2020 ජනවාරි 18 වන සෙනසුරාදා

ගෝඨාභය ජනපති සජිත් අගමැති කතාව ගැන මැති ඇමැති මත ගැටුම

 2020 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 12:30 268

දේශපාලනයේදී වඩාත් වැදගත් වන්නේද, වඩාත් බලවත් වන්නේද ජනමතයයි. ජනමතය පළමු තැන ගන්නා අතර එය සියල්ලට ඉහළින් පවතී. ජනතා පරමාධිපත්‍යය ලෙස අර්ථ විග්‍රහයට ලක්වේ. මෙරට හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත්වී මාස දෙකක පමණ කාලයක් ගතවී තිබේ. එහෙත් තවමත් මෙරට ජාතික දේශපාලන වේදිකාව පවතින්නේ උණුසුම්වය.

ජනපතිවරණය නිමාවට පත්වුවද මෙරට සිටින ප්‍රධානතම දේශපාලන පක්ෂ මේ වනවිටත් ඉදිරි මහ මැතිවරණය සඳහා ලහි ලහියේ සූදානම් වන ආකාරයක් පෙනෙන්නට ඇත. එහෙත් තවමත් එම පක්ෂ ඉදිරි මහ මැතිවරණයට තමන් තරග කරන ආකාරය පිළිබඳ නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නැත. දේශපාලන වේදිකාව තුළින් ඇසෙන්නේ එම ප්‍රධාන පක්ෂ මහ මැතිවරණයට ඉදිරිපත් වන ඉඟිබිඟි පමණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි මහ මැතිවරණයේදී සන්ධාන ගත වී වෙනම ලකුණක් යටතේ තරග කිරීම පිළිබඳව තීරණය තවමත් පවතින්නේ සාකච්ඡා මටටමිනි. එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේද යම් යම් ගැටලු ඇති බව පෙනෙන්නට ඇත්තේ එම පක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ කතාබස් වලිනි. මෙම තත්ත්වය තුළ මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ ඉදිරි මහ මැතිවරණයට තරග කරන්නේ කුමන පක්ෂයක් යටතේ තරග කරනවාද යන්න පිළිබඳ ජනතාව තුළ ඇත්තේද කුකුසකි.

පසුගිය ජනාධිපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයාගේ පරාජයට පත්වුවද තමන්ට ඡන්දය ලබාදුන් ජනතාවට ස්තූති කිරීම සඳහා මේ දිනවල රටපුරා ජනහමු මාලාවකට සම්බන්ධ වී සිටියි. එම ජනහමු මාලාවන් යටතේ සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයගෙන අගමැති වුවහොත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ එක්ව වැඩ කිරීමට තමන් සූදානම් බවයි.

එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරැන්ද ඉදිරි මහ මැතිවරණයෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ - අගමැති සජිත් ප්‍රේමදාස යනුවෙන් බොහෝ ජනහමුවලදී පවසන ආකාරය මේ දිනවල විද්‍යුත් මෙන්ම මුද්‍රිත මාධ්‍යයන් තුළදීද දැකගත හැකිය. එහෙත් වත්මන් ආණ්ඩුවේ මැති ඇමැතිවරැන් පවසන්නේ ඉදිරි මහමැතිවරණයෙන් පසුවද වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාම යළිත් අගමැති වීම කිසිවකුටත් වැළැක්විය නොහැකි බවය.

වත්මන් දේශපාලන වේදිකාවේ නිරතුරුවම ඇසෙන ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති සජිත් ප්‍රේමදාස මහතා අගමැති යන අදහස පිළිබඳව පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරැන්ගෙන් දේශයේ අපි විමසීමක් කළෙමු.

ඡන්දය දිනුවාම එය සැබෑවක් වෙනවා

කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා

ඊළඟ මහ මැතිවරණය සඳහා අපි ඉදිරිපත් වන ආකාරය පිළිබඳ අපි මේ වනවිටත් සාකච්ඡා කරලා තියෙන්නේ. බොහෝමයක් ගම්වල ජනතාව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සමග වැඩ කිරීමට විශාල කැමැත්තක් දක්වනවා. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයක් යටතේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් කියන විශ්වාසය තිබෙනවා. පාර්ලිමේන්තුව තුළ බහුතරය ලබාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැතිවරයා ලෙස පත්වුවහොත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති, සජිත් ප්‍රේමදාස මහතා අගමැති කියන කාරණය සැබෑවක් බවට පත් වෙනවා. ඒ නිසා ජනතාව තීරණය කරලා ඒ ජනතා තීන්දු මත මෙය සිදුවෙයි කියන විශ්වාසය අපිට තිබෙනවා.

වත්මන් ජනපති හොඳයි:

මේ මැති ඇමැතිලා සුදුසු නෑ

ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ

එළඹෙන මහ මැතිවරණයේදී පක්ෂය ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳ අපි ජනතාව සමඟ කතාබහ කරලා ගම් මට්ටමේ - බිම් මට්ටමේ ජනතාව හමුවෙමින් තිබෙනවා. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරලා තියෙන සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ ඉතා හොඳයි. අපි ඒක අගය කරනවා. වත්මන් පාර්ලිමේන්තුව තුළ ඉන්න මැති ඇමැතිවරැන්ගෙන් බහුතරයක් ඒ සඳහා සුදුසු නැහැ. ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරලා බහුතරයක් අරගෙන අපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය ලබාදෙනවා. සජිත් ප්‍රේමදාස මහතාගේ අගමැති ධුරයක් යටතේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි කියන විශ්වාසය අපිට තිබෙනවා. ඒ නිසා ඉදිරි මහ මැතිවරණයෙන් පස්සේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිත්වය යටතේ සජිත් ප්‍රේමදාස මහතාගේ අගමැති යටතේ ජනතාවට සේය කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා.

