2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා

එකම පින්තූරයයි ගත්තේ කැමරා දෙකත් එක්ක මම වැටුණා

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 403

2010 ජනාධිපතිවරණයේ නාමයෝජනා භාරදීමේ අවස්ථාවේ රසකතා කතාවක් අතරමග පසුගිය සතියේ අප කතාබහ නිමාවිය. ජනාධිපතිවරුන් පහක් ඇසුරේ සේවය කළ සුදත් සිල්වාගේ කතාවේ ජනාධිපතිවරණ රස මතක පිළිබඳ කතාවේ අවසාන කොටස අදයි.

නාමයෝජනා භාරදීමට ගිය මහින්ද රාජපක්ෂ මහතා සිය මුදු ටික අමතක වී ඇති බව සුදත්ට කීය. උතුර බලා නාමයෝජනා බාරදීමේ ගැටලු නිරාකරණය කරගත්තා පමණි. සුදත්ට මුදු ටික ගෙන්වා ගැනීම වෙනුවෙන් එදා උපකාර කළේ ජනාධිපති ආරක්ෂක අංශයේ සිටි කර්නල් ප්‍රනාන්දු මහතාය. ඔහු යතුරුපැදියක් යවා එම මුදු ටික කඩිනමින් ගෙනැවිත් දුන්නේය. අවසානයේ මහින්ද රාජපක්ෂ මහතා එම මුදුද පැළැඳ පෙර කතිකා කරගත් පරිදි උතුර බලා ජනාධිපතිවරණය වෙනුවෙන් නාමයෝජනා භාරදෙනු ලැබීය. නාමයෝජනා භාරදී එන ගමනේ සරත් ෆොන්සේකා මහතාටද අතට අත දීමට එතුමා අමතක නොකළ බව සුදත් සිහිකරයි.

2015 වසරේ ජනාධිපතිවරණය එළඹෙන විටද සුදත් මහින්ද රාජපක්ෂ ජනපති ඇසුරේ කටයුතු කළේය. එම නිසාම එම ජනාධිපතිවරණයේද නිල ඡායාරූප ශිල්පියා ලෙසින් කටයුතු කරන්නට සුදත්ට වාසනා වරම් ලැබුණි.

“මහින්ද රාජපක්ෂ මහත්තයා 2015 දී පරාදවෙයි කියලා අපි කිසි කෙනෙක් හිතුවේ නෑ. මොකද ඒ තරම් ප්‍රබල ජනාධිපතිවරණ මෙහෙයුමක් තමයි මුල්කාලේ තිබුණේ. 1988 ඉඳලා ඉතිහාසයේ ජනාධිපතිවරණවලට සහභාගී වෙච්ච විශාලම ජනකාය තමා මම ඒ රැලිවල දැක්කේ. අපි රැලිවලට යනකොට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පෝස්ටරයක්වත් දැක්කේ නෑ. එතුමාගේ කාර්යාලයක්වත් දැක්කේ නෑ. පාර දෙපැත්තේ හරි එතුමාගේ පෝස්ටරයක් වැනි දෙයක්වත් තිබ්බේ නෑ.”
එදා ජනාධිපතිවරණයේ රසමුසු තැන්වල මතක අවදිකරන සුදත් 2015 නාමයෝජනා ලබාදුන් මොහොතේ සිදුවූ අපූරු කතාවක් හෙළිකරන්නට සැරසෙයි. සුදත් මෙවන් පෙර ජනාධිපතිවරණවල සේම නාමයෝජනා ලබාදීමේ මොහොත ආවරණය කරමින් සිටියේය. මේ සිදුවීම සිදුවූයේ නාමයෝජනා ලබාදීමේ කටයුතු අහවර වනවාත් සමඟයි.

“නාමයෝජනා භාරදීලා එනකොට මහින්ද රාජපක්ෂ මහත්තයා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට අතට අත දුන්නා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා අත දුන්නේ නෑ. මහින්ද මහත්තයා අත අල්ලගෙන හිටියා මෛත්‍රීපාල මහත්තයා අත දුන්නේම නෑ. එයා ආචාර කළා. මම තමයි කිව්වේ මහින්ද රාජපක්ෂ මහත්තයාට යන ගමන් අතට අත දීගෙන යන්න කියලා. පස්සේ මෙහෙම වුණේ ඇයි කියලා මම හොයලා බැලුවා.”

මෙතෙක් දේශපාලනයේ හෙළිනොවූ මෙම රස රහස සුදත්ට දැනගන්නට ලැබෙන්නේ මේ සොයා බැලීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. ආලෝක සිත්තරාගේ වදන්වලින් ඒ කතාව අපි ඔබට කියමු.

“මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට අතට අත දෙන්න එපා කියලා තියෙන්නේ රාජිත සේනාරත්න මහත්තයාගේ නෝනා. මහින්ද මහත්තයා අතේ තෙල් වගයක් ගාගෙන එන්නේ... අත නම් දෙන්න එපා කිව්වාලු. හැබැයි මහින්ද මහත්තයා අතේ එහෙම තෙල් වගයක් ගාගෙන ආවේ නෑ.”

එදා දේශපාලනයේ පැවැති තත්ත්වය එය විය. සුදත් මේ අපූරු කතාව අපට කීවේ කිසිවෙක් අපහසුතාවයට පත්කරනු පිණිස නොවේ. ශ්‍රී ලංකා ජනාධිපතිවරණය ඉතිහාසයේ තවත් රස කතාවක් ජනගත කරනු පිණිසය. මෙම ජනාධිපතිවරණය උදෙසා මහින්ද රාජපක්ෂ පාර්ශ්වය මුළුමනින්ම පාහේ පාවිච්චි කරනු ලැබුවේ සුදත් ලබාගත් ඡායාරූපය. ජනාධිපතිවරණය පුරා මහින්ද රාජපක්ෂ ජනාධිපති සමඟ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් එක්වීමට සුදත්ට සිදුවිය. එහෙත් ලක් ඉතිහාසයේ ජනාධිපතිවරයෙක් ධුරයේ සිටියදී ජනාධිපතිවරණය පරාජය වීම නම් අමිහිරි අත්දැකීම විඳින්නට සුදත්ට සිදුවිය. 2015 ජනාධිපතිවරණයේ අවසන් හෝරා කිහිපය පිළිබඳ මතක ඔහු මෙලෙස අවදි කරයි.

“පාන්දර තුනට විතර මහින්ද රාජපක්ෂ මහත්තයා බැසිල් රාජපක්ෂ මහත්තයාගේ කාර්යාලයට ගිහිල්ලා අරලියගහ මන්දිරයට ආවා. ඇවිල්ලා වාඩිවෙලා ඡන්ද ප්‍රතිඵල ඇහැව්වා. එතුමා ටිකක් වෙලා අහන් ඉන්නකොට එකපාරටම නැගිට්ටා. මම පරාදයි දැන් වැඩක් නෑ ඕක බලලා කියලා එතුමා අරලියගහ මන්දිරයේ අනික් පැත්තට ගිහිල්ලා ටිකක් වෙලා හිටියා. මට මතකයි උදේ හයට විතර වගේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ආවා. ඒ ඇවිල්ලා එතුමාගේ කාමරයේ ඒ හමුවේ ඡායාරූප මං ගත්තා. එතැන සාකච්ඡාවක් සිද්ධවුණා. ඒ කතා වුණ දේවල් ගැන මම දන්නේ නෑ. ඒ ක්ෂණිකවම වගේ මහින්ද මහත්තයා එළියට ආවා. අරලිය ගහ මන්දිරයෙන් පිටත්වෙලා ජනාධිපති මන්දිරයට ආවා. ඒ ඇවිල්ලා මුලින්ම කීවේ මේ ඔක්කොම බඩු පැක් කරන්න කියලා. මම එතුමාට හදලා දීපු ඡායාරූප තමා ඉස්සෙල්ලාම පැක් කළේ. එතුමා කිව්වා ඔක්කෝටම යන්න ලෑස්ති වෙන්න කියලා.”

සුදත් ඒ රැයෙහි කතාව අපට දීර්ඝ ලෙස පැහැදිලි කරයි. ලක් ඉතිහාසයේ බොහෝ තීරණාත්මක සිදුවීම් තෙවැනි ඇසින් පමණක් නොව පියවි ඇසින්ද මේ අපූරු මිනිසා දැක තිබේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නික්මයාම සම්බන්ධ කතාවේදී ඔහුගේ ස්වරය බාල වී යැයි අපට හැඟෙයි.

