2020 ජනවාරි 11 වන සෙනසුරාදා

නව දෙනෙකුට මරු කැඳවූ පස්සර බස් විපත!

 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 120

පස්සර - මඩොල්සිම මාර්ගයේ එල්ටේබ් හා මහදෝව තේ වතු වෙන්වන සීමාවේදී ලංගම බස්රථයක් අඩි 234ක ප්‍රපාතයට පෙරළී අනතුරට ලක්වූයේ ඉකුත් 6 වැනිදාය. බසයේ ගමන්කරමින් සිටි මගීන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්කරමින් තවත් 41 දෙනෙකු තුවාලකරුවන් කරමින් සිදුවූ මේ මාරක බස්රථ අනතුරෙන් නැගුණු දුක්ගිනි තවමත් නිවී ගොස් නැත. මේ දුක්ගින්නේ කඳුළු කතා ඉතා සංවේදීය.

විවිධ රැකියා සඳහා එන අය,  පාසැල්වලට හා උපකාරක පන්තිවලට යන සිසුන් මෙන්ම විවිධ දේ රැගෙන ඒම සඳහා පස්සර නගරයට පැමිණි අය, අනතුර සිදුවූ බස් රථයේ ගමන් කර තිබේ. බදුල්ලෙන් ධාවන වාරය ආරම්භ වී ඇකිරිය දක්වා ධාවනය වීමට නියමිතව තිබු මෙම බස්රථයට පස්සර බස්නැවතුම්පොළේදී වැඩි පිරිසක් ගොඩවී තිබේ. සවස 4.30ට පමණ බසය පස්සරින් නික්ම ගොස් ගොස් මඩොල්සිම මාර්ගයේ ගමන් කරමින් තිබිණ. මගින් මග කීපදෙනෙක් බසයෙන් බැසගිය නිසා මාළිගාතැන්න හන්දියට ළඟා වෙනවිට එහි පුද්ගලයන් 50 දෙනෙක් පමණ ඉතිරි වී සිටියහ. මාළිගාතැන්න හන්දියේදීද කීපදෙනෙක් බසයෙන් බැසගත්හ.

පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය නිමවා ගෙරද යමින් සිටි සංවර්ධන නිලධාරිණී ඩී.එම්. රම්‍යා මහත්මියද බසයෙන් බැස්ස අය අතර සිටියාය. ඇය වතුපාර දිගේ ගෙදරට මීටර් 100ක් පමණ ගමන් කරමින් සිටියදී විශාල හඬක් සමග මාර්ගයේ සිට ප්‍රපාතයට යමක් පෙරළී පෙරළී යන බව දුටුවාය. එය වෙනකක් නොව තමා පැමිණි බසය බව ඊළඟ නිමේෂයේදී දුටු රම්‍යා මහත්මිය කෑගසමින් ඒ දෙසට දුවගෙන ගියාය. 

ඒ වනවිටත් එම ස්ථානයේ සිටි පුද්ගලයෙක්ද කෑගසමින් බසය වැටුණ තැනට දිවයමින් සිටියේය. ඔහු ඒ.ආර්.එම්. ඥානසිංහය. ඥානසිංහ වතුපාරේ ගෙදර යමින් සිටියදී මෙම බසය ඔහු ආසන්නයෙන්ම පෙරළුනේය. ඔහු ඒ සිදුවීම දේශයට විස්තර කළේ මෙසේය.

“බස් එක පෙරළි පෙරළී පල්ලමට එද්දි වහල ගැලවී වීසි වුණා. මිනිස්සු බසයෙන් එළියට විසිවෙවී වැටෙනවා මම දැක්කා. මම දුවගෙන ගිහින් ඒ අය තනියම ඔසවන්න පටන් ගත්තා. එතකොටම ඒ.ජී.ඒ. ඔෆීස් එකේ රම්‍යා මිසුත් දුවගෙන ආවා. අපි දෙන්නා පුළුවන් විදියට කට්ටිය උඩට ගනිමින් කෑ ගැසුවා. එවිට ගමේ අයත් තේ වත්තේ අයත් දුවගෙන ආවා. අපි ඔක්කොම එකතුවෙලා වැටී සිටි අය උඩට ඔසවාගෙන ගියා. සමහරු එතැනම  මරණයට පත්වෙලා තිබුණා. පොලිසියත් ආවා. යුද හමුදාවත් ආවා. අපි සියලුදෙනාම එකතුවෙලා සියලු තුවාලකරුවන් රෝහල්වලට යැව්වා” යැයි ඥානසිංහ කීවේය.

