යය ස්ථාවර කිරීම, මානව හිමිකම් සුරක්ෂිත කිරීම වැනි අභිමානවත් කාරණාවන්ය.
රන්ජන් රාමනායක මහතාගේ හඬපට සිදුවීම පිළිබඳව දේශයේ අප මෙරට දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙකුගෙන් විමසීමක් කළෙමු.

 

ජිනීවා සැසියේදී ප්‍රශ්න මතුවේවි

කළුතර දිස්ත්‍රික් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස

රන්ජන් රාමනායක මන්ත්‍රිවරයාගේ හඬපට මගින් අනාවරණය වන කරුණු ඉදිරියේදී ජිනීවා මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාවට එරෙහිව භාවිත කිරීමේ අවදානමක් තිබෙනවා. මොකද විදෙස් අධිකරණ මෙරටට ගේන්න හැදුවම ඒක අපි ප්‍රතික්ෂේප කළා. මෙරට අධිකරණ පද්ධතිය ස්වාධීන බවට අපි කියා සිටියා. එහෙත් දැන් මේ තත්ත්වය එක්ක ජිනීවාහිදී මේ පිළිබඳ ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කරයි කියලා හිතනවා. ඒ වගේම බොහෝ දෙනෙක් මේ හඬපට දේශපාලන පටු අරමුණු වෙනුවෙන් යොදාගෙන තිබෙනවා. නමුත් මේකේ කියන බරපතළ කාරණාව වන්නේ පෞද්ගලික වශයෙන් සිදුවන හානියට වඩා බරපතළ තත්ත්වයකට රට පත්වී තිබීමයි.

කලින් පිට නොවූ හඬපට දැන් කොහොමද එන්නේ

ගාල්ල දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි

රන්ජන් රාමනායක මහතා විසින් කරපු හැම ක්‍රියාවන්ම අපි සාධාරණීකරණය කරන්නේ නැහැ. හැබැයි එතුමා හොරැ අල්ලන ඇමති හැටියට තමයි ජනතාව අතර ප්‍රසිද්ධවෙලා හිටියේ. ඒකේ කටයුතු අනුව සමාජයේ විවිධ පාර්ශ්වයන් සමඟ එතුමා කතා කරන්න ඇති. හැබැයි එතුමා කාන්තාවන් සමඟ කරපු ඒ කථාවන් අපි අනුමත කරන්නේ නැහැ. වර්තමාන ආණ්ඩුවේ අයගෙත් හඬපට මේ හඬපට අතර තියනවා නමුත් ඒවා පිටවෙලා නැහැ. අනික් කාරණය තමයි එතුමා ළඟ කියනකම් මේ හඬපට පිටවුණේ නැහැ. ඔහුට අත්අඩංගුවට ගන්නට පස්සේ තමයි මේවා පිටවෙන්නේ. කොහොමද එහෙම වෙන්නේ?? හඬපටවලට මුවාවෙලා වර්තමාන ආණ්ඩුව අද වෙනකොට ජනතාවට වූ පොරොන්දු ඉටුකරනඑක මඟහරිමින් ඉන්න බවක් තමයි පේන්න තියෙන්නේ.

රට හසුරුවන හැටි තමයි මේවායින් එළිවෙන්නේ

දුමින්ද නාගමුව - පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම්

දේශපාලකයන්, අධිකරණය සහ පොලිසිය සමඟ ගනුදෙනු කරමින් සමාජය හසුරවන ආකාරය පිළිබඳ රන්ජන් රාමනායකගේ හඬපට හරහා එළියට එනවා. මේක තමයි තිරයෙන් පිටුපස ඇත්ත කතාව. ස්වාධීන යැයි කියා ගන්නා කිසිම ආයතනයක් ස්වාධීන නැත. සමාජයේ එක තීරැවක් කොහොමද මේ රට හසුරවන්නේ කියන එක තමයි මේ හඬපටවලින් ඔප්පු වුණේ. ඒක තමයි ඇත්ත. ඔහු හිටපු රාජ්‍ය ඇමතිවරයකු ලෙස මේ විදියට බලපෑම් කලානම් අනිත් අය කොහොමට බලපෑම් කරන්න ඇතිද?

