2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

ස්විස් තානාපති සිද්ධිය පාරාවළල්ලක් වේද?

 2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 492

උතුරු අර්ධගෝලයේ ස්කැන්ඩිනේවියානු කඳුකර රාජ්‍යයක් සහ දක්ෂිණ අර්ධගෝලයේ සමකාසන්න දූපත් රාජ්‍යකට විසඳාගත නොහැකි අර්බුදය දෙස සමස්ත ලෝකයා බලා සිටියි. ස්විස් ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික අර්බුදය ලෙස අද ජාත්‍යන්තර ප්‍රජාව හඳුන්වන මේ කතාංග තවමත් සජීවීය. නොවැම්බර් 25 වැනි සඳුදා දින ඇරඹි මේ කතාංගයේ කොටස් රැසක් මේ වනවිට තිරගත වී අවසානය.

මෙම රාජ්‍යතාන්ත්‍රික මත ගැටුම නිර්මාණය වූයේ කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් රඳවාගෙන ප්‍රශ්න කළ බවට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය ශ්‍රී ලංකා රජයට චෝදනා කිරීම සමඟය. නොවැම්බර් 25 වැනිදා සිදුවූවා යැයි පැවසෙන මෙම පැහැරගැනීම සුදුවෑන් රියකින් පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යැයි කියන පිරිසක් විසින් සිදුකර ඇති බව කියවුණි. ඒ අනුව එම පිරිස මෙම නිලධාරිනිය බලහත්කාරයෙන් රඳවාගෙන තානාපති කාර්යාලයට සම්බන්ධ තොරතුරු විමසා තර්ජන කර ඇත. දුරකථන දත්ත ලබාගැනීම, බියවැද්දී, ලිංගික හිංසන අදී බරපතළ පීඩාවන්ට මෙහිදී මෙම තැනත්තිය ගොදුරැ වී තිබේ. මේ වනවිට ඇය ස්විට්සර්ලන්තය තානාපති කාර්යාලයේ රැඳී සිටින බව පවසයි. එසේම මේ දක්වා තැනැත්තිය ගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ශ්‍රී ලංකා පොලීසියට ඉඩ ලැබී නැත.

අප පළමුව මේ අර්බුදය පිළිබඳ දේශීය විග්‍රහ සාවධානව ගලපා ගතයුතුය. නොවැම්බර් 25 සිදුවීමට අදාළ සිද්ධීන්ගේ පෙළගැස්ම සහ කාලවකවානුව ස්විට්සර්ලන්තය තානාපති කාර්යාලය ලබාදුන් තොරතුරැ සමඟ නොපෑහෙන බව රජය මේ වනවිට ප්‍රකාශ කර තිබේ. ඒ අනුව අදාළ සිදුවීමට මුහුණ පෑ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාව අදාළ දින සිදුකළ ගමන් පිළිබඳ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇත. ඌබර් (Uber) ගමන් වාර්තා, සීසීටීවී (CCTV) දර්ශන, දුරකථන වාර්තා සහ ජීපීඑස් (GPS) දත්ත ඇසුරෙන් මේ තොරතුරැ සනාථ වෙතැයිද පැවසෙයි. එසේනම් නොවැම්බර් 25 සිදුවූයේ කුමක්ද? අපගේ පළමු අවධානය ඒ වෙතටයි.

බැංකු නිලධාරියකුගේ බිරිය වන ගානියා බැනිස්ටර් ෆ්‍රෑන්සිස් යනු ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ වීසා අංශයේ සේවය කරන නිලධාරිනියකි. මාලිගාකන්ද ප්‍රදේශයේ පදිංචි මේ පවුලේ දියණිය අධ්‍යාපන ලබන්නේ ශාන්ත බ්‍රිජට් විදුහලේය. නොවැම්බර් 25 වැනි දින සවස දියණියගේ පාසල් රැස්වීමකට සභාගීවීමට ගිය අවස්ථාවේ මෙම පැහැර ගැනීම සිදුවී ඇති බව ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය කියා තිබේ. එහෙත් මෙම නිලධාරිනිය ස්විස් තානාපති කාර්යාලයෙන් පිටවී අදාළ පාසල හරහා බම්බලපිටිය පැල්මයිරා ඇවනිව් යන ස්ථානයට ගිය බව පොලිස් පරික්ෂණ හරහා අනාවරණය වී තිබේ. පැල්මයිරා ඇවනිව් වෙත යන ඇය එහි පදිංචි ගුරැවරියකගේ නිවසේ පැය එකහමාරක පමණ කාලයක් වීසා ගැටලුවක් සම්බන්ධව කතාබහ කරමින් සිට ඇති බව කියැවේ. අනතුරුව අදාළ නිවසෙන් එළියට පැමිණි මෙම තැනැත්තිය ගාලු පාරටවිත් ත්‍රිරෝද රථයකට ගොඩ වී මාලිගාකන්දේ පිහිටි සිය නිවස බලා ගොස් තිබේ.

