2020 ජනවාරි 11 වන සෙනසුරාදා

ටෙලිෆෝනයෙන් නහය විද්ද සද්ද විද්ද රන්ජන්

 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 482

සද්ද විද්ද පළඟ පතිර රාජපක්ෂ වික්‍රමසිංහ මුතුකුමාරණ අධිකාරම් කියූ සැණින් ඔබට කිසිවකු මතක් වෙන්නේ නැත. එහෙත් “අන්දරේ” කියූ සැණින් ඔබ සියලුදෙනා දනිති. ඒ රජවාසලේ කවටයා බව කුඩාකළ පටන් උගත් නිසාය. සද්ද විද්ද රාජපක්ෂ පළඟ පතිර අඹකුමාරගේ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අල්පෝන්සු රන්ජන් රාමනායක. ඔබ මේ නම කියූ පමණින් ඔහු කව්දැයි හඳුනයි. මේ රටේ ජනප්‍රියම නළුවා මෙන්ම රටේ හැම මොහොතකම මොකක් හෝ ප්‍රවෘත්තියක් මවනා මන්ත්‍රීවරයෙකි. මේ දිනවල රටේ “ජනප්‍රිය” පුද්ගලයා ඔහුය. ඒ හැමෝම දන්නා හඬ පට නිසාය.

අන්දරේගේත් රන්ජන්ගේත් වාසගම පටන් ගන්නේ සද්ද විද්ද කොටසිනි. හේතුව අන්දරේත් සද්ද දමා රජතුමාගේ කනෙන්ද විද නොයෙක් කපටිකම් කිරීමය. එහෙත් ඒවා පසුකලෙක විහිළුය. ඒවා කවටකම්ය. ඒ නිසා මිනිසුන් තවමත් දකින්නේ අන්දරේගේ කපටිකම් නොව කවටකම්ය. රන්ජන්ද සද්ද විද්ද වැඩකළ අයෙක් බව මේ වනවිට රටම දැනගෙන හමාරය. ඒ රන්ජන් තමන්ගේ කටේ හඬ යොදාගෙන සමස්ත රටටම විද හමාර වීම හේතුවෙනි. මේ නිසා දැන් රන්ජන් සමඟ කතාකළ බොහොමයක් දෙනා සිටින්නේ සාමාන්‍ය වහරෙන් නම් ‘ඇඩ්‍රස්’ නැතුවය. ඒ නිසාම මේ රටම ගිනි තැබූ හඬපට කතාව මෙලෙස ලියන්නේ එහි ඇති බරපතළකම නිසාය.

රන්ජන් රාමනායක කලක් රටේ සිනමාවේ පෙරළිකාර නළුවෙකි. ඔහු දේශපාලනයට පැමිණීමත් සමඟ ඒ පෙරළිකාරකම් දේශපාලනය තුළ සිදුකරන්නට පටන් ගත්තේය. විශේෂයෙන් ඔහුගේ ඒ පෙරළිකාරකම් ආරම්භ වන්නේ සෞදියේ කාන්තාවන් දුක්විඳින ආකාරයත්, ඝාතනයට නියමව පසුව ඝාතනය වූ රිෂානා වෙනුවෙන් කතාකිරීමත් යන කාරණා නිසාය.

ඉන් අනතුරුව ඔහු පාර්ලිමේන්තුවේ දේශපාලඥයන් පිරිසක් කොකේන් හෙරෝයින් භාවිත කරන බව කියා දෙබරයට ගල් ගැසුවේය. මේ නිසා සමස්ත පාර්ලිමේන්තුවම ඇවිලී ගිය අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආත්ම ගරුත්වය කෙලෙසුණු බවට මන්ත්‍රීවරු පිරිසක් චෝදනා කළහ. ඉන් අනතුරුව රන්ජන්ට අධිකරණයට අපහාස කරන බවට චෝදනා එල්ලවිය. ඒත් සමඟ රටේ සංඝරත්නයට අපහාස කරන බවට චෝදනා ආවේය. ඒ සියල්ල එකින් එක චෝදනාවලට එහා ගොස් නඩු බවටද පත්විය. ඒ නිසා දන්නා තරමින් දැනට පාර්ලිමේන්තුවේ වැඩිම නඩු තියෙන මන්ත්‍රීවරයා රන්ජන්ය. වැඩිම බැණුම් අහන්නේද මෙකී රන්ජන්මය.

