2017 මාර්තු 18 වන සෙනසුරාදා

නාච්චිමළේ නාන්න ගිහින් එකට ගිලුණු අයියා මලෝ

 2017 මාර්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 126

මහඉංගිරිය කීනගහවිල ප්‍රදේශය අදටත් වඩා ඉස්සර තේ, රබර්වලින් සශ්‍රීකය. එවකට මේ වගාවන්හි (නාච්චි) නැමැති දමිළ කාන්තාවක් කම්කරු රැකියාවේ නිරතව සිටියාය. හැම දිනකම අවසානයේ ඇය දිය නෑමට මහදොළට ගියද එක් දිනක් හදිසියේ ඇය දියේ ගිලීමෙන් මියගියාය. මෙසේ නාච්චි මළ ස්ථානය පසු කලෙක (නාච්චිමළේ) නමින් ප්‍රසිද්ධ වූ බවත් ඒ නමින් වර්තමානයේ ප්‍රදේශය හඳුන්වන බවත් කියති. 

 

නාච්චිමළේ මහදොළේ ගිලීමෙන් වාර්තා වූ පළමු මරණය එය බව පවතින විශ්වාසයයි. මෑතක් වනවිට එම ස්ථානයේ සිදුව ඇති මරණ සංඛ්‍යාව 20ක් දක්වා ඉහළ නැග තිබිණි. එහි ආසන්නතම මරණ තුනක් එකම මොහොතක වාර්තා වූයේ ඉකුත් මැදින් පෝය දිනයේදීය.

පසුගිය පෙබරවාරි 6 වැනිදා ජයටම විවාහ මංගල උත්සවය පැවැත්වූ සුරංග, ඔහුගේ ආදරණීය බිරිය, මංගල්‍යයේ දෙවැනි මනාලයා වූ පොඩි මල්ලි සමඟ සිය සහෝදරයාත් ඔහුගේ බිරිය හා දරුවන් දෙදෙනාත් මවත් එකම නැගණියත් ඇතුළු 9 දෙනකු පමණ ඊට මාසයකට පමණ පසු ඉකුත් 12 වැනිදා කුලී රථයක නැගී රත්නපුරය මහ සමන් දේවාලය බලා ගියේ පෙර දිනක වී තිබූ බාරයක් ඔප්පු කිරීමටය. පෙරවරු 6ට පමණ රත්මලාන නිවෙසින් පිටත් වූ පිරිස පූජාව පවත්වා නැවත එන අතරතුර තීරණය කොට තිබුණේ (නාච්චිමළේ) දොළට ගොස් දිය නාගෙන එන්නටය.

නඩය නාච්චිමළේ දොළට පැමිණ තිබුණේ පස්වරු 1ට පමණය. ඔවුන් අතර සිටි කාන්තාවන් කීපදෙනෙක් මුලින් දියට බැස ගොඩට පැමිණියහ. එතෙක් වේලා මත්පැන් තොල ගාමින් සිටි තරුණ වියේ පිරිසද ඉන්පසුව දියට බැස පැය එකහමාරකට පමණ පසුව ඔවුන්ගේ මවගේ පෙරැත්ත නිසා ගොඩට පැමිණියහ.

එසේ ආවේ දිවා ආහාරය ගන්නටය. එහෙත් කිසිවෙක් සියතින් බත් කටක් අනා කෑවේ නැත. සිය මව විසින් අනා කැවූ බත් දෙකටක් ගිල දැම්මේත් අම්මාගේ කීමටය. මේ අතරදී තෙත බරිතව සිටි සුරංගගේ අත ඔවුන් පැමිණි වෑන් රථයේ පිටත ගෑවීමෙන් දූවිලි ගොඩක් තැවරුණේ මඩ ස්වරූපයෙනි.

“අයියෝ... මගෙ අතේ මඩ ගෑවුණා... ඉක්මනට සෝදාගෙන එන්නම්...” යැයි කියූ සුරංග ඒ සැණින් දොළ දෙසට ගියේය. ඒත් සමඟ ඔහුගේ වැඩිමහල් සොහොයුරු මධුරංගත් ඥාති සොහොයුරු පොඩි මල්ලීත් ඔහු පසුපස ගියේ මේ ගමන් තව ටිකක් නාලා එමු යැයි කියමිනි.

