2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා

2020 දී ලග්න පහකට ශුභ හතරකට සමපල

 2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 1419

නව වසරේදී ලෝකයට

ගිනි කඳු පිපිරීමකින් ජීවිත හානි

ලොවපුරා ආර්ථික - කාලගුණික - දේශපාලනික ව්‍යසනයන් ව්‍යාප්ත වීමට පවතින ග්‍රහ තත්ත්වය බලපානු ඇත. ඒ අතරට ආසියාතික රටවල්ද මධ්‍යම අප්‍රිකාවද අමෙරිකාව ආදී රටවල් දැඩි ලෙස මැදිවනු ඇත. වර්ෂය මැදදී හද කම්පා කරවන අන්දමේ දුම්රිය, නෞකා හෝ ගුවන් අනතුරක් වාර්තා වන නිසා වගකිවයුතු බලධාරීන් ඒවා වළක්වා ගැනීමට දැන් සිටම යුහුසුළු විය යුතුයි.

ප්‍රබල ලෙසම ගිනිකන්දක් සක්‍රිය වන නිසා අවදානම් සහිත කලාපවලින් අප්‍රේල් අවසාන වීමට පෙර සිටම සහන කණ්ඩායම් සූදානම් කරන්නේ නම් ඒ රටවල ජනතාවට අස්වැසිල්ලක් විය හැක. එසේ නොවුවහොත් විශාල ජීවිත හානියක් සඳු වීමට ඉඩ තිබේ.

ඕස්ට්‍රේලියාව - එංගලන්තය වැනි රටවලට ආක්‍රමණකාරී ත්‍රස්ත ප්‍රහාර එල්ලවීමේ අවදානමක් පවතින බව කිවයුතුය. චරපුරැෂ සේවා සීරැවෙන් තැබුවහොත් සිදුවිය හැකි මහා විනාශයන් වළක්වා ගත හැක.

ග්‍රහ සිත්තම ශ්‍රී ලංකාවට

කොතරම් උත්සාහ කළත් මත් වසංගතය පැතිරේ

ශ්‍රී ලංකාව පුරා ලැව්ගිනි වැනි ගිනි විපත් කැලෑබද ප්‍රදේශවලින් වාර්තාවීමට ඉඩ ඇත. මහාමාර්ග හා දුම්රිය මාර්ග සම්බන්ධ කරගෙන මාරක රිය අනතුරු වාර්තා විය හැක. අවි ආයුධ මගින් සිදුවන හානිදායක තත්ත්වයන් වර්ධනය වීමට ඉඩ වැඩිය.
ඒවාට සම්බන්ධ වන්නා වූ වගකිවයුතු අංශ දැන් සිටම උකුසු ඇස් යොමුකර සිටීමෙන් බොහෝ විපත්ති වළකා ගැනීමට කටයුතු කළ හැකිය.

මර්දනයට කොතරම් උත්සාහ කළද වස විෂ ද්‍රව්‍ය, මත්පැන්, මත්ද්‍රව්‍ය, නීති විරෝධී ලෙස භාවිත වන ස්ථානවලින් ව්‍යසනයන් මතුවිය හැක. ගැටවරයන් ගැටවරියන් එකී විනාශයෙන් ගලවා ගැනීමට ක්‍රමවේද සැකසීම සුදුසුයි.

මැයි මාසයෙන් පසුව ප්‍රබල ඉඩෝර තත්ත්වයක් හෝ ගංවතුර තත්ත්වයක් නිසා ජනතාව ආහාර අහේනියකට මුහුණ දිය හැක. මල්පෝච්චියක වුවද ආර්ථික භෝග වගාවකට ජනතාව පොළඹවන්නේ නම් එය ජාතික මෙහෙවරක් වන්නේය.