සජිත් මහත්තයා අගමැති වෙයි කියලා විශාල විශ්වාසයක් තිබෙනවා

පොළොන්නරුව දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අනුර සිඩ්නි ජයරත්න

ගම් මට්ටමේ ජනතාව එක්ක ඉදිරි මහ මැතිවරණයට තරග කරන ආකාරය පිළිබඳ අදහස් විමසමින් සිටිනවා. ජනතාව බොහෝමයක් කියන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයක් යටතේ ආණ්ඩුවක් තමයි බලාපොරොත්තුව කියලා. මේ වත්මන් රජය බලයට පත්වුණාම දැන් බඩුමිල නැවත විශාල ලෙස වැඩිවෙලා තියෙනවා. ජනතාවට මෙම සහන ලබාදෙන්න අනිවාර්යයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයක් යටතේ පාලනයක් ආ යුතුයි. ඒ නිසා ඉදිරි මහ මැතිවරණයෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති නායකත්වයක් යටතේ සජිත් ප්‍රේමදාස මහතාගේ අගමැති නායකත්වයක් යටතේ අලුත් ආණ්ඩුවක් හදලා ජනතාවට සහය දෙන්න ජනතාවගේ ප්‍රශ්න අඩු කරන්න පුළුවන් නව රජයක් ගෙන ඒමට හැකියාවක් ලැබෙයි කියලා විශාල විශ්වාසයක් බලාපොරොත්තුවක් අපිට තිබෙනවා.

සජිත් මහත්තයෝ දවල් හීන දකින්න එපා!

පුත්තලම දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ධීවර සහ මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා

මේ රටේ හැට නම ලක්ෂයක් ඡන්දය දීලා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්කළා. ඒ වගේම තමයි ජනතාවගේ බහුතර කැමැත්ත තිබුණා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කරන්න. දැන් වත්මන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා රැස්වීම්වලදී කිය කියා යනවා ඊළඟ මහ මැතිවරණයෙන් පස්සේ මම තමයි අගමැති ගෝඨාභය රාජපක්ෂ මහතා තමයි ජනපති කියලා. අපිට සජිත් මහත්තයට කියන්න තියෙන්නේ නිකන් දවල් හීන දකින්න එපා කියලා. අර ගිලෙන්න යන මිනිහා පිදුරැ ගහෙත් එල්ලෙනවා වගේ කතාවක් තමයි මේ සජිත් මහත්තයා කියන්නේ. ඒ නිසා අපි ඔවුන්ට කියනවා නිකන් ජනතාව මුලා කරන්න එපා කියලා. මොකද මහ මැතිවරණයෙන් පස්සේ බහුතර බලයක් ලබාගෙන අගමැති වෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා තමයි. ඒ ඇර වෙන කවුරුත් නෙවෙයි.

මොන විහිලු කතාද මේ?

ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි

සජිත් ප්‍රේමදාස මහතාට අගමැති වෙන්න තියා අගමැති අපේක්ෂකත්වයවත් දෙන්න එකඟතාවයක් නැහැ. මොවුන් මේ තනතුරැවලට තමයි පොරකන්නේ. මේ මේ මොවුන්ගේ විහිළු කතා. කවදාවත් ඔවුන්ට මැතිවරණ ජයග්‍රහණයක් ලබාගන්න බැහැ. මේ අය පසුගිය කාලයේ කරපු දේවල් හඬපට මගින් එළියට ආවා. ජනතාවට ඒවාවලින් පැහැදිලි වෙනවා මොවුන් ආණ්ඩු බලය තියෙන කාලයේ කරපුවා. එතුමා දකින හීන තමයි මේ අගමැති වෙන එක. ඉතින් හීන දැක්කට කමක් නැහැ. මොකද ඒවා හැබෑවෙන්නේ නැහැනේ. ඒ නිසා ඒවා හීනම විතරයි.

ජනතාව රවට්ටන්න බෑ

කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී. ඒකනායක

මේවා මේ සජිත් මහත්තයා කියන විහිළු කතා. මොකද ජනපති පත් කරන්නෙත් ඡන්දයෙන්. අගමැති පත් කරන්නෙත් ඡන්දයෙන්. මේවා ජනතාව නොමග යවන කතා. මොවුන්ට මේ ජනතාව නැවත රවට්ටන්න බැහැ. මුලින්ම මොවුන් මේ පාර්ලිමේන්තුවට ආදර්ශයක් විය යුතුයි. අද එජාපයේ කණ්ඩායම් දෙකක් තියෙන්නේ. මේ පක්ෂය ඇතුළේ තියෙන ගැටලු විසඳගන්න බැරුව කොහොමද අනිත් දේවල් කරන්නේ.

සටහන - හසිත් අංජන

 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30