2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා

මගීන් 54ක් එක්ක ගංවතුරේ ගිය බස් එක බේරාගත් මෙහෙයුම

 2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 175

මගීන් 54 දෙනකු සමඟ බස් රථයක් ගංවතුරට යටවූ මාර්ගයක කොටුවී මරණය පෙනි පෙනී සිටියදී මහත් පරිශ්‍රමයකින් ඒ ජීවිත බේරාගත් පුවත පසුගියදා අසන්නට ලැබුණේ පොළොන්නරුවෙනි. පොළොන්නරුව - මඩකළපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය සහ ගල්ලෑල්ල අතර ප්‍රදේශය අඩි 07ක් පමණ උසට ජලයෙන් යටවී තිබියදී ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටි කුඩා දරුවන්, ගැබිණි මව්වරුන් කාන්තාවන් ඇතුළු මගීහු බේරාගැනීමේ මෙහෙයුමද දිවි පරදුවට තබා කළ සටනකි. ඊට මුල්වී ක්‍රියා කළේ පොලීසිය, පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම්, ආපදා කළමනාකරණ ඒකකය සහ ප්‍රදේශවාසී මහජනතාවයි. අලි ඇතුන් පවා ගසාගෙන යාමට තරම් ප්‍රබල සැඩ පහරින් යුත් ගංවතුරේ පිහිනා ගොස් තම දිවි දෙවැනිකොට ඒ මිනිස් ජීවිත බේරාගත් සත්පුරුෂයන් හමුවන්නට පසුගියදා අපි ගියෙමු.

මාදුරැඔය සිට කොළඹ බලා ගමන් අරඹා තිබූ මෙම පෞද්ගලික බස් රථය ඉකුත් 20 වැනි දින අලුයම 2.30ට පමණ මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශයේදී ගංවතුරට හසුවී තිබෙන බව මුලින්ම දැනගෙන ඇත්තේ පොළොන්නරුව අරලගංවිල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ සහකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන පොලිස් අධිකාරී කේ.ඩී. චන්ද්‍රපාල මහතායි. එම අවස්ථාවේ බස් රථයේ කොළඹ බලා ගමන් ගනිමින් සිටි අරලගංවිල, හංසයාපාළුව පිහිටි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවා සංස්කරණ අභ්‍යාස මධ්‍යස්ථානයේ කෘෂිකර්ම උපදේශකවරයකු වන නන්දන සිසිර කුමාර මහතා සිය ජංගම දුරකතනයෙන් පොලිස් අධිකාරිවරයාට මේ ඇබැද්දිය දැනුම් දී තිබේ. පොලිස් අධිකාරී චන්ද්‍රපාල මහතා එවිගස පොළොන්නරුව මූලස්ථාන පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක, ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එස්.එම්. ජරෑල් මහතාට සිද්ධිය දැනුම් දී ඇත.

දින කිහිපයක් තිස්සේ ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව නිසා මහවැලි ගඟ පිටාර ගලා කොයි මොහොතේ හෝ ප්‍රධාන මාර්ගය යටවීමේ අවදානමක් පවතින හෙයින් ප්‍රධාන පොලිස් පරීක්ෂක ජරූල් මහතා ඒ මොහොතේ පසුවී ඇත්තේ නිදි වර්ජිතවය. එපමණක් නොව පෙර දින රාත්‍රියේ ගංවතුරට ප්‍රධාන මාර්ගය යටවන කොටසේ දෙපැත්තේ එනම් මනම්පිටිය දුම්රියපොළ අසල සහ ගල්ලෑල්ල ප්‍රදේශයේ මාර්ග බාධක දෙකක් ද යෙදවීමට හෙතෙම ක්‍රියා කර තිබේ. එහි අරමුණ ගංවතුර මැද්දේ වාහන පැමිණ කිසියම් අනතුරකට ලක්වීම වළක්වා ගැනීමය. පොලිස් අධිකාරිවරයාගේ පණිවිඩය ලැබුණු සැණින්ම ජරූල් මහතාගේ මතකයට නැගී ඇත්තේ මාර්ග බාධකය පසුකර බස් රථයක් මෙසේ පැමිණියේ කෙසේද යන කාරණයයි. එසේ වුවද වහාම ක්‍රියාත්මක වී බස් රථය ගංවතුරට හසුවී තිබෙන ස්ථානයට සිය නිලධාරීන් සහ පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් රැගෙන ගියද බස් රථයේ සිටින පිරිස බේරාගැනීම එතරම් ලෙහෙසි පහසු කාරියක් නොවන බව අවබෝධ වී තිබේ. ඉන්පසුව ඊට අවැසි සියලු කණ්ඩායම් එක්කර මරළතෝනි දෙමින් පිරිස සහ බස් රථය ගංවතුර මැදින් ගොඩට ගෙන ආ අසීරු මෙහෙයුම පිළිබඳව මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එස්.එම්. ජරූල් මහතා අප හමුවේ විස්තර කළේ මෙසේය.

