2020 ජනවාරි 11 වන සෙනසුරාදා

අමරසිරි පීරිස් සසුනට පුදකළ සෙනසුන

 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 426

තුරු වදුළු අතරේ සැඟව ගත් මෙතුවක් නොපැමිණි පින්සාර වසන්තයක් කෑගල්ල ප්‍රදේශයේ අරුග්ගම්මන ගම්මානයට අහම්බයෙන් දවසක පැමිණි වග කියන්නටදෝ එක් කලෙක ඉපල්ව තිබූ ගසක ළා දලු ඉපැද්දෙමින් තිබුණි. ළා කොළ පැහැයෙන් දිදුළ ඒ දල්ල පසුබිම්ව සැතපුම් සියක් දහසක් දුරින් දෑස් අබිමුව දිස්වූයේ නීල කඳු යායයි. අක්කර ගණනක් පුරා දිවෙන ඒ කළු ගල ඉහත්තාවේ පලින් පල කැලෑ මලකට ඉපදෙන්නට ස්වභාවධර්මය තිඹිරිගෙය සකස් කර ඇති අයුරු අපූරුය.

බුදුන් වහන්සේ උපන් දේශය, බුදුන් වහන්සේ වැඩ සිටි දේශය, බුදුන් වහන්සේ ගම් දනව් සිසාරා සිය දහස් දුර වැඩි දේශය ලංකාද්වීපය නොවුණත් උන්වහන්සේ සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා ආ සසර දිගු ගමනේ සමාප්තිය සනිටුහන් පූර්වකව සටහන් කළ අවසන් භවයේදී දේශනා කර වදාළ අනන්ත අනුපමේය වටිනාකමකින් යුත් ලෞකික හා ලෝකෝත්තර හිත සුව පිණිස වූ ධර්මය භක්ත්‍යාදරයෙන් පරපුරෙන් පරපුරට උරුමයක් සේ ගෙනයන අනුගාමිකයන් වෙසෙන ප්‍රමුඛ රටක් වනුයේ ලංකාද්වීපයයි. බුදු පිරිතෙන් අවධිව බුදු පිරිත ශ්‍රවනය කරමින් නින්දට යන ජනතාවක් අදටත් මේ ද්වීපයේ බුදු බණ සිරස දරාගෙන නිරන්තරයෙන් බුදුන් දහම් සඟුන් සරණ යන්නට ඇති අවකාශ මඟ නොහරිමින් ජීවත් වන වගට ඇස ගැටෙන සාක්ෂි සුලභම නොවුණත් විරලද නොවන වග ලියා තැබීම නිරවද්‍ය වනු ඇතැයි හඟිමි. 

දිවා කල ගිනියම් වන්නට රත් වූ කළු ගල් තලාව සැඳෑ කල සපැමිණි සඳ නිරාවරණ දෙපතුළ සුදු මෘදු සිහිලකින් සනහාලනයුරු කදිමය. සංසාර සුවිසැරියේ භව යාත්‍රාව නිර්වාණය නැමැති තොටුපොළේ යළි දියත් නොකරන්නට නැංගුරම් ලන දිනක ආධ්‍යාත්මිකව සසර දාහයේ අක් මුල් සිඳ බිඳ දමන මොහොතක ළය මඬල පුරා නැගෙන සංතුෂ්ඨියේත් සැනසිල්ලේත් සිහිලස කොතෙක් වේදැයි යටිපතුල් සනහන සිහිලස අත්විඳිද්දී සිත පුරා විකසිත සිතුවිල්ලකි. අහස් තලය කළඹවමින් වැස්සක් ළඟ එනු ඇතැයි කියන්නට මෙන් වැහි ලිහිණියන් අහස කරා ඉගිල ගියත් ශ්‍රද්ධා සම්පන්න සිතින් සිත නැගි සිතුවිලි අනුහසින්දෝ වැහි බිඳක්වත් අහස නොහෙලූ පින්බර හැන්දෑවක ඒ ගල් තලාව මත හිඳි අපේ දෙසවන් කුරුලු කූජනයකින් හැරුණු විට තවත් හඬකින් අවධි කළා නම් කවුරුන් හෝ ඝන්ඨාරය නාද කරන විට නැග ආ හඬ පමණකි ඒ.

අරැග්ගම්මන ගම්මානයේ ගල් තලාව මත නිර්මාණය වූ බුදු ගෙයකින්, පහන් වැටකින්, ඝන්ඨාර කුළුණකින් සංගෘහිත වූ සිත නිවන ආරණ්‍යමය සිරි පුද බිම ඒ තරම්ම නිසසලය.