 

මේෂ

ඔබේ ලග්නාධිපති කුජ ග්‍රහයා වර්ෂය ආරම්භයේදී අට වැන්නේ ගමන් කරයි. වර්ෂය අවසානයේදී ලග්නයට පැමිණේ. මාර්තු සිට මැයි දක්වා කාලය තුළදී දහවැන්නේ ගමන් කරයි. නොවැම්බර් 21 වෙනිදා ගුරු ග්‍රහයාද දහවැන්නට පැමිණේ.

රුකී රක්ෂා ව්‍යාපාර :-  අලුතින් ආදායම් මාර්ග තරකර ගත හැක. රැකියා විරහිත නම් රැකියා ලාභ ගෙනදෙන නිසා උත්සාහ කරන්න.

ගෘහ ජීවිතය :- පිය පාර්ශ්වය සමඟ දේපල ආරවුල් පැනනැගිය හැක. පරම්පරා ගත දේපල පිළිබඳ ඕනෑවට වඩා ආශාව ඇති කර නොගන්න. නීති කරදර මතුවේ. හොඳ නමටත් කැළලක් ගෙනදේවී.

ශරීර සෞඛ්‍ය :- පිත කිපීම් ඇති වී ශරීරයේ උෂ්ණ රෝග මතු කළහැක. ලේ දූෂණය වන ආහාර පාන නොගන්න. අධික වේගයෙන් ගමන් කරන වාහන ගමන් ප්‍රතික්ෂේප කරන්න.

වෘෂභ

ඔබේ ලග්නාධිපතියා රාශි චක්‍රයේ මකරය වූ නම වැන්නේ සිට අරඹා වර්ෂය අවසානයේදී අට වැන්නෙන් ගමන කෙළවර කරයි. එවිට ගුරැ ග්‍රහයා අට වැන්නද සෙනසුරු ග්‍රහයා දහ වැන්නද තරණය කරයි.

රැකී රක්ෂා ව්‍යාපාර :- කරගෙන පැමිණි කටයුතුවලට අමතරව අලුතින් දේවල් ඉගෙන ගනිමින් නව රැකියා ව්‍යාපාර ආදිය පවත්වා ගත හැක. කුමක් සිදු කළත් මල් පෝච්චියක හෝ ආර්ථික භෝගයක් වගා කළොත් සාර්ථක වේ.

ගෘහ ජීවිතය :- කලත්‍රයාගේ වැරදි අඩුපාඩු ගැන මැසිවිලි නගන්නට පෙර ඔබගේ ඇවතුම් පැවතුම් චර්යා රටාව ආගමික පසුබිමක් යටතට ගන්න. දෛනික ආර්ථික ගැටලු බහුල වූවත් සකසුරැවම්කමට ඇබ්බැහි වන නිසා දියුණුවක් ප්‍රශංසාවත් ලැබේ.

ශරීර සෞඛ්‍ය :- සෙම්රෝග පීඩාවලින් වළකින්නට කටයුතු කරන්න. හිස කැක්කුම් මතුවුවහොත් හුමාලය ඇල්ලීමෙන් සියුම් සෙම්පටල මොළයේ බැඳීම වළකා ගත හැක. ඔබේ ලග්නාධිපති සිකුරා ජනවාරි 28 වැනිදා නැප්චූන්ට ද මාර්තු 09 වැනිදා යුරේනස්ට ද යුද්ධයෙන් පරදී. ඒ දිනවලදී පරිස්සම්වන්න.

මිථුන

සැප්. 23 දක්වාම ඔබේ හිසේ හෙවත් ලග්න ස්ථානයේ රාහු ග්‍රහයා ගෝචරය වන්නේය. ජනවාරි 11 වෙනිදා චන්ද්‍ර ග්‍රහණය ද ජුනි 21 වෙනිදා සූර්යා ග්‍රහණයද සිදු වන්නේ මිථුන රාශියේය. වර්ෂය තුළදී මුහුණ දෙන යුද්ධ හතරේදීම ලග්නාධිපති බුධ ග්‍රහයා පරාජය වෙයි.

