2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා

රට සල්ලි ඉතිරි කළ කුළුබඩු තහනම

 2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 427

වසර කිහිපයක් තිස්සේ මෙරට සුළු අපනයන බෝග වගාකරුවෝ තමන් අත්විඳින ප‍්‍රශ්න ගැන මැසිවිලි නගමින් සිටියහ. වෙනත් ක්ෂේත‍්‍රවලට නිෂ්පාදනය හෝ අලෙවිය ගැන ගැටලු තිබුණි. නමුත් සුළු අපනයන බෝග වගාකරැවන් කියා සිටියේ මෙරටට ආනයනය කරන කුළුබඩු ශ‍්‍රී ලංකාවේ වගා කරන දේ බව පෙන්වමින් කරන ප‍්‍රති අපනයන බලවත් ප‍්‍රශ්නයක් බවය. ජනාධිපතිවරණය පවත්වන කාල වකවානුවේ ගැටලුව දේශපාලන වේදිකාවේ දිගහැරිණි. නොයෙක් අදහස් පළ වූ අතර අලුත් ආණ්ඩුව මෙරටට ගෙන්වන කුළුබඩු වර්ග ගණනාවක් ආනයනය තහනම් කරනු ලැබීය. දෙසැම්බර් 05 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය අනුව කළු ගම්ම්රිස්, වියළි පුවක්, කුරුඳු, එනසාල්, ඉඟුරු, කරාබුනැටි, සියඹලා සහ සාදික්කා ඇතුළු දේ ආනයනය නතර කෙරිණි. 

ආනයනික සියඹලා සුපිරි වෙළෙඳසල්වල

සියඹලා මෙරට අනායාසයෙන් වැවෙන වෘක්ෂයකි. වියළි කලාපයේ බහුලව වැවේ. තෙත් කලාපයේ පවා දැකගත හැකිය. සියඹලා ගස්වල වසරකට දෙවතාවක් හටගන්නා කරල් ගස් යට වැටී විනාශ වෙයි. කලකට පෙර බාල දරුවෝ සියඹලා පළතුරක් සේ අනුභව කළහ. දැන් කාලයේ ළමෝ සියඹලා ගැන දන්නේ නැත. සුපිරි වෙළෙඳසල්වල තායිලන්තයෙන් ගෙන්වන ලද සියඹලා පල්ප විකිණීමට තිබේ. මේවා කරල් හැඩයෙන් ලේබල් සකසා දර්ශනීයව විකිණේ. මෙවැනි රසවත් දේ ලංකාවේ ද හැදෙන අතර එහෙත් පරිභෝජනයට නොගෙන ඉවත හලන බව සුපිරි වෙළෙඳසල්වලින් භාණ්ඩ තෝරාගන්නා ගෘහණියෝ පවා නොදනිති. ශ‍්‍රී ලංකාව විනිමය ප‍්‍රශ්නවලින් පීඩාවට පත්ව සිටින අතර අනවශ්‍ය ආනයන නතර කළ යුතුව තිබුණි. රටට අවශ්‍ය සියඹලා සුළු ව්‍යවසායකයන්ට අලුත් අවස්ථාවක් කරගත හැකිය. මේ කුළුබඩු ආනයනය තහනම් කිරීමේ සිද්ධිය ගැන සඳහන් කළ හැකි එක් උදාහරණයකි. 