එසේ යන ඔවුන් අතර සිටි තවත් ඥාති සොහොයුරෙක් කීවේ... ඇති... ඇති... ඔය හැටි නාන්න ඕනයැ... දැන් යමු කියාය.

ඔව්... ඔව්... බං යන්න තමයි ආවේ... අපි දැන් යනවා... යැයි සුරංග කීවේ ඉදිරි මිනිත්තු කීපයේ සිය ජීවිතයෙන්ද පලායන බවට කිසිදු හැඟීමක් නැතිවය.

වෑන් රථයේ තෙත ඇඳුම් උනා දමමින් සිටි තරුණයා සුරංගගේ ඥාති සොහොයුරෙකි. මිනිත්තු කීපයක් ගතවුවද අත සෝදා එන්නට ගිය සෙහොයුරන්ගේ ප්‍රමාදය ගැන සොයන්නට ඔහු දොළ පාරට ගමන් කළේය.

“මම අයියලා හොයන්න දොළට ගියා... යද්දි කවුරුත් පේන්න නෑ. දිය ඇල්ලට පහළින් වලේ යට ඉඳලා පොඩි මල්ලිගේ ඔළුව උඩට ආවා... ඒත් එක්කම යට ගියා... ඒ වෙද්දි අයියලා දෙන්නම පේන්න හිටියේ නෑ... මට බහින්නත් බෑ... මම කෑගැහුවා... අප ඊට කලින් ඊට පහළින් නෑවේ. ඒ වෙලාවෙ තව පවුල් 6ක් විතර හිටියා. එක්කෙනෙක් ලිස්සලා වැටිලා අනිත් දෙන්නා බේරාගන්න ගියාද කියලා හිතෙනවා...” යැයි ඔහු සියැසින් දුටු සිදුවීම විස්තර කළේය.

අවාසනාවන්ත ලෙස දියේ ගිලී මියගිය සුරංග 28 හැවිරිදිය. විවාහ වී මාසයක් ගතවූ ඔහු රත්මලාන බෙලෙක්කඩේ හන්දියේ ත්‍රීවිල් රථ රියැදුරෙකි. මධුරංග (32) ඔහුගේ වැඩිමහල් සොහොයුරාය. දරු දෙදෙනකුගේ පියෙක් වන ඔහු රත්මලාන පොළේ සිල්ලර වෙළෙඳසලක හිමිකරුවෙකි. පොඩි මල්ලී ලෙස හඳුන්වන 20 හැවිරිදි ඥාති සොයුරා සුරංගගේ මස්සිනාය. ඔහු සුරංගගේ මංගල්‍යයේ දෙවැනි මනාලයාය. ඔහුගේ පදිංචිය හොරණ ප්‍රදේශය වන අතර සුරංග සහ මදුරංගගේ නිසල දේහයන් තැන්පත් කර තිබුණේ රත්මලාන ‍තෙලවල රාහුල මාවතේ පිහිටි නිවසේය.

මරණ ත්‍රිත්වය සිදුවූ ස්ථානයට ගිය අපට මහදොළ අසල පදිංචි ඕ.කේ. සරත් උපාලි මහතා මෙසේ පැවසීය.

