2017 මාර්තු 18 වන සෙනසුරාදා

ශ්‍රී ලාංකිකයෝ 08ම නිදහස්

 2017 මාර්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 160

 

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පිරිසක් විසින් ශ්‍රී ලාංකිකයන් 08 දෙනකු සහිත නැවක් පසුගිය 13 වැනිදා කොල්ල කා ඇති බව මුලින්ම රොයිටර් පුවත් සේවය මගින් හෙළිදරව් කරන ලදී.  එම පුවතින් කියවුණේ ශ්‍රී ලාංකික ධජය සහිත නැවක් 13 වැනිදා රාත්‍රියේ සිට අතුරුදන් වී ඇති බවත් එසේ අතුරුදන් වී ඇත්තේ සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් වැඩිපුර ගැවසෙන කලාපයක බවත්ය. කෙසේ වෙතත් ඊට පසුදින යුරෝපා සංගමයේ නාවික හමුදාව කියා සිටියේ එම නැව සෝමාලියානු මුහුදු සීමාවේ ඇති බවත් නැව සෝමාලියානු කොල්ලකරුරවන් කොල්ල කා ඇතැයි දකින්නට නොහැකි බවත්ය.

කෙසේ වෙතත් එලෙස නිශ්චිත තොරතුරු නොලැබුණත් ඔවුහු සිය වගකීම අත්නොහරමින් සිය පරීක්ෂණ සිදුකළේ නැවට සිදුවූයේ කුමක්ද යන්න සොයා බැලීම සඳහාය. එසේම මේ පිළිබඳව මෙරට විදේශ කටයුතු අමාත්‍යංශයද දැඩිව අවධානය යොමුකොට ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කරමින් නාවික පිරිස බේරාගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කළේය.

Aris 13 නැමැති මෙම නෞකාව පෙබරවාරි 27 වනදා මෙරටට පැමිණ කොළඹ වරායේ නැංඟුරම් ලා තිබී ඇත. එසේ තිබූ නැව නැවත පිටත් වී ඇත්තේ පෙබරවාරී 28 වැනිදා පස්වරු 5.35ටය. ඒ සෝමාලියාවේ මොගඩිෂු වරාය වෙතය. එලෙස යාත්‍රා කළ නැව ජිබෝලාවට ගොස් ඇති අතර එතැනින් මොගඩිෂු බලා යාත්‍රා කර ඇත්තේ ඉන්ධන ටොන් 1800ක්ද රැගෙනය. එම නෞකාව 13 වැනිදා රාත්‍රියේ අවසන්වරට සන්නිවේදන කටයුතු සිදුකර ඇති අතර ඉන් අනතුරුව සිදුවූ දෙයක් අනාවරණ වී තිබුණේ නැත.

එසේම මෙහිදී අනාවරණය වුණේ මෙම නැවේ සිටි පිරිස මෙරට පෞද්ගලික සමාගමක් විසින් සේවයේ යොදවා ඇති අතර එම නැවේ කළමනාකරණ කටයුතු සිදුකර ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් බවය.

සේවය කළ ශ්‍රී ලාංකිකයින් අතර රුවන් සම්පත් (ප්‍රධාන නිලධාරි) මතුගම, ජේ. කළුබෝවිල (ප්‍රධාන ඉංජිනේරු) හොරණ, එස්.ඒ. නික්ලස් (කපිතාන්) මට්ටක්කුලිය, දිලීප රණවීර (තෙවැනි නිලධාරි) ගාල්ල, ජානක සවේන්ද්‍ර (තෙවැනි ඉංජිනේරු) මාතර, සුනිල් පෙරේරා (බෝසන්) කඳාන, ඉඳුනිල් ළහිරු (නාවික) ගාල්ල, ඒ. ශන්මුගන් (අරක්කැමි) මීගමුව යන අය සිටි බව හෙළි වී තිබිණි.

සිද්ධිය දැනගත් වහාම පිරිස බේරාගැනීම සඳහා යුරෝපා නාවික හමුදාව විශාල මෙහෙයුමක් ආරම්භ කළහ.

