ලබුදූව වී පර්යේෂණ ආයතනය මගින් එල් – ඩී 253 නමින් නව වී ප්‍රභේදයක් හඳුන්වා දී තිබේ. කෙටිකාලීන වී ප්‍රභේදයක් වන මෙම නව ප්‍රභේදය වියළි හා තෙත් යන දෙකලාපයේම වගා කළ හැකි වන අතර දින 75ක් වැනි කාලයකදී අස්වැන්න ලබාගත හැකිය. තෙත් කලාපයේදී අක්කරයට බුසල් 60-80 දක්වා අස්වැන්නක්ද, වියළි කලාපයේ දී අක්කරයකට බුසල් 100ක පමණ අස්වැන්නක්ද ලබා ගත හැකි බව පැවසේ.
මෙම වී ප්‍රභේදය ජලය අවම වශයෙන් පවතින කුඹුරුවල සහ කන්නය ප්‍රමාදවීම නිසා මගහැරුණු කුඹුරුවල වගා කිරීම සඳහා බෙහෙවින් සුදුසුය. මෙහි සහල් කිරි පැහැති සුදකින් යුතු වන අතර බීජ අවපැහැ වීම ද අවමය. මෙම වී ප්‍රභේදයේ මව් ප්‍රභේදය වන්නේ ඒ.ටී. 4 වර්ගයේ වී ප්‍රභේදයයි. මේ වනවිට නව වී ප්‍රභේදය ගොවීන් අතර බෙදාදී දී ඇති අතර අනුරාධපුරය, කුරුණෑගල වැනි ප්‍රදේශවල ගොවීන් අතර ජනප්‍රිය බව පැවසේ.
මෙය පලිබෝධ හානිවලට මෙන්ම රෝග කාරකයන්ට ද ඔරොත්තු දිය හැකි වී ප්‍රභේදයක් ලෙස වී පර්යේෂණ ආයතනය සඳහන් කර තිබේ. ප්‍රධාන පළිබෝධ රෝගවලට මධ්‍යස්ථ ප්‍රතිරෝධයක් දක්වන නව වී ප්‍රභේදයට. දුඹුරු කීඩෑවන් ගොක්මැස්සන්, බැක්ටීරියාවන් හා කොළ අංගමාරය වැනි රෝගවලට ඔරොත්තු දීමේ හැකියාවක් පවතී.
ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රධාන ආහාරය බත්ය. ක්‍රිස්තු පූර්ව 800 කට පෙර සිටම ශ්‍රී ලංකාවේ වී ගොවිතැන පැවති බව ලේඛනගත සාධකවලට අනුව හෙළිවේ. ශ්‍රී ලංකාවේ වාර්ෂික ඒක පුද්ගල සහල් පරිභෝජනය කිලෝග්‍රෑම් 169ක් බව පැවසේ. ලොව පුරා වී ප්‍රභේද 10,000ක් පමණ පවතින අතර ශ්‍රී ලංකාවේද වී ප්‍රභේද සිය ගණනක් තිබේ. සහල් ග්‍රෑම් සියයක කාබොහයිඩ්රේඩ් ග්‍රෑම් 77ක්ද, ප්‍රෝටීන් ග්‍රෑම් 8ක්ද, මේදය ග්‍රෑම් 0.6ක්ද අන්තර්ගතය. අපගේ දේශීය වී ප්‍රභේද ඖෂධීය ගුණයෙන් ද යුක්ත වේ. කලක් වගා නොකළ සුවඳැල්, කඵ හීනටි, මාවී, පච්ච පෙරුමාල්, කුරුළු තුඩ, රත්දැල්, මඩතවාලු වැනි අපගේ පාරම්පරික වී වර්ග යළි වගා කිරීමට උනන්දුවක් ඇති වී තිබෙන්නේ ඒවායේ පවතින ඖෂධීය ගුණය නිසාය. පාරම්පරික වී වර්ගවල පලිබෝධවලට ඔරොත්තු දීමේ ශක්තිය, පෝෂණීය ඉහළ මට්ටමක පැවතියද ඒවායේ ඇති දුබලතාව වන්නේ අස්වැන්න අඩුකමය.
