2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා

ආදරය සාගරයක්-පීනන්න දන්නවනම්

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 401

ආදරය යනු  සිරගෙයක් නොවේ. එහෙත් වර්තමානයේ එය සිරගෙදරක් බවට මිනිසුන් පත් කරගෙන තිබේ.  සිරගෙදර සිටින පුද්ගලයන්ට මානසික නිදහස කිසිදා නොලැබෙනු ඇත. එහෙත් වර්තමාන මිනිසුන් ආදරය තුළ සිරගෙයක හා සමාන මානසික  සහ කායික පමණක් නොව සමාජීය වේදනාවන් ද විඳින බව පැහැදිලිය. එයට හේතුව වන්නේ ආදරය  කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ නොදැනීම නිසා පමණක් නොව ආදරය යනු කුමක් ද යන්න පිළිබඳව ද ඇති නොදැනුවත් කම නිසාය. ආදරය යන  සංකල්පය මරණය දක්වාම පුද්ගල සහ සමාජ විෂය තුළ කේන්ද්‍රගත වූවක් බව පැහැදිලිය. ආදරය පුද්ගල කේන්ද්‍රීයව ගොඩ නැගුනත් එහි ඇත්තේ සමාජ කේන්ද්‍රීය බවකි. තමාට තනිවම තමාටම ආදරය කළ හැකියැයි යමෙකු පවසන්නේ නම් ඔහු තුළ ඇත්තේ ද ව්‍යාජත්වය පමණක් නොව ව්‍යාජත්වය නිෂ්පාදනය කරනු ලබන නොදැනුවත්කමයි.

ආදරය පිළිබඳ නොදැනුවත්කම ඇති හැමතැනකම ගොඩනැගෙන්නේ ආදරය තුළ ගැටලු සහගත ස්වරූපයකි. එම ගැටලු පුද්ගලයා තමාගේ අරමුණුවලින් ඉවත් කරනවා පමණක් නොව ගැටලුව නිරන්තරයෙන් ආදරය දූෂණය කිරීමට ද හේතුවනු වනු ඇත. වර්තමාන සමාජය තුළ දූෂණයට පත්නොවූ ආදරයක් සෙවීම අපහසුය. ඒ ආදරය පිළිබඳ චර්යාව ගොඩ නගා ගැනීමට අදාළ මානසික දියුණුව පුද්ගලයා තුළ නොමැති වීමෙනි. මිනිසාට තමා  ආදරය කරන අනෙකා  හඳුනා ගැනීමට නොහැකි වන්නේ තමාට තමාව හඳුනාගත නොහැකි පුද්ගලයන්ටය. ආදරය වුවද තමාව උපමා කරගෙන ගොඩනගා ගැනීම තුළ අනෙකාගේ මනෝභාවයන් සහ චර්යාවන් පිළිබඳ අවබෝධ කරගත හැකි වේ. අප සමාජවල පමණක් නොව ලොව අනෙකුත් සමාජ සහ සංස්කෘතීන්හි ද ආදරය හඳුනාගත් මිනිසුන් සෙවීම විරල වන්නේ ලොව තමාව හඳුනාගත් මිනිසුන් අඩු බැවිනි. සමාජ දාර්ශනික ක‍්‍රමවේදයට අනුව සියලුම කාර්යන්හි ප‍්‍රථම කාරණාව වන්නේ තමා තමාව උපමා කොටගෙන අනෙකා පිළිබඳ සිතීමයි.  එසේ වනවිට මිනිසුන්ගේ මනෝභාවාත්මක පමණක් නොව  චර්යාත්මක මෙන්ම සමාජීය කාරණාවන්ගේ ද නිවැරදි  භාවයන් දැකිය හැකි වේ. 

ආදරය සහ ප්‍රේමය අතර ඇත්තේ ප‍්‍රබල වෙනසකි. දරුවා පිළිබඳව මව, පියා තුළ ඇති වන්නේ ආදරයක් මිස ප්‍රේමයක් නොවේ. ආදරය දිගුකාලීන ක‍්‍රියාවලියක් බව පැහැදිලිය. එහෙත් වර්තමාන සමාජ ක‍්‍රියාවලිය පාදකව ගොඩනැගෙන ආදරය දෙස අවධානය යොමු කොට නිවැරදිව ආදරය යන සංකල්පය හඳුනාගැනීම අපහසුය. ප්‍රේමය යනු ලිංගිකත්වය මූලික කොටගෙන ගොඩනැගෙන සබඳතාවක් බැවින් එහි බොහෝ දුරට ඇත්තේ කෙටි කාලීන අවශ්‍යතා සංතෘප්තීන් බව අපට පැහැදිලි වේ. ඒ අනුව ආදරය සහ ප්‍රේමය යනු ප‍්‍රවේශ දෙකක් තුළ  ගොඩනැගෙන සාධක දෙකක බව පැහැදිලි වේ. එහෙත් මෙම දෙකෙහිම පදනම වන්නේ තවත් පුද්ගලයකුට කායික ලෙස සහ මානසික ලෙස ගොඩනගා ගනු ලබන බැඳීමයි. අනෙක් අතට ප්‍රේමය සහ ආදරය යනු ක‍්‍රියාවලියකි.