කෙසේ වෙතත් එකී රන්ජන් ගැන මෙවර කෙරෙන්නේ තරමක් වෙනස්ම කතාවකි. එක් පැත්තකින් මෙය රන්ජන් සිදුකළ මුග්ධ ක්‍රියාවක් ලෙස අර්ථකථනය කළ හැක. තවත් අයකුට මෙය විකිලික්ස් නිර්මාතෘ ජූලියන් ඇසෑන්ජ්ගේ හෙළිදරව්ව හා සමාන කළ හැක. එහෙත් සියල්ල සිදුවී හමාරය. මේ එකී රන්ජන්ගේ ‘බිහිසුණු විහිළුවේ’ කතාවය.

පසුගිය සතියේ 4 වැනි සෙනසුරාදා හිටි අඩියේම රන්ජන්ගේ මාදිවෙල මන්ත්‍රී නිවසට කොළඹ දකුණ ප්‍රදේශයේ අපරාධ විමර්ශන කණ්ඩායමක් කඩා පැන්නෝය. ඔවුන් අධිකරණ අවසරයක් රුගෙන ආ අතර එහි වූයේ රන්ජන්ගේ නිවස පරීක්ෂා කරන බවය. ඒ රජය අපහසුතාවයට පත්කරන හඬ පට ඇති බවත් ඒවා සොයා ගැනීමට බවත්ය. මේ සියලු සිදුවීම් ආරම්භයේ පටන් මුහුණු පොතේ සජීවීව ලබාදීමට රන්ජන් අමතක කළේ නැත. පැමිණි පොලිස් නිලධාරීන් සමඟ විහිළු තහලු කරමින් සිදුවු මෙම සිදුවීම අවසානයේ රන්ජන් සතු වලංගු ගිනිඅවියේ බලපත්‍රය අලුත් නොකිරීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගනු ලැබීය. එහෙත් ඔහු අත්අඩංගුවට ගන්නා මොහොතේ නිවසේ තිබී ලැප්ටොප් පරිගණක කිහිපයක්, සීඩිතැටි කිහිපයක්ද අත්අඩංගුවට ගනු ලැබීය. අවසානයේ එළිවෙන තෙක් පොලීසියේ රඳවාගෙන ඊට පසුදින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රන්ජන්ට ඇප ලැබිණි. ඒ අනුව ඒ කතාව නිමාවිය.

එහෙත් එජාපයේ පිරිස් මෙය දේශපාලන දඩයමක් බවත්, නීති විරෝධී නැති ගිනි අවියට අත්අඩංගුවට ගැනීම ආණ්ඩුවේ බැරිකමේ ප්‍රදර්ශනයක් බවත් කියමින් ඊට විරෝධය දැක්වූහ. ඒත් සියල්ල කනපිට හැරෙන්න වැඩි වේලාවක් ගියේ නැත. සියල්ල යටපත් කරමින් රන්ජන් රාමනායකත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරත් සමඟ සිදුවු දුරකථන සංවාදයකුත්, රන්ජන් රාමනායක සහ රහස් පොලීසියේ හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත කන්දප්පා සමඟ සිදූවූ සංවාදයකුත් සමාජ මාධ්‍යවල ප්‍රචාරය වීම ඇරැඹිණි.

එය ප්‍රචාරය වීමත් සමඟ ඒ සිදුවීම් එකම ලැව්ගින්නක් සේ පැතිර ගියේ බලා සිටියදීමය. ඒ සංවාදවල අඩංගු වී තිබුණේ දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීවරයාගේ නඩු විභාගය සම්බන්ධයෙන් වූ සංවාදයකි. එනම් රන්ජන් රාමනායක වෙත ඇමතුමක් ලබාදෙන හිටපු රහස් පොලිස් අධ්‍යක්ෂ ශානි අබේසේකර පවසන්නේ කිසිවිටෙක මේ නඩු විභාගය සම්බන්ධයෙන් කිසිවකු සමඟ කතා නොකරන ලෙසය. එහෙත් ඒ වනවිට දුමින්ද සිල්වා නඩුවේ ත්‍රිපුද්ගල විනිසුරැ මඩුල්ලේ එක් විනිසුරැවරියක් වන පද්මිණි රණවක මහත්මියට රන්ජන් කතා කළ බව ඔහු විසින්ම පිළිගන්නේය. එහිදී ශානි අබේසේකර දස අතේ වඳින්නේ නැවත කතා නොකරන ලෙසය. එහෙත් රන්ජන් එය ද නොතකා නැවතත් ජනාධිපතිවරයා හමුවු විටෙක කියන්නට සැරසෙයි. එහෙත් ඊටද විරුද්ධ වන ශානි අබේසේකර කියන තැනකට වඳින්නටත් මාස හයක් නිවසේ වළං සෝදන බවටත් පොරොන්දු වෙයි. මේ සියල්ල සිදුවන්නේ දුමින්ද සිල්වා නඩුව සම්බන්ධයෙනි. එකී සංවාදය වෙනම පළකරන අතර එහීදී වැඩි තොරතුරු පිළිබඳ වටහා ගත හැක.

