2017 මාර්තු 18 වන සෙනසුරාදා

ලංකාව ජාත්‍යන්තර කුඩු තිප්පොළක්!

 2017 මාර්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 128

කුඩු ජාවරම්කරුවන් මුදල් සඟවා තැබූ ස්ථානය

මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේදී ශ්‍රී ලංකාව තවදුරටත් ලිහිල් අන්තර් මත්ද්‍රව්‍ය මධ්‍යස්ථානයක් වශයෙන් සැළකිය නොහැකි බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ප්‍රකාශකයෙක් පවසයි. මෙම ප්‍රකාශණය කරන ලද්දේ පසුගිය වසර කිහිපය ඇතුළත රට තුළ සිදුකරන ලද වැටලීම්වලදී ඇති වූ මත්කුඩු ප්‍රමාණය දිගන් දිගටම වැඩිවීම පිළිබඳව ඇති වාර්තා සැළකිල්ලට ගෙනය.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ වර්තාවලට අනුව 2015 වසරේදී රටපුරා සිදුකළ වැටලීම්වලදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 46ක් හසුවී තිබිණි. පසුගිය වසරේදී 2016 සිදුකරන ලද වැටලීම්වලදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 206ක් සොයාගැනීමට හැකිවිය. මෙම කිලෝ ග්‍රෑම් 206ට පසුගිය වසරේ මාර්තු මස 30 වැනි දින දකුණු වෙරළ තීරයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමේදී සොයා ගනු ලැබූ හෙරොයින් කිලෝ ග්‍රෑම් 101ද ඇතුළත්වේ. ඉන්දීය සාගර කලාපයට අයත් සමුද්‍රාසන්ත ප්‍රදේශයේදී සිදුකෙරැණු මෙහෙයුමකදී අත්අඩංගුවට ගනු ලැබූ විශාලතම මත්කුඩු ප්‍රමාණය මෙය බව දැනගන්නට තිබේ.

අන්තර් ජාතික මත්ද්‍රව්‍ය පාලන මණ්ඩලයේ 2016 වර්ෂය වාර්තාවට අනුව ගංජා සහ හොරොයින් ශ්‍රී ලංකාවේ වඩාත්ම බහුලව වාර්තා වූ මත්කුඩු වැටලීම් වෙයි. එම වාර්තාව අනුව තවදුරටත් සඳහන් වන්නේ නිරිතදිග ආසියාවේ සිට ඉන්දියාවටත් ඒ හරහා ශ්‍රී ලංකාවට, මාලදිවයිනට සහ බටහිර යුරෝපා රටවල්වල මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ප්‍රධාන මාර්ගයක් වශයෙන් ඉන්දීය සාගර කලාපය හඳුනාගෙන ඇති බවයි.

මේ අතර බලධාරීන් ප්‍රකාශ කරනුයේ රටේ නීතිය බලගන්වන ආයතනවල තිබෙන විවිධ ශාඛා අතර වඩාත් හොඳ සම්බන්ධතාවක් පවත්වා ගෙනයාම තුළින්ද එසේම ආරක්ෂක හමුදාවලින් සහය ලැබීම තුළින්ද විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇති බවයි.

“අපි නාවික හමුදාව සහ අදාළ පොලිස් ස්ථාන සමඟ ඉතා සමීපව පසුගිය කාලය තුළ කටයුතු කර තිබෙනවා. එය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට බොහෝ උදව්වක් වුණා. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරියෙක් පැවසීය.

ඒ සඳහා උදාහරණයක් ලෙසින් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව එකතුව කළ වැටලීම පෙන්වා දිය හැක. එම වැටලීමෙන් විශාල ප්‍රමාණයේ හෙරොයින් තොගයක් අත්අඩංගුවට ගැනීමට ඔවුන්ට හැකි විය.
මෙම උත්සාහයේ සාර්ථකත්වය පෙන්නුම් කරන එක් මූලික ඉඟියක් වන්නේ පසුගිය වසර පුරාම කොකේන් තොග වශයෙන් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකිවීමයි. 2016 වසරේදී අත්අඩංගුවට ගන්නා ලද කොකේන් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 1550කි. පසුගිය දෙසැම්බර් 09 වැනි දින ඉක්වාදෝරේ සිට පැමිණි නැවත තිබී අත්අඩංගුවට ගත් කොකේන් කිලෝග්‍රෑම් 928ද මෙයට ඇතුළත්වේ. එම වැටලීම දකුණු ආසියාවේ සිදුකළ විශාලතම කොකේන් වැටලීම් බවට වාර්තා විය.

බලධාරින් ප්‍රකාශ කරනුයේ කොකේන් යනු ඉහළ පැළැන්තියකට අයත් සේ සැළකෙන සහ මිල අධික මත්ද්‍රව්‍ය වර්ගයක් බැවින් ලංකාවේ පාරිභෝජනයට මෙයින් භාවිත වන්නේ ඉතා සුළු ප්‍රමාණයක් පමණක් බවය. ඉතිරි විශාල ප්‍රමාණයේ කොකේන් වෙනත් ගමනාන්තයක් සඳහා යොමු කෙරෙන බව පැහැදිලිය.