ශ‍්‍රී ලංකාවේ පුවක් ගස් යට වැටී නැවත පැළවෙයි. පුවක් පැළයක් වැට මායිමේ හෝ සිටුවන්නට උනන්දුවක් නැත. සමහර පළාත්වල රිලවුන් ගස් විනාශ කරන හෙයින් පුවක් ගස් වවන්නට කැමැති නැත. සෑහෙන කාලයක් සෑම උත්සවයකදීම පුවක් ගස් කපා තොරණ් නිර්මාණය කෙරිණි. ඉඩම් කැබැලි කර විකුණන පසුබිමක පුවක් ගසක් වවන්නට ඉඩක් නැත. රට තුළ බුලත් විට හපන කොටසක් සිටිති. ශ‍්‍රී ලංකාවෙන් එකතු කරන වියළි පුවක් අපනයනය කෙරේ. මහනුවර, මාතලේ, කෑගල්ල සහ මාවනැල්ල ඇතුළු ප‍්‍රදේශවල පුවක් එකතු කරන අතර ඒවා අපනයනය කරන්නේ පාකිස්තානයටය. අපනයනයට අවශ්‍ය තරම් පුවක් තොග රහිත පසුබිමක කොතැනකින් හෝ පුවක් ගෙන්වා ප‍්‍රති අපනයනයට සූදානම් කරන පසුබිමක් සකස් වී තිබුණි. රටට ගෙන්වන සියලුම දේ වලට බදු අය කරයි. ආනයන බදු රටට විශාල ආදායමක් ගෙන දෙන හෙයින් බලධාරීහු පුවක් ආනයනයට බාධා නොකරති. ගෙන්වන පුවක් ප‍්‍රති අපනයනය කරන අතර ඒවායේ ලියැකියවිලිවල දක්වන්නේ ව්‍යාජ තොරතුරු බව ප‍්‍රකටය. දේශපාලන මැදිහත්වීම් හා නිලධාරීන්ගේ කොමිස් මෙරට ගොවියකු පුරුද්දකට මෙන් පුවක් පැළයක් සිටුවන තීරණයට පවා අවහිර කරන ලද බව සඳහන් කළ යුතුය.

අතින් පාඩු විඳින සුදු ගම්මිරිස් වෙළෙඳාම

ශ‍්‍රී ලංකාව ගම්මිරිස් අපනයනය කරන රටවල් අතර ප‍්‍රධාන තැනක සිටී. වියට්නාමය, ඉන්දියාව සහ බ‍්‍රසීලය අපට ඉහළින් සිටින විශාල නිෂ්පාදකයන්ය. වියට්නාමය වසරකට මෙටි‍්‍රක් ටොන් 157,000 ක් වසරකට අපනයනය කරන බව දැක්වේ. ශ‍්‍රී ලංකාව අපනයනය කරන්නේ මෙටි‍්‍රක් ටොන් 6,500 ක් පමණ වන අතර එය මෙරටින් අපනයනය කරන කෘෂි අපනයන බෝගවලින් 3%ක ප‍්‍රතිශතයකි. මෙම අපනයනවලින් 80% ක් යවන්නේ ඉන්දියාවට බව සුළු අපනයන බෝග සංවර්ධන දෙපාර්තමේන්තුවේ වාර්තා දක්වයි.

සාමාන්‍යයෙන් මෙරට පරිභෝජනයට හුරු කළු ගම්මිරිස්ය. රතු පැහැයෙන් ඉදුණු ගම්මිරිස් ඇට වියළා කළු පැහැයට හැරුණු පසු අලෙවියට සූදානම් කෙරේ. නමුත් ඉන්දියාව සුදු ගම්ම්රිස්වලට ඉහළ මිලක් ගෙවයි. සුදු ගම්මිරිස් සකස් කරන්නේ නියම ප‍්‍රමාණයට මෝරන්නට කලින් නෙලා පොත්ත ඉවත් කිරීමෙනි. එය බර අඩු නිෂ්පාදනයකි. ඉන්දියාව සුදු ගම්මිරිස් නිෂ්පාදනය කරන්නේ අඩුවෙන් වන අතර ශ‍්‍රී ලංකාවෙන් ගෙන්වා ගනී. පොතු ඉවත් කර නොමේරූ ඵලදාවෙන් අඩු බරක් ලැබෙන බව නොසලකන ඇතැම් වගාකරුවෝ වැඩි මිල සලකා සුදු ගම්මිරිස් සකස් කරති. මෙය අධෛර්යයට පත් කළ යුතුය. එහෙත් වෙළෙඳුන් අනෙකක් කියා වගාකරැවන් නොමග යවන අතර ඉන්දියාව පවා සිය නිෂ්පාදන කළු ගම්මිරිස් සේ නිපදවා ශ‍්‍රී ලංකාවෙන් සුදු ගම්මිරිස් ගෙන්වා ගන්නා බව කියැවේ. 