“සහන් ගීතිකාවක් සේ
ජීවිතයේ ගිම් නිවුවද
ඒ ගීයේ සොඳුරු වදන්
මුමුණනු කෙලෙසින්”

ගයනු මැනව.. යැයි ඇරියුම් කරන්නට කෙනකුට සිත් වුවත් ඒ පද ගැයූ ගායකයාණෝ සැම සිත සුව පිණිස කළ මහා මෙහෙවරක නිරාමිස සතුට හුදෙකලාවම විඳින මොහොතක ගී නොගයන තත්ත්පරයකි ඒ..

දිනක් බුදුන් වහන්සේ අබිමුවට පැමිණි නකුල මාතා නකුල පිතා යුවල ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස.. අප දෙදෙන යුග දිවියට එළඹි දවසේ පටන් පති - පතිනි දම් සුරක්ෂා කරමින්, උනුන් කෙරේ මහා ආදරයකින්, බැඳීමකින් ගෞරවයකින් යුතුකම් වගකීම් ඉටු කරමින් බැඳී සිටින්නෙමු. ස්වාමීනි සංසාරයේ උපදින භවයෙන් භවය මේ බැඳීමෙන්ම අප හමුවීම අපේ ප්‍රාර්ථනයයි. ස්වාමීනි ඒ ප්‍රාර්ථනය යථාර්ථයක් බවට පත්කර ගත හැක්කේ කෙසේදැයි බුදුන් වහන්සේගෙන් විචාළහ..

නකුල මාතාවෙනි යම් අඹු සැමි යුවළක් සම ශ්‍රද්ධා, සම සීල, සමචාග, සම ප්‍රඥා, යහගුණ වඩයිනම් ඒ දෙදෙනා නොබිඳෙන ආත්මගත බැඳීමෙන් සසර පුරා හමුවන්නේය යනුවෙන් බුදුන් වහන්සේ වදාළහ. සංසාරයේ මේ හමුවීම් අහම්බයක්යැයි හඟින්නට නොසිතේ. ආදරයෙන් ගෞරවයෙන් සෙනෙහෙවන්තකම් රකින්නට හමුවුවත් ඊට ඉඳුරාම වෙනස් හදවතේ සඟවා ගත් වෛරී චේතනා පෙරදැරිව හමුවුවත්, කවර බන්ධන තුළ ඒ අයුරින් හමුවුවත් ඒ සියල්ල සංසාරයේ පින් පවු කුසල් අකුසල් කරණ කොටගෙන තීරණය වූ නිශ්චිතයක්ම මිස අන් කවරක්දැයි යථාර්ථය පිරිසිඳ බලන මොහොතක හැඟේ.

ඔහු අස හිඳින ඇය වරෙක ස්වාමියාට මවක මෙන් වූ මාතෘ භාර්යාවක සේද තවත් වරෙක ස්වාමියාට යෙහෙළියක සේ වූ සඛී භාර්යාවක සේද ගුණ සිහිපත් කරමින් ඔහු ජීවන ගමන් මගේ පහනින් පහන දල්වන්නට ත්‍යාගයක් සේ ප්‍රදානය කරන දිරිය ආදරය ඔහු කළ මේ අනගි කර්තව්‍ය පසුපස ද සෙවණැල්ලක් සෙයින් දිලිසේ. ශ්‍රී අමර විහාරය ගොඩනගන සිතුවිල්ල සිත උපන්දා සිටම ඒ සිතුවිල්ල යථාර්ථයක් කරන්නට මෙන්ම අතීතයේ වයලීනය අතට ගත් ගාන්ධර්වයා සම්භාව්‍ය සංගීතවේදියකු ගායනවේදියකු ලෙස ගොඩනැගුණු වර්තමානය දක්වා ද ඔහු ජීවන ගමන් මගේ සෑම පියසටහනකම පාහේ ඇයගේ ආදරයත් ආශිර්වාදයත් කැටිව තිබේ. මිත්‍රත්වයේදී සුගුණ ධර්මතා ප්‍රගුණ කරමින් මනුෂ්‍යත්වය වදනින් නොව ක්‍රියාවෙන් ප්‍රකට කරමින් දුකට පත් කලාකරුවන් වෙනුවෙන් රට ජාතිය ආගම වෙනුවෙන් තමා කරන මෙහෙවර කිසිදු විටෙක ප්‍රසිද්ධිය උදෙසා අලෙවි නොකරමින් අවංක මිත්‍රයකු ලෙසත්, ස්වාමියකු, පියෙකු හා සීයා කෙනකු ලෙස ආදරණීය භූමිකාවන් තුළත් ජීවන සුවිසැරිය සරණ ඔහු අමරසිරි පීරිස් ගායනවේදියාය. ඔහුට සෙවණැල්ලක් සදිසිව ඔහු දිවිය පුරා සරණ ඇය නන්දා කෝරලගේ මාතාවය.

