2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

කටුනායකදී අතේපත්තු වූ ජනපති ගෝඨාභය ඝාතන සැලැස්ම

 2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 517

ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ජනාධිපතිවරණය නිමවී 11/28 වැනි දින වනවිට ගත වී තිබුණේ දින 12ක් පමණි. කටුනායක පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ඉන්දික කුමාර මහතා 12/02 දින සිය රාජකාරි කටයුතුවල නිරත වී සිටියදී, කටුනායක පොලිසියට අනුබද්ධිත පොලිස් බුද්ධි අංශ නිලධාරියෙක් කඩිනමින් වායු සමීකරණය කරන ලද එම අංශයට ඇතුළු විය. එම බුද්ධි අංශ නිලධාරියා ප්‍රකාශ කළ දෑ පිළිබඳව ඉන්දික කුමාර මහතා මොහොතකට තිගැස්සුණේය.

වහාම එම ලද තොරතුරු පිළිබඳව කටුනායක පොලීසියේ වැඩබලන ස්ථානාධිපති රෝහණ ද සිල්වා මහතා මෙන්ම, මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල කඩුපිටිය මහතාද දැනුවත් කිරීමට මෙම නිලධාරී මහත්වරුන් පියවර ගෙන තිබුණි. ඒ සමඟ විශේෂ වැටලීමක් සංවිධානය කළ කටුනායක පොලීසිය, එය වෙනත් පොලිස් වසමක නැතිනම් සීදූව පොලිස් වසමේ ක්‍රියාත්මක කරන්නට වීම විශේෂත්වයකි. එතරම් ඉක්මණින් මෙම තීරණය ක්‍රියාත්මක කරනු ලැබුවේ අප රටේ රාජ්‍ය නායකයා වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන තැතක් පිළිබඳව ලද බුද්ධි තොරතුරක් නිසාය.

එමෙන්ම තොරතුර ලැබී ප්‍රමාද වුවහොත් අදාළ සැකකරැවන් ප්‍රදේශයෙන් අතුරැදන් වීමට හැකි බව ඉන්දික කුමාර මහතා වටහාගෙන තිබූ නිසා මෙම මෙහෙයුම වඩාත් කඩිනම් කිරීමට පියවර ගනු ලැබීය. ඒ අනුව සූදානම් කළ පොලිස් නිලධාරීන් කණ්ඩායම අමන්දොළුව, ජයවර්ධනපුර පිහිටි නේවාසිකාගාරය වැටලීය. පුදුමයකි, එහි සිටි මෙම ඝාතන කුමන්ත්‍රණයේ ප්‍රධාන සැකකරු තම කාමරයේ නිසොල්මනේ රැඳී සිටිනු දක්නට හැකි විය.

වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගෙන කටුනායක පොලීසිය වෙත රැගෙන යෑමට සූදානම් වනවිට, ඊට එරෙහිව කිසිදු විරෝධයක් ප්‍රකාශ නොකළ ඔහු තම උඩුකය වසා ගැනීමට කමිසයක් දමාගෙන පොලිස් ජිප් රිය වෙත ගොඩ විය. ඔහු වාලච්චේන ආලීම් පාරේ, මීරාවෝඩේ 4හි පදිංචි 26 හැවිරිදි හකීම් මොහොම්මදු රිෆ්කාන් නැමැති අයයි. මීට මාස තුනකට පමණ පෙර කටුනායක වෙත පැමිණි ඔහු බ්‍රැන්ඩික්ස් නැමැති ඇඟලුම් කම්හලේ ටික කාලයක් සේවය කර තිබූ අතර දැනට මාස දෙකක පමණ කාලයක සිට කිසිදු රැකියාවක නිරත නොවී මෙම නේවාසිකාගාරය තුළ කල්ගත කරන්නට වී තිබේ. ඒ අතරතුර ඉකුත් 11/28 දින හකීම් මොහොම්මදු රිෆ්කාන් මත්පැන් සාදයක් තම නේවාසිකාගාරය තුළ සංවිධානය කර තිබිණි. ඒ සඳහා කිලිනොච්චිය, අක්කරායන්, අංක 57, කොට්ටකට්ටකුලම්හි පදිංචි 21 හැවිරිදි ගනේෂලිංගම් මදන් සහ ඔහුගේ මස්සිනාද ඇරයුම් ලබා පැමිණ සිටියහ.

මධුවිත තොලගාමින් සාදය ක්‍රියාත්මක වෙමින් තිබියදී හකීම් මොහොම්මදු රිෆ්කාන් මෙම සාදයේ අරමුණු පැහැදිලි කරන්නට පටන් ගත්තේය. රටේ ඉහළම නායකයාට හානි කළයුතු බවත් එවිට තමන්ට හොඳ ලොකු මුදලක් ලැබෙනු ඇති බවටත් ඔහු එහිදී කියා ඇති බව කටුනායක පොලීසියට ලබාදී ඇති කටඋත්තරයේ සඳහන් කර තිබේ. අපිට එතකොට පිටරට ගිහිල්ලා සතුටින් ජීවත්වෙන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් කිසිම දෙයක් කිසිම කෙනෙකුට කියන්න එපා. ඔයාලට මේ වැඩේට හවුල්වෙන්න බැරිනම් මේ කනෙන් අහලා අනිත් කනෙන් පිටකරලා දාන්න. මගේ පින්තූරයක්වත් කාටවත් පෙන්වන්න එපා. යැයි හකීම් මොහොම්මදු රිෆ්කාන් කියාගෙන ගිය බවද අපිව පොලීසිය ඇල්ලුවොත් අපිට උදව් කරන්න, අපිව එළියට ගන්න අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුත් ඉන්නවා යැයි කියා ඇති බවද කටඋත්තරයේ සඳහන් කර ඇත.

