2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා

එකම රටේ මුල්පුටු දැරූ එකම පවුලේ උදවිය

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 158

ශ්‍රී ලංකාවේ 7 වැනි ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ පත්වෙන බව ස්ථීර ලෙස කලින්ම කීවේ ඉන්දියානු ජ්‍යෝතිෂවේදියෙකි. ඔහු 2004 සුනාමිය ඇතුළු ලෝකයේ පෙරළිකාර සිද්ධි රුසක් ගැන නිවැරදිවම කලින් කී තැනැත්තාය. අපේ රටේම සමහරැ දෙපැත්තට වැනෙද්දි මේ ඉන්දීයානු ජ්‍යොතිෂවේදියා 7 වැනි ජනාධිපතිවරයාගේ පත්වීම ගැන නිවැරදිව කීවා පමණක් නොව ඔහු සිය වැඩිමල් සොහොයුරු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සිය අගමැති ලෙස පත්කරගන්නා බවද කීවේය. අන්තිමේදි අනාවැකිය එලෙසින්ම සත්‍ය විය.

මෙලෙස රටේ රාජ්‍ය නායකත්වයට එකම පවුලේ දෙසොහොයුරන්ගේ පත්වීම අපේම සමහරැන්ට නම් අමුතු සිද්ධියකි. එහෙත් එකම පවුලේ උදවිය රටේ ලොකු පුටු සඳහා පත්වීම අපට අරැමයක් විය නොහැකිය. මෙයට පෙර සේනානායක පවුලෙන් සහ බණ්ඩාරනායක පවුලෙන් ඒ ගැන පුර්වාදර්ශයක් ලැබී ඇති හෙයිනි. එලෙසම ලෝකයේ ද එවැනි උදාහරණ එමටය.

පසුගිය 2018 වසර අගභාගයේ The Journal of Historical Social Research සඟරාවේ පල වූ විද්වත් සමීක්ෂණයකට අනුව ලෝකයේ  රාජ්‍ය නායකයන් අතරින් 10න් එකක්ම දේශපාලන පවුල්වලින් පැවත එන උදවිය වෙති. උපසහරානු අප්‍රිකා කලාපය, ආසියාව, යුරෝපය, උතුරැ සහ ලතින් අමෙරිකාව ආශ්‍රිතව වසර 2000- 2017 දක්වා කාලයේ ජනපති සහ අගමැති ධූර දැරූ විධායකයන් 1,029කගේ පැටිකිරිය සලකා බැලූ විට ඒ අය අතරින් 119ක් හෙවත් සියයට 12ක්ම දේශපාලනික පවුල් පසුබිමක් සහිත අය බව තහවුරු වී තිබේ. ඒ අතර දැන් අපේ රටේ සිදුවන්නාක් මෙන් එකම පවුලේ සොහොයුරන් එකවිට රටේ මුල්පුටු හෙබැ වූ අවස්ථා ගැන ද වාර්ථා වේ.

ලෝකයේ එකම රටක එකම කලෙක ජනාධිපති සහ අගමැති පදවි ලැබූ නිවුන් සොහොයුරන් දෙදෙනකු ගැන මුල්වරට අපේ කාලයේ අහන්නට ලැබෙන්නේ පෝලන්තයෙනි. ජාරොස්ලෝව් කචීන්ස්කි සහ ලෙහ් කචින්ස්කි ඒ අපූරු යුවලය. මේ දෙදෙනාම සුපිරි ආගමික සහ ජාතිකවාදි අදහස් දැරෑවන් ලෙස ප්‍රකටව සිටි අතර රටේ වැඩිහිටියන්ගේ ඡන්දයෙන් බලයට පත් වූ දෙදෙනෙකි. මෙයින් ලෙහ් එරට 4 වැනි ජනාධිපතිධූරය දැරූ අතර ජාරොස්ලෝව් අගමැති පදවිය දැරීය. ඒ 2006 ජූලි 14 සිට 2007 නෙවැම්බර් 16 දක්වා වූ කෙටි කලකටය. මාධ්‍ය මේ දෙදෙනා හැඳින්වූයේ  තනි මොළයකින් හිතන පතන පුද්ගලයන් දෙදෙනෙක් හැටියටය. නැතිනම් එක් අයෙක් ලෙස ක්‍රියා කරන දෙදෙනෙක් ලෙසටය. ඔවුන්ගේ කෙටි පාලන සමය තුළ පෝලන්තයේ පැරුණි අභිමානය නැවත ලොව හමුවේ සනිටුහන් කළ නායක දෙපලක් ලෙස අතැම් තැනක මේ අය ගැන සඳහන් වේ. රටේ දූෂිතයන්ට සහ වංචනිකයන්ට එරෙහි “4 වැනි ජනරජය* නමැති කළු හැඳගත් අමුතු කණ්ඩායමක් ක්‍රියාත්මක වූයේද මේ කාලයේදීය. එකල රටේ ආගම සංස්කෘතිය ජාතිකත්වය පුනර්ජීවනයට පත්විය.