ඊට පසුදින උදාවිය. එදින සංවාද මුල් දවසට වඩා බරපතළ විය. එනම් ඒ මහාධිකරණ විනිසුරු පද්මිණි රණවක මහත්මිය සමඟ සිදුකරන සංවාදයකි. රන්ජන් පළමු සංවාදයේදී ශානිට පවසන ආකාරයට පද්මිණි රණවක මහත්මිය ඔහු සමඟ කතා බස් කිරීමට වැඩිය අකැමැති බව පෙන්නුවත් පසුව රණවක මහත්මිය සමඟ එන සංවාදයේදී ඇයත් රන්ජන් අතරත් බොහෝම මිත්‍රකමක් ඇති බව ඕනෑම කෙනෙකුට හැඟෙන දෙයකි.

ඇය රන්ජන්ගෙන් ඉල්ලන්නේ විශ්‍රාම යාමට පෙර අභියාචනාධිකරණයට උසස්වීමක් ලබාදෙන ලෙසය. රන්ජන් ඒ වනවිට ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරයෙකි. එපමණක් නොව රන්ජන්ට එරෙහිව අධිකරණයේ නඩු කටයුතුද ඇත. එහෙත් ඒ ගැන වගේ වගක් නැතිව අදාළ විනිසුරුවරිය රන්ජන් සමීපයේ ඇඹරෙන්නේ ඉහළ තනතුරක් ලබාගැනීම සඳහාය. රන්ජන්ගෙන් අප කළ විමසුමකදී ඔහු පවසන්නේ අධිකරණයේ නිසි උසස්වීම් නොලද, දේශපාලන පළිගැනීම්වලට ලක්වූ අය සඳහා තමන් උදව් කළ බවය.

රන්ජන්ට එය කට වචනයෙන් කිව හැක. එහෙත් මහාධිකරණ විනිසුරුවරයකු පිළිපැදිය යුතු නීතිරීති සංග්‍රහයක් ඇත .ඒ සියල්ල රකිනා බවට පොරොන්දුව මත එම ධුරයට පත් වෙයි. එපමණක් නොව ඒ වනවිටත් රන්ජන්ට එරෙහිව නඩු කිහිපයක් අධිකරණවල විභාග වෙමින් පවතින චූදිතයෙකි. එවැනි අයකු අමතා තමන්ට අභියාචනාධිකරණයට පත්වීමක් ලබාදෙන ලෙස විනිසුරුවරියක විසින් ඉල්ලීමක් කිරීම කෙතරම් නීතිගරුකද, කෙතරම් සදාචාර සම්පන්න ද යන්න ගැටලුවක් ඇත. ඒත් ඒ තුළ පෙනෙන එක කාරණයක් ඇත. එනම් ඇයට අයිති උසස්වීම යම් යම් තීන්දු තීරණ නිසා කල් යාමය. ශ්‍රී ලංකාව වැනි රටක විනිසුරුවරියකට උසස්වීම් ලබන්නට දේශපාලනඥයන් පසුපස වැටෙන්නට සිදුවීම සැබවින්ම ඛේදවාචකයකි.

කෙසේ වෙතත් ශානි අබේසේකරත් රන්ජන් රාමනායකත් අතර සිදුවන සංවාදයන් තුළ පවා කතාවන්නේ විනිසුරු පද්මිණි රණවක මහත්මිය ගැනය. එනම් ශානි අබේසේකර ඉල්ලා සිටින්නේ නඩු තීන්දුව හරි අතට පැමිණි නිසා නැවත ඇයට කතා නොකරන ලෙසය. අපිට අවශ්‍ය දේ සිදුවන නිසා ඊට මැදිහත් නොවන ලෙස ශානි අබේසේකර ඉල්ලා සිටියි. එහිදී ඇතිවන ප්‍රශ්න කිහිපයක් සම්බන්ධයෙන් ආණ්ඩුව රන්ජන්ගෙන් විමසන්නේය. එනම් ශානි අබේසේකර කෙසේ නඩු තීන්දුවට සම්බන්ධ විනිසුරුවරුන්ගේ තීරණ දැනගත්තා ද යන්නය. ඒ තීරණ රන්ජන්ට කියන්න තරම් රන්ජන් ආණ්ඩුවේ කවුරැන්ද යන්නය. සැබවින්ම එහි ප්‍රශ්නයක් ඇත. එනම් රන්ජන්ට මේ ප්‍රශ්නය කීමට තරම් සහ රන්ජන්ගෙන් ශානි අබේසේකර පිළිසරණ පතන්න තරම් රන්ජන් ආණ්ඩුවේ කුමන තනතුරක් දැරුවාද යන්නය.