රම්‍යා මහත්මිය අනතුර සිදුවීමට විනාඩි 3ක් පමණ කලින් බසයෙන් බැසගත් නිසා ඇය අනතුරෙන් බේරුණා සේම බසයට ගොඩවීමට නොහැකි වූ නිසා අනතුරෙන් බේරැණ ඉන්ද්‍රජිත් නිශ්ශංකද බිහිසුණු අනතුර දෑසින් දුටු කෙනෙකි. සිද්ධිය පොලිසියට වහාම  දැනුම් දී ඇත්තේ ඉන්ද්‍රජිත් නිශ්ශංක විසිනි. 

ඔහු ඒ බිහිසුණු අත්දැකීම කීවේ මෙසේය.

“මම මේ බස් එකේ නගින්න මාළිගාතැන්න හන්දියේ හිටියා. මට ශරීර කෘත්‍යයක අවශ්‍යතාවය දැණුන නිසා කඩේ පස්සට ගියා. එතකොටම බස්එක නතර කරල කට්ටිය බස්සලා යන්න ගියා මට නගින්න බැරිවුණා. මම හෝව්... හෝව්... කියමින් බස්එක පස්සෙන් දිව්වත් බස් එක නතර කරගන්න බැරිවුණා. මම අසරණ වෙද්දී... ටික දුරක් ගිය බසය පල්ලමට පෙරළෙනවා දැක්කා. මම වහාම ‍119 අංකයෙන් පොලීසියට කතාකරමින් එම ස්ථානයට දුවගෙන ගියා. තුවාලකරුවන් ගොඩගන්න උදව් වුණා යැයිද ඔහු කීවේය.

පොලීසිය යුද හමුදාව හා සෞඛ්‍ය අංශ වහාම ක්‍රියාත්මක වූයේ, එම දුරකතන පණිවිඩය නිසාය. සුවසැරිය ඇතුළු ගිලන්රථ වහාම එම ස්ථානයට පැමිණියේය. ඒ වනවිටත් මිනී හා තුවාලකරුවන් ගම්වැසියන් හා තේ වත්තේ ජනතාව විසින් ගොඩට ඔසවාගෙන එමින් සිටියහ. ඇතැම් තුවාලකරුවන් පාරේ ගිය වාහන නතර කර ඒ මගින් පස්සර රෝහලට යවන්නට යෙදිණි. පොලිසිය හා යුද හමුදාව අනතුර සිදුවූ ස්ථානය පරික්ෂා කරමින් තවත් තුවාලකරුවන් පිරිසක් සොයාගත්හ. ඔවුන් මහ පාරට ඔසවාගෙන ඒමට පියවර ගත්හ.

ඒ වනවිටත් පස්සර දිසා රෝහල සහ බදුල්ල මහ රෝහල් මේ තත්ත්වයට මුහුණ දීම සඳහා සූදානම් කර තිබිණ. පස්සර රෝහලට ඇතුළත් කළ තුවාලකරුවන් 41 දෙනාට ක්ෂණික ප්‍රතිකාර ලබාදීමෙන් පසු බදුල්ල මහ රෝහලට යැවීමට පියවර ගත්හ. පස්සර දිසා රෝහලේදී මෙන්ම බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරු ප්‍රමුඛ සේවක කාර්ය මණ්ඩලය කඩි රැළක් මෙන් යුහුසුලුව තුවාලකරුවන්ට ප්‍රතිකාර කළහ. 

