2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

හැරී පොටර් තොප්පියට පණදුන් ජපුර වැඩකාරයෝ

 2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 69

අපි දැන් ජීවත් වන්නේ විද්‍යා ප්‍රබන්ධ කතා සැබෑවන යුගයකය. මීට වසර ගණනාවකට කලින් අපි කියැවූ, නැරඹූ විද්‍යා ප්‍රබන්ධ කතා තුළ දක්නට ලැබුණු තාක්ෂණික දියුණුව, අමුතු ගැජට් බැජට්වල සුව පහසුව අපි දැන් විඳිමින් සිටින්නෙමු. අපේ කාලයේ ප්‍රසිද්ධ තවත් එබඳු ප්‍රබන්ධයක හමුවූ මැජික් තොප්පියක් දැන් ඇත්තටම කලඑළි බැස වැඩ අරඹා තිබේ. ඒ ලෝ ප්‍රකට හැරී පොටර් කතා මාලාවේ මුල සිටම සඳහන් වන හොග්වාර්ට්ස් පාසලේ දරුවන් නිවාසවලට තෝරාගන්නා මැජික් තොප්පියයි. අපේම තරැණ විද්වතුන් පිරිසක් දැන් මේ ප්‍රබන්ධයක් තුළ සිරව සිටි අපූරු සංකල්පයක් වූ කාටත් උදව් දෙන ඥානවන්ත මැජික් තොප්පියට පණ පිහිටුවා වැඩට ගෙන හමාරය. ඒ සඳහා ලෝක ප්‍රසිද්ධ සම්මානයක් ද දිනාගන්නට මේ විද්වත් නිර්මාණකරැවෝ සමත්ව සිටිති.

හැරී පොටර් කතාවේ මැජික් තොප්පිය ජීවිතයේ මිහිර විඳගැනීමට නොහැකිව තමන්ගේම ලෝකයක තනිව, සීතල වූ හැඟීම් දැනීම් සහිත මානසික හිම කතරක අතරමංව සිටින අපේම සමාජයේ කොටසකට නැවත ජීවන උණුසුම ලබාදීම සඳහා යොදාගන්නට මේ පිරිස සමත්ව සිටිති. ඒ හැරී පොටර් තොප්පිය කුඩා රොබෝ යහළුවකු බවට වෙස් පෙරුළීම මගිනි. අපේ රටට තවමත් අලුත් නවතම තාක්ෂණික විෂයය ධාරාවක් යටතේ අධ්‍යයනය ලබන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථින් පිරිසක් මේ අපූරු සංකල්පයට පණ දෙන්නට ඉදිරිපත් වූ පිරිසයි.

ජයවර්ධනපුර සරසවියේ මූලිකත්වයෙන් මේ වසර මුලදී පැවැත්වූ Innovation 2019 නව විස්කම් දැක්මේදී කාගේත් කුතුහලය පිරි ආකර්ෂණය දිනාගත් මේ හැරී පොටර් තොප්පිය මුල්වරට දකින්නට ලැබුණි. එදා එයට ලැබුණේ පුදුමාකාර ජනාකර්ෂණයකි. ඒ අනුව මේ මැජික් තොප්පිය ජාත්‍යන්තර මට්ටමේ රොබෝ තරගයකට ඉදිරිපත් කරන්නට ඔවුහු සිතූහ.

විද්‍යා තාක්ෂණ දියුණුවේ අලුත්ම තාක්ෂණික දැනුම ඔවුහු මේ සඳහා යොදා ගත්හ. ගණිත සංකල්ප මගින් තනිවම හිතා තීරණ ගන්නට සමත් යන්ත්‍ර බිහි කරන Machine learning සහ Artificial Intelligence නැතිනම් කෘත්‍රීම බුද්ධිය මේ හැරී පොටර් මැජික් තොප්පිය තමන්ට අවශ්‍ය ලෙස සකසා ගැනීමේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථින් යොදාගන තිබේ. 

තමන්ගේ නවතම නිර්මාණය ගැන අදහස් දක්වන්නට එක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා අවසන් වසර සිසුවෙක් වන අදිෂ ගම්මන්පිල මුලින්ම තමන්ට මේ සිහින සංකල්පය සැබෑවක් කර ගන්නට ආධාර කළ පිරිස ගැන කියන්නට අමතක කළේ නැත. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපතිතුමා, ව්‍යවහාරික විද්‍යා පීඨාධිපති මහාචාර්ය කරැණානායක, ආචාර්ය මණ්ඩලයේ පරිගණක විද්‍යා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වන මේ නිර්මාණය සාර්ථකත්වයට මගපෙන්වූ ආචාර්ය පී. රවීන්ද්‍ර එස් ද සිල්වා මෙන්ම පරිගණක විද්‍යා කාර්ය මණ්ඩලය ද මෙහිදී ඔහු මුලින්ම මතකයට නැංවීය. 