එකම පවුලේ සොහොයුරන් බලයට පත් වූ රටක් හැටියට කියුබාව ද යස නිදසුනකි. එරට විප්ලවීය නායක පිදෙල් කස්ත්‍රෝ වසර 31යි දින 84ක සිය පාලන බලය අත්හරිද්දි රටේ මුල්පුටුව හිමි වූයේ ඔහුගේ සොහොයුරාටය. වැඩිම කලක්, එනම් 1959 - 2008 සිට රටේ සේනාධිනායක ධූරය හෙබැවූ ඔහු රාවුල් කස්ත්‍රෝය. ඔහුගේ පාලනයේ මුල් වසරක සහ දින 208ක කාල සීමාවේ තිරය පිටුපස පාලකයා වූයේ පිදෙල් කස්ත්‍රෝය. ඉන්පසු එලැඹි ඔහුගේ වසර 10යි දින 54ක පාලන කාලයේ ද පිදෙල්ගේ සෙවනැල්ලේ ආනුභාවය ඔහු පසුපස විය. කියුබාව ඔවුන්ගේ පාලනය තුළ අභිමානවත් ස්වකීයමය වූ අනන්‍යතාවක් කැපී පෙනෙන ස්වාධීනත්වයක් ලෝකය තුළ ගොඩනගා ගත්තේය.

ඉරාකයේ අරීෆ්වරු සහෝදරයෝය. 1963 දී පදවි ලද අබ්දුල් සලාම් අරීෆ් එරට දෙවැනි ජනපතිවරයාය. ඔහුගේ අභාවයෙන් පසු එම තනතුරට ආවේ සහෝදරයා වන අබ්දුල් රහ්සන් අරීෆ්ය. ජෝර්දානයේ බද්රාන්වරුන් ද එරට අගමැති පුටුවට පැමිණි  සහෝදරයන්ය. මුදාර් බද්රාන් 1976, 1980 සහ 1989 යන වාර තුනකදී රටේ අගමැති විය. ඔහුගේ සහෝදරයා අද්නන් බද්රාන් 2005දී එම තනතුරට පත්විය. එරටම අල් රිෆායි  පවුල ද පියා සහ පුතුන් දෙදෙනාම අගමැති ධූර දැරූ පවුලකි.

එල් සැල්වදෝරයේ ජනාධිපති ධූරයට එකම පවුලේ දෙදෙනෙක් ළඟ ළඟම වාර දෙකකදී පත්විය. 1915 - 1918 දක්වා පිට පිට වාර දෙකක් බලය හෙබවූයේ කාර්ලෝස් මෙලෙන්ඩේස්ය. ඔහුගේ බාල සහෝදරයා වූ ජොර්ජ් මෙලෙන්ඩස් 1919 – 1923 දක්වා කාලයේ එරට ජනාධිපති ධූරයට පත්විය. කොස්ටාරිකාවේ සන්චේස් සහෝදරයෝ සහ රෆායෙල් පවුලේ ලඟම ඥාතීන් ද එලෙස රජයේ ඉහළම තනතුරැ දැරෑ අයයි.

බොහෝමයක් රටවල පාලන බලය බෙදී ගොස් ඇත්තේ තාත්තාගෙන් පුතාට හෝ දුවටය. අපේ රටේ සේනානායක සහ බණ්ඩාරනායක පරපුර මේ සඳහා ළඟම නිදසුනයි. ඩී. එස් සේනානායක මහතාගෙන් පසු ඩඩ්ලි සේනානායක මහතා අගමැති විය.බණ්ඩාරනායක පවුලේ විශේෂත්වය වන්නේ පියා,මව සහ දුව තිදෙනාම රාජ්‍ය නායකයන් වීමයි. චන්ද්‍රිකා ජනපතිනිය යටතේ සිරිමාවෝ මැතිනිය අගමැතිධුරය දැරීමද විශේෂයකි. තාත්තා පුතා සබඳතාවයේදී ලෝකයේ කවුරුත් දන්නා නිදසුන අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරැන් වන ජොර්ජ් බූෂ් යුවළය. මේ කාලේ කැපී පෙනෙන නිදසුනක් වන කැනඩාවේ අගමැති ජස්ටින් ටෘඩෝ පුංචි කාලයේදීම සිය අගමැති තාත්තාගේ අතේ එල්ලී මාග්‍රට් තැචර්, පිදෙල් කස්ත්‍රෝ වැනි ලෝක නායකයන් හමුවට ගිය අයෙකි. ඔහුගේ මව මාගරට් සින්ක්ලෙයාර් ද දේශපාලන පසුබිමක් සහිත තැනැත්තියකි. දැන් ඔහු එරට අගමැතිවරයාය.

