2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා

කටුවපිටියේ නත්තල්

 2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 189

ජේසු බිළිඳුන්ගේ උපත සමරන දෙසැම්බරය සෑම කිතුනු බැතිමතකුටම සුවිශේෂී කාල පරිච්ඡේදයකි. දෙසැම්බර් 25 දින ලෝකවාසී සියලු කිතුනුවන් දේවස්ථාන වෙත ගොස් නත්තල මහ ඉහළින් සැමරීම සුවිශේෂීය. මීගමුව ප්‍රදේශය ශ්‍රී ලංකාවේ කිතුනුවන් වැඩි වශයෙන් ජීවත්වන ප්‍රදේශයකි. සෑම වසරකදීම උදාවන මෙම අසිරිමත් නත්තල මීගමුව හා ඒ අවට කිතුනු ජනතාව පමණක් නොව ඒ ආශ්‍රිතව ජීවත්වන බෞද්ධයෝ පවා මහ ඉහළින් සමරති.

නමුත් අප්‍රේල් පාස්කු ඉරිදාවේ කිසිවකු බලාපොරොත්තු නොවුණු පරිදි පුපුරා ගිය බෝම්බ ප්‍රහාරයෙන් කිතුනු බැතිමතුන්ගේ නත්තල සැමරීම ද අද වන විට සිහිනයක් බවට පත්කර හමාරය. විශේෂයෙන්ම දෙවියන්ගේ ආශිර්වාදය ලබමින් සිටියදීම එල්ල වූ මෙම බෝම්බ ප්‍රහාරයත් සමඟ බොහෝ බැතිමත්හු ප්‍රාණ පරිත්‍යාගකරුවෝ බවට පත්වෙමින් මරුමුවට පත්වූහ.

වෙනදාට මුළු කටුවපිටියම නත්තල වෙනුවෙන් සැරසුණද අද ඔවුන්ට නත්තලක් නොමැත. දරුවන්ට මව්වරුන් පියවරුන් අහිමි විය. මව්පියන්ට දරුවන් අහිමි විය. තවමත් දෙවියන් වහන්සේ තුරුලට ගිය පුතනුවන්ගේ ඡායාරූප, ඔවුන්ගේ සුවඳ වැදුණු ඇඳුම් තුරුළු කරගෙන ඒ අම්මාවරු කඳුළු හෙළති. මව පියා අහිමිව ලෝකයේ තනිවුණු තරුණ දරුවෝ ඉබාගාතේ ජීවත් වෙති. ප්‍රහාරය එල්ලවී මාස අටක් ගෙවී ගොසිනි. දරුවන් තිදෙනා, සැමියා හා මෙහෙකාරිය සමඟ එකම මොහොතක ප්‍රාණ පරිත්‍යාගකරුවකු ලෙසින් ජීවිතයෙන් වන්දි ගෙවූ ‘ධනාගේ’ ඒ විශාල නිවෙස සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ. කටුවපිටිය මිනිසුන්ගේ ජීවිත අදටත් හඬා වැළපෙයි. එවන් පසුබිමක ඔවුන්ට සමරන්නට නත්තලක් තිබේද?

“අපිට මොන නත්තලක්ද? ඒ නම කියනකොටත් මට දුකයි. වෙන අවුරුදුවල මමයි මගේ නෝනයි නත්තලට සති ගාණක ඉඳන් ලෑස්ති වෙනවා. අපි දෙන්නා එකතුවෙලා තමයි නත්තල් ගහයි ගව ලෙනයි හදන්නෙ. එයා ඒ දේවල් කරන්නේ හරිම ආසාවෙන්. අපිට පුතකුයි දුවකුයි ඉන්නවා. ඒ දෙන්නම ගොඩක් චූටියි. පුතා තවමත් ඉන්නේ ළදරු පාසලේ. හැම නත්තලටම මගේ නෝනා තෑගි දෙකක් ලස්සනට ඔතලා පුතාගෙයි දුවගෙයි ඇඳ ළඟ රෑට තියලා තියනවා. ඒ දෙන්නා හිතන්නේ නත්තල් සීයා තෑගි ගෙනත් දීලා කියලා..”

අද ඒ පුංචි දරු දෙදෙනාට හොර රහසේ තෑගි ගෙනත් තියන්නට නත්තල් සීයා නැත. ආයේ කිසි දිනක ඒ නත්තල් සීයා ඔවුන්ගේ ජීවිතවලට නොඑන්නට මේ කුරිරු බෝම්බ ප්‍රහාරය ඔවුන්ගේ මව, ඔවුන්ගෙන් උදුරාගෙන ගොස් අවසානය.