මේ අතරතුර 14 වැනිදා උදෑසන රොයිටර් පුවත් සේවය විසින් තවත් ප්‍රවෘත්තියක් පළ කර තිබිණි. එනම් Aris 13 නෞකාව මේ වනවිට අලුලා වරායට පැමිණ ඇති බවය. ඒ බව අලුලා නගරයේ නාගරික කොමසාරිස්වරයා විසින් ද තහවුරු කර තිබිණි. කෙසේ වෙතත් මේ සමඟ නැව කොල්ලකරුවන් සිය ග්‍රහණයට ගෙන ඇති බව සියයට සියයක්ම තහවුරු විය.

එහෙත් ඒ වනතෙක් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් මෙම පැහැරගැනීම තහවුරු කර නොතිබුණු අතර ඔවුන් එලෙස කොල්ලකෑවේ කුමක් සඳහාද යන්නත් හෙළිදරව් කර තිබුණේ නැත. ජාත්‍යන්තර ආරක්ෂක අංශ විසින් වැඩිදුරටත් විමර්ශනය කර බැලීමේදී අලුලා වරාය අල්කයිඩා සංවිධානයට අයත් අල් ෂබාබ් නැමැති සංවිධානය විසින් පාලනය කරන ප්‍රදේශයක් ලෙස හඳුනා ගතහැකි විය. ඒ අනුව ආරක්ෂක අංශ සැක කළේ මෙය අල් ෂබාබ් ත්‍රස්ත සංවිධානයේ වැඩක් විය හැකි බවය.

කෙසේ වෙතත් 15 වැනිදා වනවිට නැව සම්බන්ධව කිසිඳු තොරතුරක් දැනගැනීමට හැකි වූයේ නැත. මේ අතරතුර ජාත්‍යන්තර ආරක්ෂක අංශ වෙත වාර්තා වුණේ නැවේ සිටි ශ්‍රී ලාංකික පිරිස කාමරයක දමා හිරකර ඇති බවය. එසේම එදින නැව පුන්ට්ලන්ඩ් ප්‍රදේශයේ පිහිටි හබෝ නැමැති වරායට රැගෙන ගොස් ඇති බවද හෙළිදරව් විය.

මෙකී පසුබිම මත සෝමාලියානු කොල්ලකරුවන්  සිය ග්‍රහණයට ගත් ලාංකිකයන්ගේ ජීවිත පිළිබඳ සිය අවදානම් සහගත තත්ත්වයක් උද්ගතවීම නිසා ශ්‍රී ලංකා රජයේ විදේශ කටයුතු අමාත්‍යංශය හරහා සෝමාලියානු රජය සමඟ සාකච්ඡා ආරම්භ විය. එහිදී ශ්‍රී ලංකා රජය දැඩි ලෙස අවධාරණය කරමින් කියා ඇත්තේ හැකි ඉක්මණින් ශ්‍රී ලාංකිකයින් මුදවා දෙන ලෙසය.

එහෙත් මේ අතරතුර කොල්ලකෑමට සම්බන්ධ කොල්ලකරැවන් විසින් සිය අරමුණ හෙළිකරන ලදී. එනම් නැවත්, කාර්ය මණ්ඩලයත් මුදාහැරීම සඳහා ඩොලර් මිලියන 5ක් මුදලක් තමන්ට කප්පම් වශයෙන් ලබාදෙන්න. ඒ කොල්ලකරුවන්ගේ ඉල්ලීම විය. කෙසේ වෙතත් මෙය නිශ්චිත සහ නිවැරදි තොරතුරක් ලෙස සටහන් වුණේ නැත. ඒ නිසා ශ්‍රී ලංකා රජයට එම මුදල ගෙවන ලෙසට කිසිඳු අංශයකින් දැනුම් දුන්නේද නැත. මේ නිසා ශ්‍රී ලංකා රජය සිටියේ දැඩි ගැටලු රැසක් මැදය.

මේ සියලු අලකලංචි මධ්‍යයේ නැව සෝමාලියානු මුහුදු සීමාවට ඇතුළු වී තිබුණු නිසා ජාත්‍යන්තර හමුදාවට මෙහෙයුම් සිදුකිරීමටද බාධාවක් තිබිණි. මේ අතරතුර පුන්ට්ලන්ඩ් ආරක්ෂක අංශ විසින් 15 වැනිදා දහවල් විශේෂ මෙහෙයුමක් ආරම්භ කරන ලදී. පුන්ට්ලන්ඩ් යනු වෙනම සෝමාලියාවට අනුබද්ධ වෙනම රාජ්‍යයක් ලෙස කටයුතු කරන නිසා එරට ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම මෙහෙයුම ආරම්භ කරන්නට විය.