රැකී රක්ෂා ව්‍යාපාර :- දැඩි උත්සාහයක් කම්මැලිකමින් තොරව රුකියා ජය ලැබිය යුතුය. හිතෙන හිතෙන දේ සිදු කරන්නට ගියොත් අවසානයේ වියදම විතරයි. කාලය යෙදවිය යුත්තේ ආර්ථික ලාභයක් ලැබෙන දේටය. සූදුවකට හෝ මත්පැනකට ඇබ්බැහි කරන මිත්‍ර සේවනයකින් පරිස්සම් වන්න. 

ගෘහ ජීවිතය :- නිතරම තම පවුලේ සාමාජිකයින් විශ්වාස කළ යුතු වසරකි. නිවසේ සාමය කඩවිය හැක්කේ ඔබේ අතපසුවීම් නිසාමය. ඇවතුම් පැවතුම් පෞද්ගලිකව යහපත් කරගත හොත් ගෘහ ජීවිතය අති සාර්ථක කරගත හැක.

ශරීර සෞඛ්‍ය - ආමාශය - යටි බඩ ප්‍රදේශවල පීඩා ගෙන දිය හැක. බැදුම් පිළිස්සුම් - තෙල්කෑම පමණට වඩා අහිතකරය. ගමන් බිමන්වලදී පරිස්සම් වුවහොත් යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගත හැක. හිසේ පීඩා මතුකළ හැක. බෙහෙත් තෙලක් දැමීම හොඳයි.

කටක

ශනි ග්‍රහයා හත් වැන්නේද ගුරු ග්‍රහයා හය වැන්නේද වර්ෂය තුළදී ගෝචරය වෙයි. ජුලි 05 වෙනිදා චන්ද්‍ර ග්‍රහණයේදී ඔබේ ලග්නාධිපති චන්ද්‍රයා ගෝචරය වන්නේ රෝග සහ සතුරු ස්ථානයේය. දැන් සිටම ආගමානුකූල ජීවිතයකට හුරැවන්න. හොඳම දේ පන්සිල් සුරුකීමය.

රැකී රක්ෂා ව්‍යාපාර :- ඔබේ දියුණුව කාටවත් ලබාදිය නොහැකි වර්ෂයකි. අසවලා නිසා මට මේ මේ දේවල් කර ගන්න බැරි වුණා කියා මැසිවිලි අනවශ්‍යයි. අදම ඉලක්ක සකසා ගන්න. දිරිමත්ව හඹා යන්න. දේපල යානවාහන ලාභ ඇතිකර ගත හැක.

ගෘහ ජීවිතය :- පවුලේ අයගේ ආදරය කරුණාව දියුණුවට අතහිත දේ. පරම්පරාගත දේපලක් මෙන්ම දෑවැද්දක් සහිත ආවාහ - විවාහ කටයුත්තක් පවා සිදුකර ගත හැක. හැබැයි ඔබ සාමයේ හස්තය දිගු කිරීම අත්‍යවශ්‍යය.

ශරීර සෞඛ්‍ය :-  සම ආරක්ෂා කර ගැනීමට පියවර ගන්න, ජලය භාවිතයේද, මඩ සහිත බිම් පරිහරණයේදී ද දියර ඖෂධ භාවිතයේදී ද දැඩි ලෙස කල්පනාකාරී විය යුතුය. ගවමස් - ඌරු මස් - මඩු මාළු ආදිය ආහාරයට නුසුදුසුය. මත්පැන් නිසා හඳුනා ගැනීමට අපහසු රෝගයක් මතු වීමට ඉඩ ඇත.

සිංහ

අයස්ථානයේදී ජුනි 21 වෙනිදා ද චිත්ත ස්ථානයේදී දෙසැම්බර් 14 වෙනිදා ද ඔබේ ලග්නාධිපතියා ග්‍රහණයට හසුවන්නේය. ඔක්තෝබර් 18 සිට නොවැම්බර් 17 දක්වා ලග්නාධිපති නීච රාශියේ ගමන් කරන්නේය. පෙබරවාරි 13 දක්වාම ලග්නාධිපති රවිට සෙනසුරා සමඟ සංයෝග වන්නට ද සිදු වෙයි.