“තාමත් මට ටවුමට යන්න දුකයි. ඉස්සර වගේ නැතත් සමහර තැන්වල නත්තල් බඩු, නත්තල් ගස් තියෙනවා දකිද්දි මට හිතාගන්න බැහැ. මේ දෙන්නා තාමත් චූටියි. අද උදෙත් චූටි පුතා ‘තාත්තේ අම්මව ගෙනත් දෙන්න’ කියලා කිව්වා. ඒ හැම මොහොතකම මම ගොළු වෙනවා. අපි හතරදෙනා එකතුවෙලයි පල්ලි යන්නේ. එදත් ඒ විදිහට අපි හතරදෙනාම එකතුවෙලයි පල්ලි ගියේ. පූරුවේ මොකක්දෝ කරැමයකට අපිව දාලා එයා යන්න ගියා. ගිය අවුරුද්දේ එයා තමයි අපිට නෑදෑයන්ට තෑගි ගත්තේ. අපි කිහිප සැරයක් ටවුමට ගිහින් අවශ්‍ය කරන තෑගිබෝග ගත්තා. ඒ හැම මොහොතකම එයා හිටියේ හරිම සතුටින්. අද මට ටවුමට යන්න කවුරුවත් නැහැ. අඩුම ගාණේ නත්තල කියලා මම මගේ ළමයි දෙන්නටවත් මුකුත් අරගෙන දුන්නෙ නැහැ. අපිට මේ පාර ගව ලෙන නැහැ. නත්තල් ගහ නැහැ. එයා නැති ගෙදර ගව ලෙන් මොනවටද?”

රොහාන්ගේ පැනය එයයි. අම්මා නැති ඒ නිවෙස අද පාළුය.

පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් ඇතැමුන් ජීවිත හැර ගිය අතර තවත් සමහරු කාලයක් තිස්සේ ජීවිතයෙන් වන්දි ගෙවති. මේනකා එවැනි කාන්තාවකි. මෙම බෝම්බ ප්‍රහාරයෙන් ඇගේ දකුණු අත දැඩි ලෙස අනතුරට ලක් විය. සැත්කම් කිහිපයක්ම සිදු කෙරුණි. ඇතැම් වෛද්‍යවරුන්ට ඇගේ අත ගැන එතරම් විශ්වාසයක් නොතිබූ කලක මෙම විශාල ප්‍රහාරයෙන් තම ජීවිතය බේරාගත් දෙවියන් වහන්සේ කෙරෙහි ඇය විශ්වාසය තැබුවාය.

“මට මගේ දරුවා වඩාගන්න අත හොඳ කරලා දෙන්න” ඇය තම කුඩා දියණිය ළඟ තබාගෙන දෙවියන් වහන්සේට යාඥා කළාය.

“මගේ අත කැඩිලා. පොඩ්ඩක්වත් වැඩ කළේ නැහැ. එදා පල්ලියට මායි මහත්තයයි අම්මයි දුවයි හතරදෙනාම ගියා. අපි හතරදෙනාම එක පේළියටයි හිටගෙන හිටියේ. ජනේලයෙන් ආපු බෝම්බ බෝලයක් තමයි මගේ අතේ වැදිලා තියෙන්නේ. මහත්තයා බිත්තියට කවර්වෙලා හිටියේ. අම්මටවත් මහත්තයටවත් මගේ චූටි දුවටවත් කිසිම දෙයක් වුණේ නැහැ. මගේ දුවව මම වඩාගෙන හිටියේ. එයාව බිමින් තියනකොටම තමයි මේ බෝම්බේ පිපිරුණේ. එයා මගේ අතේ හිටියා නම්.. අනේ මගේ චූටි දුව.. ඒ සිදුවීම මතක් වෙද්දීත් මට හිතාගන්න බැහැ. මේ අවුරුද්දේ අපිට නත්තල කොයින්ද? අපේ හිතවතුන් කී දෙනෙක් මේ ප්‍රහාරයෙන් නැතිවුණාද? වෙනදා තිබුණු නත්තල අද මේ කටුවපිටිය අපිට නැහැ. නත්තලට අපි නෑදෑ ගෙවල්වල ගියා. කෑම බීම හුවමාරු කර ගත්තා. ඒ කිසිම දෙයක් හිතේ සතුටින් කරන්න මේ නත්තලේ අපිට හිත දෙන්නේ නැහැ.” මේනකා අපිට එලෙස පැවසුවාය.

