2020 ජනවාරි 04 වන සෙනසුරාදා

කබරගොයා තලගොයා කරන ජල මණ්ඩලේ වැටලීම්

 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 137

ජල හොරුන් අල්ලන්නට රාජ්‍ය ඇමැති වාසුදේව නානායක්කාර මහතා තම කෙවිට අතට ගෙන වැඩි දිනක්ද නැත. ජල හොරුන් හිරගෙට යවන්නටත්, ජල මණ්ඩල පනත සංශෝධනය කරන්නටත්, රාජ්‍ය ඇමැතිවරයා සූදානම්ය. එතෙක් මෙතෙක් ජල සොරකම්වලදී සිදුවූයේ මණ්ඩලයට සිදුවූ අලාභය අයකර ගැනීම පමණකි. ඒ ජාතික රාජ්‍ය සභාවේ 1974 අංක 2 දරණ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල පනතේ විධිවිධානයන්ට අනුවය.

වරදට දඬුවම රුපියල් පනහක් නොඉක්මවන දඩයකි. 1992 අංක 13 දරන ජල මණ්ඩල (සංශෝධන) පනතට අනුව, එය රුපියල් 5000කට නොඅඩු හා රුපියල් 10,000කට නොවැඩි යන්න සංශෝධනය කර තිබේ.

මහේස්ත්‍රාත්වරයකු විසින් පනවන මෙම දඩයට අමතරව, මණ්ඩලයට සිදු කරන ලද අලාභය වෙනුවෙන් දැනට අයකරනුයේ වසර දෙකක කාලයක් සඳහා වූ ගාස්තුවක් පමණකි. නව රාජ්‍ය අමාත්‍යවරයා විසින් මෙම හාස්‍යජනක නීතිය සංශෝධනය කර වරදකරුවන් නීතිය හමුවට පමුණුවා සිරදඬුවම් ලබාදීමට සූදානම්ය. මහා පරිමාණ ජල හොරුන් වසර ගණන් ජලය හොරකම් කරමින් මණ්ඩලයට අතිවිශාල පාඩුවක් සිදු කළද, එම අලාභය වසර දෙකකට ගණනය කිරීම මොනතරම් අනුවණකමක්ද යන්න මෙතෙක් පැවති කිසිදු රජයකට හෝ නොවැටහීම පුදුමයට කරුණකි. ඒ තමන්ගේ ගජමිතුරු දේශපාලකයන්, ව්‍යාපාරිකයන්, ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම සඳහා යොදාගත් එක්තරා මිනුම් දණ්ඩක්ද යන්න සිතෙනුයේ ජල සම්පාදන මණ්ඩලයේ නිදිකිරා වැටෙන වැටලීම් අංශය දුටු විටය.

පසුගිය කාලය පුරාම මෙම වැටලීම් අංශය ක්‍රියාත්මක වූ ආකාරය පුදුමාකාරය. ඉඳහිට ව්‍යාපාරිකයකුට දඩ මුදලක් නියම කළද, එය අඩුකර ගන්නටත් ඔවුන්ට මණ්ඩලයේ ඉහළ නිලධාරීන්ගේ ආනුභාවය ලැබෙන්නේය. ඒ නිසාම, මහා පරිමාණ ජල හොරුන් නිදැල්ලේ සිටියදී, අහිංසක ජල පාරිභෝගිකයා නියමිත දිනට බිල්පත් නොගෙවා ඇත්නම්, ජලය විසන්ධි කිරීමද හීයක වේගයෙන් සිදුවන්නකි. කෙසේවෙතත් ජල සම්පාදන මණ්ඩලය වසර 3කින් ජල බිල්පත ඉහළ දමා නැත. එය ඉහළ දමන්නට සූදානමක්ද නැති බවට රාජ්‍ය ඇමැතිවරයා කියා ඇත. වැඩියෙන් ජලය පරිභෝජනය කරන ව්‍යාපාරිකයන් ඇතුළු පොහොසතුන්ගෙන් වැඩිවන ජල ඒකකවලට වැඩි මිලක් නියම කිරීම ගැන රාජ්‍ය ඇමැතිවරයාගේ අවධානය යොමුවී තිබීමද වැදගත් වන්නේය. ජල නාස්තියද ජල මණ්ඩලය කුඩුපට්ටම් කරන ව්‍යසනයකි. ඒ සඳහා කිසියම් වැඩපිළිවෙළක් තිබිය යුතුය.