අනතුර සිදුවූ ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූ මගීන් 8 දෙනාගේ දේහයන් පස්සර දිසා රෝහලට රැගෙන ගියහ. එම 8 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වන ලද්දේ බදුල්ල මහ රෝහලේ අධිකරණ විශේෂඥ ‍වෛද්‍ය සඳකැන් වඩුගේ, අධිකරණ විශේෂඥ වෛද්‍ය අකිල රත්නායක සහ අමිල විජේසිංහ යන මහත්වරු විසිනි. හිසේ උරස් කුහරයේ හා උදරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට සිදුවූ මාරාන්තික තුවාල හේතුවෙන් එම මරණ සිදුව ඇති බව පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාවලින් අනාවරණය විය. 

බදුල්ල මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී තවත් තුවාලකරුවෙක් මියගියේ මරණ සංඛ්‍යාව 9 දක්වා වැඩි කරමිනි. සිද්ධියට මුහුණ දුන් තුවාලකරැවන් ඒ බිහිසුණු සිද්ධිය විස්තර කරන්නේ තවමත් තැති ගැන්මෙන් යුතුවය.

ඇකිරිය, අටකිරිය පදිංචි ඩී.එම්. කරුණාදාස (60) බිරිඳ ඔහුගෙන් වෙන්ව ගියදා පටන්  පුතුන් තිදෙනා රැකබලාගත් තාත්තා කෙනෙකි. ස්ථිර රැකියාවක් නැති ඔහු කුලී වැඩකරමින් දරුවන් තිදෙනා ලොකු මහත් කළ ආදරණීය තාත්තා කෙනෙකි. වැඩිමල් පුතුන් දෙදෙනාට උගන්වා සරසවියට යැව්වේය. තමා සමග නිවසේ සිටින ඇකිරිය විදුහලේ 8 වැනි ශ්‍රේණියේ ඉගෙනුම  12 හැවිරිදි ලක්මාල් පුතා සමඟ ඥාති නිවෙසකට ගොස් ගෙදර යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පෑවේය. එදින සිදුවූදේ කරුණාදාස පැවසුවේ මෙසේය.

“මමයි පොඩි පුතයි මඩුගස්තලාවේ නංගිගේ දුවගේ උත්සවයට ගිහින් ගෙදර යන ගමන් හිටියේ. පුතා බස් එකේ වාඩිවෙලා හිටියා. මම හිටගෙන ගමන් කළා වේගයෙන් ගිය බසය මාලිගාතැන්න 6 කණුව හරියේදී එකපාරටම පාරෙන් ඉවතට විසිවුණා. පෙරළි පෙරළි පහළට ගියා. කරණම් 4ක් විතර ගියාට පස්සේ මම එළියට විසිවුණා මතකයි. මම නැගිටින්න හැදුවත් නැගිටගන්න බැරිවුණා. කකුල් කැඩිලා වගේ දැනුණා. මට සිහිය තිබුණා. මම වාඩිවෙලා බලනකොට වටේටම කටිටිය වැටිලා හිටියා.

මම මගේ පුතා... කිය කියා කෑගසමින් තේ පඳුරු අල්ලාගෙන පහළට ලිස්සාගෙන ගොස් පුතා හෙව්වා. පුතා මුහුණේ ලේ පෙරාගෙන වැටී සිටිනවා දැක්කා. මම ඉතා අසීරුවෙන්  පුතා වාත්තු කරගෙන තේ ගස් අල්ලාගෙන පාරට ආවා. ඒ වනවිට විශාල පිරිසක් එම ස්ථානයේ සිට කට්ටිය උස්සනවා මම දැක්කා. කවුරුහරි අපි පස්සර ඉස්පිරිතාලට අරන් ගියා. ඊට පස්සේ බදුල්ල ඉස්පිරිතාලෙට එව්වා යැයි කරුණාදාස කීවේය.

‍කරුණාදාස නමැති එම පියාගේ ජීවිතය බේරුණ නමුත් මාලිගාතැන්න පදිංචිව සිටි කේ.ඒ. කරුණාදාස (63) මහතා මේ අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබුණි. ඔහුගේ බිරිඳ නාලනීගේ ජීවිතය බේරාගැනීමට වෛද්‍යවරැ සමත්වූහ. ඔවුන් දෙදෙනා සීදුවේ පදිංචි හර්ෂ පුතාගේ බබාගේ බත් කැවීමේ උත්සවයට සහභාගි වී ගෙදර යමින් මෙම අනතුරට ලක්විය.