මව්පියන් අහිමි වුණු දරුවන් ඕනෑ තරම්ය. සියල්ල අහිමි වුණද, ධෛර්යයෙන් නැගී සිටීමට වෙර දරන තරුණියක් ද කටුවපිටියේ දී අපිට මුණගැසුණි. මීගමුවේ ඉතා ජනප්‍රිය බාලිකා විදුහලක ප්‍රධාන ශිෂ්‍ය නායිකාවක් වූ ඇගේ මවත් පියාත් මේ බෝම්බ ප්‍රහාරය නිසා එකම මොහොතක ඇයව මෙලොව තනිකර යන්නට ගියෝය. සහෝදර සහෝදරියන් නොසිටි ඇයට ආච්චිත් සීයාත් එකම හව්හරණ විය. ඇය හැඬුවාය. අසීමිතව හැඬුවාය. නමුත් ජීවිතය කඩා වැටුණු හැම මොහොතකම කොහේදෝ සිට ඇයගේ මවත් පියාත් ඇයට ආයෙත් නැගී සිටින්නට ධෛර්යය දෙන්නට ඇත.

“ෆාදර්.. මගේ අම්මයි තාත්තයි ප්‍රාණ පරිත්‍යාගකරුවන් වුණා. මට ඒ දෙන්නා එක්ක එකට ප්‍රාණ පරිත්‍යාගකාරියක් වෙන්න බැරි වුණා. ඒක මගේ අවස්ථාව..” අවසානයේදී ඇය තමාගේ හඬන සිත ගලක් සේ දැඩිකර ගත්තාය. ජීවිතයේ නැගී සිටින්නට අදිටන් කර ගත්තාය. මවගේ පියාගේත් එකම හීනය වූ තමා වෛද්‍යවරියක් වනු දැකීමේ සුබ සිහිනයට ඇය පියමං කරන්නට උත්සාහ කළාය. ළඟ නැතත් කොහෝ හෝ තැනක හිඳ මේ ආදරණීය මවත් පියාත් තම දියණියට ආශිර්වාද කරනු නොඅනුමානය.

“අම්මා තාත්තා නැති මට මොන නත්තල්ද?” ඇය කියන්නීය.

එවැනි දරුවන් තම උත්සාහයෙන් ජීවත් වීමට වෙර දැරුවද, අපට මුණගැසුණු සංඛ පුතු ඔහුගේ මවට දෙන්නේ අසීමිත වදයකි. අවුරැදු අටක් පමණ වයසැති ඔහුව පාස්කු ඉරිදාවේ දේවස්ථානයට රැගෙන යන ලද්දේ ඔහුගේ මව විසිනි. යහළුවන් කිහිප දෙනකු සමඟ සෙල්ලම් කර සිටි නිසා දේවස්ථානයට යන්නට අකැමැත්ත පළ කළද මවගේ පෙරුත්ත කිරීමත් සමඟ පසුව ඔහු මවත් සමඟ දේවස්ථානයට යන්නට විය.

“පුතා... පල්ලි යන්න මුලදී කැමැති වුණේ නැහැ. එයා එදා සෙල්ලම් කර කර හිටියේ. මම යමු කියපු නිසාම තමයි ආවේ. බෝම්බ ප්‍රහාරයෙන් පුතාත්, මාත් තුවාල වුණා. දෙවියන් වහන්සේගේ පිහිටෙන් දැන් අපිට සුවයි. ඒත්.. තාමත් පුතාට මාව පෙන්නන්න බැහැ. මට පුදුම විදිහට කෑගහන්නේ. එයා කියන්නේ මම යකින්නියක් කියලයි. සමහරදාට කේන්ති ගියාම මට අතට අහුවන එකකින් දමලා ගහනවා. ඉස්සර පුතා නත්තලට හරි ආසයි. ඒත්.. දැන් ඒකටවත් ආස නැහැ. අනේ මගේ දරුවා.. අපිට මේ පාර නත්තල් නැහැ. නත්තල් ගහක්, ගව ලෙනක් හදනවා කියලා තාම ගෙවල් අස්පස් කරලාවත් නැහැ. වෙනදාට ගව ලෙන හදන්නේ නත්තල් ගහ සරසන්නේ පුතායි. එයා මෙහෙම වෙද්දී අපිට මොන නත්තල්ද?” ඇය කියන්නීය.