ඉන්දු ලංකා ගිවිසුම අනුව ගම්මිරිස් අපනයනයේ දී බදු අය නොකෙරේ. හේතුව ඉන්දියාවට අවශ්‍ය කුළුබඩුවකි. මෙරටින් ගම්මිරිස් තොග ප‍්‍රමාණවත් නොවන විට වියට්නාමයෙන් ගම්මිරිස් ගෙන්වන ආනයනකරැවෝ ඒවා මෙරට නිෂ්පාදන බව දක්වා ප‍්‍රති අපනයනය කරති. ඉන්දියාව පවා එය ප‍්‍රශ්නයක් කරගෙන සිටි බව පෙන්වා දිය යුතුය. තත්ත්වයෙන් බාල ගම්මිරිස් ශ‍්‍රී ලංකා නිෂ්පාදන සේ හුවා දක්වා අපනයනයෙන් කීර්තිනාමයට පවා හානියක් වී තිබුණි. රේගු වාර්තා අනුව මෙරට සමාගම් 2500 ක් පමණ ගම්මිරිස් අපනයනය කරයි. නමුත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු වාර්තා අනුව ගම්මිරිස් අක්කර 30,000කට වඩා රට පුරා නැත. මෙයින් 70%ක් පමණ ගෙවතුය. මාතලේ, බදුල්ල, නුවරඑළිය, කුරුණෑගල, මහනුවර, රත්නපුර යන දිස්ත‍්‍රික්කවල සහ දකුණේ ගාල්ල, මාතර හා හම්බන්තොට ඇතැම් ප‍්‍රදේශවල ගම්මිරිස් වගා කෙරෙයි. 

පිටරටින් ගම්මිරිස් ගෙන්වන විට මෙරට වගාකරුවන්ගේ අස්වැන්න කිලෝව රුපියල් 400 - 500 දක්වා පහත වැටී තිබුණු අතර එසේ තිබියදී පවා පාරිභෝගිකයන් ගම්මිරිස් කුඩු ග‍්‍රෑම් 100 ක් මිලදී ගත්තේ රුපියල් 250 – 300 තරම් මිලකටය. ගම්මිරිස් ආනයනය තහනම් කළ වහා ගැනුම් මිල රුපියල් 800 - 1000 දක්වා නැග ඇත. සමහරවිට ඉදිරි කන්නයේදී රුපියල් 2000 ක පමණ මිලක් ලැබෙන්නට ඉඩ තිබේ. වඩා වැදගත් වන්නේ මෙම මිල පදනම් කරගෙන අලුතින් ගම්මිරිස් පැළයක් සිටුවන්නට තීරණය කරන ප‍්‍රජාව ගැන අවධානය යොමු කිරීමයි. 

කුරුඳු අපනයනයේ අලුත් පැති

කුරුඳු අස්වැන්න ලෝක ප‍්‍රසිද්ධය. ඉතාම උසස් තත්ත්වයේ කුරැඳු නිපදවන්නේ ශ‍්‍රී ලංකාවේය. කුරැඳු පැළයක් කපා විනාශ කිරීම පෘතුගීසි පාලන කාලයේ දී මරණ දඬුවම නියම කරන වරදක් වූ බව එදා හෙළදිව කෘතිය ලියූ රොබට් නොක්ස් සඳහන් කර ඇත. 