අදාල සිදුවීම සිදුවූ දිනයේ සීසීටීවී දර්ශන මෙතෙක් පරීක්ෂණයේ ඉතා වැදගත් සාක්ෂිය වී තිබේ. ඒ අනුව ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය අසල ඇති ජපන් තානාපති කාර්යාලයේ සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමත් සමඟ ඇය පිටව ගිය ඌබර් රථය පිළිබඳ තොරතුරු අනාවරණය විය. පසුව සමාගමේ තොරතුරු විමසා අදාළ රථයේ රියදුරු සොයාගත් ආරක්ෂක අංශ ඔහුගෙන් ප්‍රශ්න කර තිබේ. ගමන් විස්තර අනාවරණය කරගනු ලබන්නේ ඒ අනුවය. සුදුවෑන් පැහැර ගැනීම යැයි කියූ මෙම සිදුවීමට Uber කාර් රථයක් එකතුවීම තරමක් සැකයට තුඩුදෙන සිදුවීමකි. එසේම ආරම්භයේදී තානාපති කාර්යාලය මෙම තැනැත්තියගේ අනන්‍යතාව හෙළි නොකරයි. ඒ අනුව මෙම තැනැත්තියගේ අනන්‍යතාව සොයාගැනීමට විමර්ශකයන් සමත්වන්නේ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයෙහී දරුවන්ගේ විස්තර පරීක්ෂාකොට තානාපති කාර්යාලය සේවය කරන දෙමාපියන් කවුරුන්ද යන්න සොයාබැලීම තුළිනි.

මේ සිදුවීම් මාලාවේ වර්තමාන තත්ත්වය විමසීමේදී ශ්‍රී ලංකා රජයට ලැබී ඇති තොරතුරු අනුව ඉතා සුවිශේෂී කරුණක් දේශයට දැනගන්නට ලැබුණි. ඒ අනුව වර්තමාන විපක්ෂයේ එක්තරා දේශපාලන පක්ෂයකට සම්බන්ධ හිටපු රාජ්‍ය ආයතන සහ රාජ්‍ය ව්‍යාපාරික ප්‍රධානියෙක් මේ සිදුවීමට සම්බන්ධ වී ඇති බවය. තවද තානාපති කාර්යාලයකට සම්බන්ධ මාධ්‍ය නිලධාරියකුගේ නමද මීට ඈඳී තිබේ. සැකයට තුඩුදෙන මේ ආදී සියලු කරුණු පිළිබඳ විමර්ශන කණ්ඩායම අවධානය යොමුකර ඇති බව දැන ගන්නට ලැබේ.

දේශීය විග්‍රහ මෙලෙස ඉදිරිපත් වනවිට ස්විට්සර්ලන්ත පාර්ශ්ව ගෙනහැර පාන කතාවද විමසිය යුතුවේ. ස්විට්සර්ලන්තය ශ්‍රී ලංකා රජයට මේ සම්බන්ධව ‍පැමිණිලි කළේ සිදුවීම සිදුවූවා යැයි කියන දිනට පසුදාය. ඉන් අනතුරුව “මෙම සිද්ධිය අපගේ රාජ්‍යතාන්ත්‍රික නියෝජිතායතනයකට සහ එහි සේවකයින්ට එරෙහිව සිදුවූ ඉතා බරපතළ මෙන්ම පිළිගත නොහැකි ප්‍රහාරයක් ලෙස සලකනවා,” යනුවෙන් ස්විට්සර්ලන්තය රජය මෙම සිදුවීම පිළිබඳ නිවේදනයක් නිකුත් කළේය.

කෙසේ වෙතත් පරීක්ෂණ සඳහා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය සහයෝගය නොදෙන බවට දේශීය වශයෙන් දිගින් දිගටම චෝදනා එල්ලවිය. ඒ අනුව ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය 2019 නොවැම්බර් 29 වැනි සිකුරාදා යම් තොරතුරු ප්‍රමාණයක් ලංකා රජයට ලබාදීමට කටයුතු කළේය. ඒ වනවිටත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉල්ලීම මත ආරක්ෂක අංශ විමර්ශන ආරම්භ කර තිබිණි. කෙසේ වෙතත් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය ලබාදුන් තොරතුරු අනුව මතු වූ ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය ඉතා ප්‍රබල විය. පැහැරගෙන ගිය කාලය තුළ මෙම තැනැත්තියට ශාරීරික හිංසනයන්ට ලක් බවත් ඇය රෝගී තත්ත්වයෙන් පසුවන බවත් ඒ අනුව කියැවිණි. ඊට අමතරව මෙරටින් පලාගිය නිශාන්ත සිල්වාගේ කතාව මුලින්ම මීට ඈඳිණි.