ශ්‍රී අමර විහාරය සහිත පුදබිම යථාර්ථයක් බවට පත් කිරීමේ පින්සාර කර්තව්‍යයේදී තවත් කල්‍යාණ මිත්‍රයකු ද ඔහුට ආශිර්වාදයක් වෙමින් ඔහු හා රැඳුණේය. ඈත නාගොල්ලාගම ගම්මානයේ දුප්පත් ගැමි නිවෙසක ඉපිද දරිද්‍රතාවය මැද බඩගින්න මෙන්ම අනන්ත දුක් කම්කටොලු ළමා වියේදී විඳ අධ්‍යාපනයේ නොහිම් වටිනාකම් තුළින් ජීවිත කෙම්බිම අස්වද්දාගත් ඒ කල්‍යාණ මිත්‍රයා මාධ්‍යයේ අපට නම් ආගන්තුකයෙක් නොවේ. පේරාදෙණිය සරසවියෙන් මෙන්ම එංගලන්තය, අමෙරිකාව වැනි රටවල සරසවිවලින් ද පශ්චාත් උපාධි ලබාගත්,  තමන් උපන් ගමේ, රටේ දුප්පත් මිනිසුන් අමතක නොකර ඔවුන් වෙනුවෙන් නොමිලේ සෞඛ්‍ය කඳවුරු ආදිය පවත්වමින් බුදුන් වහන්සේ වදාළ ආර්ථික න්‍යාය අනුගමනය කරමින් තමන් උපයන මුදලින් කොටසක් කුසල ධර්මයන් වෙනුවෙන් වැය කරමින් ගීත විචාරකයකු, සාහිත්‍යවේදියකු හා ග්‍රන්ථ කතුවරයකු වශයෙන් අප හඳුනාගත් ඔහු කඩවත රෝස්වුඩ් පෞද්ගලික රෝහලේ කළමනාකාර අධ්‍යක්ෂක දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දරය.

අමරසිරි පීරිස් නම් තම කල්‍යාණ මිත්‍රයා ඈත ගම්මානයක මෙවැනි පුදබිමක් ගොඩනංවන බව දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර අසන විට ඔහු සේවය කළේ කෑගල්ල ප්‍රාදේශීය දන්ත ශල්‍ය වෛද්‍යවරයා ලෙසයි. සරණක් අවැසි දුප්පත් මිනිසුන්ටත් රෝගී දනන්ටත් සුව සැදීම තම ජීවිත ප්‍රාර්ථනාවන් අතරට එක්කර ගත් මේ වෛද්‍යවරයා ද මෙම අමරණීය කර්තව්‍යයේ කොටසක් බාරගත්තේය. වැඩ සිටින මහා බුදු රුවට අව්වෙන් පින්නෙන් හෝ වෙනත් බාහිර උපද්‍රවයකින් හානියක් නොවී රැකවරණයක් සලසන්නට සැදූ මන්දිරයේ වීදුරු ආවරණයේ පිරිවැය දරන්නටත් ඝන්ඨාර කුළුණු අතර නද කරන ඝන්ඨාරයේ පිරිවැය දරන්නටත් ඔහු නොමසුරැ වූයේ නිරාමිස ආනන්දනීය සිතුවිල්ලකිනි.

2019.12.12 වැනි දින අරුග්ගම්මන විහාරයේ විහාරාධිපති ලෙස වැඩ සිටිනා අරුග්ගම්මන විමලරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි අරුග්ගම්මන ගලේවත්ත නම් සුන්දර නිසංසල භූමියේ ශ්‍රී අමර විහාරය සහිත පුදබිම සතුට නිදහස සොයා පැමිණෙන ජීවිතවලට ආධ්‍යාත්මික සුවය උරුම කරදීමේ අරමුණ වෙනුවෙන් ජනගත වූයේ විශ්‍රාමික යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායකගේ සුරතින් පින්සිත් කැමති සියල්ලන් වෙත එහි දොරටු විවර කරමිනි. පැමිණි කලාකරුවන්ගෙන් මෙන්ම අවට ගම්වාසී බැතිමතුන්ගෙන්ද එදා ඒ මුළු ගල් තලාවම සුදෝ සුදුවතින් වැසී ගියහ.