“මගීන් 54 දෙනෙක් එක්කළ මාදුරුඔය ඉඳලා කොළඹ යන බස් එක මනම්පිටිය, ගල්ලෑල්ල අතරේ ගංවතුරට කොටුවෙලා කියලා මට මුලින්ම කිව්වේ පොලිස් අධිකාරී චන්ද්‍රපාල මහත්තයා. එකපාරටම මට ඒක අදහන්න බැරි කාරණයක් වුණා. මොකද කලින් දවසේ, ඒ කියන්නේ 19 වැනිදා වර්ෂාවට මහවැලි ගඟ පිටාර ගැලීම නිසා ඒ කියන ප්‍රදේශයේ අඩි 1 ½ක් විතර වතුර මට්ටමක් තිබුණා. බොහෝ වෙලාවට පාරේ වතුර මට්ටම වැඩිවෙයි කියලා මට සැකයක් ඇතිවුණු නිසා මම පොලිස් කණ්ඩායම් දෙකක් යෙදෙව්වා. එකක් මනම්පිටිය දුම්රියපොළ ඉදිරිපිට. අනෙක් කණ්ඩායම ගල්ලෑල්ල රාමෂාන්ගේ කඩේ අසල. ඒ අයට උපදෙස් දුන්නා යම් විදියකින් පාර සම්පූර්ණයෙන් යටවුණොත් මාර්ග බාධක දාන්න, වාහන පිටත් කරන්න එපා කියලා. ඒ වගේම එදා හවස පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායමට උපදෙස් දුන්නා පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ තිබෙන යාන්ත්‍රික බෝට්ටුව රැගෙන මූලස්ථාන පොලීසියට එන්න කියලා ගංවතුර තත්ත්වයක් ඇතිවුණොත් එයට මුහුණදෙන්න සූදානම් වෙන්න. මෙහෙම ඉන්නකොට තමා 20 වැනිදා පාන්දර 2.30ට විතර පොලිස් අධිකාරී චන්ද්‍රපාල මහතා මේ සිද්ධිය දැනුම් දුන්නේ. පාලන ඒකකයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක දිසානායක මහතාටත් මේ බව දැනුම් දීලා ඔහුත් පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායමත් සමඟ මම එතැනට ගියා. කළුවරේ කිසිම දෙයක් පේන්නේ නෑ. පාරේ වතුර මට්ටම අඩි 6 ½කට වැඩියි. මොකද කරන්නේ කියලා එකපාරටම හිතාගන්න බැරි වුණා. මේ වෙලාවේ මහවැලි ගගේ වැලි ගොඩදාන තරුණයෝ 04 දෙනෙක් එතැනට ආවා. ඒ අය කිව්වා අපි පීනගෙන ගිහිල්ලා බස් එකට යන්නම්. මොකක්ද ඒකේ තත්ත්වය කියලා හොයා බලන්නම් කියලා. එහෙම කියලා ඒ හතර දෙනාගෙන් දෙන්නෙක් පීනලා ගියා බස් එක තිබුණු තැනට. බස් එක ඇතුළට ගිහිල්ලා එතැන සිටි අයකුගේ දුරකතනයකින් මට කතා කරලා කිව්වා සෙනග 50කට වැඩිය ඉන්නවා. බස් එකේ ආසන මට්ටමට දැන් වතුර ඇවිල්ලා. ඔක්කොම කට්ටිය ඉන්නේ ඒ ආසන උඩ නැගලා හිටගෙන. පොඩි ළමයි, බබාලා හම්බවෙන්න ඉන්න අම්මලා, ගෑනු, පිරිමි හැමෝම විලාප දෙනවා. අපිව බේරාගන්න කියලා කියනවා මටත් ඇහුණා ඒ අයගේ විලාපය. කෑගැසීම්. 