අපෙන් පළිගන්න තමයි මේවා කරලා තියෙන්නේ

ප්‍රසන්න රණතුංග - කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය

පසුගිය යහපාලන ආණ්ඩුව බලයට ආවේ මේ රටේ ජනතාවට විශාල ලෙස බොරු කියලා. ඔවුන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස, අධිකරණ ස්වාධීනත්වය ගැන කතා කළා. නමුත් රන්ජන් රාමනායක හිටපු ඇමතිතුමාගේ හඬපට ඇහුවම තේරෙනවා. පසුගිය ආණ්ඩුව කොහොමද කටයුතු කරලා තියෙන්නේ කියලා. තමන්ගේ දේශපාලන ප්‍රතිවාදීන්ගෙන් පළිගන්න මේ අය අධිකරණයේ ස්වාධීන බව අමු අමුවේ උල්ලංඝනය කරලා. ඔවුන් පසුගිය මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩු සමයේ හිටපු මැති ඇමතිවරැන්ගෙන් පළිගන්න තමයි මේක කරලා තියෙන්නේ. ඔහුගේ හඬපටවලින් ඒවා තේරෙනවා. විනිසුරැවන්ට බලපෑම් කරමින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බලපෑම් කරමින් මොවුන් ඒ දේ තමයි මේ කරලා තියෙන්නේ.

රන්ජන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි

පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල

රන්ජන් රාමනායක හිටපු රාජ්‍ය ඇමතිතුමා නඩු ගාණක් පිළිබඳ විනිසුරැවරැන්ට බලපෑම් කරලා තියනවා කියලා ඒ හඬපටවලින් ඔප්පු වෙනවා. ඒ වගේම ඔහු පොලිසියට බලපෑම් කරන ආකාරයක් මේ වනවිට මුළු සමාජයම දන්නවා. අධිකරණයේ රාජකාරි කරන නිලධාරින්ට ඔහු බලපෑම් කරලා තියනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (111 ඇ) වගන්තියට අනුව අධිකරණයට බලපෑම් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්. එවැනි පුද්ගලයකුට වසරක හිර දඬුවමක් හා දඩයක් නියම කරන්න පුළුවන්. ඒ වගේම වසර හතකට ප්‍රජා අයිතිය තහනම් කරන්නත් පුළුවන්. අපි හිතන්නේ රන්ජන් වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි කියලා..

රන්ජන් කළ වැඩේ අනුමත කරන්න බෑ

මඩකලපු දිස්ත්‍රික් ශ්‍රීලමුකො පාර්ලිමේන්තු මන්ත්‍රි සෙසියඩ් අලි සහිර් මවුලානා

හඬපට සිදුවීම් ගැන මාධ්‍යයේ යන දේවල් පමණයි අපිත් දන්නේ. ඊට වඩා මොනවත් දන්නේ නැහැ. එතුමා අපිත් සමඟ සහ අපේ පක්ෂය සමඟ සාකච්ඡා කරලා නැහැ. නමුත් එතුමා කරපු ඒ වැඩේ හොඳ මදියි. අනිත් අයගේ රැකියාවල් පවා අවදානමකට මතුවෙලා තියනවා. එතුමා ඒ කරපු දේවල් සමඟ. ඒ නිසා ඒ වැඩේ අනුමත කරන්න බැහැ.

අපි එක්ක නම් කතා කරලා නෑ

දෙමළ ඊළාම් ජනතා විමුක්ති සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සිද්ධාර්ථන් ධර්මලිංගම්

අපි කිසිම අවස්ථාවක එතුමා සමඟ දුරකතනයෙන් කථාබහ කරලා නැහැ. ඒ වගේම කිසිදු දේශපාලන කථාබහක් පාර්ලිමේන්තුව තුළදීවත් අපි කතා කරලා නැහැ. පාර්ලිමේන්තුව තුළදී මුහුණට මුහුණ හමුවුණාම කතාබහ කරනවා. ඒ ඇරෙන්න අපි කතා කරන්න ගත්තේ නැහැ. කොහොමවුණත් ඒ කරපු ක්‍රියාව අනුමත කරන්න බැහැ.

 හසිත් අංජන