ඒ අනුව 15 වැනිදා දහවල් වනවිට සම්පූර්ණයෙන් නෞකාව වටකොට පුන්ට්ලන්ඩ් නාවික හමුදාව ආරක්ෂිත වළල්ලක් සකසා තිබී ඇත. මේ අතරතුර එරට ආරක්ෂක අංශයත් කොල්ලකරුවනුත් අතර සාකච්ඡාවන්ද ආරම්භ කර තිබිණි.

මේ අතර 16 වැනිදා උදෑසන නැව මුදාහැරීමට කොල්ලකරුවන් අකමැති වූ නිසා පුන්ට්ලන්ඩ් ආරක්ෂක අංශ විසින් වෙඩි ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරන ලදී. දෙපාර්ශවය අතර දරුණු වෙඩි හුවමාරුවක් සිදුවූ අතර මෙහිදී සෝමාලියානු කොල්ලකරුවන් විසින් තමන් රඳවාගෙන සිටි ශ්‍රී ලාංකිකයින් වෙත දන්වා සිටියේ වහාම වෙඩි තැබීම නවතන ලෙසට මෙරට රජය හරහා එරට රජයට දන්වන ලෙසය. එසේ නොමැති වුවහොත් වෙඩි තබා ඔවුන් ඝාතනය කරන බවද ඔවුහු කියා සිටියහ. 

ඒ අනුව අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකිකයන් මෙරට සිටින සිය ඥාතීන් අමතා පවසා සිටියේ හැකි ඉක්මණින් මෙරට රජයට දන්වා වෙඩි තැබීම නවතා දෙන ලෙසය. ඒ අනුව මෙරට ඥාතීන් විසින් විදේශ කටයුතු අමාත්‍යංශය වෙත සිය පිරිසගේ පණිවිඩය ලබාදෙන ලදී.

එම පණිවිඩයත් සමඟ හැකි ඉක්මණින් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පුන්ට්ලන්ඩ් ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වෙත දුරකතනය හරහා සම්බන්ධ විය. එසේ සම්බන්ධ වී අමාත්‍යවරයා දන්වා සිටියේ ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත බේරාගැනීම සඳහා හැකි ඉක්මණින් අදාළ මෙහෙයුම නතර කරන ලෙසය. ඒ අනුව එරට රජය විසින් එම අවස්ථාවේ වෙඩි තැබීම නතර කරනු ලැබීය. 

නැවතත් පුන්ට්ලන්ඩ් රජයත්, කොල්ලකරුවනුත් අතර සාකච්ඡා ආරම්භ විය. පුන්ට්ලන්ඩ් රජය පුන පුනා දන්වා සිට ඇත්තේ නැවත්, පිරිසත් මුදා නොහැරියොත් නියත වශයෙන් පහරදෙන බවය. එසේ නොමැතිව පිරිස මුදාහැරියොත් කොල්ලකරුවන්ට ජීවිතය බේරාගෙන යාමට අවස්ථාවක් ලබාදෙන බවටද පොරොන්දු වී තිබේ. ඒ අනුව මෙරට වේලාවෙන් 17 වැනිදා අලුයම නැවත් කාර්යමණ්ඩලයත් කොල්ලකරුවන් විසින් මුදාහරිනු ලැබිණි. ඒ අනුව නැවත් කාර්යමණ්ඩලයත් මෙම ලිපිය ලියන මොහොත වනවිට බොසාසෝ වරාය දෙසට යාත්‍රා කරමින් සිටින බව අනාවරණය විය.

එසේම නැවේ සිටි පිරිස සිය ඥාතීන් අමතමින් පවසා ඇත්තේ තමන්ගේ ජීවිත නිරුපද්‍රිතව පුන්ට්ලන්ඩ් ආරක්ෂ අංශ විසින් බේරාගත් බවය. කෙසේ වෙතත් වගකීම් සහගත කාර්යභාරයක් අවසානයේ නිරැපද්‍රිත අයුරින් පිරිස බේරාගැනීම එරට ආරක්ෂ අංශ මෙන්ම මෙරට විදේශ කටයුතු අමාත්‍යංශයද සිදුකළ මෙහෙය වෙසෙසින්ම පැවසිය යුතුය. 

 ගයාන් ගාල්ලගේ