2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

වැට්බදු අඩු කළාට බඩු මිල එහෙමමයි: ඇයි එහෙම වෙන්නේ

 2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 115

රජය පසුගිය නොවැම්බර් මස 27 වැනිදා හඳුන්වා දුන් බදු සංශෝධනය නිසා ලබන වසරේ ආදායම රුපියල් බිලියන 550කින් අඩුවෙන බව ගණන් බලා ඇත. සරල විනිවිද පෙනෙන කාර්යක්ෂම බදු ක්‍රමයක් හඳුන්වාදීම මගින් පැවැති ව්‍යාකූල බදු අයකිරීම් පාලනය කිරීමේ අරමුණෙන් මෙම බදු වෙනස් කිරීම් සිදුකළ බව මුදල් අමාත්‍යාංශය පවසා තිබුණි

2015 වසර දක්වා රජයේ බදු ආදායම රුපියල් ට්‍රිලියනයක් වූ අතර පසුගිය රජය විවිධ බදු පැනවීමෙන් බදු ආදායම රුපියල් ට්‍රිලියන 2.7 දක්වා වැඩි කර තිබීමෙන් ජනතාව විශාල බදු බරකින් හෙම්බත්වී සිටියේය. පසුගියදා අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවේ මෙම ප්‍රතිලාභ ජනතාවට ලබාදී ඔවුනට සහන සලසන බවය. මුදල් අමාත්‍යංශය නිවේදනය කළේ මෙම බදු සංශෝධන නිසා කෙටිකාලීන හා මධ්‍යකාලීන වශයෙන් රටේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීම අපේක්ෂා කරන බවකි.

එසේ වුවද රුපියල් බිලියන 550ක ආදායම අහිමිකර ගනිමින් රජය සිදුකළ බදු අඩුකිරීම්වල ප්‍රතිලාභ ජනතාවට ලැබේද යන්න පිළිබඳ තවම ජනතාව තුළ ඇත්තේ විචිකිච්චාවකි. අපේ රටේ මෙතෙක් පැවති සම්ප්‍රදාය වූයේ මිල වැඩි කිරීමක් සිදු වුවහොත් එය ඒ ඇසිල්ලේ සිට ක්‍රියාත්මක වුවද මිල අඩු කළ විවිධ හේතු දක්වමින් මිල වෙනස් නොකර සිටීමකි. ඒ සම්ප්‍රදාය අද ද අනුගමනය නොවේයැයි කාට නම් කිවහැකිද? බැලූ බැල්මට මෙයින් ජනතාවට හිමිවිය යුතු සහනය යම් අතරමැදියකුගේ සාක්කුවේ නවතීනම් රජයේ වෑයම පුස්සක් වන අතර ජනතාවට ද විශාල අසාධාරණයක් වනු ඇත.

වත්මන් රජයේ බදු සංශෝධන පිළිබඳ ව්‍යාපාරික ප්‍රජාව සතුව පළකර ඇත. ලංකා වාණිජ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මේ ගැන සතුටට පත්වන අතර බදු කප්පාදුව හරහා කෙටිකාලීන රටේ ආර්ථික වර්ධනයක් ඇතිවනු ඇති බවය.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් නඳුන් ගුරුගේ මාධ්‍යයට පවසා සිටියේ රජය දුන් බදු සහනවල ප්‍රතිලාභ ඉදිරි දෙසතිය තුළදී ජනතාවට ලැබෙන බවය. මෙලෙස භාණ්ඩ හා සේවා මිල පහළ වැටීම නිසා ජනතාව හා පෞද්ගලික ව්‍යසායකයන් අයබදු වශයෙන් රජයට ගෙවූ විශාල මුදලක් ඔවුන් අත ඉතිරිවනු ඇති බවද ඔහු පවසයි.

කෙසේ වුවද ආදායම් කොමසාරිස්වරයා පවසන පරිදි ඉදිරි සති දෙක තුළ භාණ්ඩ හා සේවා බදු අඩු වුවහොත් ජනතාවට සිදුවන යහපත විශාලය. එසේ වුවද ආයතන කිහිපයක් හැර සෙසු නිෂ්පාදකයන් හා ව්‍යවසායකයන් තම භාණ්ඩවල මිල අඩුකිරීමට ක්‍රියාකරන බවත් දැන ගන්නට නැත.