රන්ජන් කියන ආකාරයෙන්ම විනිසුරුවරුන් ඇමතීම පිස්සු මෝඩ වැඩකි. අඩුම තරමේ බයක් ගෑවිලා ඇති කිසිවකු මේ වැඩේ කරන්නේ නැත. එහෙත් බ්‍රේක් නැති කටකුත්, ක්ලච් නැති මොළයකුත් ඇති රන්ජන්ගෙන් මෙවැනි දෙයක් සිදුවූවා යැයි පුදුම වන්නටද දෙයක් නැත. රන්ජන් හැම මොහොතකම උත්සාහ ගන්නේ මොකක් හෝ හෙළිදරව් කිරීමටය. ඒ නිසා එකී රන්ජන්ගේ ක්‍රියාව සහ ක්‍රමය දැනගෙනත් ඔහුට රහස් පොලිසියේ අධ්‍යක්ෂකත්, විනිසුරු පද්මිණි රණවකත් අසුවුණා නම් එය රන්ජන්ට වඩා වරද යන්නේ ඔවුන්ටය. ඒ දේශපාලනඥයකු සමඟින් ගනුදෙනු කිරීමට කිසිම අවශ්‍යතාවයක් නැති නිසාය. මේ අතර රන්ජන් සහ පියුමි හංසමාලි නැමැති නිළියක සමඟද සිදුවන හඬ පට දෙකක් මේ වනවිට හෙළිදරව් වී ඇත. ඒ දෙකේම රන්ජන්ගේ පෞද්ගලික ජීවිතය ගැන කතා වුණත් එම හඬ පටවල ඇතැම් ස්ථානවල සමහර දේශපාලඥයන්ගේ දරුවන් කුඩු ව්‍යාපාර සමඟ ඇති සබඳතාවය හෙළිදරව් වන අවස්ථා ඇත. එක්තරා දේශපාලනඥයකුගේ දරුවකු ලක්ෂ ගණනක සල්ලි අරගෙන රාත්‍රී සමාජ ශාලාවලට පැමිණ සිදුකරන දේවල් සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් කරනු ලබයි.

මේ අතර තවත් හඬ පටයක් මේ සතිය අවසානයේ නිකුත් විය. ඒද ශානි අබේසේකර සහ රන්ජන් අතරය. එහිදී කතාවන්නේ පොලිස්පතිවරයා තෝරා පත්කර ගැනීම ගැනය. පූජිත ජයසුන්දර පත්කිරීම සඳහා දහම් සිරිසේන මැදිහත් වුණු බවත් ඒ සඳහා හිටපු ජනාධිපතිවරයා උදව් කළ බවත් ඒ සංවාදවල සඳහන්ය. එපමණක් නොව රහස් පොලීසියේ අධ්‍යක්ෂවරයා බවට පත් කිරීමට තවත් ඒ.එස්.පී.වරයකුට පසුපසට දින තබා උසස්වීම් දුන් හැටිත් එහිදී අනාවරණය කරනු ලබයි. මේ සියලු දේවල් පවසන්නේ කතා කරන පුද්ගලයාය. එය අසන ඕනෑම කෙනෙක්ට දැනෙන දෙය නම් රන්ජන් පුද්ගලයන්ගේ ඔලුවට විවිධ දේවල් දමා ඔහුට අවශ්‍ය දේවල් ලබාගත් ආකාරයයි. ඒ බව ඒ කතාකරන පුද්ගලයන්ගෙන් හොඳට නිරූපණය වේ. එනම් ඔවුන් රන්ජන් කෙතරම් විශ්වාස කරනවාද යන්නය. රන්ජන්ද ඒ බව ඔවුන්ට ඒත්තු ගන්වයි. රන්ජන් ඒ සඳහා අපේ භාෂාවෙන් කියනවා නම් රඟපාන්නේ බොක්කෙන්මය. එය රන්ජන් පවා පවසා ඇති අතර ඇතැම් අවස්ථාවල උපාය දූතයකු ලෙසද තමා කටයුතු කළ බව ද ඔහු පවසයි.