හැරී පොටර් කතාවේ හොග්වාර්ට්ස් පාසලේ මැජික් තොප්පිය සැබෑවක් කරන්නට සමත් වූයේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රොබෝටික් වැඩකරැවන් පිරිසකි. ඔවුන් අවසන් වසර සිසුන් වන අදිෂ ගම්මන්පිල, අකිල විජේසිංහ, ටෙහානි වන්නිආරච්චි, දෙව්නි ජයසිංහ සහ තුන්වැනි වසර උපාධි අපේක්ෂිකාවක වන විරාජි අමරජීවයි. මේ තරගය පිළිබඳ ඔවුන් දැනුම්වත් කරමින්, ඒ සඳහා උපදෙස් සපයමින් මේ පිරිස මෙහෙයවූ ශක්තිය වූයේ ආචාර්ය මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පී. රවීන්ද්‍ර එස් ඩි. සිල්වාය. ආචාර්ය රවීන්ද්‍ර සමාජීය රොබෝවරැ, නැතිනම් Social Robotic නමැති සුවිශේෂී අංශය පිළිබඳ ජපානයේ දිගුකාලීන අධ්‍යයනයක සහ ප්‍රායෝගික පුහුණුවක් ලද ලංකාවේ සිටින ප්‍රමුඛතම විද්වතාය. සමාජීය රොබෝවරු යනු හුදු යාන්ත්‍රිකත්වය ඉක්මවූ මිනිසුන් සමඟ සුහදව සමාජශීලීව කටයුතු කිරීමේ හැකියාවක් සහිත දියුණු මට්ටමේ රොබෝවන් පිරිසකි. අපේ රටේ රොබෝ තාක්ෂණ විද්‍යාව හඳුන්වා දී සෑහෙන කලකි. නමුත් මේ කියන සමාජීය රොබෝවරැන් පිළිබඳ අධ්‍යයන හා තාක්ෂණික නිෂ්පාදන කටයුතු සිදු කරන්නේ ප්‍රමුඛ වශයෙන්ම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රොබෝ අධ්‍යයන අංශය මගිනි. එය ආචාර්ය රවීන්ද්‍රගේ පුරෝගාමීත්වයෙන් ඇරඹුණකි. 

ආචාර්ය රවීන්ද්‍ර ඩි සිල්වා මුල්වී ආරම්භ කළ මේ අධ්‍යයන අංශය තවමත් තරැණ අවධියේ පසුවන්නකි. එය අරඹා වසර 5කට වඩා නැත. එසේ වුවද අන්තර්ජාතික මට්ටමේ, මේ උසස් සම්මානය ලොව ඉහළම පෙළේ රොබෝ තාක්ෂණ දැනුමෙන් සන්නද්ධ වූ විදේශීය විශ්වවිද්‍යාලවල තරගකරුවන් සමඟ කරට කර සටනක යෙදී දිනාගන්නට තරම් ඔවුන්ගේ දැනුම පවතින්නේ සුපිරි මට්ටමකය.

අපේ විශ්වකර්ම කණ්ඩායම ඉදිරිපත් වූ මේ තරගය සමාජීය රොබෝවන් නිෂ්පාදනයේ යෙදෙන සුවිශේෂී අංශය සඳහා වෙන්ව ඇති ලොව ප්‍රධාන පෙළේ අන්තර්ජාතික පිළිගැනීමකට ලක්වූ තරගයකි. %International conference on social robotics^ නමැති ඉතාලියේ පැවැති මෙම සම්මේලනයේදී ලෝකයේ රටවල් ගණනාවක විශිෂ්ටයෝ වාර්ෂිකව සිය සුපිරි තාක්ෂණ නිර්මාණ සමඟ ඉදිරිපත් වෙති. ඒ හොඳම රොබෝව තෝරාගන්නා තරගයටයි. ලෝකයේ සුපිරිතම විශ්වවිද්‍යාලවල රොබෝටික් වැඩකරැවෝ සිය නවතම රොබෝ නිර්මාණ සමඟ මෙහිදී තරග වදිති. මෙවරත් මූලික වටයේදී ලොව විශිෂ්ට විශ්වවිද්‍යාල සහ තාක්ෂණික ආයතනවලින් ඉදිරිපත් කළ එකිනෙකට නොදෙවෙනි සුපිරි රොබෝ නිර්මාණ ගණනාවක්ම විය. අමෙරිකාව, එංගලන්තය, ස්පාඤ්ඤය, ඉතාලිය ඇතුළු යුරෝපීය රටවල්, ජපානය වැනි තාක්ෂණ විශේෂඥයන් මේ සඳහා ඉදිරිපත්ව සිටියහ. රටවල් සිය ගණනක් අතරින් අවසන් වටයට තෝරාගැනුණේ රටවල් 10කින් ඉදිරිපත් කර තිබූ නිර්මාණ 10 කි. ඒ අතර ජපුර විශ්වකර්ම කණ්ඩායමේ මැජික් තොප්පිය ද විය. එහිදී, එය හාඩ්වෙයාර් අංශයෙන් ප්‍රථම ස්ථානය දිනාගත්තේ, කවුරැත් ප්‍රමෝදයට පත් කරමිනි. ලංකාවට මෙම සමාජ රොබෝවරු අංශයෙන් සම්මානයක් ලැබුණු ප්‍රථම වතාව මෙයයි. එසේම දෘඨකාංග අංශයෙන් සම්මානයක් මෙහිදී ප්‍රථම වතාවට වෙන්ව තිබුණේ මෙවරයි. එම ප්‍රථම සම්මානය ලෝකයේ දිනාගත් රට බවට ලංකාව පත් කළේ ජපුර මැජික් තොප්පියයි.