ශ‍්‍රී ලංකාව වාර්ෂිකව කුරැඳු මෙට්‍රික් ටොන් 35,000 ක් පමණ අපනයනය කරයි. වැඩිම ප‍්‍රමාණයක් යැවෙන්නේ මැසිකෝවටය. ඉන්දුනීසියාව, චීනය හා වියට්නාමය යන රටවල් වැඩිම කුරැඳු ප‍්‍රමාණයක් වගා කරන රටවල් බව දැක්වෙයි. ඉන්දුනීසියාව ලෝක අවශ්‍යතාවයෙන් 40% ක් නිපදවන අතර ශ‍්‍රී ලංකාව කුඩා එහෙත් උසස් ප‍්‍රමිතියක් සහිත වෙළෙඳාමක නිරතය. බාල තත්ත්වයේ කුරුඳු ගෙන්වා නැවත සකස් කර අපනයනය සිදුවූ අතර එය දේශීය නිෂ්පාදනවලට බාධා කරන ලද පැවැත්මක් බවට පත්ව තිබුණි. මෙම ආනයන හා අපනයන වාසි බවට හරවා ගන්නේ නොයෙක් වෙළෙඳ ගිවිසුම් වන අතර ඒවායෙන් ලැබෙන ප‍්‍රතිලාභ වෙළෙඳාමට හිතකර නමුත් වගාකරුවෝ කිසිවක් නොලදහ. වෙනත් රටකින් අඩු මිලට එන විට වගාව අත්හැර දමනු හැර විකල්පයක් නැත. කුරුඳු වගාව විශේෂ අවධානයකින් නඩත්තු කළ යුතු නැතිමුත් ගස් වෙන්කර ඒවායේ පොතු ඉවත් කර වියළා ගැනීම සම්ප‍්‍රදායික ක‍්‍රමවලට සිදුවේ. කුරැඳු තලන්නෝ ආදායමෙන් හරි අඩක් අය කරති. වගාවේ අයිතිකරු සුළු ආදායමක් ලබන තැනට පත් වෙයි. 

කුරුඳු වගාව කළ හැකි ඉඩම් රට පුරා තිබේ. නියම ප‍්‍රමිතියකින් යුතු පැළ බෙදා දිය හැකිය. ගොවිපොළ වටා පැළ සිටුවිය හැකි අතර සුළු ඉඩමක පවා වගා කළහොත් එයින් අතිරේක ආදායමක් ලැබෙන තැනට හරවා ගැනීමට බැරි නැත. නමුත් මෙම පෙළඹවීමට නැඹුරැවක් නැත. සුළු තොග එකතු කර අවසානයේදී හොඳම කුරැඳු අපනයනය කරන තැනට පරිසරය වෙනස් කර ගැනීමට රටට අලුත් අවස්ථාවක් තිබේ.

මෙරට වගා කළ හැකි, අපනයනයට අවස්ථා තිබෙන දේ මෙරටට ගෙන්වීම නතර කිරීම හොඳ තීරණයකි. එය පසුපස වගා දිරිමත් කරන වැඩපිළිවෙළක් අවශ්‍යය. කළු ගම්මිරිස්, වියළි පුවක්, කුරැඳු, එනසාල්, ඉඟුරු, කරාබුනැටි, සියඹලා සහ සාදික්කා ඇතුළු දේ වගා කළ නොහැකි තැනක් තිබේද? නොයෙක් තැන වැවෙන දේ වෙනුවෙන් මිලක් නොලැබීම ද ප‍්‍රශ්නයක් වී තිබුණි. අනෙක රට පුරා අපතේ යන බවබෝග ගැන ද අලුතින් හිතන්නට අවශ්‍යය. අඹ, දිවුල්, බෙලි, ජම්බු, කජු පුහුලම්, නෙල්ලි වරකා වැනි පළතුරු අස්වනු කාලයේ කිසිම මිලක් නැතිව විනාශ වීම රටට ප‍්‍රශ්නයක් විය යුතුය. සුළු පරිමාණ නිෂ්පාදන ජාලයක් රට පුරා ඇති කළ යුතු අතර කාලීන වටිනාකමක් ඇති දේ එකතු කරන, පිළියෙළ කරන හා අලෙවි කරන මාර්ග වෙනුවෙන් විශේෂ ආධාර වැඩපිළිවෙළ අවශ්‍යය. ඒවා ජනතාවගේ ආදායම නංවනු ඇත.

 ගාමිණී සරත් ගොඩකන්ද