රැකී රක්ෂා ව්‍යාපාර :- සුපුරුදු රැකියා ව්‍යාපාර කටයුතුවලට ප්‍රබල බාධා ගෙනදිය හැක. ස්ථාන මාරුවලට ඉඩකඩ වැඩිය. එවැනි අවස්ථාවලදී සිදුවන වෙනස තමාට වාසිදායක කර ගැනීමේ මානසිකත්වය විනා නැතිවූ දෙය පිළිබඳව තැවීම අනවශ්‍යය. 

ගෘහ ජීවිතය :- කවුරු වෙනස් වුවත් පවුලේ අය ඔබව සුරකින වසරකි. පවුලේ කෙනකුගේ විශේෂ දියුණුවක් හා බලාපොරොත්තුවක් ඉටුවීමක් සිදුවීම නිසා තමාට ද අස්වැසිල්ලක් සැලසේ.

ශරීර සෞඛ්‍ය :- රුධිර ධාතුව පිරිසිදුව තබා ගැනීමට සුදුසු ආහාර පාන ලබාගන්න. මෛත්‍රී භාවනාව වැනි දේකටද යොමුවීම ඉතා සුදුසුය. එළකිරි - කොළ කැඳ - අලබතල භාවිතය තුළින් ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන් නිරෝගී කරගත හොත් රෝගාබාධ වළකා ගතහැක. මත්පැනක් හෝ දුම් පානයක් නිසා පාරම්පරික නිදන් ගත රෝගයක් වැළදී උත්සන්න විය හැක.

කන්‍යා

මාර්තු 15 සිට අප්‍රේල් 24 වෙනිදා දක්වා කාලයේදී හිතුවක්කාර තීරණ ගතහොත් පසුතැවිලි වීමට සිදුවේවී. පරම්පරා ගත දේපලක් ලැබීමට නියම වර්ෂයක් නිසා ඉවසිලිවන්තව කටයුතු කළ යුතුයි.

රැකී රක්ෂා ව්‍යාපාර :- අලුත් රැකියා ලාභ තනතුරැ ලාභ පවතී. නව නිෂ්පාදනයක් වෙළෙඳ පොළට හඳුන්වා දුනහොත් දියුණුවක් ලැබීමට පුළුවන. කය නොව මොළය මෙහෙයවා සිදුකරන ව්‍යාපාරික හෝ රැකියා කටයුතුවලින් වැඩි ලාභ ලබාගත හැක.

ගෘහ ජීවිතය :- පවුලේ අය සමඟ දුරබැහැර වන්දනා හෝ විනෝද ගමනක් යාමට ලැබේ. පවුලේ සමගිය බලය වර්ධනය කර ගතහැක. නිවසේ අලුත්වැඩියාවක් සිදුකර නව සිරියක් ගෙනදීමට ඇතිවන අදහස ක්‍රියාත්මක කරන්න.

ශරීර සෞඛ්‍ය :- වාතය සහ සෙම යන ධාතු කිපීමෙන් හටගන්නා රෝගාබාධවලට ඉඩ ඇත. ගෙලෙන් ඉහළ ඉන්ද්‍රීයන්ගේ ආරක්ෂාව ගැන දැඩි අවධානය යොදන්න. මුහුද - ගංගා - දිය ඇළි - නාන තටාක පරිහරණයේදී තම යහපත් සෞඛ්‍ය තත්ත්වය රැකෙන පරිදි ක්‍රියා කළ යුතුයි.

තුලා 

වායෝ - රජස් රාශියක් වන ඔබේ ලග්නයේ ලග්නාධිපතියා පඨවි - රජස් - තිර - ස්ත්‍රී රාශියක් වන වෘෂභ රාශියේ මාර්තු 29 වෙනිදා සිට ජුලි 31 වෙනිදා දක්වා සැරිසරන්නේය. එම ස්ථානය ඔබේ ලග්න කුණ්ඩලියේ අට වැන්න වන්නේය. තවද යෝග කාරක සෙනසුරා සිව් වැන්නේ ගමන් කරන්නේය.

