2017 මාර්තු 18 වන සෙනසුරාදා

ප්‍රභාකරන් ඝාතනයට අගමැති රජීව් අණදුන්නා ( කරුණා කියන ප්‍රභාකරන්ගේ බිහිසුණු කතාව 03)

 2017 මාර්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 711

කරුණා හෙවත් විනයාගමූර්ති මුරලිදරන් නැගෙනහිර පළාතේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අණදෙන ප්‍රධානියා බවට පත්වෙත්දී ඔහුට යන්තම් වයස අවුරුදු 20 සපිරුණා පමණි. කුඩා වයසේදීම සටනට නායකත්වය දිය හැකි ලක්ෂණ පෙන්වූ නිසාවෙන් හා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මහතැන වූ ප්‍රභාකරන්ගේ විශ්වාසය දිනාගැනීම නිසා මෙකී බාරදූර වගකීම අඩු වයසේදීම ඔහුට ලැබුණි. ඒ ලැබුණේ එක්තරා අහඹු සිදුවීමක් නිසාවෙන් බව පසුගිය සතියේ ලියවුණි. එහෙත් තමන්ගේ නායකයාගේ අණ අනුව යමින් එකී අහඹු සිදුවීම සූක්ෂම අයුරින් නැවත නොවරදින ආකාරයට වෙනස් කරගන්නට කොටි සාමාජිකයින් 11 දෙනෙකු බිලිදුන් කතාවද ගත වූ සතියේ ලියවුණි...

ඒ කාලේ නැගෙනහිර පළාතේ වැඩිපුරම හිටියේ එස්.ටී.එෆ්. එක. අපි උතුරේදී හමුදාව නිතර දැක්කාට නැගෙනහිර ඒක වෙනස් වුණා. මේ කාලේ උතුරේ හමුදාවට අණ දුන්නේ ඩෙන්සිල් කොබ්බෑකඩුව එක්ක විජය විමලරත්න. අපි අහලා තිබුණා හමුදාවේ කොල්ලෝ ඒ දෙන්නාට ගොඩාක් ගරු කරනවා, ඒ නිසා එයාලා එක්ක ප්‍රහාරයකට ආවොත් කොහොම හරි ගහනවා කියලා. අනිත් පැත්තට ඩෙන්සිල් කොබ්බෑකඩුව කළ ප්‍රහාර සියල්ලම වගේ සාර්ථක වෙලා තිබුණා. වඩමාරච්චි මෙහෙයුම ආරම්භ වුණේ මේ කාලේ. ඒ නිසා මට ආයෙත් උතුරට යන්න වුණා. මුලින්ම කළුකොටි සංවිධානය හැදුවේ මම උතුරට ගිය දවස්වල. මට මතක හැටියට මිල්ලර් කියන කෙනා තමයි කළුකොටි සංවිධානය හදලා ඒකෙන් කළ පළවෙනි ප්‍රහාරය එල්ල කළේ. මුලින්ම ගැහුවේ නෙල්ලිඅඩි හමුදා කඳවුරට. නෙල්ලිඅඩි පාසලේ තමයි කඳවුර තිබුණේ. අන්තිමට හමුදාව පලාලි කඳවුරටම පසුබැස්සා...