තමාගේ මෙන්ම තම ස්වාමියාගේ මව් පියන්ට, සහෝදර සහෝදරියන්ට හා නෑදෑ පරපුරට සැලකීම, යුතුකම් ඉටුකිරීම හා එම මව්පියන් මියගිය පසු ඔවුන් වෙනුවෙන් පින්පෙත් අනුමෝදන් කිරීම සැබෑ බිරියකගේ එක් යුතුකමකි. ස්වාමියා සතු යුතුකමක් ලෙස ද එය දැක්වෙයි. අමරසිරි - නන්දා යුවළ ශ්‍රී අමර විහාරය සහිත පුදබිම සසුනට පූජා කරන්නේ තම මව්පියන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමිනි.

ලෞකික හා ලෝකෝත්තර ජීවිතයේ හිත සුව පිණිස වූ බෞද්ධ දර්ශනය තුළින් උකහාගත් සාරධර්ම ඔවුන්ගේ ජීවිත මනරම් ලෙස අස්වද්දන්නේ එලෙසය. බුදුන් වහන්සේ වරක් වදාරා ඇත්තේ තම ජීවිතයට ගැලපෙන උතුම් වටිනාකම් සහිත කල්‍යාණ මිත්‍රයන් ඇසුරට නොවේනම් හුදෙකලාව සිටීම වඩා යහපත් බවය. ජීවිත අගතිගාමී කිරීමට අපාය සහාය මිත්‍රයන්ට මෙන්ම ජීවිතය සුගතිගාමී කිරීමට සැබෑ කල්‍යාණ මිත්‍රයන්ටත් හැකිවන්නේය. ඒ ධර්මතාවය ද අමරසිරි පීරිස්ගේ ජීවිතයේදී ඔහු අනුගමනය කරන සම්ප්‍රදායක් බඳුය.

එහෙත් සැබෑ මිත්‍රත්වයෙන් අප හා කතා කළත් ශ්‍රී අමර විහාරය සහිත පුදබිම ගැන අප ලියා තබන්නේ අනවසරයෙන් බවද කිව යුතුමය. “ඔයාලා ඕන වෙලාවක ඇවිත් මේ පුදබිමේ වැඳලා පුදලා යන්න. ඕනෑම කෙනෙක් ඇවිත් මලක් පහනක් පූජා කරලා මනස සුවපත් කරගෙන යනවනම් ඒක මට විශාල සතුටක්. මම එච්චරයි බලාපොරොත්තු වෙන්නේ. මම කවදාවත් කිසිම දෙයක් ප්‍රසිද්ධියක් බලාගෙන කරන්නෙ නෑ..”

ඔහු කීවේ එපමණකි. දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දරගෙන් ඔහු දැක්වූ දායකත්වය පිළිබඳව විමසද්දී ඔහු දුන්නේද ඒ හා සමානම උත්තරයකි.

“අමරසිරි පීරිස් කියන්නේ මගේ ජීවිතේ මට හමු වූ ඉතාමත් අවංක කල්‍යාණ මිත්‍රයෙක්. ඒ වගේම හොඳ දර්ශනයක් දැක්මක් තියෙන නිහඬ මනුස්සයෙක්. අමරසිරි අයියා මේ වගේ දෙයක් කරනවා කියලා දැනගත්තම මමත් එතුමගෙන් අහලා බොහෝම කැමැත්තෙන් එතුමා කළ විශාල කර්තව්‍යයට මගෙන් පුංචි දායකත්වයක් ලබාදුන්නා. එච්චරයි. අනේ ඒවා ලියන්න ඕන නැහැ..”

මේ පුදබිම පිළිබඳ වෙනත් හිතවතකුගෙන් දැනගත් දා සිට එහි යන මාධ්‍ය පිපාසය හිතේ නලියන්නට වූයේ කුසලයක් ගැන ලිවීම තවත් කෙනෙකු කුසලයක් කිරීමට පෙළඹවෙන හේතුවක්ය යන සිතුවිල්ල සිතේ බලපවත්වන්නට වූ හෙයිනි. ජනේරැවේ සමාරම්භය සටහන් වූදා එනම් 2020 ජනවාරි 01 වැනිදා තම සිතුවිල්ලෙන් උපන් පුදබිමට ගොස් වැඳ පුදා ආශිර්වාද ලබාගන්නට අමරසිරි පීරිස් - නන්දා කෝරළගේ මැතිනිය - දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර ඇතුළු පිරිස යන ගමන ගැන අපට කීවේ ද පුදබිම ගැන කියූ හිතවතාමය. පින්සාර අකුරු වියමනකට තතු ඇහිඳ ගන්නට අනවසර ගමනක් අප ගියේ ඒ අනුවය.