මට මහත්තයා සොයාගන්න බැරිවුණා. ගමේ අය ඇවිත් තුවාලකරුවෝ හා මැරිච්චි අය පාතාලෙ ඉඳල උඩටගත්තා ඒ ගොල්ල මාවත් ඔසවාගෙන උඩට ගෙනිච්චා. මම අනේ මගේ මහත්තයා කෝ කියල ඇහුවම ඒ ගොල්ල කිව්වා එයා ඉන්නවා අමාරැ නැහැ. ඉස්පිරිතාලෙට යැව්වා කියලා. මමත් ත්‍රිවිලරයකින් තවත් තුවල කාරයන් දෙන්නෙක් එක්ක ඉස්පිරිතාලෙට යැව්වා. ඉස්පිරිතාලෙවත් මහත්තයා හිටියේ නැහැ. බදුල්ල ඉස්පිරිතාලෙ ඉන්නකොටත් මට කිව්වේ මහත්තය හොඳින් ඉන්නව කියල. මම ගෙදරට එනකල් දැනගෙන හිටිය් නැහැ.... ගෙදර ඉස්සරහ සුදු කොඩි දැක්කම මගේ පපුව පත්තුවුණා. අනතුර සිදුවූ තැනදීම මහත්තයා නැතිවෙලා කියලා පස්සේ තමයි කිව්වේ. අනේ මහත්තයා නැතිව මට ජීවත්වෙලා වැඩක් නැහැයි ඇය ලතෝනි දුන්නාය. 

මඩොල්සිම මැටිගහතැන්න උඩුගම ගම්මානයේ එකම නිවසක.තිදරු මවක් වූ 60 හැවිරිදි ඩී.එම්. කරුණාවතීගේ මිනී පෙට්ටියට යාබදව ඇගේ නැන්දම්මාගේ මිනී පෙට්ටිය තබා තිබිණා. කරුණාවති මෙම අනතුරෙන් මියගිය අතර 88 හැවිරිදි නැන්දම්මා මියගොස්  තිබුනේ එම විපත වාවාගත නොහැකිවය.

ඇමැති ආරක්ෂක අංශයේ පොලිස් කොස්තාපල් රංජිත් ශාන්ත කුමාර ඒ දුක්බර සිදුවීම පැවසුවේ හඬා වැටෙමිනි. “මගේ ආතම්මා අසනීප වුණ නිසා බදුල්ල මහරෝහලට ඇතුළත් කරල තිබුණා. ආතම්මගේ තනියට රෝහලේ හිටියේ මගේ අම්මා... එදා නැන්දා කෙනෙක් තියලා අම්මා ගෙදර එද්දි මේ අනතුර සිදුවුණා. අම්මා එතැනදිම නැතිවුණා. ඒක දැනගත් මෙහොතේම ඒ දුක උහුලන්න බැරිව ආතම්මා බදුල්ල රෝහලේදීම නැතිවුණා” යැයි කුමාර කීවේය. ඉතා ආදරයෙන් ජීවත්වූ මේ ලේලිය හා නැන්දම්මා මුළු ගම්මානය හඬවා අවසන් ගමන ගියේය. 

පොලිස් පරික්ෂණ ඌව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට, බදුල්ල පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත, සහකාර පොලිස් අධිකාරිවරුන් වන ඩබ්ලිව්.එම්.පී.කේ. වීරසේකර සහ බුද්ධික ගුණසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ වනිගසේකර හා මඩොල්සිම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිමල් චන්ද්‍රසිරි යන මහත්වරු විසින් සිදුකළහ.

බසය පැදවූ රියදුරා පෙර රිය අනතුරු වැරැදි කළ ඇත්තෙක් බවත් අපරික්ෂාකාරී රිය පැදවීම නිසා අනතුර සිදුව ඇති බවත් මඩොල්සිම පොලීසිය සඳහන් කළේය. බදුල්ල මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ඔහු බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතාගේ නියෝගය මත ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

 බදුල්ලේ පාලිත ආරියවංශ

 2020 සැප්තැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 සැප්තැම්බර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:47
 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 සැප්තැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00