වඩමාරච්චි මෙහෙයුම මෙරට ඉතාම තීරණාත්මක මෙහෙයුමක් විය. මෙහෙයුම ක්‍රියාත්මක වන අතරවාරයේදීම ඉන්දියාවද මෙරටට අත දැමීම හේතුවෙන් කාරණා තවත් දුරදිග යන්නට විය.
සෙන්පති ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ මෙහෙයවීමෙන් 7000 ක භට පිරිසක්‌ වඩමාරච්චි මෙහෙයුම දියත් කරනු ලැබීය. අවසානයේ එක්තරා මොහොතක මෙහෙයුමේ මැද ප්‍රභාකරන් සෙබළුන් කිහිපපොළක්ද සමඟ කොටු විය. ප්‍රභාකරන් කොටුවී සිටියදී වඩමාරච්චි මෙහෙයුම නතර කරන්නැයි අගමැති රජිව් ගාන්ධි ශ්‍රී ලංකා ජනාධිපතිවරයාව කියා සිටියේය. මේ පසුබිම මැද 1987 ජුනි 03 දා උතුරේ ජනතාවට මානුෂික ආධාරයැයි කියමින් රතුකුරුස ධජය සහිත බෝට්‌ටු රැසකට යාපන අර්ධද්වීපය අසල මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා මෙරට මුහුදු සීමාවට ඇතුළුවීමට ඉඩ දුන්නේ නැත. මේ නිසා ඉන්දීය රජය කෝපයට පත්විය. 1987 ජුනි 4 දා එනම් සහනාධාර රැගත් බෝට්‌ටු හරවා දිනක් ඇතුළත ඉන්දීය විදේශ කටයුතු ඇමැති නත්වාර් සිං ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌වරයා කැඳවා අනතුරැ අඟවමින් කියා සිටියේ “අපි යාපනයට ගුවනින් සහනාධාර දමනවා. එම සහනාධාර රැගත් යානාවලට වෙඩි තැබීමට නුඹලා ක්‍රියා කළහොත් බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණපෑමට සිදුවෙයි* යනුවෙනි. මෙම තර්ජනයෙන් විනාඩි කීපයකට පසු ඇන්ටනොව් 32 වර්ගයේ ප්‍රවාහන ගුවන් යානා පහක්‌ මිරාජ් ප්‍රහාරක යානා හතරක රැකවරණ මැද බැංගලෝරයේ සිට යාපනයට එවනු ලැබීය. ඉන්දීය යානා පැය දෙකකට පසු ටොන් 25 ක ආහාර ද්‍රව්‍ය පැරෂුට්‌ මගින් යාපනයට හෙළීමට ක්‍රියා කළේය. යාපනයට ගුවනින් ආහාර දැමීමේ මෙහෙයුම ඉන්දියාව දියත් කළේ පුමලෙයි මෙහෙයුම නමිනි.
මේ කාලේ ලංකාවේ දකුණේ ජේ.වී.පී. එක මිනිස්සු මරන්න පටන් ගත්තා. පොලීසිවලට ගහලා, බස් ගිනි තියලා, කඩවල් වහලා ගොඩාක් ප්‍රශ්න කළා. අන්තිමට ජේ.ආර්.ට උතුරේයි දකුණේයි දෙකේම ප්‍රශ්න විසඳන්න වුණා. අන්තිමට එයා කළේ ඉන්දියාවත් එක්ක ගිවිසුමක් ගහලා ඉන්දියාවට උතුරු දීලා හමුදාවට කිව්වා ගිහින් දකුණ බලාගන්න කියලා...