ජංගම  දුරකථනය උදුරාගෙන එහි දත්ත සොරාගැනීම මරණ තර්ජන කිරීම පමණ නොව ලිංගික හිංසනයන් පිළිබඳවත් බරපතළ තොරතුරු මාධ්‍යයෙහි වාර්තා විය. මේ අතර පරීක්ෂණවල ප්‍රගතිය සම්බන්ධයෙන් දෙසැම්බර් 01දා ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ඇතුළු නිලධාරීන් ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හාන්ස් පීටර් මෝක් හමුවීම ද විශේෂිත විය.

නොවැම්බර් 29 වැනි සිකුරාදා ලබාදුන් තොරතුරු මත ප්‍රශ්න කරනු පිණිස සිද්ධියට මුහුණ පෑ බව කියන නිලධාරිනිය තමන් වෙත යොමුකරන ලෙස ලක්රජය කළ ඉල්ලීම ස්විස් තානාපති කාර්යාලය ප්‍රතික්ෂේප කිරීම විශේෂිතය. පරීක්ෂණවල ඇති නොගැලපීම් උපුටා දක්වමින් ලංකා විදේශ අමාත්‍යාංශය නිවේදයක් නිකුත් කරන්නේ මේ අනුවය. ඒ අනුව විදේශ අමාත්‍යාංශය ඉරිදා නිකුත්කළ නිවේදනයට ප්‍රතිචාර දක්වමින් ස්විට්සර්ලන්තයේ විදේශ අමාත්‍යාංශය සඳුදා (02) මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබිණ.

කෙසේ වෙතත් එහි සඳහන් වූයේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණයට ස්විට්සර්ලන්තය පූර්ණ සහයෝගය ලබාදෙන බවය. මේ අතර ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ස්විස් විදේශ අමාත්‍යංශයට කැඳවා ස්විට්සර්ලන්තයේ විදේශ ලේකම් පැස්කල් බෙරිස්විල් සාකච්ඡා කර තිබිණි. අදාළ තැනැත්තියගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවන බැවින් තවමත් ඇයගෙන් ප්‍රශ්න කරනු ලැබිය නොහැකි බව එහිදී අවධාරණය කර තිබේ. තවද පරීක්ෂණවල ඇති නොගැලපීම් සම්බන්ධව ද ඔහුගෙන් විමසා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ සියල්ල අතරේ මෙම නිලධාරිනිය ඇතුළු පවුලේ පිරිස ස්විට්සර්ලන්තයට යැවීමට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය උත්සාහ කරමින් සිටියේය. විදේශ අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා මේ පිළිබඳ අනවාරණය කළ අතර එයද ජාත්‍යන්තරයේ ඉහළ අවධානයක් දිනාගනු ලැබීය.

දේශීය වශයෙන් අධිකරණය මීට මැදිහත් වන්නේ එම අවස්ථාවේදීය. ඒ අනුව පසුගිය සතියේ කොළඹදී පැහැරගෙන ගොස් තර්ජනය කරන ලද බව පැවසෙන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියට තාවකාලික විදේශ ගමන් තහනමක් පනවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දැන් නියෝග කර තිබේ. තාවකාලික ගමන් තහනමක් වන මෙය දෙසැම්බර් 09 දක්වා බල පැවැත්වේ. එදිනට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ කටඋත්තරයක් ලබාදෙන ලෙසත් අදාළ නිලධාරිනියට අධිකරණය නියෝග කර ඇත.

මේ සිදුවීමට අදාළ දේශපාලන සිදුවීම් පෙළක් රට අභ්‍යන්තරයේ සිදුවෙමින් පවතී. අවසාන වශයෙන් ඒවා දීර්ඝ ලෙස පැහැදිලි කළ නොහැකි මුත් කිහිපයක් ඉස්මතු කර දැක්විය යුතුය. රාජිත සේනාරත්න මහතාගේ ප්‍රකාශය ඉතා බරපතළය. එසේම අජිත් ප්‍රසන්නගේ උපවාසය විශේෂිතය. පසුගියදා දේශීය සංවිධාන එකමුතුවක් එක්සත් ජාතින්ගේ සංවිධානයට කළ පැමිණිල්ල ද සුවිශේෂීය. මේ අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙනුවෙන් දීපිකා උඩගම නිකුත් කළ නිවේදනයත් තරමක් බරපතළ බව කිය යුතුය.

මුළුමහත් ලෝකයම බලා සිටින මේ රාජතාන්ත්‍රික අර්බුදය සුළුවෙන් තැකීම කිසිසේත්ම නොසුදුසුය. කෙසේ නමුත් විනිවිදභාවයකින් කටයුතු කිරීම මෙය විසඳාගැනීමට ඇති එකම මගයි. ජාත්‍යන්තර දේශපාලනයේදී විවිධ කිරුම් මිනුම් භාවිතා කළද ස්වෛරීත්වය අතින් සියලු රාජ්‍යය සමාන වන බව සියල්ලෝම මතක තබාගත යුතුය.

චමිඳු නිසල් ද සිල්වා