“එතුමාගේ මුහුණේ එහෙම දුකකුත් තිබුණේ නෑ. ජනාධිපතිතුමා පරාජය නිහතමානීව පිළිඅරගෙන තිබුණේ. ආ... එතුමා ඊට ඉස්සෙල්ලා ගියා ජනාධිපති කාර්යාලයට. ඔක්කෝටම සුභ පතලා ස්තූති කළා. එතැන ඔක්කොම ඇවිල්ලා ජනාධිපතිතුමාට වඳිනවා... අඬනවා... මළගෙයක් වගේ. ඊටපස්සේ තමයි ජනාධිපති මන්දිරයට ආවේ. ගොඩක් අය එතුමා හම්බවෙන්න ආවා ඒ හැමෝම කතා කළා. එතුමා පිටත්වෙන්න ලෑස්ති වුණේ හවස දෙකට විතර. මට දවල් එකට වගේ දුරකථන ඇමතුමක් ආවා. ඒ ඇමතුමෙන් මට කිව්වා අලුත් ජනාධිපතිතුමා හවස නිදහස් චතුරස්‍රයේ දිවුරුම් දෙනවා. ඕගොල්ලෝ ජනාධිපති මාධ්‍ය අංශයෙන් ඒ වැඩේ කවර් කරන්න ඕනෑ කියලා. කවුද කතාකළේ කියලා දන්නේ නෑ. මම කිව්වා ඒක නම් කරන්න බෑනේ කියලා. ටිකක් වෙලා යද්දී ආයේ කෝල් එකක් ආවා. ඊටපස්සේ කිව්වා. මේ මෛත්‍රී ජනාධිපතිතුමාගෙන් අහලා තමා කියන්නේ... එතුමා ඔයාට කියන්න කිව්වා ඒක කවර් කරන්න කියලා.”

මේ ජනාධිපතිවරණය අවසානයේ සුදත් මැදිවූයේ අර්බුදයකටයි. සියලු කලබල මැද සුදත් මහින්ද රාජපක්ෂ මහතාට තමා වෙත පැමිණි දුරකථන ඇමතුම පිළිබඳ දැනුම් දුන්නේය. තීරණය ගැනීමට නොහැකිව සිටි ඔහු මහින්ද මහතාගෙන් කුමක් කළයුතුදැයි විමසීය.

“නෑ... නෑ... ඔයා යන්න ඔයාගේ රස්සාවනේ. ඔයාගේ මේ ටීම් එකත් ආරක්ෂා කරගන්න.” ඒ වෙනකොට මට ඇසිස්ටන්ලා ටීම් එකක් හිටියා. ඊටපස්සේ හවස දෙකයි දහයට විතර එතුමා මැදමුලනට පිටත්වුණා. මම අපේ ඡායාරූප ශිල්පියෙකුයි වීඩියෝ කැමරා ශිල්පියෙකුයි එතුමාගේ හෙලිකොප්ටර් එකේම නග්ගලා මැදමුලනට පිටත් කළා. ඒ කරලා මම හවස ගියා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ දිවුරුම්දීම ආවරණය කරන්න. ඇත්තටම මම චකිතයකින් ගියේ. මගේ හිතේ අවුලක් තිබ්බා. ඒත් මම රජයේ සේවකයෙක්. මම මගේ රාජකාරිය කවදත් කාටත් එක සමානව ඉෂ්ඨ කරලා තියෙනවා. ඒ නිසා මම ගියා. මම එතැනට ගියා. කිසි ප්‍රශ්නයක් වුණේ නෑ. එතුමා දිවුරැම් දෙන්න හදනකොටම එක ඡායාරූපයයි ගන්න හම්බවුණේ. කැමරා දෙකත් එක්ක මාව බිමට ඇදගෙන වැටුණා. ඒ තරමට එතැන කලබලයක් තිබ්බේ. මම හිතන්නේ කාටවත් එතුමා දිවුරැම් දෙන ඡායාරූප ගන්න හම්බවුණේ නෑ. ගන්න හම්බවුණේ මට විතරයි.”

සුදත් සිල්වා නම් ආලෝක සිත්තරාගේ ජනාධිපතිවරැන් වෙනුවෙන් කළ සේවාව එතැනින් නතර නොවුණි. අවසානයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත් සුදත්ව තම නිල ඡායාරූප ශිල්පියා ලෙස තෝරාගත්තේය. ඡායාරූපවලට අතිශය ප්‍රියකරන චරිතයක් වූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමඟ ගෙවුණු කාලය පිළිබඳවද මතක ඔහු අවදි කළේය. එහෙත් ඔහු කියූ සියලු කතා ලියා තැබීමට අපට නොහැක. සති තුනක් පුරා ඔබ කියැවූ සුදත්ගේ කතාවේ නිමාව අද අප මෙසේ සටහන් කර තබමු. රාජ්‍ය නායකයන් සෙවණේ ඉතිහාස ගතවූ හිතවත් ආලෝක සිත්තරාණනි දේශයේ අප ඔබට දිගාසිරි පතමු.

සංවාද සටහන - චමිඳු නිසල්