ඉන්දීය අගමැති ගාන්ධි ජූලි 29 දා මෙරටට පැමිණ ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කරනු ලැබීය. මෙම ගිවිසුම අත්සන් කිරීමට පෙර ඉන්දීය “රෝ” බුද්ධි සේවාවේ එවකට ප්‍රධානියා වූ වර්මා කොළඹට පැමිණ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන හමුවී සාකච්ඡා කළේය. ගිවිසුම අත්සන් කර පැය 24 ක්‌ ගතවීමටත් මත්තෙන් ඉන්දීය ගුවන් හමුදාවට අයත් භට පිරිස්‌ ඇන්ටනොව් යානා මගින් පලාලි ගුවන්තොටුපොළට පැමිණියහ. ඉන්දීය හමුදා පලාලි වෙත එනතුරු කඳවුරේ අණදෙන නිලධාරියා ඒ බව දැන සිටියේ නැතැයිද කියවේ. එකල පැවති එක්සත් ජාතික පක්ෂ පාලනය යටතේ මෙරට ත්‍රිවිධ හමුදාව පත්වූයේ අතිශය අසරණ තත්ත්වයකටය. එක් පසෙකින් කොටි සංවිධානය තමන් නෝංජල් කරන අතර අනෙක් පසින් ඉන්දීය හමුදාවද මෙරට ත්‍රිවිධ හමුදාව බල්ලන්ට දමා තිබුණි. මේ තත්ත්වය මැද අගෝස්‌තු 2 දා යාපනයට පැමිණි ඉන්දීය හෙළිකොප්ටර් යානාවක්‌ ප්‍රභාකරන්ව රැගෙන ඉන්දියාවට ගියේය. එහිදී ප්‍රභාකරන් ඉන්දියාව බලා යන්නේ එතරම් කැමැත්තකින් නොවන අතර ඉන්දියාව බලා නොගියේ නම් ශ්‍රී ලංකා හමුදාව තමන් අල්ලාගන්නා බවට (හෝ ඉන්දීය හමුදා තමන්ව ඔවුනට බාරදෙන බවට) ප්‍රභාකරන් හට ප්‍රත්‍යක්ෂ විය. ඉන්දියාව පැවසූ පරිදි ඉන්දු ලංකා ගිවිසුමට ප්‍රභාකරන්ගේ අනුමැතිය ලබාගැනීම එම ගමනේ අරමුණයි. ඉන්දියාවේ අශෝක් හෝටලයේ දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ රඳවා සිටි ප්‍රභාකරන් අගෝස්‌තු 4 වැනිදා ආපසු යාපනයට පැමිණියේය. ඔහු නවදිල්ලියේ දී රජිව් ගාන්ධි සමඟ රහස්‌ සාකච්ඡා පවත්වා තිබිණි.

අපිට කිව්වා කොටි සංවිධානය සතු සියලුම ආයුධ ඉක්මනින්ම ඉන්දීය හමුදාවන්ට බාරදෙන්න කියලා. අපේ ළඟ තිබුණ පරණ  AK47, G3  රයිෆල්, මෝටාර් වෙඩි, රොකට් විදින වගේ පාවිච්චි කරන්න බැරි ඔක්කොම අරගෙන ගිහින් යාපනේ ගුවන් හමුදා කඳවුරක ගොඩ ගැහුවා. ඒත් අපි ඔක්කොම අවි බාරදෙන බව පෙන්නන්න යාපනෙයි, නැගෙනහිරයි හිටිය ඔක්කොම කොටි නායකයෝ ළඟ තිබුණ රිවෝල්වර පවා එකතු කළා. එකතු කරපු එකක්වත් බාරදුන්නේ නෑ. ප්‍රභාකරන් කිව්වා අපි වටේටම සතුරෝ ඉද්දි ආයුධ බාරදීලා මැරෙනවාට වඩා ආයුධ එක්ක සටන් කරලා මැරෙන එක හොඳයි කියලා. 

මේ අතර අගෝස්‌තු 5 වැනිදා දහවල් යාපනයේදී කොටින් අවි බාරදීමේ උත්සවය පැවැත්විණි. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් එවකට ආරක්‍ෂක ලේකම් වූ සේපාල ආටිගල ඉන්දීය සාමහමුදාව නියෝජනය කරමින් ජනරාල් හරිකිරාත් සිං ද න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් හා යෝගි ද එකී උත්සවයට පැමිණ සිටියහ. එහෙත් ප්‍රභාකරන් පැමිණියේ නැත. මෙම අවි බාරදීමේ උත්සවයේදී කොටි බාර දුන්නේ අබලන් වූ අවි යැයි ඉන්දීය සාමහමුදාවේ බුද්ධි අංශ ප්‍රධානියා වූ කර්නල් කිරාන් පසුව හෙළි කළේය. මුලින් කී පරිදි මේ වනවිට 48000 ක ඉන්දියානු භට පිරිසක්‌ මෙරටට පැමිණ සිටියේය.

