2020 ජනවාරි 04 වන සෙනසුරාදා

ආණ්ඩුවෙන් ආණ්ඩුවට ඇදී එන සත්ව සහල් ජාවාරම

 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 133

මේ වනවිට රටේ සහල් මිල පිළිබඳ ගැටලුව ඉතාම උග්‍ර තත්ත්වයට පත්ව ඇති අතර, සහල් මිල වැඩිවීම පිළිබඳ විවිධ පාර්ශ්ව රජයට දෝෂාරෝපණය කරමින් සිටී. රජය ද වැඩිවන සහල් මිල පාලනය කිරීමට විවිධ උපක්‍රම ගනිමින් සිටින අතර පසුගියදා සහල් මෝල් හිමියන් සමඟ සාකච්ඡා පවත්වා සම්බා සහ නාඩු සහල්වල උපරිම සිල්ලර මිල රුපියල් 94ක් බවට ගැසට් නිවේදනයක් නිකුත් කළේය. එහෙත් විවිධ සන්ධාන හා කෘෂිකර්ම ආර්ථික විශ්ලේෂකයන් පවසනුයේ පසුගිය කන්නයේ සහල් මෝල් හිමියන් ගොවියන්ගෙන් ඉතාම අඩු මිලකට වී ගෙන ගබඩා කර තබාගෙන ඇති අතර එම මිලට සමානුපාතිකව සහල් කිලෝව රුපියල් 80-85 අතර මිලකට ලාභයක්ද තබාගෙන ජනතාවට නිකුත් කළ හැකි බවයි.

විපක්ෂය පෙන්වා දෙන්නේ පාලන මිලට අලෙවි කරන සහල් ඉතාම බාල තත්ත්වයේ පවතින අතර ප්‍රමිතියෙන් හොඳ සහල් විවෘත වෙළෙඳපොළේ අලෙවි වන්නේ කිලෝව රුපියල් 120-125 වැනි වැඩි මිල ගණන්වලට බවයි. සහල් හිඟයක් ඇතිකර මිල වැඩි කිරීමේ ජාවාරමක සහල් මෝල් හිමියන් නිතරව සිටින බවට ද චෝදනා නැගේ.

කෙසේ වුවද සහල් මිල පිළිබඳ අර්බුදය තවම විසඳී නැති අතර අනෙකුත් ගැටලු මෙන් මෙයද දේශපාලනීකරණය වී ඇත.

දුප්පත් ජනතාව සහල් මිලෙන් පීඩා විඳින රටේ යමකු සහල් සඟවාගෙන සිටින්නේ නම් එය සමාව දිය නොහැකි වරදකි. එසේම දීර්ඝ කාලයක් සඟවාගෙන සිටින සහල් පරණවීම නිසා මිනිස් පාරිභෝජනයට නුසුදුසු බවට පත්වීම හේතුවෙන් ඒවා සත්ව ආහාර ලෙසට නිකුත් කරන්නට සිදුවේ නම් එය තවත් විශාල අපරාධයකි. එම සත්ව ආහාර බවට පත්කළ සහල් ශුද්ධ කර නැවත ඔපදමා හොඳ සහල් ලෙස මනුෂ්‍ය ආහාරයට නිකුත් කරන්නේ නම් එයද විශාල වරදකි. එයින් බත් කන ජනතාවට සිදුවන විපත විශාල වන්නේ පරණ සහල් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයට විශාල ලෙස අහිතකරව බලපාන බැවිනි.

මෙම වංචාව පිළිබඳ මුලින්ම අනාවරණය කර ඇත්තේ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරැ නාමල් කරුණාරත්නය. ඔහු තමාට ලැබුණු ඔත්තුවකට අනුව පසුගිය 30දා හිඟුරක්ගොඩ ස.තො.ස. සහල් ගබඩා සංකීර්ණයට ගොස් කරන ලද විමර්ශනයකදී හෙළි වී ඇත්තේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් 2017 සැප්තැම්බර් මස 01දා ඉන්දියාවෙන් ආනයනය කළ හාල් කිලෝ 406000ක් (හාරලක්ෂ හයදහස) හිඟුරක්ගොඩ සහල් ගබඩාවේදී මෙරට සහල් ලෙස ලේබල් ගසා අලෙවියට නිකුත් කරමින් තිබෙන බවයි. ඉන් කිලෝ 3,50,000ක් නිෂ්පාදන දිනය 2017 සැප්තැම්බර් 01 දින දරන ලේබල් අලවා තිබුණු අතර, ඒවා 2019 සැප්තැම්බර් 01 දින කල් ඉකුත් වී තිබුණි. දැනට ඒවා සත්ව ආහාර ලෙස ස.තො.ස. හිඟුරක්ගොඩ මෝල් සංකීර්ණයේ සහල් ගබඩාවේ අලෙවියට තබා තිබෙන බවද දැකගත හැකිව තිබුණි.