මේ අතර තවත් හඬපටයකින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සමඟ සජිත් ප්‍රේමදාස මහතාද විවේචනය කරනු ලබන්නේ ඔහු හිස් මිනිසකු කියමිනි. එහිදී රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුවහොත් බෞද්ධයන්ට වරදින බවත් සඳහන් කරයි. මේ හැමදෙයක් තුළම ඇත්තේ එක් එක් පුද්ගලයන් සම්බන්ධයෙන් වන ඒ ඒ පුද්ගලයන්ගේ කියවීම්ය. ඒ සෑම අවස්ථාවක රන්ජන් ඉන් බේරී කතාව හසුරුවයි. මේ ආකාරයෙන් හඬපට රාශියක් ඇති අතර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා සමඟ සිදුකරන සංවාද ද මේවායේ ඇත. මේ සියල්ලේම රන්ජන් නොව කතාකරන පුද්ගලයන්ගේ චරිත කැඩපතක් සේ පෙනෙනු ඇත.
පටිගත හඬපට මාධ්‍යයට ගියේ කොහොමද?

පටිගත හඬ පට සීඩී තැටිවල තිබූ අතර ඒවා පොලීසියෙන් ඔහුගේ නිවස වැටලූ අවස්ථාවේ රැගෙන යනු ලැබීය. එහෙත් ඊට පසුදිනම ඒවා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. මේ නිසා රන්ජන්ගේ පාර්ශ්වයෙන් කීවේ මේ සීඩි තැටි පොලීසිය විසින් මාධ්‍ය වෙත ලබාදුන්නා කියාය. එහෙත් එය පොලීසිය ප්‍රතික්ෂේප කරමින් මෙහි සිදුවූ ඇත්ත කතාව කීවේය.

ත්‍රීරෝද රථයක පරිගණක දත්ත ගබඩාවක් දමාගොස් ඇති බවත් එය පසුව මිරිහාන පොලීසියට ලබාදුන් බවත් ඉන් අනතුරුව පරීක්ෂා කිරීමට පැමිණි බවත් පොලීසිය සඳහන් කරයි. ඒ නිසා හඬ පට එළියට ඒම ගැන පොලීසියට වගකීමක් නැති බවත් ඒ වගකීම ඒවා ළඟ තබාගත් අය වගකිව යුතු බවත් පොලීසිය කීය. එසේ නම් වෙනත් පාර්ශ්වයක් සතුව මෙම හඬපට ඇත. එසේ නොමැති නම් මෙය රන්ජන්ගේ වැඩක්මද යන්න සැකයකුත් නැතුවාම නොවේ. එහෙත් ඒ හරහා රන්ජන්ට ඇතිවන සෙතක් නැත. කෙසේ වෙතත් රන්ජන් පසුගිය බදාදා අධිකරණයට ගොස් එම හඬපටවල් ප්‍රචාරය නොකරන ලෙස ඉල්ලුවත් එය අධිකරණයෙන් ප්‍රතික්ෂේප කළේය. ඒ නිසා රන්ජන්ට එයද හරි ගියේ නැත.

රන්ජන් හඬ පටවල් තබාගත්තේ ඇයි?
රන්ජන්ට අනුව මෙය තොරතුරු රැස් කිරීමකි. එය ඇතැම් සාකච්ඡා සමඟ පිළිගත හැක. විනිසුරුවරියට උසස්වීම් ලබාදෙන බව පවසා රන්ජන් තමන්ට අවශ්‍ය කරුණු ලබාගත්තා විය හැක. ඒ බව රන්ජන් තව තවත් තහවුරු කරමින් පවසන්නේ තමන්ට අවශ්‍ය තොරතුරු ලබ ගැනීම සඳහා නොයෙකුත් උපක්‍රම භාවිතා කළ බවය. එසේ ලබාගන්නා දේවල් පටිගත කරනු ලැබුවේ කවදා හෝ ඒ දේවල් නොකී බවට කීවොත් ඒවා සනාථ කිරීමේ අරමුණෙන් බවද කියයි. එසේ නම් රන්ජන්ට සැබෑවටම අවශ්‍ය වූයේ කුමක්ද? එතැන ප්‍රශ්නයක් ඇත.

