2020 ජනවාරි 18 වන සෙනසුරාදා

සතුන් වත්තට යන අයටත් දැන් සතුන්ට කෑම දෙන්න පුළුවන්

 2020 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 12:30 88

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සතුන්ට ආහාර ලබාදීම සඳහා කැමති සත්වෝද්‍යානයට පැමිණෙන නරඹන්නන්ට ඒ සඳහා අවස්ථාවක් ලබාදීමට සත්වෝද්‍යාන පාලනාධිකාරිය සූදානම් වෙයි. මේ හේතුවෙන් සතුන්ට නරඹන්නන් විසින් හිතුමතේට ආහාර ලබාදීම යම් ලෙසකින් නතර වන බව දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය දේශයට පැවසුවාය.

“මෙම ක්‍රමවේදය මේ වසරේදී අපි ආරම්භ කළේ සත්වෝද්‍යානයේ ඇති වී තියෙන ගැටලුවකට පිළියමක් ලෙසයි. දෙහිවල සත්වෝද්‍යානයට එන නරඹන්නන් සතුන්ට නුසුදුසු ආහාරපාන ලබා දෙන්න උත්සාහ කරනවා. ඇතැම් අය සතුන් සිටින කූඩුවලට ආහාර විසි කරනවා. සමහරු හීලෑ සතුන් කූඩුව අසලට ආ විට කෑම සතුන්ට ලබා දෙන්න උත්සාහ ගන්නවා. ඒ කෑමවල කිසිම ප්‍රමාණයක්, වෙලාවක් වගේම ප්‍රමිතියක් නෑ.” යැයි අනෝමා ප්‍රියදර්ශනී පවසන්නීය.

දෙහිවල සත්වෝද්‍යානයේදී “සතුන්ට ආහාර ලබාදීමෙන් වළකින්න” යැයි කොයිතරම් ප්‍රදර්ශන පුවරු සවිකර තිබුණ ද ඇතැම් නරඹන්නන් තුළ එවැනි දැන්වීම් පුවරු පිළිබඳව වැඩි තැකීමක් නැත. මෙලෙස නරඹන්නන් විසින් සතුන්ට ලබාදෙන බොහෝ ආහාර මෙම සතුන්ට අහිතකර වේ. පැණි රස ආහාර මෙන්ම විවිධ රසකාරක අඩංගු ආහාර කිසිසේත්ම සතුන්ට හිතකර වන්නේද නැත. ඇතැමුන් පොලිතින් උරවල බහා මෙම සතුන්ට ආහාර ලබාදීම හේතුවෙන් ලුණු රසය සහ සුවඳ නිසාම එම උර පවා සත්තු කා දමති. පුවරු ප්‍රදර්ශනය කිරීමෙන් මෙන්ම සේවක පිරිස මගින් ද මෙම තත්ත්වය නතර කර දමන්නට ආයතනය උත්සාහ දැරුව ද එය සාර්ථක වී නැත. ඇතැම් නරඹන්නන් එවැනි ප්‍රදර්ශන පුවරු අසලදීම සතුන්ට කෑම ලබාදෙන අවස්ථා ද තිබේ.

“එලෙස හිතුමතේට සතුන්ට ආහාර ලබාදෙන නරඹන්නන් එක්ක අපි කතා කරද්දි අපිට දැනුණ කාරණාවක් වන්නේ ඒ නරඹන්නන් සතුන්ට කෑම ලබාදෙන්න ඉතා කැමැත්තක් දක්වන බවයි.” යැයි අනෝමා ප්‍රියදර්ශනී වැඩිදුරටත් පැවසීය.

නරඹන්නන් විසින් සතුන්ට හිතුමතේට ආහාර ලබාදීමේ ක්‍රමවේදය අඩුකිරීමට නරඹන්නන් විසින් ආහාර ලබාදෙන ක්‍රමයක් උදව් වනු ඇතැයි සිතා දෙහිවල ජාතික සත්වෝද්‍යානය මේ ක්‍රමවේදය ආරම්භ කර තිබේ.