පසුව අපි කදුරුවෙල නගරයේ ඉදිකිරීම් සමාගමක අයිතිකරු අනුර සිල්වා මහත්තයාට කතා කරලා එයාගේ තියෙන ස්කැවේටර් එක ගෙනාවා. ඒක ටොන් 16ක් විතර බර විශාල යන්ත්‍රයක්. ඒ වෙනකොට අපේ ජීවිතාරක්ෂක කණ්ඩායම බෝට්ටුවෙන් එතැනට ගිහිල්ලා අර වැලි ගොඩදාන තරුණයන් 04 දෙනාගේත් උදව් ඇතිව කුඩා දරුවන්, ගැබිණි මව්වරුන්, කාන්තාවන් ඇතුළු 15 දෙනෙක් රේල්පාර පැත්තෙන් ගොඩබිමට ගෙනාවා. නමුත් බස් එකේ සෙනඟ අඩුවෙනකොට බස් එක වතුරේ ගසාගෙන යාමේ අවදානමක් තිබෙනවා කියලා අපේ අය කිව්වා. ඊළඟට කළේ ස්කැවේටර් එක වතුරට දාලා බස් එක තිබුණු තැනට ගෙන ගියා. බස් එක යකඩ දම්වැල් දාලා ස්කැවේටර් එකේ ගැටගහලා බැන්දා වතුරේ ගසාගෙන යාම වැළැක්වීමට. එහෙම කරලා ‍හිමිහිට ‍හිමිහිට බස් එක ගොඩබිමට ගෙනාවා. මේ කටයුත්ත එතරම් පහසු දෙයක් වුණේ නෑ. ඉතාම බරපතළයි. ස්කැවේටර් යන්ත්‍රයේ ක්‍රියාකරු, එහි සහායක, වැලි ගොඩදාන තරුණයන්, අපේ ජීවිතාරක්ෂක කණ්ඩායම, සිවිල් ආරක්ෂක භටයන්, මේ වගේ විශාල පිරිසක් ලොකු කැපවීමකින් කටයුතු කළ නිසයි මේ ජීවිත සියල්ල අපට බේරාගන්න පුළුවන් වුණේ. මේ සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණු තරුණයන්, ස්කැවේටර් යන්ත්‍රයේ ක්‍රියාකරු, සහායක, මේ අය වතුරට බැස්සේ තමන්ගේ ජීවිත ගැන අවදානමවත් නොතකා. ඒ ගැන විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන.”

ගංවතුරට හසුවූ බස් රථයේ කොටුවී සිටි මගීන් බේරාගැනීම සඳහා විශාල කැපවීමක් කළ බව කියන මහවැලි ගඟේ වැලි ගොඩදැමීම රැකියාව ලෙස කරන කදුරුවෙල ගල්ලෑල්ල ප්‍රදේශයේ පදිංචි දෙදරු පියකු වන ජවුපර්ඩීන් මොහොමඩ් මජීඩ් (32) මහතා සමඟ ද අපි කතාබහ කළෙමු. ඔහු සිය ත්‍රාසජනක, අත්දැකීම විස්තර කළේ මෙසේයි. “මේ ප්‍රධාන පාර ගංවතුරට යට වුණාම හැම කාලෙටම අපි ගොඩක් අයට උදව් කරනවා. මේ සිද්ධිය වුණු දවසේ එකට වැලි ගොඩදාන මගේ යාළුවා පියාල්දීන් මොහමදු පවාස් හිටියා.