බදු අඩුවීම නිසා තිරිඟු පිටි කිලෝවක මිල රැපියල් 1.70 – 1.80කින් අඩුවිය හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය කියයි. ඒ අනුව තිරිඟු පිටි කිලෝ 50 බෑගයක මිල රැපියල් 85කින් අඩුවේ. එසේ වුවද බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පවසන්නේ කේක් කිලෝව රුපියල් 50කින් සහ මාළු පාන් සහ බනිස් ආදී බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5කින් පමණ අඩුවන නමුත් පාන් මිල අඩු නොවන බවය. මෙහිදී අපට මතක් වෙන්නේ පාන් නැතිනම් කේක් කන ලෙස ප්‍රංශ රුජිනක් ජනතාවට පැවසූ කතාවය. කේක් මිල අඩු කිරීමට පෙර සිදුවිය යුතුව ඇත්තේ ජනතාවගේ ප්‍රධාන ආහාරයක් බවට පත්ව ඇති පාන් මිල අඩුකිරීම බව බේකරි සංගමයේ සභාපතිට අවබෝධ නොවීම විමතියට කරුණකි.

වැට් බදු සහනය නිසා සුපිරි වෙළෙඳසල්වල බඩු මිල අඩුව ඇතිදැයි කළ විමසීමකදී අපට දැනගත හැකිවූයේ කාගිල්ස් සහ ලාෆ් ආදී ආයතනවල තවමත් ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ අලෙවි කරනුයේ පමණ මිලටම බවයි. එම ආයතනවල විකුණුම් අංශයේ නිලධාරියෙකුගෙන් විමසූවිට ඔහු පැවසුවේ පාලක මණ්ඩල තවමත් ඒ ගැන තීරණය කර නැති බවය.

“හවුස් ඔෆ් පැෂන්ස්* ආයතනය වැට් බදු සහනය පාරිභෝගිකයාට ලබාදීමට කටයුතු කරන බව පවසා ඇති අතර සුපුල් සහ තිලකරත්න ටෙක්ස්ටයිල්ස් යන ආයතනවලින් විමසූවිට දැනගත හැකිවූයේ තවම මිල අඩුකර නොමැති බවය. ඔවුන් ළඟ තවමත් ඇත්තේ මුලින් සැපයුම්කරැවන්ගෙන් ලබාගත් භාණ්ඩ නිසා එම තොග අවසන් වනතුරැ මිල අඩුවීමක් සිදුනොවන බවය.

සිමෙන්ති කොට්ටයක මිල පසුගිය දිනවල රැපියල් 100කින් වැඩි කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය අවසර දුන් අතර ඒ අනුව රැපියල් 995කට අලෙවි කළ කොට්ටය රැපියල් 1095ක් මිල විය. කෙසේ වුවද සිමෙන්ති කොට්ටයක මිල රැපියල් 85-95කින් අඩුකිරීම කෙරෙහි මේ වනවිට සමාගම්වල අවධානය යොමුව ඇති බව දැනගන්නට තිබේ. 

රේගු බදු අඩු නොකළ නිසා වාහන මිල අඩු නෑ

ශ්‍රී ලංකා මෝටර් රථ ආනයනකරැවන්ගේ සංගමයේ සභාපති රංජන් පීරිස්:

රජය වැට් බදු අඩු කළාට රේගු බදු අඩු කළේ නැහැ. සියයට අනුඅටක් පමණ වාහනවලට රේගුව අයකරන්නේ එන්ජින් ධාරිතාව අනුව ගණනය කරන බද්දක්. එම බද්ද මෙයට පෙර රජයෙන් තමා පනවලා තිබුණේ. එහි ඇති අසාධාරණය ගැන අපි පසුගිය රජයේ මුදල් ඇමැතිට පැමිණිලි කළාට වැඩක් වුණේ නැහැ. මෙම එන්ජින් බදු ක්‍රමය නිසා රජය විශාල ආදායමක් ලැබුවා. ඒ නිසා වාහන මිල විශාල ලෙස ඉහළ ගිහින් සාමාන්‍ය කෙනකුට වාහනයක් ගන්න ඇති අවස්ථාව අහිමි වුණා. එසේම අපගේ ව්‍යාපාර ද කඩාගෙන වැටුණා.