ඝානා රාජ්‍ය යේ පාලනයට පත්වූ පිරිස අතර තාත්තාත් පුතාත් දෙදෙනාම  රටේ ජනාධිපති පදවියට පත්විමේ හොඳම නිදසුන එඩ්වර්ඩ් අකුෆෝ අඩෝ සහ ඔහුගේ පුත්‍රයා වන වත්මන් ජනාධිපති නානා අඩෝය. කොස්ටාරිකාවේ මෙබඳු පත්වීම් බහුලව වාර්තාගතය. ජොසේ ෆිගෙරස් සහ ජොසේ මාරියා දෙදෙනා මෙන්ම ජිසස් ජිමෙනස් සැමෝරා සහ ඔහුගේ පුත් රිකාඩෝ දෙදෙනා මේ සදහා නිදසුන්ය. හයිටියේ ෆ්‍රැන්කොයිස් සහ ජීන් ක්ලෝඩ් ඩ්‍යුවැලියර් පිය පුතු දෙපල 1957සිට 1986 දක්වා වූ වසර 30කට ආසන්න කාලයක්  තාත්තාගෙන් පුතාට ලෙස රටේ ජනාධිපති පදවියට වග කීහ. ඩොමිනිකන් රාජ්‍යයේ මනුවෙල් ජිමෙනෙස් 1848 බලයට පත්වු අතර ඔහු එහි රැඳුණේ වසරක් පමණි. ඔහුගේ පුත්‍රයා ජූවාන් 1899 දී සහ 1914දී දෙවරක් ජනපති ධූරයට පත්විය. බොලිවියා ජනපති පුටුවට ආ තාත්තයි පුතයි දෙදෙනකු ලෙස ප්‍රකට ජොසේ බොලිවියාන් සහ ඇඩොල්ෆෝ බොලිවියාන් දෙපලය.

ඉරානයේ අලි මන්සූර් සහ ඔහුගේ පුතා හසාන් අලිමන්සූර් රටේ අගමැති පදවියට පත් වූ ප්‍රසිද්ධ අයයි. එරටේම අගමැති ධූර දැරෑ මොහොමද් මොසාදේ සහ අහ්මද් දෆ්තාරි  මාමයි බෑනයි යුවලකි. ඉක්වදෝරයේ 1947 වසරේ ජනපති වූයේ අරෝසෙමෙනා ටෝලාය. 1961 දී ඔහුගේ පුතා අරෝසෙමෙනා මොන්රෝයි බලයට පැමිණියේය. නැවතත් 1966 දී ටෝලාගේ බෑණා ඔටෝ අරෝසෙමෙනා රටේ ජනාධිපති ධූරයට පත්විය. ඉක්වදෝරයේම බූකාරාම්වරැ ද ප්ලාසාවරැ ද මුල්පුටු දැරූ ඥාතීන්ට නියම නිදසුන්ය. අසාද් බුකාරාම්ගෙන් පැවත එන අබ්දලා බුකාරාම් 96 දී ජනාධිපති ධූරයට පත් විය. 79 වසරේ එම පදවිය ලැබුවේ අසාද්ගේ බෑනා ජැමීය. ලියෝනිඩ්ස් ප්ලාසා 1901ත්, 1912ත්, රටේ ජනාධිපතිය. ඔහුගේ පුත්‍රයා ගාලෝ ප්ලාසා 1948 සිට 52 දක්වා එම පදවිය දෑරීය. ලෙබනනයෙ 30 වැනි අගමැති රාෆීක් හරාරේය. 33 වැනියා ඔහුගේ දෙවැනි පුත්‍රයා සාද් හරාරේ දෙවරක් පදවියට පත්වූ මේ වනවිටත් අගමැති ධූරය දරන්නාය.