මෙම පණිවිඩය ඇසූ ගනේෂලිංගම් මදන්ගේ සහ ඔහුගේ මස්සිනාගේ වෙරි හිඳී යන්නට විය. ඔවුන්ගේ සියොළඟම දහදියෙන් තෙත් වන්නට විය. ඒ වනවිට වේලාව මධ්‍යම රාත්‍රිය ආසන්නයේ පැවතීම නිසා සාදය අවසන් විය.

ඒ අතර 12/02දා වනවිට කටුනායක පොලිසියේ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ඉන්දික කුමාර මහතාට මෙම තොරතුරැ සියල්ල දැනගන්නට ලැබී තිබුණි. ඒ අනුව මෙම සාදයේ හකීම් මොහොම්මදු රිෆ්කාන් ප්‍රකාශ කළ දෑ හොඳින් දන්නා ගනේෂලිංගම් මදන්ට අමතරව, විශ්වමඩු, කල්ලරාව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි ගුණරත්නම් නගුලේන්ද්‍රම් සහ එම ගමේම පෙරමන්දන් පාරේ පදිංචි 31 හැවිරිදි වේලු කෝනේස්වරම්ද පොලිස් අත් අඩංගුවට පත්වූහ.

ඒ අතර හකීම් මොහොමඩ් රිෆ්කාන්ගේ ගමන් මලු පොලීසිය විසින් පරික්ෂා කරන්නට වූ අතර, එහි භාවිත කළ සිම්කාඩ් පත් 11ක් සහ ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රයද එහි තිබී පොලීසිය විසින් සොයාගෙන තිබුණි. හකීම් මොහොම්මදු රිෆ්කාන් රුකියාවක් නොමැතිව මාස දෙකක පමණ කාලයක් කටුනායක නේවාසිකාගාරය කල්ගත කරමින් සිටීමත්, පොලිසිය ඔහුගේ නේවාසිකාගාරය වටලා ඔහු අත්අඩංගුවට ගැනීමේදී ඔහු කිසිදු විරෝධතාවක් පළ නොකිරීමත් පොලිස් විමර්ශකයින්ගේ විශේෂ අවධානයට පාත්‍ර වී තිබේ.

මෙසේ කාලයක් රුකියාවක් නොකර කොළඹ රඳී සිටීමට වෙනයම් ක්‍රමයකින් ඔහුට මුදල් ලැබිය යුතු බවට පොලීසිය විශ්වාස කරයි. පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයේදී කතෝලික පල්ලිය වෙත බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට පැමිණි එක් බෝම්බකරැවකු කීපවරක් එම ප්‍රහාරය ගැන සිතා එළියට ගොස් යළිත් යාඥා කරමින් සිට ජීවිතය පිළිබඳව දෙවරක් සිතන ආකාරය අපට දැකගන්නට හැකි විය. ඒ ආකාරයට මෙම හකීම් මොහොම්මදු රිෆ්කාන්ටත් මෙසේ පොලිස් අත්අඩංගුවට පත්වීම, ඔහුට ජීවිතදානය ලැබීමක් සේ සලකා, විරෝධතාවක් නොදැක්වූවාද යන්න පොලීසියේ අවධානයට ලක් වී තිබේ.

මෙවැනි අත්අඩංගුවට ගැනීමට යාමකදී අනිවාර්යයෙන්ම විරෝධතා එල්ලවීම ස්වාභාවික බව පොලීසිය අත්දැකීමෙන්ම දනී. 12/02 දින අත්අඩංගුවට ගත් හකීම් මොහොම්මදු රිෆ්කාන්, පැය කීපයකට පසුව කටුනායක පොලීසිය විසින් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දින 14ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර ලබාගෙන තිබුණි.

12/03 දින මෙම ඝාතන කුමන්ත්‍රණය පිළිබඳව අත්අඩංගුවට ගෙන තිබූ දමිල ජාතික තරැණයන් තිදෙනා තමන් ඉදිරියේ හකීම් මොහොම්මදු රිෆ්කාන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය සඳහා සිදුකළ ප්‍රකාශ පිළිබඳව ප්‍රකාශ ලබාදී ඉදිරි විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය සහාය ලබාදෙන බවට වූ පොරොන්දුව මත පොලිස් ඇප මත මුදාහැර තිබේ.

12/04 වැනි දින යළිත් හකීම් මොහොම්මදු රිෆ්කාන්, කටුනායක පොලීසිය විසින් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර, එහිදී මෙම සිදුවීම පිළිබඳව වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හකීම් භාරදෙන ලෙසත් 12/16 තෙක් ඔහු එහි රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන කටයුතු කිරීම සඳහාත් අවසර ලබා දී තිබේ.

මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල කඩුපිටිය සහ සහකාර පොලිස් අධිකාරී නිමල් බණ්ඩාර යන මහත්වරැන්ගේ උපදෙස් මත කටුනායක පොලීසියේ වැඩබලන ස්ථානාධිපති රෝහණ ද සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ, අපරාධ අංශයේ ස්ථානාධිපති එච්.ජී.ඩබ්ලිව්. ඉන්දික කුමාර, පොලිස් සැරයන් (4866) බණ්ඩාර, පොලිස් කොස්තාපල්වරැන් වන (79452) බුද්ධික සහ (34467) බණ්ඩාර යන මහත්වරුන් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකර තිබුණි.

 කටුනායක ටී.කේ.ජී.කපිල