රට පුරා බෙදාහැරෙන ජලයෙන් 30%කට අධික ජල නාස්තියක් වන බවට හඳුනාගෙන ඇත්තේ අද ඊයෙක නොවේ. මහා පරිමාණ ජල ව්‍යාපෘතිවලින් සිදුවන වංචා, දූෂණ ඉහවහා ගොස් ඇති බවට තවත් චෝදනාවකි. පසුගිය කාලය තුළ ඒවායේ අගය රැපියල් බිලියන ගණන් බවට තොරතුරු ඕනෑතරම් අසන්නට ලැබී ඇත. වැරදිකරුවකු අහළකවත් නැති ගාණට සියල්ල යටපත් වී අවසන්ය.

මෙවන් ව්‍යසනවලට වගකිවයුත්තෝ කවුරුන්ද? ඊට අහිංසක ජල පාරිභෝගිකයා වන්දි ගෙවිය යුතුද? ජල නිෂ්පාදන පිරිවැය ඉහළ ගිය සමයක ජල නිපැයුම සිදුවන්නේ පාඩුවට බවට ජල මණ්ඩල ලොක්කන් හැමදාමත් නගන නෝක්කාඩුවකි. ඊට එකම විසඳුම ජල බිල්පත ඉහළ දැමිය යුතු බවට ඔවුන් වසර ගණනාවක සිටම කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කළද ඒවා අනුමත වී නැත. වැටලීම් ශක්තිමත් කර ජල හොරුන් නීතියේ රැහැනට හසුකර ගැනීම මණ්ඩලයේ පාඩුව අවම කර ගැනීමට ගත හැකි හොඳම පිළිවෙත බවට විවාදයක්ද නැත. ඊට හොඳම නිදසුන කොළඹ අනවසර ජල වැටලීම් ඒකකය බවට අද පත්ව අවසන්ය.

නගරයේ ජල හොරුන් කොටුකර ගැනීමට මෙම ඒකකය දැවැන්ත සටනක් අරඹා තිබේ. පසුගිය වසරේ (2019) කොළඹ ජල හොරුන්ගෙන් පමණක් රුපියල් කෝටි 4කට අධික මුදලක් මණ්ඩලයට හිමිකර දීමට එම ඒකකය සමත්ව සිටී. ඉකුත් 31 වැනිදා කොළඹ මහා පරිමාණ ඉදිකිරීම් සමාගමක් වසර දෙකක් තිස්සේ සිදුකර ඇති ජල හොරකමක් අනාවරණය කරගත් එම ඒකකය විසින් අදාළ සමාගමට නියම කර ඇති දඩ මුදල රුපියල් ලක්ෂ 36කට අධිකය. කොළඹ නගර ඉතිහාසයේ මෙවැනි අතිවිශාල දඩ මුදලක් නියම වී ඇත්තේද ප්‍රථම වරටය. දැන් ඒ දඩ මුදල අඩුකරගන්නට ඔවුන් දරණ උත්සාහයද තවමත් අවසන්ව නැත. දේශපාලකයන්ගේ පිහිටෙන් දඩ අවසන් කරගත් අවස්ථාද නැත්තේ නොවන්නේ, දඩයද මණ්ඩලයට සිදුකළ පාඩුවද, ඒ සියල්ල ඉදිරියේ යටපත් වී ගිය ඉතිහාසයකය. ජල හොරුන් සඳහා වූ සිරදඬුවමද ලහිලහියේ ආ යුතුම වන්නේ එනිසාය. ජල හොරකම් සිදුවන්නේ ගෙවල්වල පමණක්ම නොව මණ්ඩලය තුළද බව අප අමතක කළ යුතුද නැත.
ඒ පිළිබඳ තොරතුරු පිටට දෙන්නේද නැත. මොරටුව ප්‍රාදේශීය ජල කාර්යාලයෙන් එදා ක්‍රියාත්මක වූ ජල වැටලීම් අංශයට තිත තැබුණේද, මණ්ඩලයේම උසස් නිලධාරියකුගේ ජල හොරකමක් ඇල්ලීමේ පවටය. එම අංශය භාරව සිටි අංශ ප්‍රධානියාට සේවා ස්ථාන 9කට ස්ථාන මාරු යන්නටත් අවසානයේ විශ්‍රාම යන්නටත් මඟ සැලසුණේ ඒ නිසාය. දැන් ඒ වැටලීම් අංශය ප්‍රධාන කාර්යාලයේය. වැටලීම් සිදුවන්නේද ඉහළින් ලැබෙන නියෝගවලට පමණක් බව වැඩි දෙනකු දන්නේ නැත.

 ජයන්ත සමරකෝන්