වර්තමාන රජය බදු සහන දීලා තියෙන්නේ වැට් බදු අඩු කිරීමෙන්. එයින් වාහන මිලට සිදුවන බලපෑමක් නැහැ. ඒත් ජාතිය ගොඩනැගීමේ බදු සියයට 2 අහෝසි කළ නිසා සුළු වශයෙන් මිල අඩුවීමක් තියෙන්න පුළුවන්. එයත් දැන් ගෙනත් ඇති වාහනවලට නොව ඊළඟට ගෙන්වන ඒවාටයි.

ආනයනය කරන පාවිච්චි අවුරැදු 5ට අඩු බස් රථ සහ ලොකු ට්‍රැක්ටර්වලට පමණක් රැපියල් 50,000ක පමණ මිල අඩුවිය හැකියි. මිල අඩු කරන්න නම් දැන් ගෙවන ඇන්ජින් ධාරිතාව මත පැනවූ බද්ද අඩු කළ යුතුයි. නැතිනම් මේ බදු ගහන ක්‍රමය වෙනස් විය යුතුයි.

වැට් බදු අඩු වීම වාහන මිලට බලපෑමක් නෑ

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රසාද් කුලතුංගද කියන්නේ මෙම බදු අඩුකිරීම නිසා වාහන මිල පහළ යාමට කිසිදු හේතුවක් නොවන බවය. වාහන සඳහා බදු අයකරන්නේ නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනත අනුවය. ඒ නිසා වැට් බදු අඩුවීම වාහන මිලට බලපාන්නේ නැහැයි ඔහු කියයි.

ඔහු පවසන්නේ පසුගිය දිනවල සිදුවූ පාස්කු ප්‍රහාරය නිසා වාහන වෙළෙඳපොළට එල්ලවූ තර්ජනය තවමත් පහව ගොස් නැති බවය. ඇතැම් වාහන අලෙවි ස්ථාන ඒ හේතුවෙන් වසා දැමීමට පවා සිදුව ඇති අතර පසුගිය රජය තම ගැටලු පිළිබඳ සැලකිල්ලක් දක්වා නැතැයිද ඔහු කියයි. කෙසේ වුවද වාහන මිල අඩුවේයැයි බලාපොරොත්තුවෙන් පාරිභෝගිකයා බලාසිටිය යුතු නැතැයි ඔහු කියයි.

අත්‍යාවශ්‍ය බඩු මිල අඩු කරන්න බෑ

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරැවන්ගේ සංගමයේ ලේකම් හේමක ප්‍රනාන්දු පවසන්නේ වැට් බදු අඩුකිරීම නිසා ආනයනය කරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල කිසිසේත් අඩු නොවන බවය. එයට හේතුව ලෙස ඔහු පවසන්නේ මේ වනවිට අත්‍යවශ්‍ය ආනයිනිත ආහාර ද්‍රව්‍ය සඳහා බදු අයකරනු ලබන්නේ විශේෂ භාණ්ඩ බදු පනත අනුව බවය. රේගු බදු ආඥා පනත අනුව කිලෝ බර ප්‍රකාරව බදු අයකෙරෙන අතර කිලෝවට ගෙවිය යුතු බද්දේ කිසිම අඩු කිරීමක් නව බදු සංශෝධනවලින් සිදුව නැතැයි ඔහු පෙන්වා දෙයි. ඒ නිසා ආනයන අත්‍යවශ්‍ය භාණ්ඩවල මිලේ කිසිදු වෙනසක් සිදු නොවනු ඇති බව ඔහු කියයි.

එසේ වුවද වෙළෙඳපොළේ යම් ආකාරයක මිල අඩුවීමක් සිදුවිය හැකි බවද ඔහු පෙන්වා දෙයි.