දේශපාලන බලය දිගටම රඳවාගත් ප්‍රභූ පවුල් ගැන කතා කිරීමේදී අපේ අසල්වැසි රටේ ඉන්දියාවේ ගාන්ධි පවුල හොඳම නිදසුනයි. තාත්තාගෙන් දුවට සහ මවගෙන් පුතාටත් බලය මාරු වූ අවස්ථාවන්ට හොඳම නිදසුන් ලැබෙන්නේ එරටිනි. ශ්‍රී නේරැගෙන් 1947දී  ඇරැඹුන මේ දේශපාලන පවුල් අධිරාජ්‍යය ඉන්දිරා ගාන්ධි ,රාජීව් ගාන්ධි සහ අද වනවිට රාහුල්, ප්‍රියංකා සහ සෝනියා දක්වාම පැතිර ගොස් තිබේ. ආසියානු දේශපාලන කරළියේ මෙබඳු පවුල් ගස් අරුමයක් නොවේ. නේපාලයේ කොයිරාලා පවුල යස නිදසුනකි. මත්‍රීකා ප්‍රසාද් කොයිරාල 1951 අගමැති ධූරයට පත් වූ අතර දෙවරක් එම තනතුර දැරීය. ඔහුගේ සොහොයුරැ බී. පී. කොයිරාල 59දී අගමැති ධූරයට පත්විය. කාටත් මතකයේ රුඳුණු කොයිරාල නම දැරූ අගමැතිවරයා ගිරිජා ප්‍රසාද්ය. ඔහු තෙවරක් එරට අගමැති ධූරය දැරුවේය. ඔහුගේ දියණිය සුජාතා කොයිරාල උප අගමැති ධූරයට පත්වූවාය. බී.පී. ගේ ඥාතී සහෝදරයා වන සුහිල් කොයිරාල 2014 – 15 කාලයේ අගමැති ධූරය දැරීය. බී.පී, ගිරිජා සහ මත්‍රීකා යන තිදෙනාගේම ලේලිය වන ෂයිලාජා එරට ප්‍රථම උප අගමැතිවරිය වන අතර 1998දී කෙටි කලකට එම ධූරය හෙබැවීය. පකිස්තානයේ භූතෝ පවුලද ආසියානු දේශපාලනයේ ප්‍රබල පවුලකි. භූතෝ පවුලේ සුල්ෆිකාර් අලිභුතෝ පසු කාලයේ ඔහුගේ දියණිය බෙනාසීර්ද ඇයගේ සැමියාවන අසීෆ් අලීසර්දාරිද රාජ්‍ය නායකත්වය දෑරීය.  ජපානයේ පවුල් ගස් බහුලය. ෆකූඩා පවුලද හතෝයාමා, හොසොකාවා,  සුසූකි පවුල් ද වත්මන් අගමැති ෂින්සෝ අබේ බිහි කළ අබේ පවුල ද ඒ අතර ප්‍රමුඛය. අගමැතිවරැන් බිහි කළ පවුල් අධිරාජ්‍යයක් පිලිපීනයට ද අයත්ය. ඒ අතර අකිනෝ සහ මාර්කෝස් පවුල් ප්‍රමුඛය. කොරාසෝන් අකිනෝ සහ ඉමෙල්ඩා මාර්කෝස් ලෝකයට නම ගිය බලවතුන්ය. බුරැමය හෙවත් මියැන්මාරයේ අවුන්ග් සාං පවුල එරට දේශපාලන බලවතුන්ය. ඒ පවුලේ පියා අවුන්ග් සාං නිදහසට පෙර අගමැතිවරයාය. දියණිය සූකී නොබෙල් තෑග්ග පවා දිනූ එරට ප්‍රථම අගමැතිනියයි. 

කොංගො ජනරජයේ කබීලාවරැද එවන් දේශපාලන පෙළපතකි. ලෝරෙන්ට් කබීලා සහ ජොශෙප් කබීලා පිය පුතු යුවළ දිගු කලක් පාලනය ගෙන ගියහ. එරට මොබුටු පවුල ද එසේය. එරටම නගුෂා පවුලේ අගමැති පදවි දැරුවේ මාමා සහ බෑනාය. ගැබොන් රාජ්‍යයේ අගමැති සහ උප අගමැති ද ඥාතීත්වයෙන් මාමා සහ බෑනාය.

උතුරැ කොරියාව ඒකීය පවුල් අධිරාජ්‍යයකට ඇති හොඳම නිදසුනයි. තාත්තා පුතා සහ මුනුපුරා ලෙස පරම්පරා තුනක නායකයෝ එරට පාලනයට වගකීහ. කිම් ඉල් සන්ග්, කිම් ජොන්ග් ඉල් සහ වත්මන් නායක කිම් ජොන්ග් අන් ඒ පිරිසයි. තාත්තා සහ දුව ජනපති ධුරයට පත් රටවල් අතර මේ කාලයේ කැපී පෙනෙන රට දකුණු කොරියාවයි. පාර්ක් චන්ග්හි සහ පාර්ක් ගුයෙන්හි ඒ දෙදෙනාය.

 සුගත් පී. කුලතුංගආරච්චි