රන්ජන්ට යම් ආකාරයට මේ රටේ සිස්ටම් එකකින් වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් තිබ්බා නම් රන්ජන් ඒ හඬවල් පටිගත කළ යුතු නැත. ඒ සඳහා ඔහු නිවැරදි ක්‍රමවේදයක් සැකසිය යුතුය. අධිකරණයේ උසස්වීම් අවුල් සහගත නම් රන්ජන් එක් විනිසුරුවරියක් වෙනුවෙන් පෙනී සිටිය යුතු නැත. එහෙනම් ඔහු සියල්ලටම සිදුවූ අසාධාරණය වෙනුවෙන් පෙනී සිටිය යුතුය. එහෙත් රන්ජන්, පත්මිණි රණවක මහත්මිය වෙනුවෙන්ම පෙනී සිටියේ ඈ ඔහු හඳුනන නිසාත් ඔවුනොවුන් අතර ඇති මිත්‍රත්වය නිසාත්ය. එසේ නම් ඒ මිත්‍රත්වය වෙනුවෙන් රන්ජන්ගෙන් උසස්වීම සඳහා සහයක් විනිසුරුවරිය බලාපොරොත්තු වෙනවා නම් ඈ රන්ජන් වෙනුවෙන් ඕනැම උපකාරයක් කරන්නට ඇතැයි බහුතරයකට එන සැකයකි. ඒ නිසා රන්ජන් ඒ සියල්ල පටිගත කළේ සිස්ටම් එක වෙනස් කිරීමටත් වඩා අවශ්‍ය වෙලාවකදී එළියට ගැනීමටදැයි ඕනෑම අයකුට සැකයක් ඇත.

එසේම ශානි අබේසේකර ද ඒ හඬපටවලට අනුව යම් තීන්දුවක් වෙනස් වන බවට නහයෙන් ඇඬුවා නම් ඒ දුක රන්ජන් සමඟ බෙදාගත්‍තා නම් නියත වශයෙන්ම රන්ජන් ඔවුන්ට අත්වැලක් වූ බවට අමුතුවෙන් කිවයුතු නැත. ඒ හැම තැනකදීම රහස් පොලිස් අධ්‍යක්ෂ කුඩා දරුවකු මෙන් රන්ජන් සමීපයේ වැඳ වැටෙන්නේ එක්කෝ රන්ජන් ඔවුන්ට ශක්තියක් වුණ නිසාය. නැත්නම් රන්ජන් ඔවුන්‍ට උදව් කළ නිසාය. මේ නිසා ඇතැම් අවස්ථාවල වළං පිඟන් සේදීමට පවා පැමිණිය හැකි බවද ඔහු දන්වයි.

හඬපට තබා ගැනීම හරිද?
පැහැදිලිව මෙය රන්ජන් තමන්ගේ හුදෙක් වාසිය සහ ආරක්ෂාව පතා කළ දෙයකි. රන්ජන් කිව්වේ තමන්ගේ බුද්ධි අංශය සඳහා සිදුකළ ක්‍රියා බවය. එසේනම් අපට අසන්නට ප්‍රශ්නයක් ඇත. එකී තොරතුරු ලබාගෙන රන්ජන් රට වෙනුවෙන් හෝ යුක්තිය වෙනුවෙන් දෙයක් කළාද යන්නය. රාජපක්ෂ ආණ්ඩුවට එල්ල කළ චෝදනා අනුව සියලුදෙනා සිටිය යුත්තේ රන්ජන්ගේ මෙහෙයුම අනුව හිරේය. එහෙත් දැන් ඔවුන් රටේ නායකයෝය. අවසානයේ රන්ජන්ගේ බුද්ධි තොරතුරුවලින් කාගේ බෙල්ල කපන්නට ගියත් එය පාරා වළල්ලක් වී රන්ජන්ගේ තොරතුරු සපයන්ගේ බෙල්ල මුලින් සිඳී ගියේය. මේ නිසා අද ශානි අබේසේකර ඉන්නේ ගෙදරය.

