2020 ජනවාරි 04 වන සෙනසුරාදා

උණු උණුවේම කොටු වූ ආර්.එම්.වී. පගාකාරයෝ

 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 312

නිලතල තානාන්තර පසෙකලා අල්ලස් ලබා ගැනීමේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන්ට කොටු වූ රාජ්‍ය නිලධාරීන් ගණන අඩුවක් නැත. ගෙවුණු කාලයේ රජයේ රාජ්‍ය නිලධාරීන් ඇතැමුන් එසේ හැසිරෙන පසුබිමක සොරකමක් දූෂිත මානසිකත්වයත් සහිත මිනිසුන් රාජ්‍ය ආයතනවල නිලධාරීන් බවට පෙන්වා දෙමින් පිටස්තර ජනතාව මුලා කරන හා රජයේ සේවාවන් ලබාදීමට හැකි බව කියා අල්ලස් ලබාගන්නා සිදුවීම්ද වාර්තා වෙයි.

එවැනි ආසන්නතම සිදුවීම පසුගියදා වාර්තා වූයේ වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පරිශ්‍රයෙනි. එම දෙපාර්තමේන්තුවේ සේවා කටයුතු කඩිනමින් හා පහසුවෙන් ඉටුකර දෙන බව පවසා එම ස්ථානයට පැමිණෙන පාරිභෝගික ජනතාවගෙන් මුදල් ගසාකෑම ප්‍රසිද්ධ රහසක්ව පැවතිණි. මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් විවිධ සේවාවන් ලබා ගැනීමට දුර බැහැර සිට පැමිණෙන පිරිස් වෙතින් මුදල් ලබාගෙන රස්තියාදුවකින් තොරව සේවාව ඉටුකර දීමට බව කියමින් මෙම සැකකරුවන් මුදල් ලබාගන්නා බව වාර්තා වේ.

රියැදුරු බලපත්‍රය සිට එම ආයතනය ලබාදෙන සියලුම සේවාවන් සිදුකිරීම සඳහා රුපියල් 3000 සිට 10,000 දක්වා මුදල් ලබාගෙන ඇතැයි ද ඇතැම් පිරිස් වෙත මුදල් ගෙවා ඇතත් සේවාව ලබා දී නැතැයි ද නොයෙක් වර පොලීසියට පැමිණිලි ලැබී තිබිණ.

මෙසේ අවස්ථා කිහිපයකදී පොලීසියට ලැබුණු තොරතුරැ අනුව ක්‍රියාත්මක වූ නුගේගොඩ කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති රංජන් මහතා ඇතුළු නිලධාරීහු විශේෂ වැටලීමක් සිදුකළහ. ඊට පෙර සැලසුම් කළ නිලධාරීන් අතරින් අයෙක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගොස් සේවාව ලබා ගැනීමට අපේක්ෂා කරන අයකු වශයෙන් සැරසුණේය. රුපියල් දහසක නෝට්ටුවක් අතට ගත් ඔහු වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හෝරාවක් දෙකක් ගත කරමින් අවට නිරීක්ෂණය කොට තිබිණ. ඊට මත්තෙන් දින කිහිපයක් සියලුම නිලධාරීන් සමඟ පැමිණ ආවේෂණ රාජකාරියේ නිරතව තිබීම මෙදින කටයුතු සඳහා පහසුවක්ව තිබිණ. එහිදී පිරිස නිරීක්ෂණය කොට තිබුණේ එම පරිශ්‍රයේ සිටින පුද්ගලයන් කිහිපදෙනකු ඇතැමුන්ගෙන් මුදල් ලබාගෙන අවශ්‍යතා ඉටු කරදෙන බව පවසන බවය. මෙම ක්‍රියාව සමහර රියදුරු පුහුණු පාසල්වල ගෝලයන් විසින් සිදුකරන බවද හඳුනාගෙන තිබිණ.

අනතුරුව ක්‍රියාත්මක වූ නිලධාරියා සෙනඟ අතර ටික වෙලාවක් ගැවසී පෙර හඳුනාගත් අයකු හා කුළුපග වී ඇත. එහිදී ඔහු පවසා තිබුණේ රියදුරු බලපත්‍රය ලබා ගැනීම අපේක්ෂා කරන බවත් ඒ සඳහා අවශ්‍ය ඡායාරූප හා වෛද්‍ය පරීක්ෂණය සිදුකර ගැනීමට කල්යන නිසා ළඟ දිනයක් ලබාගැනීම අවශ්‍ය බවත්ය.

හරි හරි ඕක ප්‍රශ්නයක්ද? මම කරලා දෙන්නම්. මමත් මෙතන තමයි වැඩ කරන්නේ. හැබැයි කීයක් හරි වියදම් කරන්න වෙයි මෙසේ කියා තිබුණේ පොලිස් නිලධාරියා හා කුළුපග වූ පුද්ගලයාය. එසැණින් පොලිස් නිලධාරියා අත වූ රු.1000 නෝට්ටුව ඔහුට දිගු කර වැඩේ කරදෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය. එම මුදල සැකකරු ලබාගන්නවත් සමඟ අවට රැඳී සිටි නිලධාරීහු ඔහුව අත්අඩංගුවට ගත්හ.

සැකකරැගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් පසුව තවත් සැකකරැවන් හයදෙනකු කොටු කර ගැනීමට හැකිව තිබිණි. මාලබේ සුදර්ශන මාවත පදිංචි අතුල ප්‍රසන්න, බොරලැස්ගමුව, කටුවාවල පදිංචි ජගත් පෙරේරා, මොරටුව රාවතාවත්ත පදිංචි බන්දුල පද්මකුමාර ගමගේ, නීලම්මහර පදිංචි චමින්ද රත්නායක, බොරලැස්ගමුව පදිංචි ඉසුරු තිලංක, අනුර ප්‍රේමසිරි යන පිරිස ඊට අයත්ව සිටිති.

මේ අය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රාජකාරි කරන අය ලෙස පෙනී සිට ජාවාරම සිදුකර ඇත. පසුව අනාවරණය වී ඇත්තේ මොවුන් සත්‍ය ලේඛන ලෙස ව්‍යාජව සැකසූ ලේඛන අලෙවි කර ඇති බවය. වැඩිදුරටත් හඳුනාගෙන තිබුණේ සියලුම සැකකරැවන් වේරහැර ප්‍රදේශයේ රියැදුරු පුහුණු පාසල්වල සේවය කරන පිරිස් බවටය.

මේ අය අත්අඩංගුවේ පසුවන අවස්ථාවේ අයකුට ලැබුණු දුරකථන ඇමතුමකි. එසේ ඇමතූ අය කියා තිබුණේ,

කෝ මගේ ලයිසන් එක? 37000ක්ම දුන්නානේ.. තවත් පරක්කුද? කවද්ද දෙන්නේ? කියපු දවස් ගාණක්ම පරක්කු වුණා යනුවෙනි.

ඒ අනුව නිලධාරීන් සැකකරැවන්ගේ ජාවාරම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන දුරකථන දත්ත වාර්තා හරහා සිදු කිරීමට සැලසුම් කර ඇත.

සැකකරැවන් ජනවාරි 13 වැනිදා තෙක් රක්ෂිත බන්ධානාගාර ගතකිරීමට නියෝග කර තිබෙන අතර වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපති ජයන්ත පෙරේරා මහතාගේ උපදෙස් මත සැරයන් ප්‍රසන්න හා මෙන්ඩිස් ඇතුළු නිලධාරීන් විසින් සිදු කෙරේ.

 සමන්ත ප්‍රදීප් විල්තෙර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00