2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

එකදිගට වැටෙන මි.මී. 100 වැසි

 2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 46

දිවයිනේ ප්‍රදේශ රැසකට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අනුව උතුරු, නැගෙනහිර, උතුරු මැද, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේ ද බලාපොරොත්තු විය හැක. මෙම පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට ගිගුරැම් සහිත වැසි ඇතිවිය හැකි බවත් සඳහන් වේ.

සබරගමු, දකුණු සහ බස්නාහිර පළාත්වලින් මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලි මීටර් 75ත් 100ත් පමණ තද වර්ෂාපදතනයක් ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටී.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් කිහිපයක්ම නාය යෑම් ලක්ෂණ පෙර දුටු වහාම ඉවත් කිරීමට සිදු වුණා. එම පවුල් සහන වැපිළි‍ෙවළ යටතේ ඉතා ආරක්ෂිත ප්‍රදේශයක ජීවත් වෙනවා යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය. මේ වැසි සහිත සමය තුළදී එම ප්‍රදේශවල නායයෑම්, බෑවුම්, කඩා වැටීම්, ගල් පෙරළීම්, පස් කණ්ඩි කඩා වැටීම් සහ පොළොවේ ගිලාබැසීම් වැනි අවදානම් තත්ත්වයන් ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවට දැනුම් දෙයි.

පොළොවේ ඇතිවන ඉරි තැලීම්, ගැඹුරට හෑරුණු පැළුම් හා පොළොවේ ගිලා බැසීම්, ක්‍රමයෙන් ඇලවී යන ගස්, ඇලවී යන වැටවල්, විදුලි කණු මෙන්ම ඇලවී යන දුරකථන කණු පිළිබඳව සැලකිලිමත් වන ලෙසද ගොඩනැගිලි පර් යේෂණ සංවිධානය දැනුම් දෙයි. එමෙන්ම ගොඩනැගිලිවල ගෙබිම හා බිත්ති මත ඇතිවන පිපුරැම් සහ ඒවායේ ක්‍රමික වර්ධනය වීම් මෙන්ම එක්වරම ජල උල්පත් ඇතිවීම හෝ පෙර පැවති ජල උල්පත් බොරවීම, අවහිර වීම හෝ නැති වීම වැනි තත්ත්වයන් ඇති වූ විටදී ඒ පිළිබඳව ඉතා කල්පනාකාරී වන ලෙසද ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අවධාරණය කරයි. මේ නායයෑම්වල පූර්ණ ලක්ෂණ වේ.

ඊට අමතරව අනතුරට පත්විය හැකි යැයි අනුමාන කරන ප්‍රදේශවල ජීවත් වන පුද්ගලයන් වැඩි වශයෙන් පරික්ෂාකාරී විය යුතු අතර දැඩි වර්ෂා තත්ත්වය තවදුරටත් පැවතුණහොත් සුරක්ෂිත ස්ථානයක් කරා ක්ෂණිකව ඉවත්ව යාමට සූදානම්ව සිටිය යුතුය.

“මේ වනවිට රත්නපුර දිස්ත්‍රික්කයට විමසිලිමත්ව සිටීමේ අඛණ්ඩ නිවේදන නිකුත් කරලා තියෙනවා. විශේෂයෙන් නුවරඑළි දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රදේශයට රතු නිවේදනය නිකුත් කරලා තියෙනවා. එම දැඩි අවදානම් කලාපවල සිටින ජනතාව තාවකාලිකව එම ස්ථානයෙන් ඉවත් වීම ඉතා වැදගත් වෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රදේශය දැඩි අවදානම් කලාපයක් ලෙස නම් කරලා තියෙනවා” යැයි ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් හඳුනාගත් අධි අවදානම් ප්‍රදේශයේ සිටින ජනතාව තාවකාලිකව එම ප්‍රදේශවලින් ඉවත්ව ආරක්ෂිත ප්‍රදේශ කරා යාම ඉතා වැදගත් වනු ඇත. උඩවලව ජලාශය, ලුණුගම්වෙහෙර හා කණ්ඩලම ජලාශයේ වාන් දමමින් පිටාර ගලමින් පවතින බව වාර්තා වේ. මේ නිසා ඒ අවට ප්‍රදේශවල ජීවත් වන ජනතාව සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ. එමෙන්ම රාජාංගණ ජලාශය, තබ්බෝව, අංගමුව, දැදුරුඔය, කලා ඔය වැනි ජලාශ විශාල සංඛ්‍යාවක වාන් දොරටු විවෘතව පවතී.

පසුගිය දින කිහිපය තුළදී මොණරාගල, බදුල්ල දිස්ත්‍රික්කවල සාමාන්‍ය වර්ෂාව ඇති වූ බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි. කාලගුණ නිවේදනයට අනුව දිවයිනේ දකුණින් ඇතිවන කැළඹිලි සහිත ස්වභාවය අනුව මෙම වැසි තත්ත්වය දින කිහිපයක් පවතින බව වාර්තා වේ. උතුරු, උතුරු මැද පළාත්, ඌව ඇතුළු පළාත් රැසකට මි.මී. 150 ඉක්මවූ වැසි බලාපොරොත්තු විය හැකි බවත් අනුරාධපුර දිස්ත්‍රික්කය, පොලොන්නරුව, ගාල්ල, මාතර, රත්නපුර, ගම්පහ, කොළඹ, කළුතර, මන්නාරම, කිලිනොච්චිය, වව්නියාව යන දිස්ත්‍රික්කවල මි.මී. 100 ඉක්මවූ තද වැසි සවස් කාලයේදී තවදුරටත් ඇතිවිය හැකි බවට අපේක්ෂා කෙරේ.

උතුර, උතුරු මැද, වයඹ, මධ්‍යම, ඌව, දකුණු පළාත්වල ක්ෂණිකව ඇතිවිය හැකි තද සුළං පිළිබඳව විමසිලිමත් වීම ඉතා වැදගත් වේ. කන්කසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 55ත් 60ත් දක්වා ඉහළ යාමේ හැකියාවක් ඇති අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් පනහ දක්වා ඉහළ යා හැකි බවත් ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

► දිශානි ජයමාලි කරුණාරත්න