කෙනකුට ප්‍රේම කිරීම යනු ආදරය කිරීමම නොවේ. එය තමාගේ ලිංගික අවශ්‍යතා මානසිකව තෘප්තිමත් කර කරගැනීම සහ එයට අවශ්‍ය කාලය සහ අවකාශය සොයා ගැනීමයි. ප්‍රේමය පිළිබඳ අත්දැකීම් පාදකව ආදරයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය පදනම මනස තුළ නිර්මාණය විය හැකිය. ලොව ශක්තිමත්ම සබඳතාව ප්‍රේමය නොව ආදරයයි. නිවැරදි ආදරය කිසිදා මිය නොයන අතර  ප්‍රේමය එය ගොඩනඟා ගැනීමට හේතු වූ ක‍්‍රමවේද බිඳ වැටුණු විට ප්‍රේමය බිඳව වැටීම හෝ මිය යාම සිදුවනු ඇත. ප්‍රේමයට මිය යා හැකි වුවත් ආදරයකට පහසුවෙන් මිය යා නොහැකිය. ප්‍රේමය මිනිසුන් ජීවත් කරවයි. එමෙන්ම ආදරය එයටත් වඩා මිනිසුන් ජීවත් කරවන බැවින් එය ජීවිතය තුළ ශක්තිමත්ම ප‍්‍රවේශය බවට පත්වනු ඇත. ප්‍රේමය ජීවත් කරවන්නේ ප්‍රේමය තුළ ගොඩනගන අත්දැකීම්  තුළින් නොව ජීවිතය පිළිබඳව ගොඩනගන අත්දැකීම් මගිනි. ප්‍රේමය තුළ ගොඩනගන අත්දැකීම් ව්‍යාජ වුවහොත් තවකෙකුගේ ප්‍රේමයට  ද භාජනය වනු ඇත. ඒ අනුව ප්‍රේමයට ප්‍රේමය දිගුකාලීන කළ නොහැකි වුවත් ප්‍රේමය තුළ ගොඩනගන අත්දැකීම් තුළ ප්‍රේමයට ව්‍යාජත්වය ගොඩනැගිය හැකිය. ව්‍යාජත්වයෙහි මූලිකම කාර්යභාරය වන්නේ අවස්ථාව පැමිණි විට  ගොඩනගාගත් සියල්ල බිඳ දැමීමයි.

ඒ අනුව වර්තමාන සමාජය තුළ ප්‍රේමය මූලිකව  සබඳතා ගොඩ නැඟුනත් සබඳතා බිඳ වැටීම හෝ ගැටලු ඇති වීම තුළ ඔවුන්ගේ ජීවිතයෙහි සියලු සාධක ඔවුන් විසින් ම සමාජගත කරනු දැකිය හැකි වේ. එම සමාජගත කිරීමේ ප‍්‍රවේශ ඔවුනටම අනන්‍ය වේ. ප්‍රේමයට මහා සමාජ සංස්කෘතික තත්ත්වය තුළ ජීවත්වීමට ඉඩ නුදුන්නත් ආදරයට එසේ නොවනු ඇත. ප්‍රේම කිරීම සඳහා ද මානසික සහ ආධ්‍යාත්මික දියුණුව අත්‍යවශ්‍ය වේ. විවිධ අදහස් ඇති පුද්ගලයින් දෙදෙනෙකු එකතු වූ විට අනෙකාගේ සිතන සහ චර්යාත්මක ක‍්‍රමයටම  ගොඩ නැගීම අපහසු කාර්යයක් බව පැහැදිලිය. ඒ අනුව ප්‍රේම කළත්  අනෙකාට අනුවම සියල්ල සිදු කිරීම කළ නොහැකි වන බැවින් අනෙකා පිළිබඳ ඉවසීම සහ ඔහු හෝ ඇය පිළිබද අධ්‍යයනය අතිශය වැදගත් වේ.  ප්‍රේමයට ඉවසීම අවශ්‍ය සාධකයක් බවට පත් වන්නේ  අනෙකා තමාට වඩා වෙනස් වන බැවිනි.  ප්‍රේමය තුළ තමා ම විය යුතු යැයි යමෙකු අදහස් කරන්නේ නම් තමා ඉදිරියෙහි සිටින අනෙකා ප්‍රේමය නමැති සාධකය තුළ සිරගත කිරීම දැකිය හැකිය.  මේ නිසා ප්‍රේමය තුළ නිදහස අහිමි වෙමින් ජීවිතයේ සතුට ද අහිමි කර ගනු ලබන්නේ ඔවුනගේ ඇති අනවබෝධය නිසාම බව පැහැදිලිය. 