මම දැනුම්වත්ව මෙතන සිද්ධවෙච්චි 20 වැනි මරණය. මැරුණු හැමෝම පිටස්තරින් ආපු අය. එන්නේ විනෝදයට. ඇවිත් බීලා නාන්න යනවා. අපි ගමේ අය කරුණු කීවාට පිටින් එන අය ගණන් ගන්නේ නෑ. ඊට කලින් මැරෙන්න ගිය කීපදෙනෙක් අපි බේරලා තියෙනවා. මේ මැරුණු අයටත් ඊට කලින් මම ගිහින් කීවා. මෙතන බොන්න එපා බීලා වතුරට බහින්න එපා කියලා. නමුත් මම ආවාට පස්සේ එයාලගේ රියැදුරුට මගේ ගැන කියලා බැණලා තියෙනවා. මෙයාලා නාලා සැරයක් ගොඩ ඇවිත් මටත් බොන්න කතා කළා. අපි ඕවාට සම්බන්ධ වෙන්නෙ නෑ. මේ මරණය වු‍ණේ කියන දේ නාහපු නිසාමයි. මෙතන බෝඩ් ගහලා තියනවා නාන්න එපා කියලා... මෙයාලා වාහනය නතර ක‍ළේ අනෙක් අයටත් බෝඩ් එක වැහෙන විදිහට. පිටින් එන අය නිසා ගමට ගැටලු රාශියක් ඇතිවෙලා. නිවාඩු දිනවලට මේ ස්ථානයට සෙනඟ පිරෙනවා. පාරිසරික ගැටලු ඇතිවෙලා. තරුණ තරුණියො එනවා. මේ නිසා අපචාර සිදුවීම් වෙනවා. මෙතනට පොලීසියේ ආරක්ෂාව ලබාදෙන්න කියලා ඉංගිරිය පොලීසියෙන් ඉල්ලනවා.

සෙනරත් ඉන්ද්‍රප්‍රිය මහතා නාච්චිමළේ පදිංචිකරුවෙකි. ඔහු පැවසුවේ මෙවැන්නකි.

විනෝද වෙන්න තමා හැමෝම එන්නේ. නමුත් ගමේ මිනිස්සු කියන දෙයක් අහන්න ඕනනේ. පිටින් එන අය මේ දොළ හඳුනන්නේ නෑ. මේ ඇල්ලට ඉහළින් සහ පහළින් විශාල වළවල් 3ක් තියෙනවා. ඇඳවල, ආඳාවල සහ මාළුවල කියන්නේ ඒවාට. වතුර යටින් ගල්වල බෙණ හෑරිලා තියෙනවා. නොදන්නා අය ගියාම වැටිලා හිරවෙනවා. අන්තිමට මිනිය තමා ගොඩගන්නේ. අපිනම් කියන්නේ මෙතනට නාන්න එන්න එපා කියලයි. නමුත් සෙනඟ එන නිසා ගමේ සමහරු දොළ දිගට කඩවල් දානවා. ජෝඩු ආවාම අවට කැලේ නිසා අපචාර සිදුවෙනවා. කාලයක් යුධ හමුදාව මැදිහත්වෙලා ඒ සේරම නැවැත්තුවා. දැන් එහෙම නෑ. පොලීසිය මැදිහත් වෙනවානම් හොඳයි.

නාච්චිමළේ ව්‍යාපාරිකයකු වන චන්දරේ මහතා පළ කළේ මෙවැනි අදහසකි.

මෙතන නෑම තහනම් කළ දැන්වීම් ගහලා තියනවා. පිටස්තරයන් ඇවිත් නානවා. මේ මැරුණු අයත් ඔතන බීලා තියෙනවා. මත්පැන් බෝතල් ගල් උඩ තිබුණා අපි දැක්කා. අවට කාගේහරි හිතවත්කමට ආපු කෙනෙක් ආයෙම එන්නේ තව නඩයක් එක්ක. ගල් උඩ කාලා බීලා නානවා. බෝතල් ගලේ ගහනවා. පරිසරයට හානි කරනවා. ගමේ අය කියන දේ නාහන අය ගිලිලා මැරෙනවා. අවට කැලය නිසා අපචාර සිදුවෙනවා. කාලෙකට කලින් කාන්තාවක් මරලා දාලා හිටියා. සමහර එන අය ගමේ අය සමඟ ගැටුම් ඇතිකරගන්නවා. මෙතන නාන්න තහනම් තැනක්. තහනම් බව දැන දැනම ගිහින් මැරෙනවා.

නාච්චිමළේ මහදොළ සුන්දරය. නමුත් එහි ගැවසීම දිය නෑම අනතුරු සහිතය. දියේ ගිලී සිදුවූ මරණ 20 ඊට උදාහරණය. ඔබත් එහි යාමට අදහස් කරන්නේ නම්... ගම්වාසීන්ගේ උපදෙස් පිළිපැද සුරක්ෂිතව ගැවැසීමට සිතාගැනීමට අවශ්‍යය.

♦ කතාව හා සේයාරූ -  විල්තෙර