සැබැවින්ම මේ බෝම්බ ප්‍රහාරයත් සමඟ කුඩා දරුවෝ දේවස්ථානය වෙත යාම අදටත් ප්‍රතික්ෂේප කරති. අපට හමුවූ කටුවපිටිය ප්‍රදේශයේ ජීවත්වන දරුවන් කිහිප දෙනෙක්ම එම දේවස්ථානයට පමණක් නොව කිසිදු දේවස්ථානයකට යාම පවා ප්‍රතික්ෂේප කළහ. තමන් ඉදිරියේදී තම සමීපතමයන් ජීවිතය හැර යද්දී, ප්‍රහාරයෙන් ශරීර දරුණු ලෙස අනතුරට පත් වෙද්දී මේ කුඩා සිත් දේවස්ථාන වෙත යාමට අදිමදි කිරීම පුදුමයක් නොවේ. වෙනදාට දේවස්ථාන වෙත පැමිණ ගීතිකා පුරුදු පුහුණුවෙන, දේවස්ථාන පිරිසුදු කරන ඒ පුංචි හිත් අද නත්තලට බිය වීමෙන් හැංගී සිටී.

“තාමත් මේ මිනිසුන්ගේ හිතේ තියෙන වේදනාව සම්පූර්ණයෙන්ම තුනීවෙලා නැහැ. ඒ අය මට මුණගැහුණු හැම මොහොතකම කියන දෙයක් තමයි අපිට නත්තල් නැහැ ෆාදර් කියලා. ඒ අයට සැමියා නැති වුණා. බිරිඳ නැතිවුණා. මව්පියන් දරුවන් නෑදෑයන් නැති වුණා. ඒ අඩුව පුරවන්න අමාරුයි. නත්තල කියන්නේ එකමුතු පවුලක එකතුවක්. ඒ පවුල් එකතුව තුළ අද මේ මිනිස්සු හරි හිස් බවක් දකිනවා. අපි කොච්චර මුදල් දුන්නත්, කොච්චර තෑගිබෝග දුන්නත් ඒ අය සතුටින් තියන්න හරි අමාරුයි. මව්පියන් එක්ක දරැවන් එක්ක ඒ ගත කරපු ජීවිතය වගේ ජීවිතයක් ආයේ ඒ මිනිසුන්ට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ වසරේ බොහෝ අය නත්තල් ගස්, ගව ලෙන්, සැරසිලි නොකරන්නට තීරණය කරලා තියෙනවා. සමහරු තවමත් අඬනවා. තවමත් කටුවපිටිය ජනතාව ඉන්නේ හැඬූ කඳුළින්. අම්මා තාත්තා අහිමි වුණු තරුණ ළමයි කිහිප දෙනෙක් මුල් කාලයේදී බීමට ඇබ්බැහිවෙලා හිටියා. ෆාදර්ලා ඒ දරුවන්ට උපදේශන සේවා පවත්වා දැන් එයින් මුදාගෙන තියෙනවා. නමුත් තාමත් ඒ තරුණ හිත් තියෙන්නේ දැඩි වේදනාවෙන්. වෙනදාට ඒ තරුණ දරුවන් තමයි මේ කටුවපිටියට නත්තල අරගෙන එන්නේ. මුළු ගමම සරසලා කැරොල් ප්‍රසංග සංවිධානය කරලා නත්තල් සීයා විදිහට ගෙයින් ගෙට යන ඒ තරුණ දරුවන් අද හරිම නිහඬයි. අද ඒ කිසිම දෙයක් ඒ දරැවන් අතින් සංවිධානය වෙන්නේ නැහැ.” යැයි ජේසු නිකායේ තුෂාර ප්‍රනාන්දු පියතුමන් දේශයට පැවසීය.

වෙනදාට කටුවපිටියට නත්තල් අසිරිය ගෙන එන තරැණ හිත් අද වේදනාවෙන් සුසුම් හෙළද්දී ඒ දරුවන් තනි නොකරන්නට මේ රටේ බොහෝ දෙනෙක් උත්සාහ දැරූහ. නත්තල් අසිරිය කටුවපිටියට හා මීගමුවට ගෙන ගිය කිහිප දෙනෙකි. ක්‍රිකට් ක්‍රීඩාවෙන් පිති හරඹයෙන් හා පන්දුවෙන් දක්ෂතා දැක්වූ චමින්ද වාස්, රංගන හේරත් සහ රොෂාන් මහානාම යන ක්‍රීඩක ත්‍රිත්වය දිනක් කටුවපිටියට ගොස් ඒ කුඩා දරැවන්ට තෑගිබෝග ලබා දෙමින් ඔවුන් හා ප්‍රීති වූහ.