ඉතිහාසයෙහි අප සමාජ ක‍්‍රමයකට වඩා වර්තමාන සමාජ ක‍්‍රමවේදය ආර්ථික ක‍්‍රියාවලිය ප‍්‍රමුඛ වී ඇති බැවින් ප්‍රේමයට ආර්ථිකය ද බලපා ඇති බැව් පැහැදිලිය.  ඒ අනුව තමා ප්‍රේම කිරීමට බලාපොරොත්තු වන පුද්ගලයා ආර්ථික හෝ අධ්‍යාපනික හෝ වෙනත්  යම් පදනම් තුළ ශක්තිමත් විය යුතු යැයි සිතන්නේ ප්‍රේමය ඒවාට දෙවැනි සාධක බවට පත්වන වන බැවිනි. ඒ අනුව ආර්ථික සහ අනෙකුත් සාධකයන්ට ප්‍රේමය බිඳ දැමිය හැකිය.  ඒ අනුව ආර්ථික සහ අනෙකුත් සාධක ඇති තැන ප්‍රේමය දෙවැනි සාධකය බවට පත්වී ඇති බව අප සමාජ සංස්කෘතික දේහය පිළිබඳ අවධානය යොමු කරන විට පැහැදිලි කරගත හැකිය.

වර්තමාන සමාජයෙහි බොහෝ මිනිසුන් අවශ්‍යතා සන්තෘප්තිය නොමැතිව  දැඩි අසහන සහ අපහසුතා තුළ ජීවත් වන බැව් පැහැදිලි වේ.  තමාගේ අසහනය සහ අපහසුව අනෙකා ඉදිරියෙහි පිටවන ආකාරය ද මේ තුළ හඳුනාගත හැකිය. ඔහුගේ ඉදිරියේ සිටින අනෙකා පිළිබඳ සංකල්පීය චිත‍්‍රණය ඔහු මනස තුළ ගොඩනගා ගනිමින් එය  ප‍්‍රකාශනයට පත් කරන විට අප පැහැදිලි කරගත යුතු වන්නේ ඔහුුගේ මානසික ආකෘතිවල ස්වරෑපය කෙබඳු ද යන්න මිස ඔහුගේ ප‍්‍රකාශනයට යටත් වන පුද්ගලයා පිළිබඳ සෙවීම නොවේ. මෙය සරල සමාජ කාරණාවක් නොවන්නේ මේ පිළිබඳ නිවැරදි අවබෝධය තිබිය යුතු බැවිනි. එහෙත් මේ පිළිබඳ බොහෝ දෙනෙකු අනවබෝධිතය. සමාජ දාර්ශනික පදනම අනුව පමණක් නොව සිග්මන් ‍ෆ්‍රොයිඩ් වැනි මනෝවිද්‍යාඥයන්ගේ සංකල්ප සහ න්‍යායන් අනුව ද මෙය අපට පැහැදිලි කර ගත හැකි වේ. තමා තමාගේ මනස තුළ එවැනි දෘශ්‍ය හෝ චින්තනයක් නොමැති වන්නේ නම් ඔහුට හෝ ඇයට කිසිදා එවැනි ප‍්‍රකාශනයන් කළ හැකි වන්නේ ද නොවේ.  ඒ අනුව පැහැදිලි වන්නේ ප‍්‍රකාශනයෙහි හිමිකරැවා තමා ඉදිරියෙහි සිටින අනෙකා නොව ප‍්‍රකාශන සිදු කරන පුද්ගලයා ම බවයි. 