ඉතිරි කිලෝ 56000 2020 වසරේ පෙබරවාරි මස 25දා කල් ඉකුත් වීමට නියමිතව තිබුණු අතර, සත්ව ආහාර ලෙස නිකුත් කර ඇති ඒවා පොලිෂ් කර අලුත් සහල් ලෙස ජනතාවට අලෙවි කිරීමට සූදානම්ව තිබී ඇති බව අනාවරණය කරගෙන ඇත. පසුගිය සතියේ මෙවැනි සහල් ලොරි 11ක් පිටතට ප්‍රවාහනය කර ඇත.

සතියකට පෙර වීරවිල පන්නෙගමුව ස.තො.ස. ගබඩාවේදී කල් ඉකුත් වූ සහල් කිලෝ ලක්ෂ 50ක් නැවත පොලිෂ් කර අලෙවි කිරීමට කටයුතු කර තිබුණු අතර එය සොයාගෙන විනාශ කර තිබෙන බවද හෙළිවිය.

ආනයනය කළ සහල් ගබඩා කර තබාගෙන නරක් වූ පසුව අඩු මිලකට සත්ව ආහාර සඳහා අලෙවි කිරීමේ මාෆියාව අද ඊයේ ඇතිවූවක් නොවේ. මෙයට පෙර මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේද පාරිභෝගික කටයුතු පිළිබඳ ඇමැතිවරයාව සිටි රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාගේ කාලයේදී පටන් සිදු වූවකි. ඒ කාලයේ ඉන්දියාවෙන් ආනයනය කළ පොන්නි සම්බා කිලෝ ලක්ෂ ගණනක් ස.තො.ස. ගබඩා තුළ කල් ඉකුත් වී තිබී හමුවූ අවස්ථා අපට මතකය. ඒ පිළිබඳ විගණන වාර්තාවල සඳහන්ව තිබුණද එම දූෂණ වැළැක්වීමට හෝ එයින් සිදුවූ පාඩුව ප්‍රතිපූර්ණය කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණේ නැත. ඒ කාලයේ හෙළිවූයේ ඉන්දියාවේ බාලම සහල් වර්ගයක් වූ පොන්නි සම්බා නියමිත මිලට වඩා වැඩි මුදලකට ගෙන්වා මෙරට සහල්වලට ස්වල්පයක් අඩු මිලකට විකිණීමට කටයුතු කර තිබූ බවය. ජනතාව මෙම පොන්නි සම්බා පාරිභෝජනයට අකැමැතිවීම නිසා සිල්ලර අලෙවිහල් මගින් අලෙවි කිරීම නිෂ්ඵල වූ බැවින් ප්‍රධාන ගබඩාවේ ගබඩා කර තබා තිබුණි. ඒ පිළිබඳ මාධ්‍ය මගින් හෙළිදරව් කළද සිදුවූ දෙයක් නැත. එලෙස කල් ඉකුත් වූ සහල් සත්ව ආහාර ලෙස අඩු මිලකට අලෙවි කළ අතර, ඒවාද තැරුව්කරවන් මගින් ලබාගෙන යළි පිරිසුදු කර, ගුල්ලන් ඉවත් කර අලුත් ඇසුරුම්වල බහා විකිණීම සිදුවූ බව අනාවරණය විය. මෙහිදී මෙම සහල් ඉන්දියාවෙන් ගෙන්වීමේදීද අනතුරැව මෙහිදී නරක් වීමෙන් පසු සත්ව ආහාරවලට විකිණීමේදීද අතරමැදියෝ විශාල ලෙස මුදල් හම්බ කිරීමට සමත් වූහ. මෙය රිෂාඩ් ඇමැති සහ ස.තො.ස. ඇතුළු නිලධාරීන් පිරිසක් සම්බන්ධ වී සිදුකළ මහා පරිමාණ දූෂණයක් බවද පසුව හෙළිවිය.

අනතුරුව පැවැති යහපාලන ආණ්ඩුවේදීද රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට එම ඇමැති තනතුරම ලැබුණි. එම ආශ්චර්යයේ ප්‍රතිඵලයක් හැටියට යහපාලන රජය යටතේ ද පරණ සෙල්ලම් රිසි සේ කිරීමට ඇමැතිවරයාට හැකිවිය. පසුගියදා ස.තො.ස. ගබඩාවලින් සොයාගන්නා ලද්දේ මෙලෙස දෙවැනි ආණ්ඩුව යටතේ ගෙන්වූ සහල්ය. ඒ පිළිබඳවද වර්තමාන රජයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි ජනතාව බලාපොරොත්තුව සිටී. එහෙත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු විසින් අනාවරණය කළ සිද්ධිය පිළිබඳ තවමත් වගකිව යුත්තන් කටයුතු කර ඇති බවක් දක්නට නැත.

අපේ රට සහල්වලින් ස්වයංපෝෂිත බව වාර්තා වූයේ මෙයට වසර ගණනාවකට පෙර සිටය. පසුගිය 2010 වසරවල සහල් ආනයනය කිරීමේ සූදානමක්ද තිබිණ. 2017 වසරේ සහ ඊට පෙර පිටරටින් සහල් ගෙන්වීමට තරමේ කිසිදු සහල් හිඟයක් නොතිබුණි. වසරකට රටට අවශ්‍ය වන සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ 24ක් වන අතර ඊට වැඩියෙන් රට තුළ සහල් නිපදවන බව හෙළි වී තිබේ. එහෙත් සෑම වසරකදීම සහල් ආනයනය කරන බව පෙනෙන්නට ඇත. 2018 වසරේදී ද සහල් ආනයනය සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 107ක් වැය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව කියයි. එසේ වුවද 2018 වසරේදී රටේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 3.9 දක්වා 2017ට වඩා සියයට 64.9කින් ඉහළ ගිය බව මහ බැංකු වාර්තා අනුව සනාථ වේ. එවැනි තත්ත්වයක් මත විවිධ හේතු පෙන්වමින් සහල් ආනයනය කිරීම මාෆියාවක් නොවන බව කාට නම් කිව හැකිද?

මේ පිළිබඳ තවදුරටත් අදහස් දක්වන සමස්ත ලංකා ගොවිජන සංවිධානයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මෙසේ දේශයට පැවසුවේය.‍

“සුවිශේෂම සිද්ධිය වන්නේ අපි හිඟුරක්ගොඩ ස.තො.ස. ගබඩා සංකීර්ණයේදී පරීක්ෂා කළ සහල් බහා ඇත්තේ ස.තො.ස. ආයතනයේ ලාංඡනය සහිත උරවල. මා හිතන හැටියට ඉන්දියාවට කියලා ඒ අය ලවා ස.තො.ස. උරවලට පැකට් කරලා තියෙනවා. එහෙම හාල් උර තමා මෙහාට ගෙනත් ඇත්තේ. ස.තො.ස. උරවලින් එන සහල් දේශීය සහල් බවට තමා අපේ ජනතාව පිළිගන්නේ. එතකොට විදේශ සහල් දේශීය සහල් කියලා පාරිභෝගිකයා රුවටීමක් සිදුකර තිබෙනවා. අපේ අය රටහාල් කන්න කොහොමත් කැමැති නැහැ. ඒ නිසා තමයි ස.තො.ස. ලේබලය යටතේ ලංකාවේ සහල් හැටියට වෙළෙඳපොළට එවන්නේ.

2016 දෙසැම්බර් 30 දින විගණන වාර්තාව අනුව හෙළිවෙලා තියෙනවා රුපියල් කෝටි 1515ක වංචාවක් රාජපක්ෂ ආණ්ඩුව සමයේ සිදුවෙලා තියෙනවා කියලා. එයට කිසිදු පියවරක් නොගත් නිසා හොරු බය නැතුව දිගටම හොරකම කරගෙන යනවා. මේක දම්වැලක් වගේ දිගටම ඇදීගෙන එන වංචාවක්.

අප පරීක්ෂා කළ සහල් ගෙනත් තියෙන්නේ 2017 වසරේ සැප්තැම්බර් මාසයේ. 2019 අගෝස්තු 1දා වනතුරුම කල් ඉකුත් වෙන්නේ නැති නිසා පාවිච්චි කරන්න පුළුවන්. ඒත් ඒවා පාරිභෝජනය නොකර අවුරුදු දෙකක්ම ගොඩගසාගෙන හිටියේ ඇයිද? ඊළඟ කාරණය වෙන්නේ 2017 වසරේදී අපට සහල් ඇටයක්වත් පිටරටින් ගේන්න ඕනෑකමක් තිබුණේ නැති එක. රටේ දැවැන්ත සහල් ප්‍රමාණයක් නිෂ්පාදනය වුණා. අපට වසරකට සහල් මෙට්‍රික් ටොන් 36ක් පමණයි අවශ්‍ය වන්නේ. එහෙත් අපේ නිෂ්පාදනය වාර්ෂිකව ලක්ෂ 45ට අධිකයි. හැම අවුරුද්දක්ම අපි පටන් ගන්නේ මෙට්‍රික් ටොන් 10කට වැඩි සහල් ප්‍රමාණයක් එක්ක. එයට වසරේ නිෂ්පාදනයද එකතු වූ විට වසරින් වසර තොගය ඉහළ යනවා. එහෙම තිබියදී සහල් ආනයනය කළේ මොකටද? කවුද ඒකට අවසර දුන්නේ? රටේ විදේශ විනිමය හිඟයක් තිබියදී විශාල ලෙස මුදල් නාස්ති කරලා හාල් ගෙන්වූයේ ඇයි? එහෙම ගෙනාවත් කමක් නැහැ ඒක මිනිස්සුන්ට දුන්නා නම්. එහෙම නොකර රහසිගතව නරක් වනතුරු අවුරුදු දෙකකට වැඩි කාලයක් තිස්සේ ගොඩගසා තිබ්බේ ඇයිද යන්නයි. ප්‍රශ්නය, ඇයි ඒවා සත්ව ආහාර බවට පත්වෙනතුරු අලෙවි කරන්න ක්‍රියාමාර්ගයක් නොකරන්නේ?

අපට සාධාරණ සැකයක් තියෙනවා මේ සහල් සත්ව ආහාර ලේබල් එක යටතේ එළියට ගිහිල්ලා නැවතත් හොඳ සහල් ලේබලය යටතේ වෙළෙඳපොළට එයි කියලා. අපට තවත් සැකයක් තියෙනවා මේ ආණ්ඩුව ආවට පස්සෙත් රජයේ වී තොග ප්‍රධාන මෝල්වලට නිකුත් කරලා තියෙනවා. මහමෝල් හිමියෝ කොමිස් එකක් තියාගෙන ඒවා යළිත් විකුණලා තියෙනවා. එතැනදි මේ සත්ව ආහාර සහල්ම නැවත ජනතාව වෙතට එන්න තියෙන ඉඩකඩ වැඩියි.

මෙම සහල් මාෆියාව මේ විදිහට දිගින් දිගටම ගෙනියන්න දෙන්න බැහැ. මහමෝල් හිමියොත් ආණ්ඩුත් යන දෙගොල්ලොම මෙයට සම්බන්ධයි. පසුගිය ආණ්ඩුව යටතේ තමයි මේ හාල් ආනයනයක් කරලා තියෙන්නේ. ඒවා ගෙනාවේ ජනතාවගේ වුවමනාවකට නොව ගෙනාපු අයගේ වුවමනාවටයි. ඒ නිසා අපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිනවා මේ පිළිබඳ වහාම ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසට. මේ ගැන සොයා බලා වගඋත්තරකරුවන්ට දැඩි දඬුවම් දුන්නොත් යළිත් මෙවැනි තත්ත්වයක් රටේ ඇතිවෙන්නේ නැහැ.
යසවර්ධන රුද්රිගු