රැකී රක්ෂා ව්‍යාපාර :- රැකී රක්ෂා ව්‍යාපාර ආදිය වෙනුවෙන් ගේදොර ඉඩකඩම් යානවාහන ලබාගැනීමේ භාග්‍ය උදාකරගත හැක. තරමක වංචාකාරී - ප්‍රයෝගකාරී කටයුත්තක නියැලෙන නිසා නීති කරදර ද මතුවිය හැක. පැරණි දේවල් මෙන්ම පාරම්පරික දේ ලබාගැනීමට උනන්දුවන්න.

ගෘහ ජීවිතය :- බොහෝ දුරට ගෙදරට වී කාලය ගත කළ යුතුය යන සිතක් පහළ විය හැක. ගේදොර අලංකාර කර ගැනීමට ආශාවක් ඇතිවේ. ඇසුරැ කරන අයද තමාගේ වර්ණනාව සිදුකරයි. නොකළ වරදකට චෝදනාවක් එල්ල වීම නිසා සාමයට බාධා විය හැක. මිතුරන් විශ්වාස නොකරන්න.

ශරීර සෞඛ්‍ය :- ගමන් බිමන්වලදී පරිස්සම් වන්න. වැටීම් තැලීම් සීරීම් නිසා ආගන්තුකව ශරීරික පීඩා ගෙනදිය හැකිය. අනුන්ගේ වගකීම් දුක් අඳෝනා තමන්ගේ කරපිටට නොගන්න. පපුව මහන්සි කිරීමෙන් වැළකෙන්න.

වෘශ්චික

ගුරු ග්‍රහයා ධන ස්ථානයේද සෙනසුරැ ග්‍රහයා ජනවාරි 24 සිට වික්‍රමස්ථානයේ ද ගමන් කරන මේ වර්ෂයේදී ඔබේ ලග්නාධිපති කුජ ග්‍රහයා අප්‍රේල් 01 වෙනිදා සෙනසුරා පරදා ජය ලබන යුද්ධයක් වික්‍රමස්ථානයේදී පැවැත්වේ. 

රැකී රක්ෂා ව්‍යාපාර :- ඔබ ව්‍යාපාර කටයුතු සිදුකරන ස්ථාන අසළ ඊට සමගාමී ව්‍යාපාර බිහිවීම නිසා ඔබට අභියෝග එල්ලවිය හැක. පසුබට නොවී ඔබේ කටයුතු ඉහළ ප්‍රමිතියකින් යුතුව සිදුකර ගන්න. රැකියාවට අභියෝග හා ස්ථාන මාරුවීම් ලැබීමට නියමිතය. 

ගෘහ ජීවිතය :- සුදුසු කලවයස සපිරි අවිවාහක කෙනෙකු නම් යහපත් මංගල යෝග උදා කෙරේ. බොහෝ දුරට වර්ෂය මැදවන විට මංගල උත්සවය සංවිධානය කර ගැනීමට ද හැකිවේවී. පවුලේ සියල්ලන්ගේ ආශිර්වාදය ලැබූ සතුට පිරි ජීවිතයක් ගත කිරීමේ භාග්‍යය උදාකෙරේ.

ශරීර සෞඛ්‍ය :- ත්‍රිධාතු බලගැන්වෙන ස්වාභාවික ප්‍රතිශක්තිකරණයක් ග්‍රහ කිරණ මගින් ශරීරගතවී නිරෝගී සුවය ළඟාවේ. නමුත් සතුන් පහරදීම් හදිසි අනතුරැ ආදිය පිළිබඳව සැළකිලිමත් වී අතුරැ ආබාධ දුරැකර ගත යුතුයි.