කෙසේ වෙතත් ශානි අබේසේකරලා මහජන විරෝධී පුද්ගලයන් බවට පත් කිරීමේ පවට රන්ජන් කරගැසිය යුතුමය. රන්ජන් කියන්නා සේ තමන් ආවේ තනියමය, ඉන්නේ තනියමය, යන්නේ තනියමය. එහෙත් රන්ජන් වෙනුවෙන් කතාකළ අයගේ දරුමල්ලන්ට පවා අද පාරේ යා නොහැකි තත්ත්වයක් උදාවී ඇත. ඒ රන්ජන්ගේ ආත්මාර්ථකාමී වැඩ නිසාය. රන්ජන් පැහැදිලිවම මේ පටිගත කිරීම් තබා ගත්තේ අනාගතයේ යොදා ගැනීමට විය යුතුය. එහෙත් අවසානයේ සියල්ල එළියට පැමිණ තිබේ. කෙසේ වෙතත් රන්ජන්ගේ මේ හඬ පටවල තව තවත් කාරණා බොහොමයක් ඇතුළත්ව තිබිය හැක. ලක්ෂ ගණනක හඬ පට නම් නියත වශයෙන්ම තව බොහෝ අයගේ ඒවාද තිබිය හැක. එහෙත් දැනට එන්නේ යම් අරමුණක් ඇති හඬපටය. ඒ නිසා රන්ජන්ගේ මේ වැඩ නිසා ඇතැම් දෙනෙකුට එය වාසියක් වනු ඇත. තමන්ගේ ආරක්ෂාව සඳහා තබාගත් හඬ පට නිසා අද බෙල්ලට තොණ්ඩුව වැටී ඇත්තේ රන්ජන්ගේම ඔත්තුකරුවන්ටය. රන්ජන්ට ප්‍රශ්නයක් නැත. රන්ජන්ට හෙට හෝ ඡන්දයකින් පාර්ලිමේන්තු ආ හැක. එක් පැත්තකින් මේවා රන්ජන්ට අනුව මහා කැම්පේන්ය. මහා හෙළිදරව් කිරීම්ය. රන්ජන් මේ හරහා එක දෙයක් කර ඇත. ඒ සමාජය වසාගෙන සිටින අඳුරැ පට ඉරා ඇතුළාන්තය රටට හෙළිදරව් කිරීමකි. ඒ හරහා රන්ජන්ටත් වඩා ඒ ක්ෂේත්‍රයන් වල සිටිනා පුද්ගලයන්ගේ ආත්මය පවා විනාශ වී ඇත. ඒ රන්ජන් සමඟ දීගකන්නට ගිය නිසාය. ඇතැමුන්ට නම් රන්ජන්ගේ වැඩ අන්දරේගේ වැඩ කියා බඩ අල්ලා සිනාසිය හැක. දැන් අප කරන්නේ ද ඒ හඬ අසා සිනාසීම පමණි. එහෙත් රන්ජන් මේ කළේ රටටම සහ සමාජයටම අති බිහිසුණු විහිළුවකි. තව දින කිහිපයකින් රන්ජන්ද රටට අමතක වී යා හැක. ඒත් රන්ජන්ගේ ගොදුරට ලක්වූ ක්ෂේත්‍රවලට එල්ල වූ කළු පැල්ලම් ආත්මයකට මැකිය නොහැක. ඇත්තෙන්ම රන්ජන් ඔහුගේම නමින් “වන් ෂොට්ය”. එක ෂොට් එකෙන් පළාතක්ම විනාශ කර ඇත.

විනිසුරු පද්මිණී රණවක සමඟ...

විනිසුරු පද්මිණි - මට ඕනෙ අභියාචනාධිකරණයට යන්න. හැබැයි මම ඉන්නෙ ලිස්ට් එකෙ නමයට. උඩ දෙන්නෙක්ම අයින් කරල තියෙන්නෙ. ඒ දෙන්නට දුන්නෙ නෑ. මනී ලාල් වෛද්‍යතිලකයි අරුණ රණසිංහයි. ඔය පාඨලී චම්පික කිව්වලු අර දෙන්නා ....... කියල. ඒත් තව හොරෙක්ට තමයි දුන්නෙ ................. නඩු පිරිලා එකසිය ගාණක්. රනිල් වික්‍රමසිංහ මහත්තයා හරි හොඳයි. ඒ මහත්තයා කියල තියෙනවා....

රන්ජන් - මැඩම් ඔබතුමියලා මොහාන් පීරිස්ල වගේ නෙමෙයි.

විනිසුරු පද්මිණි - ඒ කියන ඒවා කට තියන් ඉන්න බෑ හැමතැනම කියනවා. මෙයා කතා කරල කියලා අනිවාර්යෙන්ම කියනවා අම්මෝ මම නම් බයයි. මට ඔබතුමා ගැන ඊට වැඩිය විශ්වාසයක් තියෙනවා. ඒකයි මම අද උදේ ඔබතුමාට කතා කළේ.

රන්ජන් - ඉතින් ඔයා කියන්න මොකක්ද මම යන්න ප්‍රොසීඩියර් එක.

විනිසුරු පද්මිණි - මම නමයේ හිටියට දැන් තුන හතරට තමයි ඔය දුන්නෙ. එයා ඩිපාට්මන්ට් එකට තමයි කත් ඇද්දෙ. එහෙන් පුළුවන් තරම් පැටව්වා අපේ එකට. ඒ නිසා අපි පල්ලෙහාට ගියා. නැත්නම් මං මෙලහට අභියාචනාධිකරණයේ ඉන්න ඕනෙ. ඇත්තටම මමත් දුමින්ද නිදහස් කළා නම් ඇත්තට ඒ අපේ නඩුව විතරයි. ටවුන්හෝල් බෝම්බ් බ්ලාස්ට් කේස් එකයි දුමින්දගෙ කේස් එකයි තමයි මම කළේ. මම දෙසැම්බර් පළවෙනිදා ගෙදර යනවා. ඒ කියන්නෙ නොවැම්බර් 30 යනවා. ඊළඟට දැන් වේකන්සි එනවා ආයි නොවැම්බර්. ආයි එතකොට යන්න බෑ. අඩුම ගාණෙ රිටයර් වෙන එක බලලා මට දෙන්න කියන්න.

