2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා

පරිසරය පොලිෂ් කරන්නට පොලිසිය

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 150

සිස්ටම් වෙනසක් ගැන කතා කරන පුරවැසියන් අතර සමහරු රටේ යහපත් ප්‍රවණතා නිර්මාණය කරති. අන්තර්ජාලයේ මුහුණුපොත ඇතුළු වෙබ්අඩවි භාවිතයෙන් එවැනි අලුත් අදහස් ප්‍රචලිත කරති. අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුරක්ෂිත රටක් වැඩසටහන යටතේ දිවයින පුරාම පිහිටි නගර හා මංමාවත් පිරිසුදු කිරීම ආරම්භ කොට තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ සහ වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ අධීක්ෂණය යටතේ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. 

පසුගිය 24 වැනිදා කොළඹ නිදහස් චතුරශ්‍රය, ගාලු මුවදොර පිටිය, පිටකොටුව ඇතුළු ස්ථාන කිහිපයකදී ආරම්භ කෙරැණු වැඩපිළිවෙළ පසුදින කොල්ලුපිටිය සිට වැල්ලවත්ත දක්වා වූ මුහුදු වෙරළ පිරිසුදු කිරීමට ද, අනතුරැව වැල්ලවත්ත සිට දෙහිවල දක්වා වෙරළ පිරිසුදු කිරීම ද සිදු කෙරිණ. මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබුවේ ශ්‍රී ලංකා පොලිසියේ පාරිසරික දිසාව මගිනි.

පරිසර ආරක්ෂාව හා පරිසර අලංකරණය විධිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසියේ පාරිසරික දිසාව නැවත ප්‍රතිසංවිධානය කිරීම ද මෙහිදී සිදු කෙරිණ. ඒ අනුව පාරිසරික දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් හා පාරිසරික කොට්ඨාසය භාර අධ්‍යක්ෂකවරයෙක් පත් කරගනු ලැබ සිටිති. ඊට සමගාමීව දිවයින පුරා පිහිටි පොලිස් ස්ථානවල පාරිසරික ඒකක ප්‍රතිසංවිධානය කොට ඇත. එම පාරිසරික ඒකක අධ්‍යයනය කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරිවරැන් හතර දෙනකු පත්කර තිබේ. කොල්ලුපිටිය හා වැල්ලවත්ත අතර වෙරළ ප්‍රදේශය පිරිසුදු කිරීම හරහා ජනතාවට ආදර්ශයක් සැපයීමේ අරමුණෙන් පොලිස් පරිසර ඒකකවල නිලධාරීන් හා පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද එක්ව වැඩසටහනට දායකත්වය සැපයූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මේ වන විට කොළඹ නගරයේ පිරිසුදු කිරීම් කොන්ත්‍රාත්තුව භාරව ආයතන දෙකක් කටයුතු කරයි. එම පෞද්ගලික ආයතන දෙකෙහි කළමනාකරැවන් ඉකුත් 22 වැනිදා පොලිස් පාරිසරික කොට්ඨාසය වෙත කැඳවා වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කරුණු දක්වා ඇත. 

එහිදී අදාළ පිරිස් වෙත උපදෙස් දී ඇත්තේ සෑම දිනකම අලුයම 5.30ට නගරයේ පවිත්‍රතා කටයුතු ආරම්භ කළ යුතු බවය. අනතුරුව  24 පැයේම සේවක සේවිකාවන් යොදවා පවිත්‍රතාව පවත්වාගෙන යා යුතු බවට උපදෙස් ලබා දී ඇත. වැඩසටහනට සමගාමීව සියලුම පොලිස්ථානවල පාරිසරික ඒකකයන්හි නිලධාරීන් අදාළ බලප්‍රදේශවල සෑම මාර්ගයකම පරිසර හානි සිදුවන ස්ථාන හා ක්‍රියාවන් නිරීක්ෂණය කිරීම සිදු කරනු ඇත. එහිදී නිලධාරීන් විසින් පරිසරය සුරැකීමට අවශ්‍ය උපදෙස් ලබාදෙමින් ජනතාව දැනුම්වත් කිරීම සිදු කෙරේ. ඊට අමතරව පරිසරය හා සම්බන්ධ කටයුතු කරන වෙනත් ආයතන සම්බන්ධීකරණය කරමින් අවශ්‍ය පියවර ගැනීමට ද නියමිතය.

මහජනතාව හා සාමූහිකව පරිසරය ආරක්ෂා කිරීමට හා පිරිසුදුව තබාගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ රැවන් ගුණසේකර මහතා පැවසුවේ පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් නීතිමය ප්‍රතිපාදන රුසක් ඇති බවය. දණ්ඩ නීති සංග්‍රහය, ජාතික මංමාවත් පනත, පොලිස් ආඥා පනත, ජාතික පාරිසරික පනත, ඉඩම් ගොඩකිරීමේ සංවර්ධනය කිරීමේ පනත, ගොවිජන සංවර්ධන පනත, මහ නගර සභා ආඥා පනත, වෙරළ සංරක්ෂණ පනත යටතේ නීතිමය පියවර ගත හැකි බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

වැඩසටහන ආරම්භයේ දී පසුගිය 24 වැනිදා බස්නාහිර පළාත නියෝජනය කරන සෑම පොලිස්ථානයකම ඇති පාරිසරික ඒකකවල ස්ථානාධිපතිවරැන් රුස්කොට පරිසර ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳව දැනුම්වත් කොට තිබිණ. එහිදී පාරිසරික පොලිස් නිලධාරීන්ට විශේෂිත වූ නිලඇඳුමක් ද ලබා දෙනු ලැබීය.

දැනටමත් ප්‍රජා පොලිස් කමිටු මගින් මහජනතාව දැනුම්වත් කිරීමට කටයුතු කරමින් සිටී. එමගින් පරිසරය ආරක්ෂා කිරීම පිළිබඳව මහජනතාව තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීම අපේක්ෂිතය. සමස්ත වැඩසටහන අවසානයේ අපේක්ෂා කරනුයේ පරිසරය සුරුකි ශ්‍රී ලංකාවක් බිහි කිරීමය.

නව ජනාධිපතිවරයාගේ සුරක්ෂිත රටක් සංකල්පය යටතේ පිරිසුදු කරන පරිසරය තත්ත්වාකාරයෙන් පවත්වාගෙන යාමට සියලු පුරවැසියන්ගේ දායකත්වය ලබා දිය යුතුය.

 සමන්ත ප්‍රදීප් විල්තෙර