මිනිසාට තමා තුළ ගොඩනැගෙන වැරදි  තමාට දැකීම අපහසු වුවත්, තමා ඉදිරියේ සිටින අනෙකාගේ වැරදි තමාට පහසුවෙන් ග‍්‍රහණය කරගත හැකි බැව් මේ තුළ පැහැදිලි වේ. ඒ තමා ගේ සිත දූෂ්‍ය වී ඇති බැවිනි. ලොව සියලු දේ මිනිසා පමණක් නොව සත්ත්වයා ද ග‍්‍රහණය කරගනු ලබන්නේ දෘශ්‍ය ආකෘති මනස තුළ ගොඩනඟා ගනිමිනි. ඒ අනුව අනෙකා  පිළිබඳ  ප‍්‍රකාශන සියල්ලෙහි දෘශ්‍ය ආකෘතිය ඔහුගේ මනස තුළ ප‍්‍රථමව ගොඩනගාගැනීම දැකිය හැකි බැවින් ඔහුගේ ඉදිරියේ  සිටින හෝ ඔහුගේ ප‍්‍රකාශනයට යටත් වන අනෙක් පුද්ගලයාට  පෙර දූෂිත බව ගොඩනැගෙන්නේ ඔහුගේ මනස තුළ බව අප පැහැදිලි කරගත යුතුය.

වර්තමාන සමාජයෙහි ගැහැනු සහ පිරිමි ඇසුර තුළ ඔවුනට ද ලිංගික කරැණු ඉදිරියෙහි ඉවසීම ප‍්‍රගුණ කිරීමට අවශ්‍ය  අවබෝධය සහ ශක්තීන් නොමැති බව පැහැදිලි වේ.  ඒ අනුව විරැද්ධ ලිංගිකත්වය පාදකව අනෙකා නිරන්තර ගොදුරක් බවට ද පත්වන අයුරැ ද දැකිය හැකිය.  ගැහැනිය ඉදිරියෙහි පිරිමියාට ද,  පිරිමියා ඉදිරියෙහි ගැහැනියට ද ඉවසීම ප‍්‍රගුණ කළ හැකිනම් එය ජීවිතය තුළ අතිශය වැදගත් වේ.   

ප්‍රේමය තුළ අනෙකාගේ නිදහස තිබිය යුතුය. එහෙත් වර්තමානය තුළ ගැහැනිය සහ පිරිමියා අතර සම්බන්ධතාව ලිංගික සාධක පදනම්ව ම ගොඩනැගීමට උත්සාහ ගැනීම ද දැකිය හැකිවේ. එහෙත් ගැහැනු සහ පිරිමි අතර අන්තර් සම්බන්ධය ලිංගික ඇසුරක් සඳහාම නොවේ. දෙමව්පිය දූ දරැවන් අතර අන්තර් සම්බන්ධය, ගුරැවරැ සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර අන්තර් සම්බන්ධය,  සමාජයෙහි අනෙකුත් කාන්තා සහ පිරිමි අතර අන්තර් සම්බන්ධය, කාර්යාලයන්හි  කාන්තා පිරිමි ඇසුර ලිංගික සාධක  සඳහාම නොවේ. එහෙත් මනසින්  දූෂිත ස්වරෑපයට එය එසේ පෙනීම හෝ දැකීම සිදුවනු ඇත.

ජීවිතය යනු සතුට සොයා යන ගමනකි. මේ සඳහා සමාජ යථාර්ථය පමණක් නොව ලෝකයෙහි යථාර්ථය පිළිබඳ අවබෝධය ද අවශ්‍ය වේ.  එහෙත් වර්තමාන සමාජය තුළ ජීවත් වන මිනිසුන් සතුටින් සිටී ද යනු ගැටලුවකි. සතුට නිරන්තරයෙන් පුද්ගලයාට අහිමි කරනු ලබන්නේ ඔහුගේ නොදැනුවත්කම සහ ඔහු ඉදිරියේ ඇති අනෙකුත් පරිසරාත්මක සාධකයන්ය. ඒ අනුව සතුට තනිව ජනනය වන කාරණාවක් නොවේ. නිරන්තරයෙන් මානසික දියුණුව ගොඩනැගෙන්නේ ද තමා ඉදිරියෙහි සිටින අනෙකුත් මිනිසුන් සහ භෞතික සාධක පදනම්වය. ඉදිරියේ තිබෙන මානව සහ භෞතික සාධක නිසි ලෙස කළමනාකරණය වන විට සතුට සෙවීමට අවශ්‍ය පදනම නිර්මාණය වන බව පැහැදිලි වේ. අනෙක් අතට ජීවිතයෙහි සතුට නිරන්තරයෙන් ගොඩනැගෙන්නේ  අවබෝධය නැමති කාරණාව තුළ ගොඩනගනු ලබන අතහැරීම නැමැති සාධකය පදනම්වය.

කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය

ධර්මකීර්ති ශ්‍රී රන්ජන්

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00