ප්‍රභාකරන් ඉන්දියාවට ගොස් අත්සන් කර පැමිණි සාම ගිවිසුම අනුව කොටි සංවිධානය කිසිදු යුධ ක්‍රියාමාර්ගයක් නොගත යුතුව තිබුණි. එහෙත් කොටි ත්‍රස්‌තවාදීන් මේ ගිවිසුම බිඳ දමමින් චීන වරාය ප්‍රදේශයේ සිංහල හා මුස්‌ලිම් ජනතාවට පහරදුන් අතර චීන වරාය පොලිස්‌ ස්‌ථානාධිපතිද කොටි පහර කෑමට ලක්‌විය. ඉන්දීය සාම හමුදාව නිහඬව සිටියදී චීන වරාය පන්සලේ නාහිමියන්වද ඝාතනය කිරීමට කොටි ක්‍රියා කළහ. මේ පසුබිම මැද ප්‍රභාකරන් කෙරේ තිබූ විශ්වාසය බිඳ වැටී ඇතැයි වාර්තා විය. මේ නිසා රජිව් ගාන්ධි එවකට කොළඹ සිටි ඉන්දීය මහ කොමසාරිස්‌ ජේ.එන්. ඩික්‌සිත් කැඳවා “ප්‍රභාකරන් ගැන මට විශ්වාසයක්‌ නැහැ. ඔහුට වෙඩි තබන ලෙස අණදෙන නිලධාරියාට කියන්න” රහසිගත නියෝගයක්‌ දුන්නේය. ඩික්‌සිත්ද රාත්‍රියේම ඉන්දීය සාම හමුදා ප්‍රධානියා වූ මේජර් ජනරාල් කිරාත් සිං අමතා ප්‍රභාකරන්ට වෙඩි තියන්නැයි රජිව් ගාන්ධි නියෝග කළ බව කීවේය. “ඉන්දීය හමුදාව පසුපසින් වෙඩි තියන්නේ නැහැ. මට ගාන්ධිගේ නියෝගය ක්‍රියාත්මක කරන්න බැහැ යැයි කිරාත් සිං ඔහුට ප්‍රතිඋත්තර දුන් බව අතීතයේ ලියැවී තිබේ. විශ්‍රාම යෑමෙන් පසු හරිකිරාන් සිං රජිව්ගේ මේ නියෝගය හෙළි කළේය.

හැබැයි ඉතින් එදා හරිකිරාත් සිං ප්‍රභාකරන්ට වෙඩි තැබුවා නම් සමහරට විට රජිව් අදටත් පණ පිටින් ඉන්න තිබුණා... මේ අතර ප්‍රභාකරන්ව මරා දැමීම ප්‍රතික්‍ෂේප කළ මේජර් ජනරාල් හරිකිරාත් සිං විශ්‍රාම යෑමෙන් පසු මෙතෙක්‌ හෙළි නොකළ සිද්ධියක්‌ අනාවරණය කළේය. ඒ ප්‍රභාකරන් හා රජිව් ගාන්ධි අතර නවදිල්ලියේදී සාකච්ඡා පැවැත්වෙන අවස්‌ථාවේ කිරාත් සිං ප්‍රමුඛ කණ්‌ඩායමක්‌ යාපනයේ තෙල්ලාලි ගම්මානයේ සිට ඇත. හදිසියේම මතුවූ කොටි සාමාජිකයින් සිය ගණනක් ආයුධද සහිතව ඔහුගේ රථය වට කර ගෙන තිබේ. ඔවුන් කෑගසමින් අපි අවි බිම තබන්නේ නැහැ. අපේ නායකයා ඕනෑ කියා සිටියෝය. තවත් මොහොතකින් ඔවුන් අතින් ඉන්දීය හමුදාවේ සුවිශේෂී ජෙනරාල්වරයෙකු ඝාතනය වීමට නියමිතව තිබියදී සති 2 ක්‌ තුළ ප්‍රභාකරන් යාපනයට එන බවට ප්‍රතිඥවක්‌ දුන් මේජර් ජනරාල් හරිකිරාත් සිං කොටින්ගෙන් ගැලවී ඇත.

 විමුක්ති රත්නමලල

 

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00