තමන්ගේ අපූරැ විශ්වකර්ම නිර්මාණය ගැන කතා කරන්නට අප හා එක්වූ අදිෂ ගම්මන්පිල කීවේ තමන් මේ ජයග්‍රහණය ලැබුවේ ලෝක ප්‍රසිද්ධ ඔක්ස්ෆර්ඩ් සරසවිය,  MIT තාක්ෂණ ආයතනය, ජපානයේ සරසවි සිසුන් කණ්ඩායම් වැනි ලෝකයේ තාක්ෂණික සුපිරි වැඩකරුවන් අභිබවමින් වීම සුවිශේෂී කරැණක් බවයි. ඔවුන්ගේ රොබෝ තොප්පියේ විශේෂත්වය වන්නේ විශේෂ අවධානයක් අවශ්‍ය පිරිසක් වන ඔටීසම් රෝගී දරුවන්ගේ සන්නිවේදන හැකියාව දියුණු කරන්නට මෙය ආකර්ෂණීය අත්උදව්කරුවකු වීමය.

සාමාන්‍යයෙන් ඔටිසම් කියන විශේෂ තත්ත්වයෙන් පෙළෙන අයගේ එම සුවිශේෂී හැසිරීම් රටාව සමඟ ඔවුන්ට සමාජගතව කටයුතු කරන්නට හැකියාව ලබාදෙන නිශ්චිත ක්‍රමවේදයක් තාම නෑ. අපේ හැරී පොටර් තොප්පිය ඒ සඳහා විශේෂ සිත්ගන්නා සුළු ආධාරකයක් හැටියට වැඩිදියුණු කළ උපාංගයක් හැටියට හඳුන්වන්න පුළුවනි. ඔටිසම් සහිත කෙනෙකුට සමාජශීලීව හැසිරීම අපහසුයි. ඔවුන්ට තමන් ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය පිළිබඳ හැඟීමක් නැති තරම්. සමහරැන්ට සමහර පාට හඳුනාගන්න බැහැනේ. අන්න ඒ වගේ මේ අයට අන් අයගේ හැඟීම්, ප්‍රකාශන ආදිය වටහාගැනීම අපහසුයි. ඒවාට ප්‍රතිචාර දැක්වීමද අපහසුයි. කොටින්ම ඔටිසම් දරුවෙක් සමඟ යම් අයෙක් සිනාසුණහොත් ඒ තැනැත්තා සිනාසෙන්නේ ඇයි ද, තමන් එයට දැක්විය යුතු ප්‍රතිචාරය මොකක්ද කියන එක ක්ෂණිකව තේරැම්ගෙන ක්‍රියාත්මක වීම ඒ අයට අසීරැයි. ඒක ඒ විශේෂ තත්ත්වයේ හැටි. අපේ නිර්මාණය උපකාරයට එන්නේ මෙන්න මෙතැනදි තමයි.

ජපුර රොබෝ තාක්ෂණ විරැවන්ගේ නව නිර්මාණය වෛද්‍ය විද්‍යාත්මක ක්ෂේත්‍රයේ අභියෝගයක් බවට පත්ව ඇති මේ දුලබ තත්ත්වයෙන් පීඩාවට ලක්වන අපේම පිරිසකට මහඟු උපකාරයක් බවට පත්වන සුපිරි නිර්මාණයකි. ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන්නා සහ බාහිර සමාජය අතර හැඟීම් හුවමාරු කර ගන්නා යාන්ත්‍රික, හිතේෂිවන්ත, සිත් බැඳගන්නා, තෝල්ක මුදලි කෙනෙකු ලෙස මේ හැරී පොටර් තොප්පිය හඳුන්වා දිය හැකිය.

