2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා

අද හෙටම වැඩිවෙන ජල ගාස්තු

 2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 112

අඩුවෙන් පරිභෝජනය කරන්නන්ට සහන මිලටම

වතුර ඝන මීටරයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 48ක පමණ වියදමක් ජල සම්පාදන මණ්ඩලය දරයි. ඒ සඳහා ජලය පරිභෝජනය කරන පරිභෝගිකයන්ගෙන් අය කරන්නේ රුපියල් දොළහක් පමණි. පසුගිය වසර හයක පමණ කාලය තුළ ජල ගාස්තුව වැඩි නොවීම නිසා ඒකක 15 ඉක්මවා ජලය පරිහරණය කරන්නන් හට ජල ගාස්තුව වැඩි කිරීමට තීරණය කර ඇති බව ජල සම්පාදන රාජ්‍යය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පසුගියදා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. අමාත්‍යවරයා එහිදී පෙන්වා දී ඇත්තේ මෙම ජල ගාස්තු ඉහළ දැමීම රාජ්‍ය ආයතන, පාසල් ඇතුළු පොදු ස්ථාන රෝහල් ආදියට අදාළ නොවන බවයි.

1975 වසරේදී ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පාර්ලිමේන්තු පනතකින් මණ්ඩලයක් බවට පත්විය. 1982 වර්ෂයේදී එම මණ්ඩලය විසින් මනු සවිකිරීම හා බිල්පත් නිකුත් කිරීම ආරම්භ කළේය. අද වනවිට මෙම ජල සම්පාදන මණ්ඩලය හරහා ජලය පරිභෝජනය කරන ලක්ෂ සීයක් පමණ පාරිභෝගිකයෝ සිටිති. මණ්ඩලය විසින් සපයා ඇති ජල සම්බන්ධතා ගණන විසි ලක්ෂ පනස්දහසකි. සම්ප්‍රදායක් ලෙස මෙම මණ්ඩලය විසින් වසර තුනකට වරක් ජල ගාස්තු සංශෝධනයක් සිදු කරයි. අවසන් වරට ජල ගාස්තු සංශෝධනයක් සිදු කළේ 2012 සැප්තැම්බර් මස නිකුත් කළ අංක 177/ 13 අති විශේෂ ගැසට් පත්‍රයෙනි.

ඉන් වසර හතරකට පසුව එනම් යහපාලන රජය බලයට පත් වී වසරක් අවසන් වනවිට එනම් 2016 නොවැම්බර් මස අයවැයට සමාන්තරව අංක 1991/3 අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබුවේ වතුර බිල සංශෝධනය කිරීමට වුවත් එවර ජල ගාස්තු සංශෝධනය කිරීමට නොහැකි වූයේ ඊට එරෙහිව නැගුණු ජනතා විරෝධය හේතුවෙනි. කෙසේ වෙතත් වසර ගණනක් මුළුල්ලේ සංශෝධනය නොවුණු ජල ගාස්තුව සංශෝධනය සිදුවිය යුතු බව විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා මෙන්ම ජල සම්පාදන මණ්ඩලයේ බලධාරීන් ද අවධාරණය කර තිබේ.

නව ආණ්ඩුව බලයට පත්වී තවමත් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට නව සභාපතිවරයකු පත්කර නොමැති අතර එම මණ්ඩලයේ හිටපු සභාපති කේ. ඒ. අන්සාර් මහතාගෙන් ජල ගාස්තු සංශෝධනය පිළිබඳ කළ විමසීමකට පිළිතුරු දෙමින් මෙසේ පැවසීය. “පසුගිය කාලය පුරාවටම මෙම ජල ගාස්තුව සංශෝධනය විය යුතුයි කියන අදහස තිබුණා. නමුත් ක්‍රියාත්මක කරන්න බැරි වුණා. කොහොම නමුත් ජල ගාස්තු වැඩිවීමක් අවශ්‍යයි. මේ ජල ගාස්තු වැඩි කිරීමක් කියලා කියන්නේ වතුර බිලට නෙවෙයි. ගාස්තුවල සේවා වැඩි කිරීමක් තමයි මෙහෙම ගාස්තු සංශෝධනයක් වෙනවනම් වැඩිවෙන්නේ. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් ජලය පරිභෝජනය කරන 55%කට වගේ මේ වැඩිවීම බලපාන්නේ නැහැ. මේ ජල ගාස්තු සංශෝධනය කිරීමේදී මේක බලපාන්නේ 45%ක් වැනි පිරිසකට තමයි මේ ගාස්තු සංශෝධනය බලපාන්නේ. වතුර අපතේ යැවීමක් සිදු නොකර හිටියොත් මෙම 45% පිරිසටත් පුළුවන් මේ මිල වැඩිවීමකින් තොරව ගාස්තුව පවත්වාගෙන යන්න. යුනිට් 15ට අඩුවෙන් ජලය ගන්න 55%ක පමණ පිරිසක් මේ රටේ ඉන්නවා. ඔවුන්ට කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඇත්තටම කියනවනම් මේ විදිහට යුනිට් 15ට වැඩියෙන් ජලය ගන්නේ යම් වාණිජමය කටයුතු සඳහා. ඒ අයට තමයි ඔය කියන ජල ගාස්තු සංශෝධනයෙන් මිල වැඩිවීමක් වෙනවනම් වෙන්නේ. අනිත් අයට ප්‍රශ්නයක් නැහැ.

ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර

සෑම වසර තුනකට වරක්ම ජල බිල වැඩි කළ යුතුයි. නමුත් පසුගිය වසර කිහිපය පුරාවටම මේ ජල ගාස්තුව සංශෝධනයක් වෙලා නැහැ. ඒ නිසා ළඟදීම ජල ගාස්තුව සංශෝධනය කිරීමට බලාපොරොත්තුවක් තියෙනවා. ජලය ඒකක 15ට වඩා වැඩියෙන් භාවිත කරන අයට මෙතෙක් අය කරනු ලැබුවේ මුල් ඒකක 15කට සහන මිලක් සහ ඊට වැඩිවන ප්‍රමාණයට ඉහළ මිලක් හැටියට. නමුත් ඉදිරි මිල ගණන් සංශෝධනය යටතේ මුල් ඒකකයේ සිටම වැඩි මිලක් පරිභෝජනයට වැඩි අයට ගෙවන්න සිදුවෙනවා. ඒ වුණාට මේ දැනට පවතින ජල ඒකක 15ට පවතින මිල කිසිදු ආකාරයේ වෙනස්වීමක් සිදුවන්නේ නැහැ. ඒ වගේම තමයි තවත් ප්‍රශ්නයක් තියෙනවා ඒ තමයි මෙරට සුළු පිරිසක් අසීමිත ලෙස ජලය පාවිච්චි කරන අතර විශාල ප්‍රමාණයක් ජලය සුළු වශයෙන් තමයි භාවිත කරන්නේ. ඒ වගේම තමයි දැනට වෙළෙඳපොළ තුළ පවතින පානීය ජලය බෝතල්වල ප්‍රමිතිය පිළිබඳ සොයාබැලීමටත් තීරණය කර තිබෙනවා

කෙසේ වෙතත් 2012 මිල සංශෝධනය යටතේ ජල ගාස්තුව, සමෘද්ධිලාභී ගෘහස්ත, සාමාන්‍ය ගෘහස්ථ, පොදු ස්ථාන, පාසල් හා ආගමික ස්ථාන, සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත, වෙනත් කර්මාන්ත හා රාජ්‍ය ආයතන ඇතුළු කාණ්ඩ අනුව එක් එක් මිලකට අය කරගන්නා ලදි. 2016 ගෙනෙන සිදු කිරීමට සූදානම් වූ මිල සංශෝධනයෙන් ඉන් කාණ්ඩ කිහිපයක් ඉවත් කර තිබිණි. කෙසේ වුවත් මෙවර ජල ගාස්තු සංශෝධනය කිරීමට ගෙන එන මිල සූත්‍රය කවර අයුරක් යොදාගනීද යන්න තවමත් ප්‍රකාශයට පත්වී නැත.

මාසිකව ජල බිල්පත් මගින් ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය උපයාගන්නා මුළු ආදායම කෝටි දෙසීයක් පමණ වෙයි. එම ආදායමෙන් වැඩි ප්‍රමාණයක් ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ සේවක සේවිකාවගේ පඩි නඩි සඳහා වෙන් කෙරෙන බවද කියති. කෙසේ වෙතත් මාසිකව ඒකක 15කට වැඩියෙන් භාවිත නරන්නන්ට මිස ඒකක 15 හෝ ඊට අඩුවෙන් ජලය සකසුරුවමින් භාවිත කරන ජල පරිභෝගිකයන්ට මෙම මිල සංශෝධනයෙන් බලපෑමක් නොවනු ඇති බව අමාත්‍යංශය කියයි.

සටහන - හසිත් අංජන

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00