“මගේ ළඟ වැඩ කරපු කෙනෙක් තමා කීවේ මෙතන පිළිමයක් හදලා ගමේ මිනිස්සුන්ට වඳින්න පුදන්න සකස් කරලා දෙන්න කියලා.”

ඒ ඉල්ලීම දල්ලක් පුබුදන පැලයක් විලසින් නොනැවතී මහා වනස්පතියක් ලෙස ගම්මානය අරා අතු පතර විහිදවූ ඵලදායී රෝපණයක් බවට පත්වන්නට වැඩි කලක් ගතවූයේ නැත.

ඇත් දළ වර්ණය සහිත සිවුරකින් ආවරණය වූ ඒ බුදුරුව සුලභ නොවෙන ජීවමාන වෙසක් දරන අනගිතම බුද්ධ රූප නිමැවුමකි. පහන් වැටේ කුඩා මැටි පහන් හැම හැන්දෑවකම දැල්වෙන්නේ එහි සපැමිණෙන ගම්මුන් අතිනි. ඒ පහන් අතරේ අපිත් පහන් පෙළක් දැල්වූයෙමු. ගල් තලාවේ තැනක දියවර පිරුණු කුඩා විලකි. ඒ හැන්දෑවේ යතිවරයාණන් වහන්සේ නමක් වැඩම කොට පැමිණ සිටි සියල්ලන් ගාථා සජ්ජායනා කරමින් ධර්මයේ පිහිටවූහ. යතිවර මුවින් නැගුණ බණ පදයක් පදයක් පාසා යළි දෝංකාර දෙන්නේ ඒ බෝධිය වටේට මුර දේවතාවුන් මෙන් පිහිටි නීල කඳු යාය හේතුවෙනි. බවුන් වඩන්නට පැමිණෙන්නට යෙහෙකැයි සිතෙන තරමට ආරණ්‍යමය රම්‍යතාවක් ඒ පෙදෙස පුරා විසුල වග ගල් තලාව පුරා බොහෝ දුර ඇවිද යද්දී අපට සිත් විය.

එක් මාතාවක් තම මාස දෙකහමාරක් වයසැති බිළිඳු මිණිපිරිය එදින හා හා පුරා එම පන්සලට රැගෙනවිත් බුදු රුව අබියස බිම තබා ආශිර්වාද පැතුවාය. අරුග්ගම්මන ගම්මානයේ වැසියන්ට ශ්‍රී අමර විහාරය සහිත පුදබිම අද මුදුන් මල්කඩකි. හැන්දෑවට ගම්මුන් ඒ අසිරිමත් බිමේ ශාන්තිය සොයා පැමිණෙන්නේ ඔවුන්ගේ දහසක් දුක් කම්කටොලු පිරිපත සංසිඳන සන්හිඳ එතැන යැයි යන සිතුවිල්ලෙනි.

ඉඟුරු තේ සමඟ රසකැවිලිත්, රාත්‍රියේ ලුණු ඇඹුල් පදමට දැමූ පොළොස් ඇඹුලක් ඇතුළුව ගමේ ගෙදරක රසට ඉදෙන ව්‍යාංජන පිරිවරා ගත් රාත්‍රී බතත් ඔවුන් අප සියලු දෙනාටම පිරිනැමුවේ මහා කෘත ගුණයකට දක්වන භක්තිමත් හැඟීමකිනි.
කුසල සිත් පහළවීමත් කුසලයකි... සිටුවර වෙසින් සංහිඳක් නිමැවුමත් මහා කුසලයකි.

ඔබේ යහ චේතනාවක් ක්‍රියාවක් නිසා තවකෙකු සන්තුෂ්ඨියට, නිවීමට, සැනසිල්ලට පත්වේනම් එය ද නිර්වාණය පිණිසම හේතුවන එක් කුසලයකි.

ඉඳින් තවත් කුමක් කියනුද?

සතුට ඇත්තේ ගමනේ කෙළවර නොව යන මඟ දෙපසය.

 ස
සේයා රූ - සුමුදු හේවාපතිරණ

 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 12:29
 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 06:07
 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30