මේ මැජික් තොප්පිය හැඟීම් දැනීම් තොර සීතල ලෝකයක අතරමංව සිටින පිරිසකට තමන් අවට ලෝකය තේරුම් ගන්නටත් එයට උණුසුම් ලෙස ප්‍රතිචාර දක්වමින්, එය වටහා ගනිමින් ජීවිතය දිනාගන්නටත් උදව් වන දෙවියන්ගෙන් ලත් තෑග්ගක් බඳුය. එය ඔටිසම් පුද්ගලයා සහ බාහිර සමාජය සමඟ හැඟීම් සන්නිවේදනය කරන ආකාරය හැරී පොටර් චිත්‍රපට කතා මාලාවේ මැජික් තොප්පියේ හැසිරීම තරම්ම සිත්ගන්නා සුළු හුරුබුහුටි බවක් පෙන්වයි.

හිතන්න දැන් ඔය ඔටිසම් තියන ළමයෙක් එක්ක කෙනෙක් කතා කරනවා. එතකොට ඒ දරුවා සැරෙන් කෑගහනවා. මේ නිසා අර කතා කරන කෙනාට ඒ දරුවා එක්ක තරහ යනවා. එයා දරැවාට රවලා බලලා බණින්නයි යන්නේ. නමුත් දරැවාට මේකෙ වැටහීමක් නෑ. එහෙත් ඔන්න මේ හැට් එක දාගෙන හිටියොත්, එතකොට හැට් එක අර පුද්ගලයාගේ හැඟීම තේරැම් ගන්නවා. එහෙම තේරැම් අරගෙන බොහොම දුක්බර මුහුණක් හදාගෙන ඇකිලුණු ගතියකට පත්වෙනවා. අන්න එතකොට අර බණින්න යන කෙනා තමන්ව පාලනය කර ගන්නවා. ඔන්න ඔය විදිහට තමා ඔටිසම් පුද්ගලයා වෙනුවට ප්‍රතිචාර දක්වලා හැරී පොටර් මැජික් හැට් එක ඔටිසම් අයට සන්නිවේදනයට සහ සමාජ ජීවිත ගත කරන්න පහසු විදිහට ආධාර කරන්නේ.

යාන්ත්‍රික අධ්‍යයනය සහ කෘත්‍රීම බුද්ධිය බඳු අලුත්ම විද්‍යාත්මක ක්ෂේත්‍රවල දැනුම ඇතිව නිපදවා ඇති ජපුර මැජික් තොප්පිය සැබෑ ලෙසම රොබෝවකි. තොප්පියක රූප සොබාවය සහිත යහපත් යහළුවකු මෙන් වැඩ කරන සමාජ රොබෝවකි. එයට තමන් හිස පැළඳි තැනැත්තාගේ මොළයේ ක්‍රියාකාරීත්වය හඳුනාගෙන ඒ අනුව ප්‍රතිචාර දැක්විය හැකිය. මස්තිෂ්ක තරංග වාර්තා කර ගනිමින්, ඒවා හඳුනා ගනිමින්, ප්‍රතිචාර දක්වන්නට හැකිය. මේ වන විට කෙනෙකුගේ කටහඬ සහ එහි රැඳී ඇති හැඟීම් හඳුනා ගැනීමට එය සමත්ය. මම නිදි, මම කල්පනා කරනවා වැනි මූලික හැඟීම් ප්‍රකාශනය කළ හැකිය. ළඟට එන සිය අයිතිකරු හඳුනා ගන්නට එයට හැකිය. ඒ සඳහා අවශ්‍ය සියුම් සංවේදක උපකරණ සහ හැරී පොටර් කතාවේ තොප්පිය මෙන් ඒ මේ අත නැවෙන දිගහැරෙන ක්‍රියාකාරීත්වය පවත්වාගන යන්නට කුඩා මෝටර් පද්ධතියක් ද එහි වෙයි. ඇත්තටම මේ රොබෝව ඇත්තේ තවමත් සිය පළමු සහ දෙවැනි අදියර පසු කරමිනි. ලෝකයේ ප්‍රමුඛ පෙළේ සම්මානයක් එයට ලැබුණේ එසේ මූලික අවධියකදී පවා එය දැක්වූ සාර්ථකත්වය නිසාය.

 සුගත් පී. කුලතුංගආරච්චි 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00