අපිට බස් එකක් ගංවතුරට අහුවෙලා කියල ආරංචි වුණා. එතැනට ගිහින් එතැන තත්ත්වය මොකද කියලා ගිහින් කියන්නම් කියලා අපි බොහොම අමාරුවෙන් බස් එක තිබුණු තැනට පීනලා ගියා. ගිහිල්ලා බස් එක ඇතුළට ගොඩවුණා. ඒ වෙනකොට සීට්වල මට්ටමට බස් එක ඇතුළේ වතුර. පොඩි ළමයි, ගෑනු කට්ටිය ඔක්කොම අඬනවා. කෑගහනවා බේරාගන්න කියලා. අපි බස් එකේ කෙනෙක්ගේ ෆෝන් එකකින් පොලීසියේ ලොකු මහත්තයාට විස්තරේ කිව්වා. ටික වේලාවකින් එන්ජින් බෝට්ටුව ආවා ජීවිතාරක්ෂක එකේ. ඒකට දාලා දෙපාරකට පොඩි ළමයි, ගෑනු කට්ටිය රේල්පාර පැත්තෙන් ගොඩබිමට අරන් ගියා. දෙවැනි පාර ගිහිල්ලා එනකොට බෝටට්ටුව කුඹුක් ගහක හැපිලා පැත්තක් පිපිරුවා. ඊටපස්සේ ස්කැවේටර් එක එතැනට ආවා. අපි දම්වැල් දාල බස් එක ස්කැවේටර් එකේ බැන්දා. එහෙම නොකළා නම් බස් එක ගංවතුරේ සැරට ගහගෙන යනවා. ඊටපස්සේ හෙමින් හෙමින් බස් එක ඇදගෙන ගියා. අපිට හරිම සතුටුයි ලොකු විනාශයක් වෙන්න ගිය එක බේරගන්න ලැබීම.”

විශාල සැඩ පහර මැද ස්කැවේටරය පදවාගෙන ගොස් බස් රථය ගොඩට ගෙන ආ එහි ක්‍රියාකරැ වන පොළොන්නරුව, තඩාල වීරපුර ප්‍රදේශයේ පදිංචි එච්.එම්. ප්‍රසංග අතපත්තු (50) මහතා ද මුණගැසීමට අපට හැකි විය.

“එහෙම අත්දැකීමක් මම ලබලා නෑ. හරිම සතුටුයි අපිට ඒ ජීවිත සියල්ලම බේරාගන්න ලැබීම ගැන. මේක මගේ තනි උත්සාහයක් නොවෙයි. මේ යන්ත්‍රයේ සහායක ප්‍රදීප් කුමාර විශාල සහායක් දුන්නා. නවරත්න මෝටර්ස් එකේ ජනක චමින්ද නවරත්න මල්ලි, අර වැලි ගොඩදාන මල්ලිලා, ජීවිතාරක්ෂක එකේ මහත්තුරු මේ හැමෝම අපි එකට එකතුවෙලා තමයි මේ වැඩේ කළේ.”

මහා ගංවතුරක් බැසගිය පසුව අපිට අසන්නට ලැබෙනුයේ බොහෝවිට එතරම් මිහිරි පුවත් ආරංචි නොවේ. ආපදාවට ලක්වී වැනසුණු මිනිස් ජීවිත, දේපල ආදියයි. පසුගියදා පොළොන්නරැවට බලපෑ මහවැසි, ගංවතුර නිසා විශාල පිරිසක් පීඩාවට පත්වූ නමුදු මිනිස් ජීවිත විනාශයක් සිදු නොවුණි. මගීන් 54 දෙනකු සමඟ ගංවතුරට හසුවූ බස් රථය, මේ සටහනෙන් නම් ලියැවුණු සහ නොලියැවුණු බොහෝ දෙනකුගේ වෑයම, උත්සාහය නොතිබෙන්නට සැඩ පහරේ ගසාගෙන ගියේ නම් ප්‍රතිඵලය වඩාත් දුක්මුසු වනු ඒකාන්තය. රටක් සසල කරවන කඳුළු කතාවක් බවට පත්වන්නට ඉඩ නොදී තම දිවි පරදුවට තබා අන් අයගේ ජීවිත බේරාගන්නට කැපවූ පුලතිසිපුර සියල්ලෝම ගෞරවයට, බුහුමනට, උපහාරයට, අගැයීමට ලක්විය යුතු වීරවරයන් පිරිසකි.

 කරුණාරත්න ගමගේ

 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30