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටින සතුන්ට වෛද්‍ය නිලධාරීන් හා පෝෂණවේදීන් විසින් නිර්දේශිත සත්ව ආහාර ලැයිස්තුවක් ඇත. මෙහිදී එක් එක් සත්ව වර්ගයාට අනුව ඔවුන්ගේ වයස අනුව වෙන්වුණ ආහාර ලැයිස්තුවක් පවතී. එපමණක්ම නොව යම් රෝග තත්ත්වයෙන් පසුවන මෙන්ම ගර්භනී කාලයේ පසුවන සතුන් ඇතුළු විශේෂිත සත්ව කොට්ඨාසයන්ට වෙන්වුණු ආහාර ලැයිස්තුවක් තිබේ. යම් නරඹන්නෙකු හෝ සත්වෝද්‍යානයේ සිටින සතුන්ට ආහාර දීමට කැමැත්තක් පළ කරයිනම් ඒ සම්බන්ධව ප්‍රවේශ පත්‍ර කවුළුවට දැනුම් දී මුදල් ගෙවා රජයේ අනුමත කහ පැහැති කුවිතාන්සිය ලබා ගැනීමෙන් පසුව ඒ මුදලට සරිලන ආහාර පාන දීමේ අවස්ථාව ලබා දී තිබේ. නමුත් කිසිම මොහොතක නරඹන්නන් සඳහා පිටතින් ගෙන එන ආහාර කිසිවක් කිසිදු සතෙකුට ලබාදීම තහනම්ය. පශු වෛද්‍ය නිලධාරීන්ගේ අනුමැතිය ඇතිව ඒ සතුන් සඳහා වෙන්වුණු ආහාර ලැයිස්තුවක් ද ඒ සඳහා සකසා තිබේ.

නරඹන්නන්ගේ ඉල්ලීම මත මෙම ආහාර දීමේ අවස්ථාව ලබාදෙන අතර බොහෝවිට හීලෑ සතුන් වෙනුවෙන් මේ අවස්ථාව වැඩිවශයෙන් ලබා දී තිබේ. නරඹන්නන්ගේ ඉල්ලීම මත කොටින් වැනි දරුණු සතුන් වෙනුවෙන් ද ආහාර ලබාදීමේ හැකියාව පවතී. නමුත් විවිධ සතුන්ට ආහාර ලබාදීමේ ක්‍රමයත් වෙනස් වන අතර ජිරාෆ්, අශ්වයන් වැනි සතුන්ට අසල‍ටම ගොස් ආහාර දීමේ අවස්ථාවක් ඇති අතර කොටින් වැනි දරුණු ගණයේ සතුන්ට ආහාර ලබාදිය හැක්කේ සුපුරැදු පරිදි කේබල් ක්‍රමය මඟිනි. නරඹන්නන්ගේ කැමැත්ත මත ඒ කේබල් මගින්ද එවැනි සතුන්ට ආහාර දීමේ හැකියාව ඇත.

බොහෝවිට සෑම දිනකම සවස දෙකෙන් පසුව සත්වෝද්‍යානයේ සෑම සතෙකුටම ආහාරපාන ලබාදීමේ වැඩපිළිවෙළ ආරම්භ වේ. මේ නිසාම යම් නරඹන්නෙකු යම් සත්ව කොටසකට ආහාර ලබාදීමට කැමැත්තක් දක්වන්නේ නම් ඒ කාලයට පෙර ඒ සඳහා සත්වෝද්‍යානයේ අවසරය ලබාගත යුතු වේ. සත්වෝද්‍යානයේ ජීවත්වෙන සතුන්ට උදෑසන ආහාර වේල උදෑසන අටයි තිහ වෙද්දී ලබාදෙන අතර නරඹන්නන්ට ඒ සඳහා සහභාගී වීමේ හැකියාවක් නැත. දහවල් කෑම වේල වෙනුවෙන් සවස දෙකට පෙර ඒ සඳහා සම්බන්ධ වීමේ හැකියාවක් ඇත.

“හැම සතෙකුටම කෑම ලබලා දෙන්න කූඩු ඇතුළටම යන්න ඕන වෙන්නෙ නැහැ. බොහෝ සතුන්ට කූඩුවෙන් පිටත සිට ආහාර ලබාදෙන්න පුළුවන්. යම් නරඹන්නකු කූඩුව ඇතුළට ගොස් ආහාර ලබාදීමට යම් ඉල්ලීමක් කළහොත් ඒ ඉල්ලීම අනුව යම් සලකාබැලීමක් කරන්න පුළුවන්.” යැයි නියෝජ්‍ය අධ්‍යක්ෂිකා අනෝමා ප්‍රියදර්ශනී වැඩිදුරටත් දේශයට පැවසුවාය.

 විශේෂ ස්තූතිය
පී. එච්. ප්‍රභාත් - ජාතික පොදු සේවක සංගමය - ලේකම්
නඳුන් කුෂාන් ඇතුලත්මුදලි - පාලක      
එම්. එම්. එන්. පාලිත පෙරේරා - සහකාර පාලක
    

 දිශානි ජයමාලි කරුණාරත්න
     සේයාරූ - සුමුදු හේවාපතිරණ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00