එපමණක් නොව පසුගියදා දිනෙක මරදාන ශාන්ත ජෝසප් විදුහලේ ගුරුවරුන් ඇතුළු දරු පිරිසක් කටුවපිටියට ගොස් ඒ කුඩා දරුවන් සමඟ ප්‍රීති වුණු අන්දම අපූරු දසුනක් විය. නත්තල් සීයාට මැදි වූ ඒ කුඩා දරුවන්ට සුළු මොහොතකට හෝ තම දුක වේදනාව අමතක වූවා වැනිය.

“මරදාන ශාන්ත ජෝසප් විදුහලේ දරුවන් කටුවපිටියට ඇවිත් මේ දරුවන් එක්ක සින්දු කියලා විවිධ ක්‍රීඩා කළා. ඒ අය මේ දරුවන්ගේ ජීවිතවලට කතා කළා. මේ දරැවන් එක්ක දවස ගෙවන්න ඒ දරුවෝ කැමති වුණා. ඇත්තටම එක මොහොතකට හරි මේ කුඩා දරුවන්ව සතුටු කිරීම පිළිබඳව ශාන්ත ජෝසප් විදුහලේ දරුවන්ට අපි ස්තූති කරන්න ඕනෙ.” රශ්මි ප්‍රනාන්දු පියතුමන් දේශයට පැවසීය.

පසුගිය වසරේ නත්තලට වඩා මෙවර නත්තල කටුවපිටිය මිනිසුන්ට හාත්පසින්ම වෙනස්. ඒ අයගේ ඇතුළාන්තයෙන් ළඟ හිටපු සමීපතමයන් නැහැ. නත්තල කියන්නේ මුළු පවුලම එකතුවෙන දවසයි. අම්මා තාත්තා දෙන්නම නැති දරුවන්, දෙමව්පියන් දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් අහිමි වුණු දරැවන්, ආච්චි සීයා සහෝදර සහෝදරියන් සැමියා බිරිඳ නැතිවුණු අය ඕනෑ තරම්. මේ අයට නත්තලට ඔවුන්ව අමතක වෙයිද? එදාට පවුලක් හැටියට එකතුවෙලයි පල්ලි යන්නේ. මෙවර මේ මිනිසුන්ට නත්තලේදී ලොකු පාළුවක් දැනේවි. හිත් හදන්න හරි අමාරුයි. ඒකට තව කාලයක් ගතවේවි. හැබැයි මෙච්චර ඉක්මනට මේ හිත් හදාගන්න උත්සාහ කිරීම දෙවියන් වහන්සේගේ සැලැස්මක් වෙන්නත් ඇති. තවමත් කිහිප දෙනෙක්ට එහෙම හිතන්න බැහැ. ඒ වෙනුවෙන් අපි ඔවුන්ට මඟපෙන්වනවා.” රශ්මි ප්‍රනාන්දු පියතුමන් වැඩිදුරටත් පැවසීය.

කෙසේ වුවද නත්තල උදාවන්නට ඇත්තේ තව දින කිහිපයක් පමණි. තවමත් මේ අහිංසක හිත් හඬා වැටේ. පාස්කු ප්‍රහාරයේදී ප්‍රාණ පරිත්‍යාගකරුවන් ලෙසින් දෙවියන් වහන්සේ වෙත බොහෝ දෙනා නික්ම ගියද, අදටත් ඔවුන්ගේ ජීවිත හා සමීප හිතවත්හු ඔවුන්ගේ වියෝවෙන් හඬා වැටෙති. ඔවුන්ට ඒ හිත් හදාගන්නට තව කාලයක් ගතවනු ඇත.

“ධර්මයාණෝ මාංශගතව අප සමඟ වැඩවිසූ සේක. දේව වරප්‍රසාදයෙන්ද, සත්‍යයෙන්ද, පූර්ණ උන්වහන්සේගේ තේජශ්‍රිය, එනම් පියාණන් වහන්සේ කෙරෙත් වූ එකම පුත්‍රයාණන්ගේ තේජශ්‍රිය, අපි දුටිමු.”

► දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00