ධනු

ඔබේ ලග්නාධිපති ගුරු ග්‍රහයා ජනවාරි 02දා බුධ සමඟ කෙරෙන යුද්ධයෙන්ද මාර්තු 20 වැනිදා කුජ සමඟ කෙරෙන යුද්ධයෙන්ද ජය ලබන අතර දෙසැම්බර් 21 වෙනිදා කෙරෙන යුද්ධයෙන් පරාජය වන්නේය. නොවැම්බර් 21 වෙනිදා දක්වාම ලග්න ස්ථානයෙහි ස්වකේෂේත්‍ර බලයෙන් යුක්ත වෙනවා ඇත. වර්ෂය පුරාවට සෙනසුරාගේ ලග්න ඒරාෂ්ඨකයද ක්‍රියාත්මක වෙයි.

රැකී රක්ෂා ව්‍යාපාර :- සියලු කටයුතුවලදී අප්‍රතිහක ධෛර්යයක් ලැබෙන වර්ෂයකි. සිතට ද සතුටක් සහිතව ජීවනෝපාය මාර්ග සලසාගත හැක. ඇක්ටෝනියා - මහෝගනී වැනි අරටු පැළ කීපයක් හෝ රෝපණය කරගත හැකි නම් අමතර ආදායමක් ලබාගත හැක. බොන්සායි වගා ව්‍යාපාරය අමතර ආදායමක් ගෙනදීමට බලපායි.

ගෘහ ජීවිතය :- දාම් කැරම් වැනි ගෘහස්ථ ක්‍රීඩාවල යෙදීමකට ආරාධනා ලැබේ. සුහදහමු සඳහා පවුලේ සියලු දෙනා යෙදුණොත් සතුටුදායක ගෘහ ජීවිතක් ගතකළ හැක. අලුතින් දේපලක් නිවසට ලබාගත හැක. 

ශරීර සෞඛ්‍ය :- අසනීප තත්ත්වයන් පැවතියේ නම් සුවපත් වනු ඇත. වෛද්‍යවරයා හෝ ඖෂධය වෙනස් කරන්නට සිදුවේ. අනාරක්ෂිත උස ස්ථානවලට නැගීමෙන් වළකින්න.

මකර 

ලග්නාධිපතියා කේන්ද්‍රස්ථානයක් වූ ලග්නයේ තැන්පත්ව සිටී. ජනවාරි 12 සහ දෙසැම්බර් යුද්ධවලින් සෙනසුරා ජය ගනී. අප්‍රේල් 01දා යුද්ධයෙන් සෙනසුරා පරාජය වෙයි. නමුත් ජය ලබන කුජ ලග්නයේ නිසා තමාගේ එඩිතර භාවය වර්ධනය වෙයි. පසුගිය වසරේදී ලබාගත් දියුණුව සහ ධනවත් භාවය වර්ධනය කරගත හැකිය.

රැකී රක්ෂා ව්‍යාපාර :- විශේෂයෙන් කෘෂි ද්‍රව්‍ය ව්‍යාපාරවල යෙදී සිටින කෙනෙකු නම් ලාභ ප්‍රයෝජන වැඩි වෙයි. රුකියා කටයුතුවල ආත්ම තෘප්තියෙන් යෙදිය හැකි වසරකි. කරන කියන රුකියා ව්‍යාපාර ආදියට අනුබද්ධ වන අතුරැ ක්ෂේත්‍ර මගින්ද ආදායම් ලබා ගතහැක.

ගෘහ ජීවිතය :- විවාහක කෙනෙකු නම් ස්වාමි භාර්යා සහ සම්බන්ධය සමගිය බලවර්ධනය වන වසරකි. අවිවාහකයන්ට මංගල යෝජනා ස්ථාවර වීම සිදුවේ. දෛනික වියදම් පිරිමැහෙන නිසාද ගෘහ ජීවිතය සතුටුදායක වෙයි. සමාජයේ වැදගත් පුද්ගලයින්ගේ මෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ පැමිණීමත් සිදුවීම නිසා ගෘහයේ කීර්තිය පැතිරෙන කාලයකි.