පැරණි වී ප්‍ර භේදවල පැවැති ගැටලු සහගත තත්ත්වය නිසාත් විදේශයන්ගෙන් හඳුන්වා දුන් වී වර්ග අපගේ දේශගුණය හා පාංශු තත්ත්වය යටතේ සාර්ථක නොවූ නිසාත් 1958 වර්ෂයේදී අස්වැන්න වැඩි කර ගත හැකි H 4 වර්ගයේ දෙමුහුම් වී හඳුන්වා දෙනු ලැබීය. රසායනික පොහොර භාවිතය හඳුන්වා දුන්නේ ද මේ කාලයේය. ශ්‍රී ලාංකික සම්ප්‍රදායික සහල් ප්රභේදයන්හි අඩංගු වූ, විශාල ප්‍රමාණයක ග්ලුටැමික් අම්ලය, අධිසාන්ද්‍රිය, විටමින්, තන්තු සහ අඩු සීනි සාන්ද්‍රණය යන ගුණාත්මකභාවයන් රසායනික පොහොර භාවිතය නිසා හීන වී ගියේය.
හැටේ දශකය ආරම්භයේදී වී අභිජනනය හඳුන්වාදීමත් සමඟ සාම්ප්‍රදායික වී වර්ග වෙනුවට වැඩි දියුණු කරන ලද වී ප්‍රභේද ව්‍යාප්ත විය. ශ්‍රී ලංකාවේ වගා කෙරෙනුයේ ඉන්ඩිකා නමැති වී වර්ගයයි.. ඇතැම් වී ප්‍රභේද ශ්‍රී ලංකාවට ආවේණික වන අතර ඇතැම් ඒවා ඉන්දියාව, චීනය වැනි රටවලින් ගෙන එන ලද වී වර්ග වේ. වී අභිජනනය ආරම්භ වීමත් සමඟ අපගේ පාරම්පරික වී සහ විදේශීය වී ප්‍රභේද දෙමුහුම් කිරීමට ලක් විය. දෙමුහුම් කිරීමේදී සලකා බලන ලද ප්‍රධාන සාධක වූයේ වැඩි අස්වැන්න, ගුණාත්මක භාවය, ඇද වැටීමට ඔරොත්තු දීම, නියං කාලයට ඔරොත්තු දීම, මධස්ථ පඳුරු දැමීම, ලවණතාවට ඔරොත්තු දීම, රසායනික පොහොවලට දක්වන ප්‍රතිචාරය හා ගංවතුරට ඔරොත්තු දීම වැනි කරැණුය. 2016 වන විට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩිදියුණු කළ වී වර්ග 84ක් පමණ මෙරටට හඳුන්වා දී තිබිණි.ඒ අතුරින් ප්‍රභේද 40ක් පමණ ජනප්‍රිය වී වර්ග ලෙස සැලකේ.
බතලගොඩ වී පර් යේෂණ ආයතනය මගින් බී.ජී වර්ගයේ වී ප්‍රභේද ද, අම්බලන්තොට වී පර් යේෂණ ආයතනය මගින් ඒ. ටී වර්ගයේ වී ප්‍රභේද ද, ලබුදූව වී පර් යේෂණ ආයතනය මගින් එල්. ඩී. වර්ගයේ වී ප්‍රභේද සහ බෝඹුවල ප්‍රදේශීය වී පර් යේෂණ ආයතනය මගින් බී.ඩබ්ලියු වර්ගයේ වී ප්‍ර භේද මෙරට ගොවීනට හඳුන්වා දී තිබේ. ඒ අතරට එක්වූ නවතම සාමාජිකයා ලබුදූවේ එල් – ඩී 253 වී ප්‍රභේදයයි.
►ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා