2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා

වීරවිලදී එළියට පැන්න සතොස සමූප සහල් ජාවාරම

 2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 235

සහල් මිල ඉහළ යාමත් සමඟ ජනතාවගේ පරිභෝජනය සඳහා සහනදායී මිලට අලෙවි කිරීමට තිබූ සහල් තිස්සමහාරාම සමුපකාර සමිතිය විසින් සතොස ගබඩාවෙන් තොග වශයෙන් ලබාගෙන ව්‍යාපාරිකයන්ට අලෙවි කිරීමේ ජාවාරමක් සිදුවන බවට ඉකුත් 20 වැනි දින අපට තොරතුරු ලැබුණි. මේ ජාවාරම සම්බන්ධයෙන් වීරවිල පොලීසියටද කරුණු වාර්තා වී තිබුණි. ඒ අනුව වීරවිල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරී කණ්ඩායමක් වීරවිල පන්නෙගමුව පිහිටි සතොස තොග ගබඩා සංකීර්ණය හදිසි පරීක්ෂාවකට ලක් කළහ.

පොලිස් නිලධාරීන් එහි යන විටත් සහල් තොග රැගෙන යාමට පැමිණි ලොරි රථ පහක් එම ස්ථානයේ තිබූ අතර ඉන් එක් ලොරි රථයක් තිස්සමහාරාම විවිධ සේවා සමුපකාර සමිතියට අයත් වූවක් වන අතර අනිත් ලොරි රථ හතරම කුලී පදනම මත ලබාගෙන තිබූ පෞද්ගලික අංශයට අයත් ඒවා බවට අනාවරණය විය. එමෙන්ම සහල් තොග රැගෙන යාම සඳහා පැමිණි එක් ලොරි රථයක් කිසිදු දැනුම් දීමකින් තොරව පිටත්ව ගොස් තිබූ බවද අපට දැනගැනීමට ලැබුණි.

මෙහිදී සිදුව තිබුණේ වීරවිල පන්නෙගමුව රජයේ සහල් ගබඩාවෙන් කිලෝ එකක් රුපියල් 70 බැගින් සතොසට ලබාදීමට නියමිතව ඇති සහල්, සමුපකාරය මගින් කිලෝ එකක් රුපියල් 84ක මුදලකට ලබාගෙන වෙනත් පිට ආයතනවලට කිලෝ එකක් රුපියල් 88කට අලෙවි කිරිමේ ජාවාරමකි. රට තුළ සහල් හිඟයක් ඇතිවන බවට ඇතැම් පිරිස් පසුගිය දින කිහිපය පුරාම බිල්ලන් මවා තිබූ පරිසරයක් තුළ රජයේ සතොස ආයතන හරහා සහ සමුපකාර හරහා පාරිභෝගික ජනතාවට සහනදායී මිලට සහල් ලබාදීමට හැකියාව තිබියදීත් පන්නෙගමුව සහල් ගබඩාව හා තිස්සමහාරාම සමුපකාර සමිතිය එක්ව රුපියල් 18ක ලාභයක් ලබාගැනීමට කටයුතු කර ඇත්තේ ජනතාව පිළිබඳව කිසිදු තැකීමකින් තොරව බව පැහැදිලිය. පන්නෙගමුව තොග සහල් ගබඩාවෙන් කිලෝ එකක්  රුපියල් 70 බැගින් සතොසට ලබා දෙන්නේ නම් සහල් කිලෝ එකක් රුපියල් 75ක් තරම් සහනදායී මිලකට ජනතාවට ලබාදීමට හැකියාව පැවති බව ඉතා පැහැදිලිය. එහෙත් එම සහනය ජනතාවට නොදී තවත් පාර්ශ්ව කිහිපයක් අතරේ බෙදී ගොස් ජනතාව අතරට සහල් කිලෝවක් පත්වන්නේ ලැබිය යුතු සහනදායී මිලටත් වඩා රුපියල් 23ත් රුපියල් 25ත් අතර මුදලකට වීම දැඩි කනගාටුවට කරුණකි. 

සහල් මිල එකවර ඉහළ යාමත් සමඟ එහි මිල පාලනය කිරීම සඳහා රජය සතු වී තොග සහල් බවට පත්කර සතොස හරහා අඩු මුදලකට අලෙවි කිරීමට රජය පියවර ගනු ලැබීය. ඒ අනුව සතොස ආයතන හරහා පාරිභෝගිකයාට සහනදායී මිලට සහල් කිලෝ 10ක් පමණක් එක් වරකට නිකුත් කෙරුණි. එම ක්‍රමය තවදුරටත් ව්‍යාප්ත කිරීමේ අරමුණින් සතොස සතු සහල් සමුපකාර හරහා අලෙවි කිරීමටද රජය කටයුතු කරනු ලැබීය. එම තීරණයට අනුව වීරවිල පන්නෙගමුව පිහිටි සතොස තොග ගබඩා සංකීර්ණයෙන් සහල් කිලෝග්‍රෑම් ලක්ෂ 10ක් තිස්සමහාරාම විවිධ සේවා සමුපකාර සමිතියට ලබා දීමට පන්නෙගමුව සතොස තොග ගබඩාවේ නිලධාරීහු පියවර ගත්හ. එලෙස නිකුත් කළ සහල් තොගයක් 20 වැනි දින ප්‍රවාහනය කිරීමට නියමිත වූ අතර එම සහල් ව්‍යාපාරිකයන්ට අලෙවි කරන බවට වීරවිල පොලීසියට පැමිණිලි ලැබිණි. ඒ අනුව වීරවිල පොලීසිය විසින් මෙම සතොස ගබඩා සංකීර්ණය හදිසි පරීක්ෂාවකට ලක් කර වී තොග රැගෙන යාමට පැමිණි බව කියන ලොරි රථ 05ක් පොලිස් භාරයට ගැනීමට කටයුතු කළ අතර පසුව එම ලොරි රථ මුදාහරිනු ලැබීය. මෙම ලොරි රථ මගින් සහල් කිලෝ 60000ක් ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ බව සඳහන්ය.

සතොස හරහා මිලට ගෙන සමුපකාරය හරහා ජනතාවට අලෙවි කිරීමට ඇති සහල් තොග ව්‍යාපාරිකයන්ට තොග වශයෙන් අලෙවි කරන බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් තිස්සමහාරාම සමුපකාර සමිතියේ නිලධාරීහු මෙලෙස පැවසූහ.
“අපි රුපියල් 84ට ගන්න හාල් විකුණන්නේ රුපියල් 88 ගාණේ. අපි මේ හාල් ප්‍රදේශයේ පාරිභෝගිකයාට වගේම ප්‍රදේශයේ ඉන්න අයට ලබා දෙනවා. කවුරු හරි ඇවිල්ල අපෙන් ඉල්ලන්නේ සහල් මිටියද දෙකද අපි ලබා දෙනවා. අපි දන්නේ නැහැ ඒ පාරිභෝගිකයාද මුදලාලිද කියලා. අපෙන් 84ට ගන්න අය නැවත 98ට විකුණනවද කියල නම් අපි දන්නේ නෑ.” 

සතොස මගින් සහල් තොග කිසිදු කොන්දේසියකින් තොරව ලබා දුන් බවද තිස්සමහාරාම සමුපකාර සමිතියේ සභාපති ගයාන් රුක්ෂාන් මහතා පැවසීය. කෙසේවෙතත් පාරිභෝගිකයාට අලෙවි කිරීමට ඇති සහල් ව්‍යාපාරිකයන්ට අලෙවි කිරීමට නොහැකි බවට අදාළ අංශ වෙත උපදෙස් ලබා තිබියදීත් ව්‍යාපාරිකයන්ට සහල් තොග අලෙවි කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය මේ වන විට වෙනම පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

රට තුළ ඇතිවී තිබෙන මෙම සහල් මාෆියාව සම්බන්ධයෙන් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදූ වික්‍රමනායක මහතාගෙන් ද අප විමසීමක් කළ අතර එහිදී ඒ මහතා පැවසුවේ මෙවන් අදහසකි.

“රටේ අද වන විට බරපතළ ලෙස සහල් මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා. මේ මාෆියාව මුළු රටම මේ වන විට ඔවුන්ගේ ග්‍රහණයට අරගෙන තියෙනවා. මේ මාෆියාව සඳහා ඇතැම් දේශපාලනඥයන්, නිලධාරීන් හා මහා පරිමාණ මෝල් අයිතිකාරයොත් ඉන්නවා. මෙච්චර කාලයක් රුපියල් 74ක පාලන මිලට තිබුණු සහල් එක සැරේටම රුපියල් 98ක පාලන මිලකට එන්නේ කොහොමද? කාගේ වුවමනාවකටද මේක වුණේ? වී වල සහතික මිල වුණේ රුපියල් 45ත් 50ත් අතරයි. හාල් කිලෝ එකක් හදන්න යන්නේ වී කිලෝ එකහමාරකට ආසන්න ප්‍රමාණයකුයි. එතකොට මෙහෙම ගන්න වී කොටලා ප්‍රවාහනය කරලා ලාභත් තියාගෙන 85ට දෙන්න බැරිද කියන්නකෝ. පුළුවන්නේ. නමුත් මේක වෙන්නේ නෑ. සහල්වලට පාලන මිලක් දැමීමේදී කරන්න ඕනේ සිල්ලර හාල්වලට නෙමෙයි තොග මිලටයි පාලන මිලක් දමන්න ඕනේ. අපේ රටේ යල මහ කියලා කන්න දෙකක් වී වගා කරනවා. වසරකට එක් පුද්ගලයකුගේ සහල් පරිභෝජනය සාමාන්‍ය වශයෙන් කිලෝ 107 ක්. අපිට බැරිද මේක වෙනස් කර ගන්න. මේ හාල් පරිභෝජනය අතරට අල බතල ටිකක් එළවළු ටිකක් එකතු කරගෙන සහල් පරිභෝජනය ටිකක් අඩු කළොත් ඇඟටත් හොඳයිනේ. මේක මම කිව්වම හෙට ඉඳන් මට මඩ ගහාවි. ඒකට කමක් නෑ. අපි ඔය කියන විදියටම වසරකට එක් පුද්ගලයකු සහල් පරිභෝජනය වසරකට කිලෝ 107 ක් වුණත් මේ රටේ සිටින සියලුම ජනතාවට කන්න දීලත් මේ රටේ තියෙන හාල් තව අතිරික්තයක් තියෙන්න ඕනේ අපේ මේ තියෙන සංඛ්‍යාලේඛනවලට අනුව. මට තියෙන ප්‍රශ්නය සංඛ්‍යාලේඛනවල තියෙනවා කියන වී තොග හා සහල් තොග මේ හදිස්සියේ දැන් කොහෙද අතුරුදහන් වෙලා තියෙන්නේ. මේක හරි ප්‍රශ්නයක්. 

වීරවිල සතොස ගබඩාවේ සිදු වූ බව කියන සහල් මාෆියාව සම්බන්ධයෙන් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරැණාරත්න මහතාගෙන් ද අපි විමසීමක් කළෙමු.

“වීරවිල සතොස ගබඩාවෙන් තිස්සමහාරාම සමුපකාරයට සහල් කිලෝවක් රුපියල් 84 ගාණේ තමයි නිකුත් කරන්නේ. තිස්සමහාරාම සමුපකාරය විසින් හාල් කිලෝවක් රුපියල් 88 පාරිභෝගිකයන්ට විකුණන්න පටන් ගත්තා. රජයේම ආයතන දෙකක් අතරේ තමයි මේ ගනුදෙනුව සිද්ධ වෙන්නේ. රජයේ ආයතන දෙකක් අතරේ විතරක් මෙහෙම හාල් කිලෝ එකකින් රුපියල් හතරක ලාභයක් තියාගෙන තවත් ගාණක් මේකට එකතු කරලා පාරිභෝගිකයාට විකුණනකොට පාරිභෝගිකයාට දෙයියන්ගේ හාල් තමයි කන්න වෙන්නේ. සතොසට රුපියල් 70කට දෙන්න තියෙන හාල් ටික තවත් රජයේම ආයතනයක් වන සමුපකාරයට ඇයි මේ සතොස විසින් 84ට දෙන්නේ. මේ ගනුදෙනුව තුළදී විතරක් හාල් කිලෝවකින් සතොසට රුපියල් 14ක ලාභයක් තියෙනවා. සමුපකාර‍යත් 84ට ගන්න හාල් ටික තවත් රුපියල් 4ක ලාභයක් තියාගෙන රුපියල් 88ක මුදලකට පාරිභෝගිකයාට දෙනවා. දැන් බලන්න මේ දෙන්නම තියාගෙන තියෙන ලාභය බැලුවොත් රුපියල් කීයක් වෙලාද කියලා. පාරිභෝගිකයාට රුපියල් 75කට හාල් කිලෝ එකක් දෙන්න පුළුවන්කම තියෙද්දි තමයි අද මේ රුපියල් 98 පාරිභෝගිකයාට හාල් කවන්නේ. වීරවිල සතොස ගබඩාවේ විතරක් සහල් කිලෝ ලක්ෂ 50ක් විතර තියෙනවා. මේ සහල් ගබඩාවෙන් සතොසට දෙන්නේ රුපියල් 70 ගාණේ. ඒ කියන්නේ සතොස හරහා කිසිදු ගැටලුවකින් තොරව පාරිභෝගිකයාට රුපියල් 75කට අඩුවෙන් හාල් දෙන්න පුළුවන්. වැඩිය ඕනේ නෑ 70ට සතොසට ලැබෙන හාල් රැපියල් 72 ගාණේ පාරිභෝගිකයාට දුන්නත් සතොසට රුපියල් කෝටියක ලාභයක් එනවා මේ තියෙන වී තොග වලින් විතරක්. මෙහි වෙලා තියෙන්නේ පාරිභෝගිකයාට යන්න තියෙන සහනයක් කූඨ ව්‍යාපාරිකයන් අතරේ බෙදී යාමකුයි. මේ සඳහා කඩිනම් විසඳුමක් ආවේ නැතිනම් මහජනතාවට දෙයියන්ගේ හාල් තමයි කන්න වෙන්නේ.” යැයි ඔහු පැවසීය.

වීරවිල සහල් ගබඩාවේ සිදුවූ මේ ගැටලුව සම්බන්ධයෙන් අප වී අලෙවි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්.එම්.කේ. ජයවීර මහතාගෙන්ද විමසීමක් කළෙමු.

“වීරවිල පන්නෙගමුව තියෙන සතොස සහල් ගබඩාවේ සිදු වූ ගනුදෙනුව සම්බන්ධයෙන් අපිට කිසිදු වගකීමක් නෑ. අපි සිදු කළේ අපට අයත් වී ගබඩාව මේ එළඹෙන ජනවාරි 31 වෙනකම් සතොසට ගබඩා පහසුකම් ලබාදීම විතරයි.” 

කවුරුන් කුමන ආකාරයට කුමන වර්ගයේ විසඳුම් ඉදිරිපත් කළද සහල් මාෆියාව අද වන විට කූඨ ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට හසුව තිබේ. මේ නිසා අද වන විට අසරණ වී ඇත්තේ දුප්පත් පාරිභෝගිකයාය. මෙය පාරිභෝගිකයා දැඩි ලෙස අසරණ කර ඇති බව ඉතා හොඳින් ප්‍රත්‍යක්ෂ වේ. මෙම ගැටලුවට වහා විසඳුමක් ලබා දිය යුතු බව ජනතාවගේ මතයයි.

 සටහන - සූරියවැව නුවන් ජයසේකර
(ඡායාරූප - අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.)

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00