“ආනයිනික ආහාර ද්‍රව්‍ය අලෙවි වන්නේ රටේ සිල්ලර වෙළෙඳුන් හරහායි. විශේෂයෙන් සුපිරි වෙළෙඳසල් සහ මධ්‍ය පරිමාණ සිල්ලර වෙළෙඳසල්වලින් තමා මෙම භාණ්ඩ විකිණේන්නේ. නව බදු සංශෝධන අනුව වැට් හා ජාතිය ගොඩනැගීමේ මුලින් ගෙවූ බද්ද සියයට 8ට අඩුවී තිබෙනවා. මුලින් එම වෙළෙඳසල් ගෙවූ බද්ද දැන් අඩුවන නිසා එම සහනය පාරිභෝගිකයාට ලබාදිය යුතුයි. එසේ ලබාදෙනවා නම් සැලකිය යුතු ලෙස සුපිරි වෙළෙඳසල්වල විකිණෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සමඟ සියලුම සෙසු බදුවලද මිල අඩුකර පාරිභෝගිකයාට සහන සැලසිය යුතුයි. එහෙත් අපි දන්න පරිදි බොහෝ සුපිරි වෙළෙඳසල් මෙම බදු නිසියාකාරව ආණ්ඩුවට ගෙවා නැහැ. පසුගිය රජයේ දේශපාලනඥයන් අල්ලාගෙන වැට් බදු ගෙවීම පැහැර හැර තිබෙනවා. එසේ ගෙව්වානම් දැන් ඇත්තවශයෙන්ම මිල අඩුකළ යුතු වෙනවා. රේගු බදු ඇත්තටම නොගෙව්වත් සමහර සුපිරි වෙළෙඳසල් එම බද්දත් අඩංගු කරලා තමා භාණ්ඩවල මිල නියම කරලා තියෙන්නේ. මෙම තත්ත්වය වර්තමාන රජය යටතේ හෝ නිවැරදි විය යුතුයි.

ආණ්ඩුවේ මැදිහත් වීමක් අවශ්‍යයි 

පාරිභෝගික අයිතීන් සුරුකීමේ සංවිධානයේ සභාපති රංජිත් විතානගේ පවසන්නේ වැට් බදු අඩු කළාට වෙළෙඳපොළේ භාණ්ඩවල මිල අඩු නොවන බවයි. ඒ සඳහා ආණ්ඩුව යම් ක්‍රියාමාර්ගයක් ගත යුතු බව ඔහුගේ අදහසයි.

“වක්‍ර බදු අඩු කිරීම පාරිභෝගිකයාට ඍජුවම එන්නේ නැහැ. රජය පාරිභෝගිකයාට සහන සහ යාන්ත්‍රණයක් මෙහෙයවිය යුතුයි. මේ පිළිබඳ අපි වගකිව යුත්තන්ට දන්වා තිබෙනවා. ඉදිරියේදී මෙය සිදුවේ යැයි බලාපොරොත්තු වෙනවා. ප්‍රමාද වනවිට සිදුවන්නේ පාරිභෝගිකයාට දියයුතු සහනය වෙළෙන්ඳන් ගසා කෑමක්.

උදාහරණයක් වශයෙන් කිවහොත් දුරකතන ගාස්තු පසුගිය 3දා රාත්‍රිය වෙනතුරුම අඩුවෙලා තිබුණේ නැහැ. ඒ ගැන අපි සමාගම් දැනුවත් කළාට පසුවයි 4 වැනිදා උදේ සිට අඩු කළේ. ඒ දින තුනට පාරිභෝගිකයාට හිමිවිය යුතු සහනය සමාගම් ලබාගත්තා. අතින් තැන්වලත් වෙලා ඇත්තේ ඒ දෙයමයි. ගැසට් එක ආවේ නැහැ කියනවා. නියෝග ලැබුණේ නැහැ කියනවා. මව් සමාගම් මිල අඩුකර නැහැ ආදී විවිධ නිදහසට කරැණු පවසනවා. 

ඇතැම් ව්‍යාපාරිකයන් ආණ්ඩු බලයට පත්කරන්න වියදම් කරන්න ඇති. ඒ අයට එම වියදම් පියවා ගැනීමට මෙහෙම අවස්ථාව දීලාද යන්න සැක මතුවෙනවා. මේ පිළිබඳ ජීවන වියදම් කමිටුව හෝ මැදිහත්වී යමක් කළයුතුයි. තවමත් පාරිභෝගික සේවා අධිකාරිය ගැන නම් විශ්වාසය තබාගන්න අමාරුයි.

 යසවර්ධන රුද්රිගු

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00