ශ්‍රී ලංකාව තුළදී පසුගියදා පැවැති අන්තර් ජාතික මත්ද්‍රව්‍ය පාලන මණ්ඩලයේ වාර්ෂික උත්සවයකදී එකී වැඩසටහන් සම්බන්ධීකාරක ශානක ජයසේකර මහතා මේ සම්බන්ධව මෙසේ අදහස දැක්වීය.
“ශ්‍රී ලංකාව තුළ නීතිය බලගන්වන සියලු ආයතන ඒකාබද්ධ වී මත්කුඩු වැටලීම සිදුකිරීම විශේෂයෙන් කැපී පෙනෙන කරුණක්. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය, රේගුව, සුරා බදු දෙපාර්තමේන්තුව, මේ සියලු ආයතන ඒ ඒ ආයතන සතුව පවතින සම්බන්ධකම් යොදා ගනිමින් මෙම වැටලීම් සිදුකර තිබෙනවා.

මුළු ලෝ පුරාම මෙවැනි වැටලීම්වලට අවශ්‍ය තොරතුරු මූල්‍ය පහසුකම් සහ තාක්ෂණික සහාය විවිධ රටවලට ලබාදීම සඳහා එක්සත් ජාතීන්ගේ ඖෂධ සහ අපරාධ කාර්යාලයද ඒ සඳහා ආධාර සපයනු ලබන රටවල්ද කටයුතු කරයි.
ප්‍රධාන වශයෙන් ඔවුන් මෙම ආධාර ලබා දෙනු ලබන්නේ මත්ද්‍රව්‍ය ප්‍රවාහන ජාවාරම්කරුවන් සමඟ යුදවැදී සිටින රටවල්වලට අවශ්‍ය සහය දැක්වීමටය. සන්සන්දනාත්මකව ශ්‍රී ලංකාව තුළ සිදුවන මත්ද්‍රවය වැටලීම් සඳහා සටන් වැදීමට ලැබෙන විදේශ මූල්‍යමය ආධාර ගණන් ගත නොහැකි තරම අවමයැයි ඔහු ප්‍රකාශ කරයි. තවදුරටත් තම අදහස් ප්‍රකාශ කරන ජයසේකර මහතා “ලංකාවේ නීති බලාගන්වන ආයතන ස්වඋත්සාහයෙන් සිදුකරන ලද වැටලීම් දකුණු ආසියාවේ සෙසු මිතුරු රටවල්වලට වඩා ඉතා ඉහළින් සිටින බවය.

පසුගිය සති කිහිපය තුළදීත් ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය වැටලීම් විශාල ප්‍රමාණයක් සිදුව තිබේ. මෑත කාලයේදී කොළඹ, ග්‍රෑණ්ඩ්පාස් ප්‍රදේශයේදීද හොඳින් සංවිධානාත්මකව කණ්ඩායමක් ලෙසින් සිදුකළ හෙරොයින් වැටලීමේදී සැකකරුවන් පස්දෙනෙකු සමඟ මත්කුඩු තොගයක් අත්අඩංගුව ගැනීමට හැකිවිය.

මාර්තු 06 වැනි දින ග්‍රෑණ්ඩ්පාස් පොලීසියේ උප පොලිස් පරීක්ෂකයෙකු හා කොස්තාපල් දෙදෙනකුගේ තීක්ෂණ බුද්ධිය හේතුවෙන් මෙම වැටලීම සාර්ථකව සිදුකර ගැනීමට හැකිවිය. එහිදී “බ්‍රවුන් ෂුගර් කිලෝග්‍රෑම් දහතුනක් තිබූ ගමන්මල්ලක් සොයාගැනීමට හැකිවූ අතර අත්අඩංගුවට ගනු ලබන සැකකරුකුවන් මාර්ගයෙන් රුපියල් මිලියන අටක මුදල්ද, වාහන හතරක් සහ මෝටර් බයිසිකල් තුනක් ද අත්අඩංගුවට ගැනීමට හැකිවිය. මෙම සැකකරුවන් අතර කාන්තාවන්ද සිටී.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රටට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා ගුවන් යානාද යොදාගනී. පසුගිය මාර්තු හතර වැනි දින අවුරැදු විසිපහක් වයසැති පකිස්ථාන ජාතිකයකු මේ රටට කුඩු රැගෙන එමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු සතුව තිබූ කිලෝ ග්‍රෑම් 5.5ක මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් කෝටි පහක් පමණවේ.
පොලීසිය ප්‍රකාශ කරන අන්දමට ශ්‍රී ලංකාවට හෙරොයින් ගෙනඑන ප්‍රධාන රට වනුයේ පකිස්ථානයයි. පසුගිය වසරේදී පකිස්ථානුවන් 7 දෙනෙක් මේ සම්බන්ධව චෝදනා ලැබූහ.
එමෙන්ම ඉන්දියාවෙන් ගෙන්වනු ලබන “කේරල ගංජා ද විශාල ප්‍රමාණයක් ලංකාවට නිතරම ළඟාවන බව පැවසේ.

සන්ඩේ ටයිම්ස් ලිපියක් ඇසුරිනි
 දිශානි කරුණාරත්න