රන්ජන් - මේ වේකන්සියෙ ඉඩක් තියෙනවද දැන්?

විනිසුරු පද්මිණි - ඔව් වේකන්සියක් තියෙනවා. ඒක සුප්‍රිම් කෝට් එක..................

 

ශානි අබේසේකර සමඟ...

ශානි - සර්

රන්ජන් - කොහොමද?

ශානි - පොඩි දෙයක් කතා කරන්න පුළුවන්ද සර්?

රන්ජන් - පුළුවන්.

ශානි - සර් වඳින්නම් නඩුව සිද්ධිය ගැන නම් කාත් එක්කවත් කතා කරන්න එපා. ලොකු ප්‍රශ්නයක් වෙනවා.

රන්ජන් - ඇත්තද?

ශානි - ඔව් ඔව්. ලොකු ප්‍රශ්නයක්. බුදු අම්මේ කිසිම තැනක සර් කටවත් අරින්න එපා. දැන් හොඳම තත්වෙට වැඩේ ඇවිල්ල තියෙන්නෙ.

රන්ජන් - ආ.. ආ...

ශානි - සර් කතාව ලොකුවට පත්තුවෙලා යන්න හදන්නෙ. ඒක අපි බැලන්ස් කරගන්නම්. සර් වඳින්නම් කිසිම කෙනකුට ගන්න දෙයක්වත් තියන්න එපා.

රන්ජන් - රයිට් රයිට් මම කාටවත් කිව්වෙ නෑ. හැබැයි හැන්දෑවෙ පහහමාරට ජනාධිපතිතුමත් හම්බවෙනවා.

ශානි - එපා එපා සර් වඳින්නම් කිසි දෙයක් කියන්න එපා. සියලු දේ හරි.

රන්ජන් - ප්‍රශ්නෙ හරිද?

ශානි - හරි හරි ප්‍රශ්නෙ හරි. වඳින්නම් රණවක මැඩම්ට කෝල් දීලා මොනවත් නම් කියන්න එපා. ලොකු ප්‍රශ්නයක් වෙනව අපි හැමෝටම.

රන්ජන් - නෑ මම කතා කළා. ඔයාට මම කිව්වෙ. ඔතන කවුරුත් නෑ නේද?

ශානි - නෑ නෑ

රන්ජන් - එදා මම කිව්වා මැඩම්, ඔයා එදා මාත් එක්ක කතා කළේ හිතේ අමාරුවෙන්නෙ. මම එහෙමම ගත්තා එයාට. මුළු රටම බලන් ඉන්නවා නමවැනිදා තීන්දුව ගැන. ඔව් රන්ජන් මොකක්ද කියල ඇහුවා. මැඩම් රටම දන්න මහ දවල් වෙච්ච මිනීමැරැමක් ඔබතුමිය ශ්‍රේෂ්ඨ විනිසුරැවරියක්. ඔව් රන්ජන් මොකක්ද ප්‍රශ්නෙ කියල ඇහුවා. මම කිව්වා මැඩම් රටම බලන් ඉන්නවා කියලා. ඊටපස්සෙ කිව්වා රන්ජන් කට්ටියක් ඇවිල්ලා කියල. ඊටපස්සෙ කට් කළා. තිබ්බා. එච්චරයි. 

ශානි - එච්චරයි නේද සර්.

රන්ජන් - එච්චරයි.

ශානි - ඒ ඇරෙන්න වෙන මුකුත්වත් කිව්වෙ නෑනෙ.

රන්ජන් - වෙන මුකුත්ම කිව්වෙ නෑ.

ශානි -  සර් ආයෙ මැඩම්ට කතා කළොත් ඒ අයත් අනිත් පැත්ත හැරිලා අරයගෙ තීන්දුවට එකඟ වෙයි.

රන්ජන් - අද මට ආවා කෝල් එකක්. කවුද සීඅයිඩීයෙ ...... කියන්නෙ? මිනිහා මාරු කළාද යාපනයට.

ශානි - ඔව් ඔව්.

රන්ජන් - මිනිහගෙ චරිතෙ මොනවගේද?

ශානි - ආපෝ එපාම කරපු එකෙක්. ඔය නඩුව සම්පූර්ණයෙන් කනපිට ගහන්න ........... එක්ක ඩීල් දැම්මෙ ඒ යකා.

අසංක කලුෙබා්විල

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00