කුම්භ

ලග්නාධිපති සෙනසුරා ස්වක්ෂේත්‍ර වී 12 වැන්නේද ගුරු ග්‍රහයා, ස්වක්ෂේත්‍ර වී එකොළොස්වැන්නේ ද වර්ෂය පුරාම සැරිසරයි. මේ නිසා මූල - පුවසල - උත්‍රසල - සුවන - දෙනට යන නැකැත් මේ වසරේදී ඔබට සංවේදී වෙයි. ගාම්භීරත්වය වර්ධනය වන වසරකි.

රැකී රක්ෂා ව්‍යාපාර :- නීති කරදර නඩුහබ ආදියට ඉඩකඩ පවතී. ඔබගේ ජීවනෝපාය මාර්ගයට පෙත්සම් වදී. ඒ නිසා සෑම කටයුත්තක්ම විනිවිද භාවයෙන් යුතුව සිදු කිරීමට වග බලා ගන්න.

ගෘහ ජීවිතය :- පවුලේ සාමාජිකයින් මෙන්ම අසල්වැසියන් සමඟ ද කටයුතු කිරීමේදී තමා ඉතා නම්‍යශීලී විය යුතුයි. දෛනික ආහාරපාන අහේනිය. ගෙනදිය හැකි බැවින් වියළි ආහාර සංචිතයක් ගෙදර තබාගත යුතුමය.

ශරීර සෞඛ්‍ය :- අධිපෝෂණ තත්ත්වයන් නිසා මතුවිය හැකි රෝගාබාධවලට ඉඩකඩ පවතී. ඇස්වහ කටවහ දෝෂවලට ලක්විය හැක. කල්පනාකාරීව සුදුසු පියවර ගත යුතුයි.

මීන

ලග්නාධිපති ගුරැ ග්‍රහයා කර්මස්ථානයේද ශනි ග්‍රහයා අස්ථානයේද හැසිරෙන වසරකි. රාහු කේතු අක්ෂය සිව් වැන්න පාදක කරගෙන පවතී. බලාපොරොත්තු සඵල වන පැතුම් ප්‍රාර්ථනා මල්ඵල ගැන්වෙන වර්ෂයකි. අඹ - රඹුටන් ආදී පළතුරු පැළ රෝපණය කරමින් කොහොඹ - නික වැනි ඖෂධ වගාවල නියැලෙමින් විශ්ව ශක්තිය උකහා ගතයුතු වර්ෂයකි.

රැකී රක්ෂා ව්‍යාපාර :- ඔබ කුමන රැකියා ව්‍යාපාර කටයුතුවල යෙදී සිටියත් තමා ලබාගෙන සිටින විශේෂ ප්‍රාගුන්‍යතා තුළින් අන් අයට දන්නා දේ ඉගැන්වීමට යාම නිසා තමාට නොසිතූ නොපැතූ ආකාරයේ ව්‍යාපාර දියුණුවක් සැළසේ. ඔබ උපදේශක සේවා ආයතනයක් අරඹන්නේ නම් මැනවි.

ගෘහ ජීවිතය :- ඔබ ජීවිතය ජයගන්නේ නිවසින්මය. මේ වර්ෂයේ එය විශේෂය. ස්ථානය දියුණු කරගත හැක. උනන්දුව හා බලවර්ධනය කර ගන්න.

ශරීර සෞඛ්‍ය :- යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ඇති වන වසරකි. මානසික තෘප්තියක් ද ලැබේ. පහසු යෝග ව්‍යායාමයක්ද - මෛත්‍රී භාවනාව ද පුරුදු කිරීම මත ස්වභාවික ප්‍රතිශක්තිකරණය බලය වර්ධනය වේවී.

විශ්වකීර්ති ජ්‍යොතිර් විද්‍යා පණ්ඬිත ශිරෝමනි
දේශබන්දු - ලංකාපුත්‍ර
ගාල්ලේ අක්මීමන
සුරා ශ්‍රී ගුණවර්ධන